1150 x 80 px
දේශප්‍රේමී දිළුම් මන්ත්‍රීතුමාගෙන් ඇඟ කිළිපොලා යන අවමංගල කතාවක්
මහනුවර ආශ්‍රිතව ඇවිළුණු ජාතිවාදී ගැටුම් අතරතුර පුපුරා ගිය බෝම්බය හේතුවෙන් මියගිය පුද්ගලයාගේ අවසන් කටයුතු අද සවස පැවැත්විණි. බොහෝ ජාතිවාදී කොටස් මෙම බෝම්බය මුස්ලිම් ජාතිකයන් විසින් පුපුරවා හැරි බවට අසත්‍ය ප්‍රචාර පතුරමින් සිටියද එම සිදුවීමේ සත්‍ය තත්වය මේ වනවිට හෙළි වී තිබේ.
බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ පුපුරා ගිය බෝම්බය, මෙම මියගිය පුද්ගලයා සතුව තිබූවක් බවයි. අත්වැරදීමකින් බෝම්බය පුපුරා ගොස් ඇති අතර ඒ හේතුවෙන් තවත් මිනිස් ජීවිතයක් රටට අහිමි විය.
 
මියගිය පුද්ගලයාගේ අවසන් කටයුතු සඳහා මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිළුම් අමුණුගම මහතා ඇතුළු දේශපාලනඥයන් පිරිසක් ද සහභාගි වී ඇති අතර එහිදී දිළුම් අමුණුගම සිංහල ජාතිකයන් උසිගන්වන ප්‍රකාශයක් ද සිදුකර තිබේ.
 
'මෙම බෝම්බ ප්‍රහාරය සිදුකළේ මුස්ලිම් ජාතිකයන් විසින්. ඒකට ඇසින් දුටු සාක්ෂිත් අපි ලඟ තියනවා. මේ රටේ මහ ජාතියට විරුද්ධව මුස්ලිම් මිනිස්සු මෙහෙම බෝම්බ ප්‍රහාර එල්ල කරද්දි සිංහලයන් විදියට අපිට නිවටයො වගේ ඉන්න බෑ. මේකට අනිවාර්යෙන් පියවර ගන්න ඕන. මම හෙට කොළඹ යනවා, ගිහින් රෑ වෙද්දි ආපහු එනවා. ලේස්ති වෙලා හිටපල්ලා කොල්ලනේ. අපේ මිනිස්සු මරන එකට පළිය උන්ගෙන් ගන්නම ඕන. ඉතුරු වැඩටික කරන්න උඹලා රෙඩිවෙලා හිටපල්ලා' යනුවෙන් දිළුම් අමුණුගම පවසා ඇති අතර එහි රැස්ව සිටි සිංහල තරුණයන් ඒ සඳහා උණුසුම් ප්‍රතිචාර දක්වා තිබේ. අවමංල්‍යයක් බව අමතක කරමින් ඔවුන් හුරේ දමමින් පවසා ඇත්තේ 'අපි ඔයත් එක්ක ඉන්නෙ දිළුම් අයියා... ගෙරි හම්බයන්ට මේකට රිටන් එකක් දෙන්නම ඕනෙ' යනුවෙනි.
 
මේ අතර මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහතාගේ නිවසේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවති අතර එහිදී ද සිංහල ජාතිකයන් කුපිත කරන ආකාරයේ කටයුතු සිදුව ඇති බවයි වාර්තා වන්නේ. ලොහාන් රත්වත්තේ යනු මීට වසර ගණනකට පෙර උඩතලවින්න මිනිස් ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලබා සිරගතව සිටි පුද්ගලයෙකු වන අතර ඔහු එකල පටන් සිටින්නේ මුස්ලිම් ජාතිකයන් සමග බද්ධ වෛරයෙනි.
 
පසුගිය කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේ මෙම ජාතිවාදී ගැටුම් පිටුපස සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඇතුළු පිරිසක් හඳුනාගෙන ඇති බවයි. මේ වනවිට මහනුවර ප්‍රදේශයේ දේශපාලනඥයන් හැසිරෙන ආකාරය අනුව රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළ දේශපාලනඥයන් කවුරුදන්ද යන්න පැහැදිලි වන අතර ඒ සඳහා තවත් සාක්ෂි අවශ්‍ය නැත.
 
මෙම දේශපාලනඥයන්ට තවදුරටත් නීතිය අතට ගෙන ක්‍රියාත්මකවීමට ඉඩ තැබුවහොත් තවත් මිනිස් ජීවිත ගණනාවක් රටට අහිමිවීමට ඉඩ තිබේ. රජය සහ පොලීසිය අවශ්‍ය මොහොතේ ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් එක් සිද්ධියක් නොනවතින ගැටුම් දාමයක් බවට පත්ව ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස මිනිස් ජීවිත ගණනාවක් අහිමි වී තක්සේරු කළ නොහැකි මට්ටමේ දේපළ හානියක් සිදුව තිබේ.
 
පොලීසිය එල්ල වූ දැඩි විවේචනය හමුවේ මහසොහොන් බලකායේ නායකයා යැයි කියාගන්නා පුද්ගලයෙකු ඇතුළු පිරිසක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇතත් එවැනි ජාතිවාදීන් රැසක් තවමත් ජාතිවාදය පතුරවමින් නිදැල්ලේ සැරිසරමින් සිටී. අවශ්‍ය වන්නේ සිද්ධියක් සිදු වූ පසු එයට වගකිවයුතු පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම නොව සිදුවීම් වලක්වා ගැනීමයි. මේ වනවිට මහනුවර දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය පනවා ඇති අතර එයින් පැහැදිලි වන්නේ තවමත් ගිනිදැල් නිවී නොමැති බවයි.
 
ප්‍රකෝපකාරී ලෙස හැසිරනෙ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමෙන් මෙම තත්වය පාලනය කළ නොහැකි බව දැන් හෝ ආණ්ඩුව සහ පොලීසිය තේරුම් ගත යුතුය. මෙවැනි ගැටුම් පිටුපස භූමිකාව නිරූපණය කරන ජාතිවාදී දේශපාලනඥයන්, ජාතිවාදී නායකයන්, තලේබාන් පන්නයේ බෞද්ධ භික්ෂූන් නිදැල්ලේ සිටියදී ගැටුම්වලට මැදිහත් වන ගැටවරයන් අත්අඩංගුවට ගැනීමෙන් ජාතිවාදී ගැටුම් වලක්වා ගත හැකියැයි යමෙක් සිතන්නේ නම් සියලු දේට කලින් එසේ සිතන පුද්ගලයන්ගේ ඔලුව පරීක්ෂා කළයුතුය.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top