1150 x 80 px
ජනපති අගමැති එකඟතාව 'ගජබින්නයක්' නොවේ !

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (29) රාත්‍රියේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ නිවසේදී හමුවූ බවට ලංකා නිව්ස් වෙබ් අප පළ කළ පුවත අසත්‍යයක් යැයි, ගජබින්නයක් යැයි කියන්නට ජනාධිපති මාධ්‍ය අංශයේ ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ද ඇතැමුන් ඉදිරිපත්ව සිටී. රටේ විධායක ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා එකට හමුවී සුහද කතාබහක නියැළුණු බව ප්‍රතික්ෂේප කිරීමට තරම් දේශපාලනික වුවමනාවක් මේ මොහොතේ ඇත්තේ කාටද ?

 

ශ්‍රී ලංකාවේ පවතින්නේ එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව පාලනය ගෙන යන හවුල් ආණ්ඩුවකි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එම හවුල් ආණ්ඩුවේ ප්‍රධානීන් දෙදෙනාය. නොයෙකුත් හැලහැප්පිලි මධ්‍යයේ වුව හවුල් ආණ්ඩුව කිසිදු ආන්තරාවකින් තොරව ඉදිරියට ඇදෙමින් පවතී. ආණ්ඩුව දෙකඩ වෙන දේශපාලන අර්බුදයක් පෙනෙන්නට ද නැත. එහෙයින් එවන් ආණ්ඩුවේ ප්‍රධානීන් දෙදෙනා කොතැනකදී හෝ හමුවී ආණ්ඩුවේ ඉදිරිගමන ගැන සාකච්ඡා කිරීම, එකඟතාවන්ට පැමිණීම මැජික් එකක් නොවේ. ආණ්ඩුවේ ඉදිරිගමන ගැන සාකච්ඡා කරන්නට හමුවිය යුත්තේ ජනපති අගමැති දෙදෙනා නොවේ නම් වෙන කවුරුද ?

අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් වී ඇති බව සැබෑය. එය ඉදිරිපත් කර ඇත්තේ ඒකාබද්ධ විපක්ෂ කල්ලිය විසිනි. එයද කරන්නන් වාලේ කෙරුවා විනා ආණ්ඩුවක් පෙරළා බලය ගැනීමට තරම් ශක්තියක්වත් හැකියාවක්වත් වුවමනාවක්වත් මේ මොහොතේ ඒකාබද්ධ විපක්ෂය නම් රාජපක්ෂවාදී කල්ලියට ඇත්තේද නැත. ජනපති සහ අගමැති අතර විරසකයක් මවාපෑමෙන් ලාභයක් ගන්නට ඒකාබද්ධ විපක්ෂයට වුවමනාවක් තිබුණත් ජනපතිවරයාගේ පාර්ශ්වයෙන් ප්‍රකාශ නිකුත් කරන්නට ඔවුන්ට පුළුවන්කමකුත් නැත.

එහෙයින් ජනපති සහ අගමැති අතර ඇති සුහදතාව වසන් කරන්නට හෝ නැති අර්බුදයක් මවා පාන්නට මේ මොහොතේ ඉදිරියට එන්නේ අගමැතිවරයා සමඟ බද්ධ වෛරයෙන් පසුවන කිලී මහාරාජා පමණි. කොයි යම් පොටකින් හෝ රනිල් වික්‍රමසිංහට පහර ගැසීම සිය එකම අරමුණ කරගෙන හැසිරෙන මහාරාජාට මෙසේ නැති අර්බුද මවා පෑම වාසියකි. එහෙයින් අත ජාකොබ්ගේ වුවද හඬ ඊසොප්ගේ බව මෙතැනදී වටහා ගත යුතුව ඇත. ජනාධිපති මාධ්‍ය අංශයේ සහ ශ්‍රීලනිපයේ ඇතැම් කොටස් අද නැටවෙන්නේ මහාරාජාගේ පදයට ය.

අපේ අරමුණ වන්නේ පාලම් තැනීම මිස තාප්ප බැඳීම නොවේ. රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේ එකඟතාවෙන් බිහිවුණු වත්මන් රජය හැකිතාක් ඉදිරියට යනු දැකීම අපේ බලාපොරොත්තුවයි. රජය තුළම හිඳිමින්, බලධාරීන්ගේ මාධ්‍ය අංශ තුළම හිඳිමින් ඊට අකුල් හෙළන්නන් විවිධ ප්‍රකාශ නිකුත් කරන්නට පුළුවන. සිදුවිය යුතුව ඇත්තේ මහතැන්වලට ද හේත්තු වී සිටින ගමන් එක එක රාජලාගේ පඩි ලැයිස්තුවල ද සිටිනා දෙපිටකාට්ටුවන් හඳුනා ගැනීමය.

ආශ්‍රිත පුවත් - 

ජනපතිට සහ අගමැතිට රාජිතගෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක්

ජනපති කිලී මහරාජාගේ පදයට නටයි.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top