1150 x 80 px
අගමැතිධූරයෙන් ඉල්ලා අස්වෙන්න - ශ්‍රීලනිපයෙන් අගමැතිට යෝජනාවක්
අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවර තීරණය කරන බව පසුගිය දිනවල ශ්‍රීලනිප ඇමතිවරුන් කිහිප දෙනෙකු ප්‍රකාශ කළේය.
ඒ අනුව අද ශ්‍රීලනිපය විසින් තීරණය කර ඇත්තේ විශ්වාස භංග යෝජනාව සඳහා කිසිසේත්ම විරුද්ධ විය නොහැකි බවයි. මෙම ස්ථාවරයට අද එම පක්ෂය නිළ වශයෙන් පැමිණියද එය මේ වනවිටත් රටම දන්නා කරුණකි.
 
ශ්‍රීලනිපයේ ස්ථාවරය වී ඇත්තේ විශ්වාස භංග යෝජනාව විවාදයට ගැනීමට පෙර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිය ධූරයෙන් ඉවත් වියයුතු බවයි.
 
ජනාධිපතිවරයා ප්‍රමුඛ යහපාලන රජයේ සියලු දුර්වලකම්, අසාර්ථකත්වය, පොරොන්දු ඉටු නොකිරීම ඇතුළු සියලු නොහැකියාවන් අගමැතිවරයාගේ කර පිටින් යවා ශ්‍රීලනිපය අත පිසදමා ගැනීමේ උත්සාහයක නිරත වන අතර එසේම රැවුළත් කැඳත් දෙකම බේරාගැනීම සඳහා අගමැතිවරයා ඉවත් කර ආණ්ඩුව පවත්වාගෙන යාම ශ්‍රීලනිප ඇමතිවරුන්ගේ කූට උපක්‍රමය වී තිබේ.
 
ආණ්ඩුවක අගමැතිවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් වීම හරහා පෙන්නුම් කරන්නේ සමස්ත ආණ්ඩුවම විශ්වාස කඩකර ඇති බවයි. ඒ නිසා කිසිසේත්ම සියලු කුණු අගමැතිවරයාගේ කර පිටින් යවා ඇමතිවරුන්ට අත පිසදා ගැනීමට නොහැකියි. එක්කෝ රජය නියෝජනය කරන සියලු මහජන නියෝජිතයන් අගමැතිවරයා ප්‍රමුඛ රජය ආරක්ෂා කරගත යුතුය, නැත්නම් සමස්ත ආණ්ඩුවම ඉල්ලා අස්විය යුතුය.
 
ඩබල් ගේම්
 
ශ්‍රීලනිප ඇමතිවරුන් පසුගිය දිනවල ප්‍රකාශ කළ පරිදිම, ඔවුන්ට විශ්වාස භංග යෝජනාව සඳහා විරුද්ධ විය නොහැකිය. ඒ නිසා අගමැතිවරයාට ඉල්ලා අස්වන්නැයි කියන්නේ ඒ නිසාය. අගමැතිවරයා කෙසේවත් ඉල්ලා අස් නොවන බව දන්නා ඔවුන් මේ අරඅඳින්නේ එය දඩමීමා කර ගනිමින් විශ්වාස භංගයට පක්ෂ වීමේ තීරණය සාධාරණීකරණය කර ගැනීමට මිස රට ගැන සිතා හෝ සද්භාවයෙන් හෝ නොවේ.
 
ශ්‍රීලනිපයේ මෙම තීරණය හෙට (03) පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී නිළ වශයෙන් දැනුම් දීමට නියමිත අතර ඒ අනුව හෙට කැබිනට් රැස්වීම අතිශය උණුසුම් මුහුණුවරක් ගනු ඇත.
 
 

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top