1150 x 80 px
විවාහක හමුදා සෙබළුන්ගේ ආහාර වරප්‍රසාදය කපා හැරලා

‘‘නිරෝගිමත් හමුදාවක්, නිරෝගිමත් දැයක්“ වැඩසටහනට සමගාමීව හමුදා සෙබළුන්ගේ ආහාර සලාකය ද අහිමි වන තත්වයක් මේ වන විට උද්ගත ව ඇත.

ඒ පහත ආකාරයෙනි.

හමුදාවෙන් නිසි අවසරය රැගෙන විවාහවු සෙබළුන් පිටතවාසි (Living out)ලෙස සලකා ඔවුන්ට හිමි මාසික සලාක දීමනාව (Ration allowance) 1994 අංක 01 දරන සෙබළ සේවා  නියෝගයෙහි උපදෙස් ප්‍රකාරව මාසික වැටුප සමග ලබාදේ. එම නිසා කදවුරින් ඔවුන්ට ආහාර නොසපයන අතර නිවසින් ආහාර සපයාගත යුතුය.

තනිකඩව සිටින සෙබළුන් තුලවාසි (Living in)ලෙස සලකා ඔවුන්ට ආහාර හා තේ කදවුරින් සපයන අතර නිවාඩු සිටින දින ගනනට හිමි සලාක දීමනා මාසික වැටුප සමග ලබාදේ. තම නිවසින් බොහෝ දූරස්ථ කදවුරුවල සේවය කරන සෙබළුන් හා උතුරු නැගෙනහිර සේවය කරන සෙබළුන්ට ආහාර ලබාගැනීමට ක්‍රමවේදයක් නොමැති නිසා තුලවාසි සෙබළුන් මෙන් ආහාර හා තේ කදවුරින් ලබාගෙන  නිවාඩු සිටින දින ගණනට පමනක් හිමි සලාක දීමනා මාසික වැටුප සමග ලබාගන්නා ලදී.

යුද්ධය පැවති අවසන් කාලයේ යුද හමුදාවේ ලක්ෂ දෙකකට අධික සෙබළුන් ප්‍රමාණයක් සිටි අතර එයින් බොහොමයක් උතුර නැගෙනහිර හා ආසන්න ප්‍රදේශවල රාජකාරි කරන ලදී. අවශ්‍යතාවය හා ආරක්ෂක තත්වය මත මෙම සියළුම සෙබළුන් තුලවාසි (Living in)ලෙස සලකා ඔවුන්ට ආහාර හා තේ කදවුරින් සපයන ලදී. යුද හමුදවට වියළි හා අමු සලාක සැපයු සැපයුම්කරුවන් මෙම අවධියේ අධික ලාභයක් ලැබූ අතර අධික ඉල්ලුමට සරිලන පරිදි තම ව්‍යාපාර පුළුල් කර වාහන ගොඩනැගිලි යන්ත්‍ර උපකරණ හා සේවක පිරිස් ප්‍රමාණය වැඩි කර ගැනීම  සිදුවිය.

යුද්ධය අවසන්වීමත් සමග අම්පාර වැළිකන්ද පොලොන්නරුව මින්නේරිය ත්‍රිකුණාමලය කන්තලේ පුත්තලම අනුරාධපුර වවුනියා හා වැළිඔය ප්‍රදේශවල පදිංචි සෙබළුන් බොහොමයක් තම නිවසට ආසන්න කදවුරු වෙත ස්ථාන මාරුවීම් ලබාගෙන ඇත.

ඔවුන් සහ පනාගොඩ, කොළඹ, නුවර, කුරුවිට, අඹෙිපුස්ස, කුරුණෑගල, දියතලාව යන ප්‍රදේශවල කදවුරු අසල පදිංචි සෙබළු පිටතවාසි (Living out) ලෙස නිවසින් ආහාර ලබාගෙන ඔවුන්ට හිමි මාසික සලාක දීමනාව මාසික වැටුප සමග ලබාගත්හ.

යුධ සමයේ මෙන් ලාභ ඉපැයීමේ තැතක්

මේ හේතුවෙන් හමුදාවේ වියළි හා අමු සලාක සදහා ඉල්ලුම අඩුවු අතර සලාක සපයන සැපයුම්කරුවන්ගේ ලාභයද ඇතැම් පිරිස්වෙත ලැබුනු අමතර වාසිද අඩුවීමක් දක්නට ලැබිණි. මෙම තත්වය මගහැර යුධ සමයේ තමන්ට තිබූ අධික ලාභය නැවත ලබාගැනීමට සහ වාහන ගොඩනැගිලි යන්ත්‍ර උපකරණ හා සේවක පිරිස් පවත්වාගෙන යාමට දේශපාලකයන් රජයේ ඉහල නිළධාරින් හා ජ්‍යෙෂ්ඨ හමුදා නිළධාරින්ට යුද හමුදවට සලාක සැපයෙන ව්‍යාපාරකයන්ගෙන් විවිධ යෝජනා හා බලපෑම් එල්ලවිය.

අනිවාර්ය නියෝගයක්

2018 පෙබරවාරි 23 දින සැප්‍ර/සැ/01/01(150) ලිපිය අනුව 2018 මාර්තු 01 සිට යුධ හමුදාවේ සේවයේ නියුතු සියළුම සෙබළුන් අනිවාර්යයෙන්ම තම දිවා ආහාරය සේවය කරන කදවුරු වලින් මුදල් ගෙවීමේ පදනම මත ලබාගත යුතු බවට නියෝගයක් නිකුත්කර ඇත.

මේ අනුව තම නිවසට ආසන්න කදවුරුවල සේවය කරන දිනපතා නිවසේ සිට දිවා ආහාරය රැගෙන සේවයට පැමිණි සෙබළුන්ටද දිවා ආහාරය මුදල් ගෙවීමේ පදනම මත කදවුර වෙතින් ලබාගැනීමට සිදූවේ. තිස් වසරක යුද්ධය නිමා කිරීමට දැක්වූ දායකත්වය වෙනුවෙන් ත්‍රිවිධ හමුදා සෙබළුන්ට විවිධ වරප්‍රසාද ලබාදිය යුතු බවට හඩනැගෙන අවධියක මෙම  නියෝගය මගින් ඔවුන්ට 1994 අංක 01 දරන සෙබළ සේවා නියෝගයෙන් ලබා දී තිබූ වරප්‍රසාදයද අහිමිකර ඇත්තේ ඒ ආකාරයෙනි.

මසකට රු. 5000 ක 'දඩයක්'

තමන්ට ලැබෙන සීමිත වැටුපෙන් ඉතාමත් අපහසුවෙන් තම අවශ්‍යතාවයන් ඉටුකරගන්නා සෙබළුන්ට මෙම නියෝගය නිසා මාසිකව රු 5000 කට ආසන්න මුදලක් මේ සදහා වැය කිරීමට සිදූවේ. මෙයින් සෙබළුන්ට මුල්‍යමය අපහසුතාවයක් ඇතිවුවද යුද හමුදවට සලාක සැපයෙන ව්‍යාපාරකයන්ට නම් මෙය මහත් සහනයක් වනු ඇත.

නිරෝගිමත් හමුදාවක්, නිරෝගිමත් දැයක් වැඩසටහනට සමගාමීව මෙම පිළිවෙත අනුගමනය කරන බව දන්වා ඇති නමුදූ දිවා ආහාර වේලක් මුදල් ගෙවීමේ පදනම මත කදවුර වෙතින් ලබාදීමෙන් නිරෝගිමත් හමුදාවක් ඇති කළ හැකිද යන්න ගැටළු සහගතය. විවාහවී පිටතවාසි (Living out)ලෙස සිටින සෙබළුන් බොහොමයක් වයස වසර 40 කට ආසන්නයේ සිටින අතර ඔවුන් මන්දපෝෂණ තත්වයක නොව වසර ගණනාවක් හමුදාවේ අධික තෙල් පිටි සීනි පරිභෝජනයෙන් අධිපෝෂණයවීමෙන් හා ව්‍යායාම් අඩුවීමේ හේතුවෙන් කොලොස්ටරෝල් දියවැඩියාව හා අධික රුධිර පීඩන තත්වයන්ට පත්වීමේ අවදානමක සිටින බව වෛද්‍ය පරීක්ෂණ වලින් හෙළිවී ඇත.

අනුමත ආහාර වට්ටෝරුව පොතට පමණද?

යුධ හමුදාවේ අනුමත ආහාර වට්ටෝරුව (Approoved Menu)අනුව මෙම දිවා ආහාරවේල ලබාදීමට නියෝගකර ඇති නමුත් මේ සදහා විශේෂ පෝෂ්‍යදායි ආහාර කිසිවක් විශේෂයෙන් ඇතුළත්කරද නොමැත. මේ නියෝගය ක්‍රියාත්මක කිරීම සදහා ඉතාමත් සංකීර්ණ ක්‍රමවේදයක් හඳුන්වා දී ඇති අතර ඒ සදහා ලිපිලේඛණ පොත්පත් රාශියක් නඩත්තු කළ යුතුය. එහිදී ගිණුම් කටයුතු සිදූකරන ආයතන වෙතින් සිදූවිය හැකි අතපසුවීම් හා වංචාවන් ප්‍රමාණය ඉහළ මට්ටමක් විය හැකි බව මෙම ක්ෂේත්‍රෙය් සිටි විශ්‍රාමික හමුදා නිලධාරීහු පෙන්වා දෙති.

අභ්‍යන්තරයේ කළකිරීමක්

තම නිවසේ සිට සේවයට පැමිණෙන සෙබළුන් තම බිරිද හා දූදරුවන් දිවා ආහාරය සදහා ලබාගන්නේ මොනවාද යන්න හොදින් දනී. ඒවා පෝෂ්‍යදායික වුවත් සුඛෝපභෝගි (එළවළු, බත් කහබත්, කුකුළු මස්, එළු මස්, ඉස්සෝ, දැල්ලෝ ඇතුළුව) නොවන දිනවල තම බිරිද හා දූදරුවන් සාමානය ආහාරවේලක් ලබාගැනීමේදී තමන් පමණක් සුඛෝපභෝගී ආහාර වේලක් ලබාගැනීමෙන් සංවේදි පියෙක් මානසික අපහසුතාවයකට පත්විය හැක. තම පවුලේ කටයුතු වෙනුවෙන් වැය කිරීමට තිබෙන වැටුපෙන් දිවා ආහාරය සදහා රු5000 ක පමණ මුදලක් වැය කිරීමට සිදූවන නිසා තමන්ට සිදුවන ආර්ථික අපහසුතාවය ගැන ඔවුන් කළකිරීමට පත්ව ඇති බව පසුගිය මැතිවරණයේදි හමුදා සෙබළුන් ලබාදුන් තැපැල් ඡන්ද ප්‍රථිපල අනුව යම් නිගමනයකට එළඹිය හැක.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top