1150 x 80 px
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ඉල්ලා අස් වෙයිද ?

කප්පම් ගැනීම සඳහා පුද්ගලයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කරවීම සම්බන්ධයෙන් චෝදනා ලැබ, අත් අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර සිටින නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නමැත්තා නාවික හමුදාවේ ආධාරයෙන් රටින් පළාගිය ආකාරය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ශානි අබේසේකර මහතා විසින් හෙළිදරව් කර තිබේ.

 

ශානි අබේසේකර මහතා මෙම හෙළිදරව්ව කර ඇත්තේ පෙරේදා (20) රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ පැවති සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන්, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න, නාවික හමුදාපතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු සහ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ ප්‍රධානීන් සහ ජනාධිපති නීතීඥ ජේ.සී. වැලිඅමුණ ඇතුළු පිරිසක් සහභාගී වූ විශේෂ රැස්වීමකදී ය.

නාවික හමුදාවට අයත් අධිවේගී ප්‍රහාරක යාත්‍රාවකින් ලුතිනන් කමාන්ඩර් හෙට්ටිආරච්චිව ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් එපිටට ගෙන ගොස් ඇරළවූ ආකාරය ශානි අබේසේකර මහතා විසින් එහිදී ප්‍රකාශ කර ඇත. ශානි අබේසේකර මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට මුහුණට ම ප්‍රකාශ කර ඇත්තේ "ඔබතුමා තමයි යන්න කලින් හෙට්ටිආරච්චි අතට රුපියල් ලක්ෂ පහක් දුන්නේ" යනුවෙනි.

ඒ මොහොතේ කලබල වූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා "ශානි, ඔයා මේ රටේ ඉහළ ම ආරක්ෂක නිලධාරියෙකුට චෝදනා කරන්නේ. ඔයා මේවා ඔප්පු කරනවා නම් මම හෙට ම ඉල්ලා අස් වෙනවා" යැයි ප්‍රකාශ කර ඇත.

ලුතිනන් කමාන්ඩර් හෙට්ටිආරච්චිව අධිවේගී ප්‍රහාරක යාත්‍රාවකින් රටින් පැන්නීම, රවීන්ද්‍ර විජේගුණරත්න විසින් ඔහුට මුදල් ලබාදීම යන සියලුම කරුණු සම්පූර්ණ සත්‍යය ය. දැන් රවීන්ද්‍ර විජේගුණරත්නට ඇත්තේ ඉල්ලා අස් වීමට ය. ප්‍රකාශයෙන් පැය 48ක් ගතව ඇතත් රවීන්ද්‍ර විජේගුණරත්න ඉල්ලා අස්වන බවක් නම් පෙනෙන්නට නැත.

 

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top