1150 x 80 px
පොලිස්පති ජනාධිපතිටත් ඉහළින් යාමට සැරසෙයි

පොලිස් විශේෂ කාර්ය බලකාය වෙත ලැබෙන ප්‍රතිපාදන පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් සීමා කර ඇතැයි වාර්තා වේ.

 

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයෙන් පොලිස් විශේෂ කාර්ය බලකාය වෙත ලැබෙන ප්‍රතිපාදන පොලිස්පතිවරයා හරහා ලැබෙන ක්‍රමවේදයක් සකස් කරගෙන තිබේ. මෙම ක්‍රමවේදය සකස් කර ඇත්තේ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් පද්මසිරි ජයමාන්න විසිනි.

මේ පද්මසිරි ජයමාන්න වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ සිටියදී කළ මගඩි ගණනාවක් ගැන විස්තර ජනාධිපති විශේෂ විමර්ශන කොමිසමේ වාර්තාවල සඳහන් ය.

පොලිස් විශේෂ කාර්ය බලකාය මෑතක සිට ප්‍රාදේශීයව වැටළීම් ක්‍රියාත්මක කරයි. උදාහරණයක් ලෙස ඔවුන් විසින් පසුගියදා නුවර එළිය ප්‍රදේශයේ වංචනික ලෙස තේ වලට ග්ලූකෝස් මුසු කළ කම්හලක් වටළන ලදී. පසුගිය කාලයේ වලාන දූෂණ මර්ධන ඒකකය රට පුරා වැටළීම් කළ ආකාරයට දැන් පොලිස් විශේෂ කාර්ය බලකාය ද ක්‍රියාත්මක වේ. ඔවුහු රට පුරා අනවසර වැලි ජාවාරම්, මත්ද්‍රව්‍ය ජාවාරම් ආදිය සොයා වැටළීම් කරති.

මේ පිළිබඳව ඒ ඒ ප්‍රදේශවල සිටින දූෂිත පොලිස් නිලධාරීන් උරණ වී ඇත. පොලිස් විශේෂ කාර්ය බලකාය ඔවුන්ට නොදන්වා පැමිණ හදිසි වැටළීම් කිරීම හේතුවෙන් ඔවුන්ගේ හිතවත් දූෂිත ව්‍යාපාරිකයින්ට පහර වැදී ඇත. මේ දූෂිත පොලිස් නිලධාරීන් පොලිස්පතිවරයා හරහා පොලිස් විශේෂ කාර්ය බලකායේ මෙහෙයුම් අඩපණ කිරීමට උත්සාහ දරති.

පසුගියදා පැවති රැස්වීමකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විමසා තිබුණේ "STF එකේ ප්‍රතිපාදන අඩු කරලා තියෙන්නේ ඇයි?" යනුවෙනි. නීතිය හා සාමය අමාත්‍යාංශයේ ලේකම් පද්මසිරි ජයමාන්න ඊට පිළිතුරු දී තිබුණේ " ජනාධිපතිතුමනි, අපි ඒකේ පරිපාලනයේ ව්‍යුහාත්මක වෙනස්කමක් කරන්න හදනවා" ලෙසය. ජනාධිපතිවරයා කෝපයට පත්ව පද්මසිරිට පිළිතුරු දී තිබුණේ "සත පහක් අඩු කරන්න එපා, එයාලට පරණ විදියට ම ප්‍රතිපාදන ලබලා දෙන්න" යනුවෙනි.

දූෂිත බලවේගය දැන් සූදානම් වන්නේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලතීෆ් පොලිස් විශේෂ කාර්ය බලකායෙන් වෙන් කිරීමටය. ලතීෆ් මහතා ඉවත්කර එතැනට ගෙන ඒමට සූදානම් වන්නේ නියෝජ්‍ය පොලිස්පති සිරිමෙවන් පතිරණ ය. ඔහුගේ ක්‍රියාකලාපය පිළිබඳව සවිස්තර වාර්තාවක් නුදුරේදීම ලංකා නිව්ස් වෙබ් වෙතින් බලාපොරොත්තු වන්න.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top