1150 x 80 px
කීත් නොයාර්ට පහරදීමේ සිද්ධිය පිළිබඳ කතානායකගෙන් CIDට  ප්‍රකාශයක් !
"ද නේෂන්" පුවත් පතේ හිටපු නියෝජ්‍ය කතෘ කීත් නොයාර් මහතා පැහැර  ගෙන ගොස් අමානුෂික ලෙස පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් වත්මන් කතානායක කරු ජයසූරිය මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් දීමට කැමැත්ත පළ කර ඇතැයි වාර්තා වෙයි. 
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානී  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා ඒ සම්බන්ධයෙන් කතානායකවරයාගෙන් විමසා ඇති බව සඳහන්. රාජපක්ෂ පාලන සමයේදී මාධ්‍යවේදී කීත් නොයාර් මහතාව පැහැර ගෙන ගොස්  පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන් දන්නා සියලු කාරණා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ කිරීම සඳහා කතානායකවරයා ඉදිරි දිනයක්ද වෙන්කර ගෙන ඇති බවයි වාර්තා වුණේ.
 
මෙම සිදුවීම 2008 වසරේ මැයි දින 22  සුපුරුදු පරිදි සිය රාජකාරී නිමකර එවකට රිවිර මීඩීයා කෝපරේෂන්හි විධායක නිලධාරී වූ ක්‍රිෂාන්ත කුරේ සහ "ද නේෂන්" පුවත්පතේ ප්‍රධාන කර්තෘ  ලලිත් අලහකෝන් සමඟ බම්බලපිටියේ ආපනශාලාවකින් රාත්‍රී ආහාරයද ගෙන දෙහිවල ප්‍රදේශයේ පිහිටි සිය නිවසට යාමට පිටත්ව ඇත. 
 
නිවසට ආසන්න වෙද්දී තම බිරිඳට දුරකථන ඇමතුමක්‌ ලබා දී නිවසේ දොර විවෘත කර තබන ලෙස දැනුම් දීම කීත් නොයාර්ගේ පුරුද්දක්‌ව පැවති අතර එදිනද සුපුරුදු දැනුම්දීම කර තිබුණි. කීත් නොයාර් තම නිවස  අසල මෝටර් රථය නතර කර ගේට්‌ටුව විවෘත කිරීමට සූදානම්  වන විට  අඳුරේ සැඟවී සිටි නාඳුනන පිරිසක්‌ කිත් නොයාර් වෙත කඩාපැන පහර පිට පහර දී තිබූ අතර කීත් නොයාර්ද ඔවුන් සමඟ පොර බැදීම  නිසා පිස්‌තෝල මිටකින් කීත් නොයාර්ට පහර දී ඔහුව අඩපණ කර සුදු වෑන්  රියකින්  පැහැර ගෙන ගොස් තිබුණි.  
 
සුළු මොහොතකට පෙර තමන්ට දුරකථනයෙන් ඇමතුමක්‌ දුන් තම සැමියා නිවසට නොපැමිණීම පිළිබඳව කීත්ගේ බිරිඳ විමසිලිමත් වී  ඇති අතර නිවස ඉදිරිපිට නවතා තිබූ මෝටර් රථය වෙත ගිය ඇය කීත් නොයාර් ගැන සොයන්නට පටන් ගෙන ඇත.  ඒ වන විටත් මෝටර් රථය පණ ගන්වා තිබූ අතර එහි දොරවල් ද විවෘත කර තිබී ඇත. 
 
තම සැමියාට කිසියම් විපතක්‌ සිදු වී ඇති බවට තේරුම් ගත්  කීත් නොයර්ගේ බිරිඳ   කීත්ගේ ජංගම දුරකථනයට ඇමතුමක්‌ ලබා ගෙන තිබූ අතර හෙත් ඒ වන විට එය ක්‍රියා විරහිත කර තිබිණි.  ඒ අනුව  රිවිර මීඩියා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ක්‍රිශාන්ත කුරේ සහ "ද නේෂන්" පුවත්පතේ ප්‍රධාන කර්තෘ ලලිත් අලහකෝන් ට දුරකථන මගින් කීත් නොයාර්ට යම්කිසි අනතුරක සිදුව ඇති බව ඔහුගේ බිරිඳ පවසා තිබුණි. ඒ මොහොතේම ක්‍රිශාන්ත කුරේ ඇතුළු පිරිස කීත් නොයාර් සොයන්නට  පටන් ගෙන තිබූ අතර දන්නා හඳුනන දේශපාලකයන්ට පවා මේ පිළිබඳව ඉතා ඉක්මණින්  දැනුම් දීමට කටයුතු කර තිබුණි.
 
මේ වගේ ආණ්ඩුවක ඉන්නත් ලැජ්ජයි ජනාධිපතිතුමා 
 
ඒ වන විට කරු ජයසූරිය රාජපක්ෂ  ආණ්ඩුවේ කැබිනට ඇමතිධූරයක් දැරූ  අතර ක්‍රිෂාන්ත කුරේ කරු ජයසූරිය මහතාගේ ඉතාම කිට්ටුවන්තයෙකි. මේ දැන හැඳුනුම්කම  මත සිය මාධ්‍ය සගයා වන කීත් නොයාර්ට යම්  අනතුරක සිදුව ඇති බවට කරු ජයසුරිය මහතා වෙත ක්‍රිශාන්ත කුරේ දැනුම් දී තිබේ. 
 
ඒ අනුව කරු ජයසූරිය මහතා  කීත් නොයාර් සම්බන්ධයෙන් එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ කතා කර ඇති අතර ආණ්ඩුවේ මැදිහත්  වීමකින් කීත් නොයාර්ට යම් අනතුරක සිදුව ඇත්නම් එවැනි ආණ්ඩුවක රැඳී සිටිමත් ලැජ්ජාවට කරුණක් බවට කරු ජයසූරිය මහතා අවධාරණයෙන් පවසා ඇති බවද වාර්තා වෙයි. 
 
කරු ජයසූරිය මහතා ඒ අවස්ථාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත දැක්වූ ප්‍රතිචාරය නිසා කීත් නොයාර්ව නිදහස් කිරීමට එකී අළුගෝසුවන් තීරණය කර ඇති බවයි මේ වන විට අනාවරණ වී ඇත්තේ. 
 
ඒ අනුව මාධ්‍යවේදී කීත් නොයාර්, ප්‍රගීත් එක්නැලිගොඩ,ලසන්ත වික්‍රමතුංග  ඛේදවාචකයෙන් ගැලවී ඔහුගේ දිවි බේරී තිබුණි. එදා කරු ජයසූරිය මහතා නොවෙන්නට කීත් නොයාර්ගේ ජීවිතය පිළිබඳවද විශ්වාසයක් තැබීමට නොහැකි වනු ඇති බව තතු දන්නෝ පවසා තිබේ. 
 
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරික්ෂණ  වලදී එකී සියලු කාරණා මේ වන විටත් තහවුරු කර ගෙන ඇති අතර තමන්ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අවශ්‍ය බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කතානායක කරු ජයසූරිය මහතාට පවසා ඇති මොහොතේ පෙරළා කතානායකවරයා සඳහන් කර ඇත්තේ සිද්ධ වූ දේවල් ගැන සියල්ල ජනතාව දැනගත යුතු බවයි.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top