1150 x 80 px
අර්ජුන් ඇලෝසියස්ට රට වටෙන්ම පොලු

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පත්කළ විශේෂ ජනාධිපති කොමිසමේ වාර්තාවට අනුව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම සහ එහි හිමිකරු අර්ජුන් ඇලෝසියස් මහතා අදාල වංචාවට වගකිව යුතු බව හෙලි වී තිබේ. ඒ අනුව රජයට සිදු වූ පාඩුව වූ රුපියල් මිලියන 11,145 ක මුදල ඇලෝසියස් මහතාගෙන් අයකර ගතයුතු බව ද කොමිසම නිර්දේශ කරයි.


කෙසේ වෙතත් අර්ජුන් ඇලෝසියස් මහතා මේ වනවිට රජයට සිදු වී ඇති පාඩුව පියවීමට තබා සිය ව්‍යාපාර පවත්වාගෙන යාමට හෝ නොහැකි තත්වයට පත්ව දැඩි මුල්‍ය අර්බුදයක සිර වී ඇති බව වාර්තා වේ.
දේශපාලනඥයන්, රාජ්‍ය නිළධාරීන් ඇලෝසියස්ව රවටලා

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් තොරතුරු හෙළිවීමත් සමග දේශපාලනඥයන්, සහ රාජ්‍ය නිළධාරීන් රැසක් අර්ජුන් ඇලෝසියස් රවටා මුදල් ලබාගෙන ඇති අතර බැඳුම්කර චෝදනාවෙන් නිදහස් වීම සඳහා ඔහු අදාල පුද්ගලයන්ට මිලියන ගණන් ලබා දී තිබේ. එම ඇමතිවරුන් සහ රාජ්‍ය නිළධාරීන් ඔහුව රවටා ඇත්තේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවලින් ඔහුව ගලවා ගැනීමට ආණ්ඩුවේ ප්‍රභලයන්ගේ හා නීතිපති දෙපාර්තමේන්තුවේ නිළධාරීන්ගේ සහාය ලබාගත හැකි බව පවසමිනි.

අර්ජුන් ඇලෝසියස් මහතාට අයත් මෙන්ඩිස් සමාගම හරහා මෙම පුද්ගලයන් බොහෝ දෙනෙකුට මුදල් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ. රජයට සිදු වූ පාඩුව පියවීම සඳහා මෙන්ඩිස් සමාගම පවරා ගැනීමට ආණ්ඩුව තීරණය කර ඇති අතර එසේ වුවහොත් ඇලෝසියස් මහතාගේ ව්‍යාපාරය කටයුතු සියල්ලක්ම ඔහුට අහිමි වනු ඇත.

කෙසේ වෙතත් ඔහුට ඉන් කිසිදු සහනයක් නොලැබුණු අතර මේ වනවිට බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම සහ අර්ජුන් ඇලෝසියස් මහතා සෘජුවම වැරදිකරු වනු ඇත.

මාධ්‍ය ආයතන සඳහා බිලියන ගණනක්
චෝදනාවලින් ගැලවීම සඳහා ඔහු මාධ්‍ය ආයතන වෙනුවෙන්ද බිලියන ගණනක් වැය කළ අතර එයද අවසානයේ ගඟට ඉනි කැපීමක් බවට පත්ව තිබේ.

මාධ්‍ය ආයතන හිමිකරුවන් කිහිප දෙනෙකු පසුගිය කාලයේදී අර්ජුන් ඇලෝසියස් රවටමින් ඔහුගේ මුදල් සිය මාධ්‍ය ආයතන සඳහා පොම්ප කළ අතර විශාල මුදල් වියදම් කරමින් නව පුවත්පත් ආයතනයක් ද ආරම්භ කළේය. ඔහු විසින් මුදල් පොම්ප කළ එක්තරා ගුවන් විදුලි නාලිකාවක ප්‍රධානියෙකු ඔහුට සෘජුවම පවසා ඇත්තේ මෙම සිදුවීමේදී කිසිදු සහායක් ලබාදිය නොහැකි බවයි. වැසීයාමට ආසන්නව තිබූ අදාල ගුවන් විදුලි නාලිකාව සඳහා අර්ජුන් ඇලෝසියස් රුපියල් මිලියන ගණනක් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

විවිධ පුවත්පත් ආයතනවල සේවය කළ මාධ්‍යවේදීන් රැසකට ඉතා ඉහළ වැටුප් සහිත රැකියා ලබාදෙමින් ඇලෝසියස් මහතා ආරම්භ කළ පුවත්පත මගින් ද ඔහුට කිසිදු සහනයක් ලබාගැනීමට නොහැකි වූ අතර එම පුවත්පත සඳහා ඔහු මේ වනවිට රුපියල් බිලියන ගණනක් වැය කර තිබේ.

ජනයුගය ලප් තැනම ලොප්
තමන්ට එල්ල වන චෝදනාවලට පිළිතුරු ලබාදීම සඳහා සහ තමන් වෙනුවෙන් සමාජය තුළ මතයක් නිර්මාණය කිරීම සඳහා ඔහු ජනයුගය පුවත්පත ආරම්භ කළද ඉන් කිසිදු සහායක් නොලැබෙන බව ඔහු තෙරුම් ගන්නා විට ද ඔහු විශාල මුදලක් ඒ වෙනුවෙන් වැය කර තිබිණි. ඇලෝසියස් මහතා සිය ව්‍යාපාරික සගයන් සමග පවසා ඇත්තේ පුවත්පතට සම්බන්ධ වූ පුද්ගලයන් තමන් රවටා බිලියන ගණනක් මුදල් නාස්ති කළ බවයි.

මේ වනවිට පුවත්පතට එක් වූ මාධ්‍යවේදීන් රැසක් ඉන් ඉවත්ව ඇති අතර හිතවතුන්ගෙන් ලබාගන්නා ණය මුදල් මත පුවත්පත පවත්වාගෙන යමින් සිටී. ඒ අනුව ඉතා නුදුරේදීම එම පුවත්පත ද වැසීයාමට නියමිතය.

මේ අතර මහ බැංකුව විසින් ඇලෝසියස් මහතාට අයත් රුපියල් මිලියන 1,200 ක මුදලක් මහ බැංකුවේ රඳවාගෙන ඇති අතර එය බොහෝ දුරට නිදහස් නොකරනු ඇති බව ද වාර්තා වේ.

බැඳුම්කර චෝදනාව දඩමීමා කරගනිමින් මුදල් ලබාගෙන පුද්ගලන්, ජනාධිපති කොමිසමේ වාර්තාව නිකුත් කිරීමත් සමගම ඇලෝසියස් මහතාව මගහරිමින් සිටී. මේ වනවිට ඔහුට සිය ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා හෝ මුල්‍ය ශක්තියක් නොමැති අතර ඔහුගේ සමීප හිතවතුන් ලබාදෙන මුදල් මත යැපීමට ඔහුට සිදුව තිබේ.

Share this article

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top