1150 x 80 px
පළමු ටෙස්ට් තරගය ජය-පැරදුමෙන් තොරව අවසන්
බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර අද අවසන් වූ පළමු ටෙස්ට් තරගය ජය-පරාජයෙන් තොරව කෙළවර විය. අද තරගය නිමාවට පත්වන විට බංග්ලාදේශ කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා ඕවර් 100 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 307 ක් රැස් කරගෙන තිබිණි.
පසුගිය 31 වැනිදා ආරම්භ වූ මෙම තරගයේ මුලින් පන්දුවට පහරදුන් බංග්ලාදේශය සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 513 ක් ලබාගත් අතර මොමිනුල් හක් ලකුණු 176 ක් වාර්තා කිරීමට සමත් විය. ඊට අමතරව මුෂ්ෆිකර් රහීම් ලකුණු 92 ක් සහ මොහමදුල්ලා ලකුණු 83 ක් වාර්තා කළහ.
 
වෙනදා බංග්ලාදේශයට එරෙහිව දස්කම් දක්වන ශ්‍රී ලංකා පන්දු යවන්නන් මෙම තරගයේදී දැඩි ප්‍රහාරයකට ලක්වූ අතර සුරංග ලක්මාල් සහ රංගන හේරත් කඩුලු 03 බැගින් දවාගැනීමට සමත් වූහ.
 
පිතිකරුවන්ට පාරාදීසයක් බඳු චිතගොන් තනතීරුවේ සිය පළමු ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා පිතිකරුවන් කඩුලු 09 ක් දැවී ලකුණු 713 ක් ලබාගැනීමට සමත් විය. ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස ලකුණු ලබාගැනීමට පෙරම දිමුත් කරුණාරත්න දැවීගිය අතර ඉන්පසු පිටියේ එක්වූ ධනංජය ද සිල්වා සහ කුසල් මෙන්ඩිස් ලකුණු 308 ක සබඳතාවයක් පැවැත්වීමට සමත් වූහ. ධනංජය ද සිල්වා ලකුණු 173 ක් ලබා ගැනීමට සමත් වූ අතර කුසල් මෙන්ඩිස් අනවශ්‍ය පහරක් එල්ල කිරීමට යාම හේතුවෙන් ලකුණු 196 කට දැවී ගියේ සිය කුළුඳුල් ද්විත්ව ශතකය දෙවැනි වතාවටත් අහිමි කර ගනිමිනි. සිය දෙවැනි ටෙස්ට් තරගයට මුහුණ දුන් රොෂේන් සිල්වා පළමු ටෙස්ට් ශතකය වාර්තා කරමින් ලකුණු 109 ක් ලබාගත් අතර නායක චන්දිමාල් ලකුණු 87 ක් සහ දික්වැල්ල වේගවත් ලකුණු 62 ක් වාර්තා කිරීමට සමත් වූහ. පන්දු යැවීමේදී බංග්ලාදේශය වෙනුවෙන් ටයිජුල් ඉස්ලාම් කඩුලු 4 ක් සහ මෙහෙදි හසන් කඩුලු 3 ක් බිඳ හෙළූහ.
 
බංග්ලාදේශ දෙවැනි ඉනිමේදීද සාර්ථක වූ මොමිනුල් හක් ලකුණු 105 ක් ලබාගත්තේ ඉනිම දෙකේදීම ශතක වාර්තා කිරීමේ දස්කම සිදුකළ පළමු බංග්ලාදේශ පිතිකරුවා ලෙස වාර්තාවක් ද පිහිටුවමිනි. එසේම ඔහු තරගය පුරා වාර්තා කළ ලකුණු 281 බංග්ලාදේශ පිතිකරුවෙකු තරගයකදී ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණය ද වේ. ලිටන් දාස් ලකුණු 94 ක දැවීගිය අතර රංගන හේරත් කඩුලු 2 ක් බිඳ හෙළීය.
 
ඉනිම දෙකේදීම ශතක වාර්තා කළ මොමිනුල් හක් තරගයේ වීරයා සම්මානය හිමිකර ගත්තේය. දෙරට අතර දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය පෙබරවාරි 08 වැනිදා ඩකාහිදී ආරම්භ වේ.
 

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top