Tag: සරත් ගනේගොඩ

  • ශ්‍රී ලංකන් ගුවන් සේවය “දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවය” ලෙස ජාත්‍යන්තර සම්මානයට පාත්‍රවෙයි !

    ශ්‍රී ලංකන් ගුවන් සේවය “දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවය” ලෙස ජාත්‍යන්තර සම්මානයට පාත්‍රවෙයි !

    ශ්‍රී ලංකන් ගුවන් සේවය පසුගියදා ඉන්දියාවේ දිල්ලි නුවරදී පැවැත්වුණු ‘International Tourism Conclave and Travel Awards’ හිදී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවයට හිමි සම්මානය දිනාගෙන තිබේ.

    මෙය දකුණු ආසියාවත් ලෝකයත් යා කරමින්, ශ්‍රී ලංකන් ගුවන් සේවයටම ආවේණික වූ සුවිශේෂී සත්කාරකත්වය ඔස්සේ මගීන්ට විශිෂ්ටතම සේවාවක් සැලසීම වෙනුවෙන් හිමි වූ සුවිශේෂී සම්මානයකි. විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණයන්ගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් විසින් මෙම සම්මාන උළෙලේ ජයග්‍රාහකයන් තීරණය කර ඇත.

    මේ පිළිබඳ අදහස් පළ කරමින් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වාණිජ ප්‍රධානී දිමුතු තෙන්නකෝන් මහතා පැවසුවේ “දකුණු ආසියාවේ ගුවන් මගීන්ට විශිෂ්ටතම සේවාවක් ලබාදීම සඳහා අප දරන උත්සාහය බෙහෙවින් සාර්ථක වී ඇති බවට මෙම සම්මානය මනා සාක්ෂියක්. ප්‍රධාන ගමනාන්ත රාශියක් වෙත ගුවන් ගමන් ක්‍රියාත්මක කරමින් අප ලබාදෙන විශිෂ්ට සේවාව නිසා මෙම කලාපයේ ජනප්‍රියම ගුවන් සේවයක් බවට පත්වීමට අපට හැකි වී තිබෙනවා. මෙම සම්මානය, අපගේ මගීන්ට පෙරටත් වඩාත් උසස් සේවාවක් ලබාදීම සඳහා අප දිරිගන්වනු ඇති බවට සැකයක් නැහැ” යනුවෙනි.

    ශ්‍රී ලංකන් ගුවන් සේවය මේ වන විට ශ්‍රී ලංකාව සහ ඉන්දියාවේ දිල්ලි, මුම්බායි, චෙන්නායි හා බෙංගලූරු වැනි ප්‍රධාන නගර අතර මෙන්ම Tier-2 කාණ්ඩයේ උප ප්‍රධාන නගර අතර සතියකට ගුවන් ගමන් වාර 90 කට ආසන්න සංඛ්‍යාවක් ක්‍රියාත්මක කරයි. ඉන්දියාවේ තිරුචිරපල්ලි වෙතද ශ්‍රීලංකන් ගුවන් සේවය සතියකට වාර 8 ක් පියාසර කරන අතර, එම නගරය වෙත ගුවන් ගමන් ආරම්භ කළ ප්‍රථම ජාත්‍යන්තර ගුවන් සේවය ශ්‍රීලංකන් ගුවන් සේවය වීම විශේෂත්වයකි.

    මීට අමතරව ශ්‍රී ලංකන් ගුවන් සේවය මදුරෙයි වෙත සතියකට ගුවන් ගමන් වාර 6 ක්ද, හයිද්‍රාබාද් සහ තිරුවනන්තපුරම් වෙත සතියකට ගුවන් ගමන් වාර 4 ක්ද ක්‍රියාත්මක කරයි. තවද කේරළයේ කොචි නගරයේ සිට ශ්‍රී ලංකාව දක්වා දිනපතා ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් ගමන් ක්‍රියාත්මක වේ. මේ නිසා ඉන්දියාවේ ප්‍රධාන නගර මෙන්ම උප ප්‍රධාන නගර වෙත පහසුවෙන් ගමන් කිරීමට සංචාරකයන්ට අවස්ථාව උදා කර දෙමින් ඉන්දියාවේ සංචාරක කර්මාන්තයේ වර්ධනයට කැපීපෙනෙන දායකත්වයක් ලබාදෙන ගුවන් සේවයක් ලෙස ශ්‍රීලංකන් ගුවන් සේවය නොයෙක් වර ඇගයීමට ලක් වී ඇත.

    ඉන්දියාව යනු ශ්‍රී ලංකාවට වැඩියෙන්ම සංචාරකයන් පැමිණෙන රට වන අතර, ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් අතරින් පහෙන් එකක්ම ඉන්දියානු ජාතිකයන් ලෙස සැලකේ. මේ අතරින් විශේෂයෙන්ම චෙන්නායි, බෙංගලූරු, දිල්ලි සහ මුම්බායි වැනි නගරවල සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රමුතතම තේරීම බවට පත් වී ඇත්තේ ශ්‍රී ලංකන් ගුවන් සේවයයි. මේ නිසා ඉන්දියාව ශ්‍රීලංකන් ගුවන් සේවයට වාණිජ හා සංස්කෘතික වශයෙන් අතිශය වැදගත් වෙළඳපොළක් බවට පත් වී ඇත.

    දකුණු ආසියාව තුළ ශ්‍ රීලංකන් ගුවන් සේවයේ ගුවන් ගමන් සඳහා Wide-body සහ Narrow-body යන කාණ්ඩ දෙකටම අයත් ගුවන් යානා භාවිතා වේ. මෙම ගුවන් යානාවල Business Class සහ Economy Class ආසන ඇතුළත්ය. මෙම ගුවන් යානාවල ගමන් කරන මගීන්ට, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සම්මානනීය ශ්‍රී ලාංකික ආහාරපාන එකතුව ඇතුළුව විවිධ සම්ප්‍රදායන්ට අයත් ප්‍රණීත ආහාරපාන රස විඳීමට අවස්ථාව හිමි වේ.

    මීට අමතරව ඉන්දියාව ඉලක්ක කරගෙන සැලසුම් කළ සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහන් පෙළක්ද ශ්‍රීලංකන් ගුවන් සේවය මගින් ක්‍රියාවට නංවා ඇත. රාමායණයේ සඳහන් ස්ථාන ආවරණය වන පරිදි සැලසුම් කර ක්‍රියාවට නැංවූ අතිසාර්ථක Ramayana Trail වැඩසටහන ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී. තවද ඉන්දියාව වෙනුවෙන් විශේෂ නිවාඩු පැකේජ සහ විශේෂ දීමනා රාශියක්ද ශ්‍රීලංකන් ගුවන් සේවය මගින් හඳුන්වා දී තිබේ.

    මීට අමතරව ව්‍යාපාරික රැස්වීම්, උත්සව හා ප්‍රදර්ශන ආදිය වෙනුවෙන් පැමිණෙන MICE (Meetings, Incentives, Conferences, and Exhibitions) කාණ්ඩයේ සංචාරකයන් සහ, ශ්‍රී ලංකාවේදී තම විවාහ මංගලෝත්සව පැවැත්වීමට බලාපොරොත්තු වන්නන් වෙනුවෙන් විශේෂ විසඳුම් හා සේවාවන් එකතුවක් හඳුන්වා දීමටද ශ්‍රීලංකන් ගුවන් සේවය පියවර ගෙන ඇත.

    දීර්ඝ කාලයක් තිස්සේ පාඩු ලබමින් පැවති ශ්‍රී ලංකන් ගුවන් සේවය එහි වර්තමාන සභාපති සරත් ගනේගොඩ මහතා ඇතුළු කළමනාකාරීත්වය යටතේ ගුවන් යානා සංඛ්‍යාව සහ ගමන්වාර සංඛ්‍යාව ඉහළ නංවා ගනිමින් මූල්‍යමය තත්වය ද ස්ථාවර කරගැනීමේ මාර්ගයට අවතීර්ණව සාර්ථක ලෙස ඉදිරියට ගමන් කරමින් තිබේ.

  • අපි දැන් සීයට සීයක් ස්වාධීන ආයතනයක්. අපිට අපේ දෙපයින් නැගී සිටින්න පුළුවන් – ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති

    අපි දැන් සීයට සීයක් ස්වාධීන ආයතනයක්. අපිට අපේ දෙපයින් නැගී සිටින්න පුළුවන් – ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති

    රජයට අයත් ශ්‍රී ලංකන් ගුවන් සමාගම මේ වනවිට මහාභාණ්ඩාරය මත යැපෙන තත්වයෙන් ඉවත්ව ස්වාධීනව නැගී සිටිය හැකි මට්ටමට පැමිණ ඇති බව එම ගුවන් සමාගමේ සභාපති සරත් ගනේගොඩ මහතා පවසයි.

    “අපට දැන් ගුවන් යානා 23ක් තියෙනවා මේකත් එක්ක. පුළුල් බඳ යානා 10 යි, පටු බඳ යානා 13 යි. ඒකත් එක්ක දැන් ගමනාන්ත 37කට විතර ක්‍රියාත්මක වෙනවා, රටවල් 24ක මං හිතන්නෙ. අලුත් ගුවන් යානයත් එක්ක අපි හිතනවා අපට ඉතාමත් කාර්යක්ෂම සේවයක් දෙන්න පුළුවන් කියලා අපේ මගීන්ට. නිවැරදි වේලාවට පැමිණීම් අපට වැඩිදියුණු කරන්න පුළුවන් වෙයි. මේක දැකපුවාම ඔබට පේනවා හොඳින් නවීකරණය කරන ලද යානයක්. ඒකත් එක්ක අපට මගීන්ට වඩා හොඳ සේවාවක් දැන් තියෙනවාට වඩා ලබාදෙන්න පුළුවන් වෙයි”

    ප්‍රශ්නය – ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අනාගතය පිළිබඳව රටේ ජනතාවට මොන වගේ අදහසක්ද බලාපොරොත්තු වෙන්න පුළුවන් ?

    “රටේ ජනතාවටත් ඉස්සෙල්ලා අපට බලාපොරොත්තුව දෙන්න ඕනෙ මේකෙ ඉන්න 6,000ක් සේවක පිරිසට. කේටරින් එකේ තව 900ක් ඉන්නවා. ඒ කියන්නෙ පවුල් 6000ක්, ඒගොල්ලොන්ගෙ දරුවන්, අපට ඔක්කොටම ඉස්සෙල්ලා ඒගොල්ලොන්ට දෙන්න ඕනෙ බලාපොරොත්තුව. අපි හිතනවා දැන් ඒගොල්ලොන්ට ලොකු බලාපොරොත්තුවක් තියෙනවා කියලා. රටේ ජනතාවට දැනගන්න පුළුවන් වෙයි මේකෙ ප්‍රතිලාභ. අපි දැන් මහාභාණ්ඩාගාරයෙන් යැපෙන්නෙ නෑ. අපට අවශ්‍ය නෑ මහාභාණ්ඩාගාරය මත යැපෙන්න. අපි දැන් 100%ක් ස්වාධීන ආයතනයක්. ඔබ දන්නවා මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම ගැන, එතැනදී යම් සීමාවන් තියෙනවා මහාභාණ්ඩාගාරයට රාජ්‍ය ව්‍යාපාරවලට සහාය දීමේදී. අපි හිතනවා දැන් අපට අපේම දෙපයින් නැගී සිටින්න පුළුවන් කියලා. ඒ කියන්නෙ රටේ ජනතාවට බරක් වෙන්නෙ නැතිව අපි බලාපොරොත්තු වෙනවා මේක කළමනාකරණය කරගන්න”

    සරත් ගනේගොඩ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අලුතින් එක්වුණු A 330 – 200 පුළුල් බඳ ගුවන් යානය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණි අවස්ථාවේදී එය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

  • ජනපති අනුර සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති ඇතුළු ඉහළ නිලධාරීන් අතර හමුවක්

    ජනපති අනුර සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති ඇතුළු ඉහළ නිලධාරීන් අතර හමුවක්

    සටහන – රුවන් නෙළුගොල්ල

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉහළ නිලධාරීන් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (අප්‍රේල් 08) පස්වරුවේ පැවැත්විණි.

    ශ්‍රී ලංකන් ගුවන් සමාගම වඩා ලාභදායී රාජ්‍ය ව්‍යාපාරයක් බවට පත් කිරීමට අදාළ යෝජනා පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ණය කළමනාකරණය සඳහා ගත හැකි කෙටි කාලීන සහ දිගු කාලීන විසඳුම් පිළිබඳවද අවධානය යොමු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

    නව ආයෝජන අවස්ථා පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර ශ්‍රී ලංකන් ගුවන් සේවය ලාභදායී ආයතනයක් බවට පත් කිරීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

    ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මෙහෙයුම් ලාභ ලැබුවද , වැරදි කළමනාකරණ තීරණ හේතුවෙන් පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් අතර ඉහළින්ම ඇති ආයතනයකි. එම ආයතනය පෞද්ගලීකරණය කිරීමට පසුගිය ආණ්ඩුව විසින් ගන්නා ලද තීන්දුව වෙනස් කරමින් වත්මන් රජය එය තවදුරටත් ජාතික ගුවන් සේවය ලෙස පවත්වාගෙන යාමටත්, නව කළමනාකරණයක් යටතේ ලාභ ලබන ආයතනයක් බවට පරිවර්තනය කර ඉදිරියට පවත්වාගෙන යාමටත් තීරණය කර තිබේ.

    කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලංගමුව යන මහත්වරුද, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති සරත් ගනේගොඩ මහතා ඇතුළු ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ උසස් නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

  • මසකට ඩොලර් ලක්ෂ 9ක් ගෙවමින් අවුරුදු 3ක් තිස්සේ බිම තිබුණු ශ්‍රී ලංකන් ගුවන් යානා තුනෙන් එකක් යළි ගුවනට !

    මසකට ඩොලර් ලක්ෂ 9ක් ගෙවමින් අවුරුදු 3ක් තිස්සේ බිම තිබුණු ශ්‍රී ලංකන් ගුවන් යානා තුනෙන් එකක් යළි ගුවනට !

    සටහන – රුවන් නෙළුගොල්ල

    මාසයකට ඇමරිකානු ඩොලර් ලක්ෂ 9ක් බැගින් බදුකුලී ගෙවමින් පසුගිය වසර තුනක් තිස්සේ බිම්ගත කර තිබුණු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානා තුන අතරින් එකක් මේ වනවිටත් අලුත්වැඩියා කර යළි ගුවන් ඇණියට එකතු කර ඇති බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

    ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නව සභාපති සරත් ගනේගොඩ මහතා ඇතුළු නව නායකත්වයේ මෙහෙයවීමෙන් මෙසේ ගුවන් සේවය දියුණු කරමින් මුදල් උපයාගෙන එම ආයතනය නඟා සිටුවීමේ කටයුතු සිදුකෙරෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

    “ශ්‍රීලංකන් ගුවන් සමාගම වහලා, විකුණලා, විනාශ කරලා තිබුණේ. ඒ වගේම මගේ දැනීමේ හැටියට ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් යානා තුනක් අවුරුදු 03ක් තිස්සේ ග්‍රවුන්ඩ් කරලා තිබුණා එන්ජිම නැතුව. අවුරුදු 03ක් තිස්සේ මාසයකට ඩොලර් ලක්ෂ 09 ගාණේ යානා බිම තියාගෙන ගෙව්වා රනිල්ලාගේ පසුගිය ආණ්ඩු. එහෙම තමයි ඒ අය හොඳටම කළේ. දැන් මම දන්න තරමින් ගනේගොඩ මහතා ඇතුළු අලුත් නායකයෝ ඇවිල්ලා ඒ අය යම් ආකාරයකට මුදල් හොයාගෙන බිම තියෙන යානාවලින් එකක් දැනට ඔපරේට් වෙනවා, තව දෙකක් ඒ අය අප්‍රේල්වලට කලින් ඔපරේට් කරන්න යනවා. ඉතින් ඒ නිසා ඒ අය ශ්‍රී ලංකන් ගුවන් සමාගම විකුණන්නේ නැතිව ඉදිරියට යන්න සැලැස්මක ඉන්නේ”

    අමාත්‍ය බිමල් රත්නායක මහතා මේ බව පැවසුවේ වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.