Tag: අධ්‍යාපනය

  • පහසුකම් ගාස්තුත් ඉහළ යන ලකුණු !

    පහසුකම් ගාස්තුත් ඉහළ යන ලකුණු !

    පාසල් සංවර්ධන සමිති මගින් අය කරන පහසුකම් ගාස්තු වැඩිකිරීමේ සූදානමක් පවතින බව රාජ්‍ය, පළාත් රාජ්‍ය හා රජයේ වෘත්තීය සමිති සම්මේලනය පවසයි.

    එම සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් කේ. තිලකරත්න මහතා මේ බව පැවසුවේ ඊයේ (29) මහනුවරදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

    මෙසේ පහසුකම් ගාස්තු වැඩිකිරීමට තීරණය කර ඇත්තේ විදුලි බිල් ඉහළ යාම නිසා බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

    RN

  • දැනුම කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩනගනවා වෙනුවට රජය දැනුම ක්ෂය කරන රාජ්‍ය පාලනයක් ගෙන යනවා – සජිත්

    දැනුම කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩනගනවා වෙනුවට රජය දැනුම ක්ෂය කරන රාජ්‍ය පාලනයක් ගෙන යනවා – සජිත්

    වත්මන් බංකොලොත්භාවයෙන් රට ගොඩ ඒමට නම් දැනුම කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩ නැගිය යුතු බවත් දැනුම උගත්කම බුද්ධිය කේන්ද්‍ර කර ගෙන මේ වැටි සිටින ප්‍රපාතයෙන් ගොඩඒමට සිදුවිය යුතු වුවත් අද සිදුවන්නේ දැනුම උගත්කම හා බුද්ධිය විනාශ කරන රාජ්‍ය පාලනයක් ක්ෂය කරන හා ශූන්‍ය කර රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක වීම බවත් උසස් අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම කාබාසිනියා කරන රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    වත්මන් රජය උසස් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන ප්‍රතිපාදන කපා පහසුකම් රහිතව විශ්වවිද්‍යාලවලට සිසුන් බදවා ගැනීම වැඩි කර ඇති බවත් ඊට අමතරව කථිකාචාර්යවරුන්, මහාචාර්යවරුන්, ආචාර්යවරුන් ප්‍රමුඛ මේ රටේ වෘත්තීයවේදීන්ගේ වැටුපට අධික බදු බරක් යොමු කර බුද්ධි ගලනය ප්‍රවර්ධනය කරන බවත් බුද්ධිය සහිත ඒ උගතුන් බුද්ධිමතුන් රදවා ගැනීම නොව ඒ අයව රට එපා කරවා රටින් එලවීමේ රාජ්‍ය ක්‍රමවේදයක් රටේ ක්‍රියාත්මක බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් සඳහන් කළේය.

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (19) පාර්ලිමේන්තුවේදී විශ්වවිද්‍යාල පද්ධතියේ ගැටලු සම්බන්ධයෙන් සිදු කළ කතාවේදීය.

    2018 වසරේ 30000ක්, 2022 වන විට 45000ක් සහ 2023 වසරේ 59000ක් විශ්වවිද්‍යාල සදහා බදවා ගැනීමට නියමිත වුවත් පහසුකම් වැඩි නොවී ඇති බවත් විශ්වවිද්‍යාලවල ඇති මානව සම්පත හා භෞතික සම්පත් ප්‍රමාණවත් නොවන බවත් මෙවැනි සිසුන් ප්‍රමාණයක් සදහා ප්‍රායෝගිකව කථිකාචාර්යවරුන් 6200ක් සිටින බවත් විපක්ෂ නායකවරයා අවධාරණයේ කළේය. එසේම සිටින කථිකාචාර්යවරුන්ගෙන් 700ත් 800ත් අතර ප්‍රමාණයක් රැකියාවෙන් ඉවත් වී ඇති බවත් 200ත් 300ත් අතර ප්‍රමාණයක් නිවාඩු ගොස් ඇති බවත් තවත් පිරිසක් විදේශීය පුහුණුවීම් ගොස් ඇති බවත් 12900ක් සිටිය යුතු තැන සිටින්නේ 5900ක් බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

    මේ හිඟ ප්‍රමාණයට බාහිර කථිකාචාර්යවරුන් බදවා ගැනීමට අවශ්‍ය වුවත් රජය ඒ සදහා මුදල් වෙන් නොකරන බවත් මෙසේ කථිකාචාර්යවරුන් බදවා ගැනීමේ දි බරපතල වැටුප් විෂමතා රැසක් ඇති බවත් බුද්ධිය කේන්ද්‍ර කර ගත් ආර්ථිකය ගොඩ නගන්න අපි හැමෝම එකට එකතු වී කටයුතු කල යුතු වුවත් රජය ඊට පරස්පර ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

    ්තවද ජනාධිපති මේ සදහා මාස 6ක විසදුමක් ලබා දෙන පැවසුවත් එය බොරුවක් වී ඇති බවත් මේ පචකාර ජනතාව අන්දවන මේ රාජ්‍ය පාලනයෙන් රටට සෙතක් නොවන බවත් පැවසූ විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේ රජය බදු පැනවීමෙන් අපේක්ෂිත බිලියන 100ක ආදායම 110 දක්වා වැඩි වී ඇති බව යි. මෙවැනි බදු ආදායම් ඉක්මවා ගියත් රජය තවමත් මෙම බදු පැනවීම අහෝසි කිරිමට හෝ තීරණය කර නොමැති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී ප්‍රකාශ කළේය.

    RN

  • SLIIT පෞද්ගලික විශ්වවිද්‍යාලයේ මහනුවර ශාඛාව ජනපති රනිල්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ !

    SLIIT පෞද්ගලික විශ්වවිද්‍යාලයේ මහනුවර ශාඛාව ජනපති රනිල්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ !

    ශ්‍රී ලංකාවට ආර්ථික සමෘද්ධිය උදාකර ගැනීමට ඇති එකම මාර්ග වන්නේ මෙරට භූගෝලීය පිහිටීම සහ මානව සම්පත පමණක් බව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට ගොඩනැගීම වෙනුවෙන් මානව සම්පත උපරිමයෙන් භාවිතයට ගැනීම අරමුණ බව පැවසීය.

    සිංගප්පූරුව සහ හොංකොං වැනි රටවල් එම දියුණුව උදාකරගෙන ඇත්තේ මිනිස් බලය නිසි ලෙස භාවිතයට ගැනීමෙන් බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ශ්‍රි ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ (SLIIT) මහනුවර ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (09) පස්වරුවේ එක්වෙමිනි.

    මහල් හතකින් සමන්විත මෙම පෞද්ගලික විශ්වවිද්‍යාලය විද්‍යාගාර පහසුකම්, සම්මන්ත්‍රණ ශාලා, පර්යේෂණගාර මෙන්ම නේවාසික පහසුකම්වලින් ද සමන්විතය.

    සමරු ඵලකය නිරාවරණය කර විශ්වවිද්‍යාලය විවෘත කළ ජනාධිපතිවරයා අනතුරුව විශ්වවිද්‍යාල පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් සිසු සිසුවියන්ගේ තොරතුරු විමසීය.

    ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ විමසු ජනාධිපතිවරයා සිසුන්ගේ දක්ෂතා දැක බලා ගැනීමට ද එක් විය.

    අනතුරුව පැවති උත්සව සභාව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ සීග්‍රයෙන් වර්ධනය වන ඉතා තරගකාරී, තාක්ෂණය පදනම් කරගත් ආර්ථිකයක්, ඩිජිටල් ආර්ථිකයක් මෙන්ම හරිත ආර්ථිකයක් ශ්‍රී ලංකාවේ අනාගත වැඩපිළිවෙළ බවයි.

    ඊට අවශ්‍ය තාක්ෂණ දැනුම සහිත උපාධිධාරින් බිහි කිරීම වෙනුවෙන් මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය නවීකරණය කරන අතරම නව රාජ්‍ය සහ පෞද්ගලික විශ්වවිද්‍යාලය ඇති කිරීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.

    අතීතයේ දී ආසියාවේ හොඳම විශ්වවිද්‍යාලය බවට පත්ව තිබූ සහ මෙරට නිදහස ඉදිරියට ගෙන යාමට පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ ලංකා විශ්වවිද්‍යාලය දියුණු කරමින් යළි ඉදිරියට ගෙන ඒමට කටයුතු කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

    මහනුවර තාක්ෂණ මධ්‍යස්ථානයක් ලෙස ගොඩනගන බවත්, චෙන්නායි IIT ආයතනයේ ශාඛාවක් මහනුවර ආරම්භ කිරීමට ඉන්දිය අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කළ බවත් පැවසූ ජනාධිපතිවරයා කාළගුණ විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය කොතමලේ ප්‍රදේශයේ ආරම්භ කිරීමට මෙන්ම තවත් විශ්වවිද්‍යාලයක් පොල්ගොල්ල ප්‍රදේශයේ ආරම්භ කිරීමට සාකච්ඡා කරමින් සිටින බවද ප්‍රකාශ කළේය.

    ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ, සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන, රාජිත සේනාරත්න , රාවුෆ් හකීම්, හිටපු අමාත්‍යවරුන් වන මලික් සමරවික්‍රම , සරත් අමුණුගම යන මහත්වරුන් ද SLIIT පෞද්ගලික විශ්ව විද්‍යාලයේ කුලපති සහ සභාපති මහාචාර්ය ලක්ෂ්මන් රත්නායක, උපකුලපති මහාචාර්ය ලලිත් ගමගේ යන මහත්වරු ඇතුළු විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    RN

  • ආගමික සිද්ධස්ථානවල නවීන තාක්ෂණික උසස් අධ්‍යාපනය ලබා දෙන මධ්‍යස්ථාන ඇති කරනවා – සජිත්

    ආගමික සිද්ධස්ථානවල නවීන තාක්ෂණික උසස් අධ්‍යාපනය ලබා දෙන මධ්‍යස්ථාන ඇති කරනවා – සජිත්

    රටට අවශ්‍ය ප්‍රායෝගික බෞද්ධයන් බවත් වත්මන් විපක්ෂය කිසිදු අවස්ථාවක දේශපාලන ඉලක්ක සම්පූර්ණ කර ගැනීමට ආගම යොදා නොගන්නා බවත් ජාතීන් ආගම් අතර සාමකාමී පරිසරයක් ඇති වන විට ජාතික ආරක්ෂාව පවා සුරැකෙන බවත් වඳ කොත්තු වඳ සැත්කම් ගැන කියන විට එය නැතිවෙන බවත් පසුගිය කාලයේ සිටි පාලකයන් ජාතික සමගිය වෙනුවට ජාතික අසමගිය බෙදාහැර ආගම් ජාති අතර වෛරයක් ඇති කිරීමට කටයුතු කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    ඒකීය භාවය, සෛරීත්වය, භෞමික අඛණ්ඩතාව, නොබැදුනු නොබෙදුනු බව කොළයකට පමණක් සීමා නොවී සෑම ශ්‍රීලාංකිකයකුගේම හදවතේ තිබිය යුතු බවත් එවිට රට සුරක්ෂිත වන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ගාලු පළාතේ උප ප්‍රධාන සංඝනායක පදවිප්‍රාප්ත උනන්විටියේ පේමරතන නායක හිමියන් සන්නස්පත්‍ර ලබා ගැනීමෙන් පසු උන්වහන්සේ පිළිගැනීමේ අවස්ථාවට පසුගිය 10 වනදා එක්වෙමිනි.

    රට ගොඩ ගැනීමේ දී ශ්‍රී ලාංකික පුරවැසියකු පමණක් නොව ගෝලීය පුරවැසියකු බිහි කිරීමේ ගමන මුල් ළමා වියේ දීම සිදු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය. ආගමික සිද්ධස්ථාන තුළින් නව තාක්ෂණය රටේ තාරුණයයට ලබා දෙන වැඩසටහනක් ආරම්භ කරන බවත් ශිෂ්ටසම්පන්න සුචරිත ජන සමාජයක් ගොඩ නැගීම උදෙසා ආගම්වලට කේන්ද්‍රීය වූ දහම් පණිවිඩය ලබා දෙන අතරතුර නව තාක්ෂණය ඔස්සේ උසස් අධ්‍යාපනය ලබා දෙන මධ්‍යස්ථාන ඇති කරන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

    එමෙන් ම රට හැදෙන්න නම් අපිත් හැදිය යුතු බවත් මේ වන විට රටේ ජනතාවට ඇත්තටම වැඩ කරන්නේ කවුද කියා තීරණය කිරීමේ හැකියාව ලැබී ඇති බවත් එය ගැසට් එකට ද චක්‍රලේඛයට ද කමිටුවට සිමා නොවී ප්‍රායෝගික ව රටට වැඩ කරන්නේ කවුද කියා තීරණය කිරීමේ කාලය උදා වන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී තවදුරටත් පැවසීය.

    තව ද බාල ඖෂධ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ පසුගිය විශ්වසභංග ඡන්දයේදී මිනිසුන් මරණ මංචකයට ගෙන යන්න කැමති බාල බෙහෙත් ගේන්න කැමති සෞඛ්‍ය පද්ධතිය විනාශ කරන්න කැමති ඩොලර් කොමිස් ගන්න කැමති 113ක් සිටි අතර 74 දෙනකු පමණක් ජනතාව ජීවත් කරවීමට ඡන්දය ලබා දුන් බවයි.

    RN

  • පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තුනකට මම අනුමැතිය දුන්නා – කෙහෙළිය

    පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තුනකට මම අනුමැතිය දුන්නා – කෙහෙළිය

    තමන් සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තුනකට අනුමැතිය ලබාදී ඇති බව කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

    “වෛද්‍ය විද්‍යාව හදාරන්න සුදුසුකම් ලබන දරුවන් ගොඩක් ඉන්නවා. අපේ විශ්වවිද්‍යාල මේ වෙනවිට 11ක් තියෙනවා, නමුත් ඒ තිබුණට ඒක මදි. අපේ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධියට ලෝකයේම පිළිගැනීමකුත් තියෙනවා. අපි ඒ පිළිගැනීම කඩන්නේ නැතුව ඒ ප්‍රමිතියට, ඒ මට්ටමට පෞද්ගලිකව හෝ රාජ්‍ය හෝ විශ්වවිද්‍යාල නිර්මාණය වෙනවා නම් එයින් පිටවෙන කණ්ඩායම් ලෝකයටත් අපිට දෙන්න පුළුවන් නම් ඒ හා සමාන්තරව යන්න පුළුවන් වැඩපිළිවෙලක් නිර්මාණය කරන්න ඕනේ. මම සෞඛ්‍ය ඇමති විදියට පෞද්ගලික විශ්වවිද්‍යාල තුනක් බිහිකරන්න අවසරය දීලා තියෙනවා. ඒ අය මේ වනවිට ක්‍රියාත්මක වෙමින් තිබෙනවා”

    අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව පැවසුවේ මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

    RN

  • පළමු රාජ්‍ය නොවන වෛද්‍ය පීඨය ආරම්භ කිරීමට අප සැලසුම් කර තිබෙනවා – රනිල්

    පළමු රාජ්‍ය නොවන වෛද්‍ය පීඨය ආරම්භ කිරීමට අප සැලසුම් කර තිබෙනවා – රනිල්

    විදේශිකයන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මෙරටට ගෙන්වා ගැනීමට නම් වෛද්‍ය සංචාරක ව්‍යාපාරය (Medical Tourism) සහ උසස් තත්ත්වයේ සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන යාම අත්‍යාවශ්‍ය බවත්, ඒ සඳහා සෞඛ්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ නැවත අවධානය යොමු කළ යුතුව තිබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    වැඩි වශයෙන් වෛද්‍යවරුන් බිහි කිරීමට නම් තවත් වෛද්‍ය පීඨ මෙන්ම විශ්වවිද්‍යාල ද මෙරට ආරම්භ කළ යුතු බව සඳහන් කළ ජනාධිපතිවරයා ශක්තිමත් අනාගතයක් වෙනුවෙන් මෙරට සෞඛ්‍ය සේවා ශ්‍රම බලකාය පරිවර්තනයකට ලක් කරන බව ද සඳහන් කළේය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ජෝසප් ෆ්‍රේසර් රෝහලේ 100 වන සංවත්සර සැමරුම් උත්සවයට පෙරේදා (08) පස්වරුවේ එක්වෙමිනි.

    ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය ආරම්භයේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ ස්කොට්ලන්ත වැවිලිකරුවෙකු වන ජෝසප් ෆ්‍රේසර් මහතා සහ ඔහුගේ බිරිඳ විසින් සදාකාලික සිහිවටනයක් ලෙස ජෝසප් ෆ්‍රේසර් රෝහල ස්ථාපිත කිරීම ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් ඔවුන්ගේ කැපවීම පෙන්නුම් කළ අවස්ථාවක් බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

    මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රෝහල් පාලනාධිකාරිය විසින් පිළිගනු ලැබීය.

    ජෝසප් ෆ්‍රේසර් රෝහලේ 100 වන සංවත්සරය නිමිත්තෙන් නිකුත් කළ සමරු මුද්දරය තැපැල්පති පී. සත්කුමාර මහතා විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.

    උත්සව සභාව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

    “ජෝසෆ් ෆ්‍රේසර් රෝහල යනු රෝහලක් පමණක්ම නෙවෙයි, එය අද වන විට වසර සියයක් සම්පූර්ණ කරන ආයතනයක් ද වෙනවා. ෆ්‍රේසර්වරුන් පැවත එන්නේ ස්කොට්ලන්තයේ ප්‍රසිද්ධ පරපුරකින්. එහි සිට තමයි ජෝසෆ් ෆ්‍රේසර් මහතා ශ්‍රී ලංකාවට පැමිණියේ.

    බ්‍රිතාන්‍යයන් මෙරටට තේ කර්මාන්තය හඳුන්වා දුන් අවධියේ ජෝසෆ් ෆ්‍රේසර් මහතා වැවිලිකරුවෙකු ලෙස කටයුතු කළා. ඔහු ශ්‍රී ලංකාවේ පිටකන්ද වතුයාය කේන්ද්‍ර කරගනිමින් වැවිලි කර්මාන්තයේ නියැලුනා. අවසානයේ ඔහු මෙරටදීම මිය ගියා.

    ජෝසෆ් ෆ්‍රේසර් මහතා සහ අනෙකුත් වැවිලිකරුවන් අතර තිබෙන වෙනස වන්නේ ඔහු සහ ඔහුගේ බිරිඳ ශ්‍රී ලංකාවේ යම් සළකුණක් තබා යාමට කටයුතු කිරීමයි. ශ්‍රී ලංකාව ඔහු සේවය කළ රට වගේම ශ්‍රි ලංකාව ගොඩනැඟීමට ද ඔහු දායක වී තිබෙනවා.

    මෙරට වැවිලි කර්මාන්තයේ නිරතව ලාභ උපයාගත් අනෙකුත් සිය ගණනක් වැවිලිකරුවන් අතර ජෝසෆ් ෆ්‍රේසර් මහතා සහ ඔහුගේ පවුලේ අය මේ රටට යමක් ඉතිරි කර යන්නට කටයුතු කළා. ඒ තමයි මෙම ජෝසෆ් ෆ්‍රේසර් රෝහල. මෙම රෝහල ආරම්භ කරන අවධියේ මෙම ප්‍රදේශය දියුණු තත්ත්වයක තිබුණේ නැහැ.

    මගේ සීයා මගේ නැන්දට සිරිපා පාරේ ඉඩමක් අරන් දී තිබුණා. ඒ නිසා මගේ අම්මා නිතරම එම ප්‍රදේශයට යනවා. එදා මෙම පළාත තනිකරම හිස් භූමියක් ලෙසයි පැවතියේ. වැඩිම වුණොත් මෙම මාර්ගයේ ඉදිරියට යන විට නිවාස දෙක තුනක් පමණයි දකින්න ලැබුණේ. එසේ වූවත් එදා මෙම රෝහල සෑම කෙනෙකුගේම අවධානයට ලක් වුණා. මෙම රෝහල මෙරට කාන්තා පරපුරට ලබා දී අති තිළිණයක් ලෙස සැලකිය හැකියි. එසේම මෙම රෝහල පිළිබඳ අප සියලුදෙනා ආඩම්බර විය යුතුයි.

    මේ ආයතනය හොඳින් නඩත්තු කෙරෙනවා. සුමල් පෙරේරා මහතා නයින්වෙල්ස් රෝහලෙන් මෙම කටයුතු ආරම්භ කර දැන් මේ දක්වා සාර්ථක ගමනක් පැමිණ තිබෙනවා. අපට ඇති දේ සහ අපට කළ හැකි දේ පිළිබඳ එය හොඳම උදාහරණයක් බව කිවයුතුයි.

    ශ්‍රී ලංකාවේ ඇති මෙවැනි රෝහල්වලට ඉදිරියේ දී මෙරට ජනතාව වෙනුවෙන් පමණක් නොව විදේශිකයන් වෙනුවෙන් ද අවශ්‍ය සේවා සැපයීමට හැකිවනු ඇතැයි මම විශ්වාස කරනවා. මෙම රෝහල දෙස බැලීමේ දී මෙය රෝහලක් ද හෝටලයක් ද කියා සිතා ගැනීම අපහසුයි. රෝහලක සේවාවන් සිදු විය යුත්තේ මේ ආකාරයටයි. එම සේවාවන් උසස් ප්‍රමිතියකින් පවත්වාගෙන යා යුතුයි. විදේශිකයන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මෙරටට ගෙන්වා ගැනීමට උත්සාහ කරන්නේ නම් වෛද්‍ය සංචාරක ව්‍යාපාරය සහ සෞඛ්‍ය සේවා ඉතා ඉහළ ප්‍රමිතියකින් පවත්වා ගැනීම අත්‍යාවශ්‍යයි. එම ප්‍රමිති මට්ටම සඳහා මෙම රෝහල හොඳ උදාහරණයක් බව කිවහැකියි.

    අපේ රටේ සමස්ත සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ නැවත සිතා බැලිය යුතුව තිබෙනවා. මෙරට රෝහල් පද්ධතිය පෞද්ගලික රෝහල් හා රජයේ රෝහල් ලෙස වෙන් කර තිබෙනවා. ඒ වගේම වෛද්‍යවරු විශාල පිරිසක් දැන් රට හැර යමින් සිටිනවා. මෙවන් පසුබිමක් තුළ අපට වැඩි වැඩියෙන් වෛද්‍යවරුන් බිහි කිරීමට සිදුව තිබෙනවා. ඒඅනුව ඉදිරියේදී පළමු රාජ්‍ය නොවන වෛද්‍ය පීඨය ආරම්භ කිරීමට අප සැලසුම් කර තිබෙනවා.

    දකුණු ආසියානු තාක්ෂණ හා වෛද්‍ය ආයතනය (SAITM) අප මේ වන විට මොරටුව විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙනවා. ඒ වගේම තවත් වෛද්‍ය පීඨ සහ විශ්වවිද්‍යාල මෙරට ආරම්භ කිරීමට අවස්ථාව ලැබෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. වැඩිපුර වෛද්‍යවරුන් බිහි කිරීමට අනුගමනය කළ ක්‍රමය එයයි. මේ සඳහා වෙනත් විකල්පයක් නැහැ.

    ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් නොමැතිව අද වන විට එක්සත් රාජධානියට තම රෝහල් පද්ධතිය පවත්වාගෙන යාමට අසීරු තත්ත්වයක් මතුව තිබෙනවා. ඒ අනුව පකිස්තානය, බංග්ලාදේශය සහ ඉන්දියාව සමඟ එක්ව, අප එක්සත් රාජධානියේ රෝහල් පද්ධතිය පාලනය කරමින් සිටින බව පැවසුවොත් නිවැරදියි. ඒ අනුව ශ්‍රී ලංකාව ආධාර ලබන රටක් පමණක් නෙවෙයි, ආධාර ලබා දෙන රටක් බවට ද පත් වෙනවා.

    ඒ වගේම පෞද්ගලික අංශයට සහ රාජ්‍ය අංශයට එකට වැඩ කළ හැකි නව ක්‍රමවේදයක් අප දැන් සකස් කර තිබෙනවා.

    එසේම සෑම පුරවැසියෙකුටම යම් වෛද්‍ය රක්ෂණයක් ලබාදීමට අප අපේක්ෂා කරනවා. එවිට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රජයේ රෝහලකට යනවාද, නැතිනම් පෞද්ගලික රෝහලකට යනවාද කියා ජනතාවටම තීරණය කළ හැකියි. අප අවධානය යොමු කළ යුත්තේ මෙම කරුණු පිළිබඳවයි.

    ඇත්ත වශයෙන්ම මෙම දිනවල මමත් වෛද්‍යවරයෙක් වගේ කියා මට දැනෙනවා. මරණයට ආසන්නව සිටින රෝගියෙකු ඉන් මුදවා ගැනීමට මට සිදුව තිබෙනවා. ඒ වගේම මම තවමත් එම රෝගියාට සාත්තු කරමින් ඔහුව බේරා ගැනීමට උත්සාහ කරමින් සිටිනවා. මට අවස්ථාවක් ලැබුණොත් මම ඔහුව ජෝසප් ෆ්‍රේසර් නයින්වෙල්ස් රෝහල වෙත එවනවා. නමුත් අවාසනාවකට, මට ඔහුව භාණ්ඩාගාරයේ තබාගෙන ප්‍රතිකාර කිරීමට සිදුව තිබෙනවා.

    අප සම්පූර්ණයෙන්ම විවෘත ආර්ථිකයක් තුළ නව ක්‍රමවේදයක් ඔස්සේ දිගු ගමනක් යා යුතුව තිබෙනවා. ඒ තුළ පුද්ගලික ව්‍යවසායන්ට ද දියුණු වී ඉදිරියට යා හැකියි. එසේ නොමැතිව රටක් දියුණු කිරීමට හැකියාවක් නැහැ. එසේම රටකට දියුණු වෙන්නත් බැහැ.

    ඒ අනුව ශ්‍රී ලංකාවේ තේ වැවීමෙන් ඔබ්බට ගිය පුද්ගලයෙක් ලෙස ජෝසෆ් ෆ්‍රේසර් මහතා හඳුන්වාදිය හැකියි. ඒ මොහොතේ ශ්‍රී ලංකාවේ කෝපි සඳහා පැවති ඉල්ලුම අඩු වී තේ කර්මාන්තය ඉදිරියට පැමිණෙමින් තිබුණා. ඒ තත්ත්වය තුළ ඔහු සාර්ථක වී රටට ද යමක් ඉතිරි කර දුන්නා. දැන්, සුමල් පෙරේරා වැනි අය සමඟ එක්ව අපි සියලු දෙනා මෙම ක්‍ෂේත්‍රයේ ඉදිරියට ගෙන යාමට අධිෂ්ඨාන කර ගනිමු”

    RN

  • රටේ අධ්‍යාපන ප්‍රතිපත්ති දේශපාලනයට යට කිරීමට ඉඩ තබන්නේ නැහැ – රනිල්

    රටේ අධ්‍යාපන ප්‍රතිපත්ති දේශපාලනයට යට කිරීමට ඉඩ තබන්නේ නැහැ – රනිල්

    රටේ අධ්‍යාපන ප්‍රතිපත්ති දේශපාලනයට යට කිරීමට හෝ එක් එක් අමාත්‍යවරයාට අවශ්‍ය ආකාරයට වෙනස් කිරීමට ඉඩ නොතබා එය එක් නීති රාමුවක් යටතට ගෙන එන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    ආර්ථික වශයෙන් කඩා වැටුණු ශ්‍රී ලංකාව යළි ගොඩනඟමින් සිටින මෙම අවස්ථාවේ රට ශීඝ්‍ර සංවර්ධනයක් කරා ගෙන යාමට නම් නව අධ්‍යාපන ක්‍රමයක් කඩිනමින් රටට හඳුන්වා දිය යුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ එප්පාවල සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලයේ 150 වන සංවත්සර උත්සවයට ඊයේ (07) පස්වරුවේ එක් වෙමිනි.

    අනාගතයේදී ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ලෝකයටම සරසවියක් වන ආකාරයෙන් ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වන බවත් කඩිනම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා එම වැඩපිළිවෙළ ආරම්භ කර ඉදිරියට ගෙන යා යුතු බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    විද්‍යාලයට වසර 150ක් සැපිරීමට සමගාමීව සමරු මුද්දරයක් නිකුත් කිරීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු කෙරිණි.

    එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ විද්‍යාලයට ප්‍රථම වරට ජනාධිපතිවරයෙක් පැමිණීම සනිටුහන් කරමින් ජනාධිපතිවරයා විසින් විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබීය.

    2021 උසස් පෙළ විභාගයේ දී විශිෂ්ටතා දැක්වූ විද්‍යාලයේ සිසුන් වෙත සමරු තිළිණ පිළිගැන්වීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු වු අතර අනතුරුව ආචාර්ය මණ්ඩලය සමඟ සමූහ ඡායාරූපයකට ද එක්විය.

    විද්‍යාලයේ සිසුවෙකු විසින් නිර්මාණය කළ සමරු තිළිණයක් ද ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය,

    “අපේ රටට නව අධ්‍යාපන ක්‍රමයක අවශ්‍යතාව පවතිනවා. ඉදිරි වසර විස්සට, තිහට අදාළවන අයුරින් එම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කළ යුතුයි. නව තාක්ෂණය , කෘතිම බුද්ධිය, අධ්‍යාපන විෂය ධාරාවන්ට එක් කළ යුතුයි.

    ඒ වගේම 1989 දී ඇසෝසියට් උපාධි ක්‍රමය (Associate degree) හඳුන්වා දුන්නා. නමුත් එවකට එය ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලැබුණේ නැහැ. මෙම උපාධි ක්‍රමය හඳුන්වා දුන්නේ රැකියා ඉලක්ක කර ගනිමිනුයි. එම ක්‍රමය නැවත හඳුන්වා දීමට මම බලාපොරොත්තු වෙනවා.

    ශ්‍රී ලංකාව ලෝකයට සරසවියක් විය යුතුයි. අධ්‍යාපන ප්‍රතිපත්තිය දේශපාලනයෙන් යට කරන්න ඉඩදෙන්නේ නැහැ. ඒ වගේම එක් එක් අමාත්‍යවරයාට අවශ්‍ය පරිදි එය වෙනස් නොකළ යුතුයි. අධ්‍යාපන ප්‍රතිපත්තිය නීතිගත කරමින් එය එක් ප්‍රතිපත්තියක් ලෙස ඉදිරියට ක්‍රියාත්මක කිරීම අපේ අරමුණ වී තිබෙනවා”

    උතුරුමැද පළාතේ හිටපු විපක්ෂනායක සහ සිද්ධාර්ථ විද්‍යාලයේ ආදි ශිෂ්‍ය නීතිඥ කස්තුරි අනුරාධානයක මහතා ද උත්සව සභාව ඇමතීය.

    රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් , අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ යන මහත්වරුන් ද, ශ්‍රී සිද්ධාර්ථ විද්‍යාලයේ විදුහල්පති ජනක හේරත් මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය සහ සිසු දරුවන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    RN

  • තෝරාගත් පාසල් 100ක ‘ප්‍රාග්ධන වෙළෙඳපොළ සංගම්’ පිහිටුවීමේ වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

    තෝරාගත් පාසල් 100ක ‘ප්‍රාග්ධන වෙළෙඳපොළ සංගම්’ පිහිටුවීමේ වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

    අනාගත පරපුර නවීන තාක්ෂණයෙන් මෙන්ම මූල්‍ය සාක්ෂරතාවයෙන් ද සවිබල ගන්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    නව ආර්ථික ක්‍රමවේද සමඟ 2048 වන විට දියුණු ශ්‍රී ලංකාවක් කරා යන ගමනේ දී එය අත්‍යවශ්‍ය කරුණක් බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

    එසේම ලබන වසරේ සිට මහ බැංකු වර්තාව පාසල්වල සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවත් ඒ සඳහා ගුරුවරුන්ට හා ශිෂ්‍ය නායකයන්ට අවශ්‍ය පුහුණුව ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (31) පෙරවරුවේ මහනුවර නුගවෙල මධ්‍ය විද්‍යාලයේ පැවති තෝරාගත් පාසල් 100ක ‘ප්‍රාග්ධන වෙළෙඳපොළ සංගම්’ පිහිටුවීමේ වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක්වෙමිනි.

    පාසල් සිසුන් අතර කොටස් වෙළෙඳපොළ පිළිබඳ දැනුවත්භාවය සහ මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීමේ අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය, සුරැකුම් හා විනිමය කොමිෂන් සභාව හා කොළඹ කොටස් හුවමාරුව එක්ව මෙම වැඩසටහන ක්‍රියාවට නංවා තිබේ.

    ඊට අදාළ අවබෝධතා ගිවිසුමට අධ්‍යාපන අමාත්‍යාශයේ ලේකම් එම්.එම්. රණසිංහ, සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් චින්තක මෙන්ඩිස්, කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන විධායක නිලධාරී රජිව බණ්ඩාරනායක යන මහත්වරුන් අත්සන්තැබූහ.

    නුගවෙල මධ්‍ය විද්‍යාලයේ ප්‍රාග්ධන වෙළෙඳපොළ සංගමය පිහිටුවීමට අදාළ වරලත් සහතික පත්‍රය සහ රුපියල් ලක්ෂයක මුදල මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විදුහල්පති ධම්මික බණ්ඩාර මහතා වෙත පිළිගැන්වීය.

    එසේම ‘ප්‍රාග්ධන වෙළෙඳපොළ සංගම්’ පිහිටුවීමට අදාළ දැනුම සම්පාදනය කෙරෙන ග්‍රන්ථ කට්ටලය ද ජනාධිපතිවරයා විසින් විෂයභාර ආචාරිණිය වන අචිනි කණිටිවෙල මහත්මිය වෙත භාර දුන්නේය.

    විද්‍යාලයේ චිත්‍ර කලා ප්‍රධාන ආචාරිණි නයනා විජේකෝන් මහත්මිය විසින් සිතුවමට නඟන ලද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ රුව සහිත සිතුවමක් ද එතුමා වෙත පිළිගැන්විණි.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය,

    “අප එක තැන කැරකුනොත් ලෝකය අප පසුකරගෙන යනවා” යනුවෙන් අධ්‍යාපන අමාත්‍යවරයා සිය කතාවේදී ගීත කොටසත් උපුටා දැක්වූවා. ඒ බව මතකයේ තබා ගෙන කටයුතු කරන නිසා තමයි අද අප මෙම වැඩසටහන ආරම්භ කර තිබෙන්නේ.

    අප බොහෝ කාලයක් 20 වන ශතවර්ෂයේ මැද භාගයේ පැවති කර්මාන්ත යුගයේ ආකල්ප සමඟ වැඩකටයුතු කළා. ඒ වගේම එම ප්‍රතිපත්ති දේශපාලනයේ නිරත වුණා. එහි විපාක පිළිබඳ මම මෙහි සඳහන් කිරීමට අවශ්‍ය නැහැ කියා සිතනවා.

    2021, 2022 වසරවලදී කොවිඩ් වසංගතය වගේම ආර්ථික ගැටලු හේතුවෙන් අප බංකොළොත් රටක් බවට පත් වුණා. නමුත් රට බංකොළොත්භාවයෙන් මුදා ගැනීමේ වැඩපිළිවෙළ මම දැන් ආරම්භ කර තිබෙනවා. එය අපේ ආණ්ඩුව සාර්ථව සිදු කරන බව කිවයුතුයි.

    අප නැවත රටක් ලෙස අගාධයට නොවැටී ඉදිරියට යන්නේ කෙසේද කියා අවධානය යොමු කළ යුතුයි. 20 වන ශතවර්ෂයේ මැද භාගයේ අනුගමනය කළ ප්‍රතිපත්ති සමඟ ඉදිරියට යනවාද එසේ නොමැති නම් අලුතින් සිතා අලුත් ගමනක් යනවාද කියා තීරණය කළ යුතුයි. අප පැරණි ක්‍රමයට අනුව ඉදිරියට ගියහොත් අපට එක තැන කැරකෙන්නවත් රටක් නැති වෙනවා. මොකද අද අප සිටින තැන විශාල ආගාධයක් තිබෙන බව අමතක නොකළ යුතුයි.

    මේ රටේ අනාගතය භාර ගැනීමට සිටින පරපුරට එවැනි තත්ත්වයකට මුහුණදීමට අප ඉඩ නොතබන බවද කිව යුතුයි. එසේ නම් අප තාක්ෂණය සමඟ අලුත් ගමනක් යා යුතුයි. 21 වන සියවසේ තාක්ෂණික දියුණුව පිළිබඳ මා අමුතුවෙන් සඳහන් කළ යුතු නැහැ.

    අප පාසල් අධ්‍යාපනය ලබන සමයේ එක ගමකට එක දුරකථනයක් වත් තිබුණේ නැහැ. නමුත් අද සෑම අයෙකුම අතේ ජංගම දුරකථනයක් තිබෙනවා. ඇතැම් අය ළග ජංගම දුරකථන දෙකක් තිබෙනවා. එය තමයි සිදුව තිබෙන වෙනස.

    අප මෙම වෙනස සමඟ ඉදිරියට යන විට නවීන තාක්ෂණය රටට ගෙන ආ යුතුයි. ඒ සඳහා අප විශාල වැඩ කොටසක් කරගෙන යනවා. ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශය සහ පර්යේෂන ආයතන එම කටයුතු කරගෙන යනවා. ඒ අනුව රටට හඳුන්වාදෙන නව තාක්ෂණ ක්‍රමවේද අප තීරණය කළයුතුව තිබෙනවා. බ්ලොක්චේන් තාක්ෂණය, කෘත්‍රීම බුද්ධිය, ජෙනොම් විද්‍යාව මේ සියල්ල සමඟ අප ඉදිරියට යා යුතුයි.

    ඒ වගේම මෙම තාක්ෂණය ගමට ගෙන යා යුතුයි. මොකද අප කෘෂිකර්ම නවීකරණ වැඩසටහන හඳුන්වාදෙන්නේ නව තාක්ෂණය නිවසටම ගෙන යාම සඳහායි. නවීන තාක්ෂණය සමඟ ඉදිරියට යාමේදී අප තව කරුණක් සිහියේ තබා ගත යුතුයි. තාක්ෂණය පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. මේ සියලු කටයුතු සඳහා මුදල් අවශ්‍ය වෙනවා. අප මුදල් පරිහරණය කරන සමාජයක්. ඒ වගේම අද එම මුදල් පරිහරණය කරන්නේ ඉතා විවෘත වෙළෙඳපොළක. මුදල් පරිහරණය අද ආණ්ඩුවකට පාලනය කරන්න බැහැ. ඇමෙරිකන් ආණ්ඩුවට හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටවත් එය සිදු කළ නොහැකියි.

    එදා ඩිජිටල් තාක්ෂණය තිබුණේ නැහැ. ලංකාවට අන්තර්ජාලය ලබා ගැනීම සඳහා මම අත්සන් තැබුවේ 1993 වසර්දී. ඒ වන තුරු මෙම කිසිඳු පහසුකමක් අපට තිබුණේ නැහැ. මෙම නව තාක්ෂණය සමඟ ඉතා සුළු වේලාවකදී අප ලෝකය සමඟ සම්බන්ධ වෙනවා.

    ඒ වගේම තරගකාරි ආර්ථිකය තුළ දේශ සීමා පිළිබඳ කිසිදු සැලකිල්ලක් නොමැති මූල්‍ය ක්‍රමයක් තිබෙන්නේ. මෙය හොඳ හෝ නරක වුවත් අපට එය වෙනස් කිරීමේ හැකියාවක් නැහැ. අප මෙම සීමාවේ සිට කටයුතු කළයුතුයි. ලෝකයට අවශ්‍ය මුදල් අවසානයේ වෙළෙඳපොළෙන් ලබා ගන්නවා. බැංකුවලට අවශ්‍ය මුදල් බැංකුවලින් ලබා ගන්නවා. සමාගම්වලට අවශ්‍ය මුදල් කොටස් වෙළෙඳපොළෙන් ලබා ගන්නවා. ඒ අනුව මුදල් පරිහරණය සිදු වෙනවා.

    මෙහි වැදගත්ම කරුණ වන්නේ මුදල්. පෞද්ගලික අංශය වගේම රජයත් තෝරාගනු ලබන්නේ මුදල් වෙළෙඳපොළයි. ඒ වගේම මහා භාණ්ඩාගාර බැඳුම්කර ලබා ගන්නවා. අද උත්සාහ කරන්නේ මෙම ක්‍රමවේදය පිළිබඳව ඔබව දැනුවත් කිරීමටයි. අද අප මේ ආරම්භ කරන්නේ එහි එක කොටසක් පමණයි.

    ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා ලබන වසරේ සිට මහ බැංකු වර්තාව පාසල්වල සාකච්ඡා කිරීමට. ඒ පිළිබඳ මම මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරනවා. ඒ සඳහා ගුරුවරු වගේම ශිෂ්‍ය නායකයන් පුහුණු කිරීම මෙන්ම බැංකු නිලධාරින්ගේ සහාය ලබා ගැනීමට ද කටයුතු කරනවා.

    ඒ නිසා නවීන ක්‍රමවේද පිළිබඳව අප දැනුවත් විය යුතුයි. දැනුම ලබාදීම පමණක් නොවෙයි මුදල් පරිහරණය, සුරැකුම්පත් මේ සියල්ල ගමට ගෙන යා යුතුයි. ගමේ දක්ෂ පිරිසක් සිටිනවා. ඔවුන්ට අවශ්‍ය පුහුණුව ලබා දිය යුතුයි.

    ඒ සමඟම අද ලෝකය එක වෙළෙඳපොළක්. ඒ සමඟ අප ද එක්විය යුතුයි. ඒ සඳහා නිදහස් වෙළෙඳ ගිවිසුම් ගණනාවකට අප අත්සන් තබනවා. සිංගප්පූරුව සමඟ මෙන්ම ඉන්දියාව, බංග්ලාදේශය, තායිලන්තය, ඉන්දුනීසියාව, චීනය මැලේෂියාව, වියට්නාමය සමග ඒ පිළිබඳව සාකච්ඡා කරනවා. ජපානය වගේම නැගෙනහිර ආසියාව, අග්නිදික ආසියාව, ඕස්ට්‍රෙලියාව, නවසිලන්තය යන රටවල් සමඟ නව වෙළෙඳපොළට ප්‍රවේශ වීමට අපේක්ෂා කරනවා.

    ඒ වගේම පහසුකම් ලබා ගැනීම පිළිබඳ අප යුරෝපා සංගමය සමග සාකච්ඡා කරනවා. තව සති දෙකකින් ඇමෙරිකාවේ කණ්ඩායමක් අප සමඟ සාකච්ඡා කිරීමට මෙරටට පැමිණෙනවා. එසේනම් ගෝලීය වෙළෙඳපොළ සහ එම ගිවිසුම් පිළිබඳව අප දැනුවත් විය යුතුයි.

    අප ගොඩනඟන නව ආර්ථිකය “හරිත ආර්ථිකයක්”. ඒ වගේම “ඩිජිටල් ආර්ථිකයක්” හරිත ආර්ථිකයෙත් සුරකුම්පත් තිබෙනවා. එසේ නම් මෙහි තිබෙන්නේ නව ක්‍රමවේදයක්. මේ සමග අක්වෙරළ ආර්ථිකයක් පිළිබඳව ද අප අවධානය යොමු කර තිබෙනවා. ඒ පිළිබඳවත් දැන් ලන්ඩන් නුවර විශේෂ නීතිඥ සංගම් සමඟ සාකච්ඡා කරමින් එම නීති සකසමින් තිබෙනවා. අප මෙම නව ආර්ථික ක්‍රම සමඟ ඉදිරියට යනවා ද, නැත්නම් ආගාධයේම සිටිනවා ද කියා තීරණය කළ යුතුයි.

    තව වසර 10-15ක් යන විට මෙහි සිටින බොහෝ දෙනෙක් වයස අවුරුදු 25- 35ක් අතර පිරිසක් වෙනවා. ඒ නිසා අද ඔබ තමන්ගේ අනාතය පිළිබඳ තීරණය කළ යුතුයි. අවශ්‍ය දැනුම අප ලබාදෙනවා. අත්හදා බැලීම ඔබ කළයුතුයි. එම වැඩසටහන තමයි අද මෙලෙස ආරම්භ කර තිබෙන්නේ.

    මෙම වැඩසටන සඳහා දැනට පාසල් 100ක් පමණයි තෝරගෙන තිබෙන්නේ. පසුව එම සංඛ්‍යාව ඉහළ නැංවීමට අපේක්ෂා කරනවා. කොටස් වෙළෙඳපොළට, ඒ වගේම සුරැකුම්පත් විනිමය කොමිෂමට හැකියාවක් තිබෙනවා නම් මේ සමඟ තවදුරටත් සම්බන්ධ වෙන්න මම එය අගය කරනවා. මෙම සංගමයක්, දෙකක් භාරගෙන එම සහාය ලබා දෙන්න කියා මම ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා.

    මෙම වැඩසටහන ආරම්භ කිරීම සඳහා රුපියල් මිලියන 10ක් ලබා දී තිබෙනවා. ඒ අනුව සෑම පාසලකටම රුපියල් ලක්ෂය බැගින් හිමි වෙනවා. ඒ හැර වෙන කිසිඳු මුදලක් මේ සඳහා යොදවන්න එපා කියා මම ඉල්ලා සිටිනවා. මෙය ලක්ෂයට සීමා කරන්න. මෙය ආරම්භ කර වසරක් ගතවීමෙන් පසු කුමන පාසලද මෙම වැඩසටන සාර්ථකවම ක්‍රියාත්මක කර තිබෙන්නේ කියා සොයා බලනවා.

    වැඩසටහන සාර්ථකවම ක්‍රියාත්මක කළ පාසලේ ශිෂ්‍යයන් 10 දෙනෙක්ට සහ විෂයභාර ගුරුවරයාට සිංගප්පූරුවේ කොටස් වෙළෙඳපොළ පිළිබඳ දින කිහිපයක අධ්‍යයනයක් කිරීමට සිංගප්පුරු සංචාරයක් ලබා දීමට කටයුතු කරනවා.

    ඒ නිසයි මෙම මුදල ලක්ෂයට සීමා කරන ලෙස දැනුම් දුන්නේ. දුප්පත් ප්‍රදේශයක වුවත්, දියුණු ප්‍රදේශයක වුවත් එම වියදම ලක්ෂයට සීමා වෙනවා. ඒ වගේම දෙවන, තුන්වන ස්ථානවලටත් අවස්ථා ලබාදීමට බලාපොරොත්තු වෙනවා. මේ සමඟ නව ආර්ථිකය ගමට ගෙන යාම සිදු වෙනවා. ඒ වගේම මෙම අභියෝගය ඔබට භාරදෙන්නේ 2048 දියුණු රටක් ගොඩනැගීමේ වැඩපිළිවෙළෙහි කොටසක් ලෙසයි. ඊට දායකවෙමින් මෙය සංවිධානය කළ සියලුදෙනාටම මම ස්තූතිවන්ත වෙනවා.

    ඒ වගේම අද මෙම නුගවෙල විද්‍යලයට පැමිණෙන විට මට සිහිපත් වූ තවත් කරුණක් තිබෙනවා. එදා මධ්‍ය විද්‍යාල සංකල්පය ඉදිරිපත් කර රාජ්‍ය මන්ත්‍රණ සභාවේ එය සම්මත කර ගනු ලැබුවේ එවකට අධ්‍යාපන අමාත්‍ය සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මැතිතුමායි. එහි ප්‍රතිඵලයක් ලෙස හොරණ ජනතාව පාර්ලිමේන්තු මැතිවරණයෙන් එතුමාව පරාජයට පත් කළා.

    එය තමයි අධ්‍යාපන අමාත්‍යවරුන්ට මුහුණදීමට සිදුවන තත්ත්වය. ඒ වෙනුවට ඊළග ආණ්ඩුවේ ඩී.එස්. සේනානායක අග්‍රාමාත්‍යවරයාව තෝරා පත් කරගත්තා. ඒ.ඩී. නුගවෙල මැතිතුමාව අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස පත් කර ගනු ලැබුවා. එතුමා මෙම මධ්‍ය විද්‍යාල 50 නිර්මාණය කිරීමට දායක වුණා. මෙම නුගවෙල මධ්‍ය විද්‍යාලයට අමතරව තවත් පාසල් 49ක් ඇති කිරීම පිළිබඳව එතුමාට අප ස්තූතිවන්ත වෙනවා. එතුමා ඇති කළ පාසලකින් මෙම නව වැඩපිළිවෙළ ආරම්භ කිරීමට අවස්ථාව ලැබීම පිළිබඳව මම සතුටු වෙනවා”

    RN

  • දෙවැනි පාසල් වාරයේ දෙවැනි අදියර ඇරඹේ

    දෙවැනි පාසල් වාරයේ දෙවැනි අදියර ඇරඹේ

    දෙවැනි පාසල් වාරයේ දෙවැනි අදියර අද (28) සිට ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

    අදින් ආරම්භ වන දෙවැනි පාසල් වාරයේ දෙවැනි අදියර ඔක්තෝබර් 27 වනදා දක්වා ක්‍රියාත්මක වන බවයි එම අමාත්‍යාංශය පවසන්නේ.

    RN

  • අධ්‍යාපනය කියන්නේ කුමක්ද ?

    අධ්‍යාපනය කියන්නේ කුමක්ද ?

    අධ්‍යාපන වෙළඳපොළ ගැන කතා කරද්දී පැහැදිලි කර ගත යුතු සංකල්පීය ප්‍රශ්න කිහිපයක් තිබෙනවා.

    • අධ්‍යාපනය කියන්නේ කුමක්ද?
    • අධ්‍යාපනයේ අරමුණ කුමක්ද?
    • අධ්‍යාපනයේ මිල ගෙවිය යුත්තේ කවුද?

    අධ්‍යාපනය කියන්නේ දැනුම එකතු කර ගැනීම කියලා සරලව කියන්න පුළුවන්. දැනුම එකතු කරගැනීම එක්ක ඇතැම් වෙලාවට අලුතෙන්ම දැනුම නිෂ්පාදනය වීමක් වෙන්න පුළුවන්. කවදා හෝ දැනුම නිෂ්පාදනයක් වුනේ නැත්නම් දැනුම කියා දෙයක් නැහැ. දැනුම නිෂ්පාදනය සිදු වන්නේ තනිව හෝ සාමූහිකව කරන ස්වයං අධ්‍යයනයක් එක්ක. එහිදී බාහිර සම්ප්‍රේෂකයෙක් නැහැ.

    නමුත් ගොඩක් වෙලාවට අධ්‍යාපනය ගැන කතා කරද්දී අපි කතා කරන්නේ මේ ආකාරයෙන් අලුතෙන්ම දැනුම නිෂ්පාදනය මගින් දැනුම එකතු කරගැනීම ගැන නෙමෙයි. දැනටම නිෂ්පාදනය කර තිබෙන දැනුම එකතු කරගන්න එක ගැන. මෙහිදී බාහිර සම්ප්‍රේෂකයෙක් අවශ්‍යවෙනවා. ඒ සම්ප්‍රේෂකයා පුද්ගල සම්ප්‍රේෂකයෙක් වූ විට අපි එය ගුරු ශිෂ්‍ය සම්බන්ධයක් විදිහට හඳුනාගන්නවා. සම්ප්‍රේෂණය සිදු වෙන්නේ දැනුම ගබඩා කර තිබෙන තැනක සිටනම් එය සැලකෙන්නේ ස්වයං අධ්‍යයනයක් ලෙසයි.

    ඇතැම් විට පුද්ගල හෝ පුද්ගල නොවන දැනුම් සම්ප්‍රේෂණයකදී සම්ප්‍රේෂණය වන්නේ අළුතෙන්ම නිපදවූ දැනුමක් විය හැකි වුවත්, ප්‍රායෝගිකව බොහෝ අවස්ථා වලදී ඒ විදිහට සම්ප්‍රේෂණය වෙන්නේ අදාළ සම්ප්‍රේෂකයා විසින් මුල් වටයකදී අධ්‍යාපනය හරහා එකතු කරගත් දැනුම. අධ්‍යාපනය කියා කියද්දී බොහෝ විට අදහස් වන්නේ මේ ආකාරයෙන් සිදුවන දැනුම් සම්ප්‍රේෂණය.

    ගුරු ශිෂ්‍ය සම්බන්ධයකදී ගුරුවරයා දැනුම් සම්ප්‍රේෂකයා. ශිෂ්‍යයා ග්‍රාහකයා. ශිෂ්‍යයා විසින් ගුරුවරයෙකු නැතිව ස්වයං අධ්‍යයනයක් හරහා දැනුම එකතු කරගනිද්දී සම්ප්‍රේෂකයා පොතක්, පත්තරයක්, අන්තර්ජාලය වැනි යම් දැනුම් ගබඩාවක්. එය එසේ නොවන්නේ ස්වයං අධ්‍යයනය තුළ අලුතෙන් දැනුම් නිෂ්පාදනයක් වෙද්දී පමණයි.

    දැනුම් සම්ප්‍රේෂණයේදී සම්ප්‍රේෂකයා විසින් මෙන්ම ග්‍රාහකයා විසින්ද පිරිවැයක් දැරිය යුතුයි. “අධ්‍යාපනයේ මිල” කියා කියද්දී එයින් අදහස් වන්නේ සම්ප්‍රේෂකයා හා ග්‍රාහකයා විසින් දැරිය යුතු සම්ප්‍රයුක්ත පිරිවැය මිසක් වෙළඳපොළ මිලක් ගැන නෙමෙයි. වෙළඳපොළක් තිබුණත් නැතත් මේ පිරිවැය තිබෙනවා. එම පිරිවැය සම්ප්‍රේෂකයා හා ග්‍රාහකයා විසින් යම් ආකාරයකින් බෙදාගත යුතුයි. එහෙම නැත්නම් තෙවන පාර්ශ්වයක් විසින් දැරිය යුතුයි. අධ්‍යාපන වෙළඳපොළේ බාහිර ස්වරූපය කුමක් වුවත් මේ මූලික කරුණ වෙනස් වෙන්නේ නැහැ. එතැනින් එහාට අධ්‍යාපන වෙළඳපොළේ බාහිර ස්වරූපය සමාජ සම්මුතියක්.

    බොහෝ අවස්ථා වලදී අධ්‍යාපනයේ ඉලක්කය වන්නේත්, ප්‍රතිලාභියා වන්නේත් ග්‍රාහකයා. ඒ වගේම, අධ්‍යාපන වෙළඳපොළේ බාහිර ස්වරූපය කුමක් වුවත් ග්‍රාහකයට අධ්‍යාපනය ලබා ගැනීම වෙනුවෙන් යම් මිලක් අනිවාර්යයෙන්ම ගෙවන්න සිදු වෙනවා. මෙහිදී මිල යන්නෙන් අදහස් කරන්නේ ආවස්ථික පිරිවැය. ස්වයං අධ්‍යයනයකදී වුවත් අනිවාර්යයෙන්ම මේ මිල ගෙවන්න වෙනවා. අධ්‍යාපනය වෙනුවෙන් වැය කරන කාලයේ ආවස්ථික පිරිවැය, වැය කරන මානසික ශ්‍රමයේ වටිනාකම ආදී සියල්ල එම මිලේ කොටස්. ඒ නිසා, කිසිම කෙනෙකුට අධ්‍යාපනය මිලක් නොගෙවා ලබා ගන්න බැහැ. නැවතත් මතක් කළොත්, මෙහි “මිලක්” යන්නෙන් අනිවාර්යයයෙන්ම මුදල් අදහස් වන්නේ නැහැ.

    ග්‍රාහකයෙක් විසින් අධ්‍යාපනය ලැබීම වෙනුවෙන් ඉහත පිරිවැය දරන්නේ එයින් යම් අපේක්ෂිත ප්‍රතිලාභයක් තිබෙන නිසා. එම ප්‍රතිලාභය මූල්‍යමය ප්‍රතිලාභයක් වෙන්න පුළුවන්. එසේ නොවන්නත් පුළුවන්. ඔය දෙකෙන් කොයි එක වුනත්, අධ්‍යාපනයේ ප්‍රතිලාභ දිගුකාලීනයි. දිගුකාලීන මූල්‍යමය හෝ වෙනත් ප්‍රතිලාභ අපේක්ෂාවෙන් සිදු කරන අධ්‍යාපනය ආයෝජනයක්. බොහෝ විට දැකිය හැක්කේ මේ තත්ත්වය වුවත්, අධ්‍යාපනය පරිභෝජනයක් සේ සැලකිය හැකි තත්ත්වයන්ද තිබෙනවා.

    සම්ප්‍රේෂකයෙකුට අධ්‍යාපනය ලබා දීම වෙනුවෙන් පිරිවැයක් දරන්න වෙනවා කියන එක පැහැදිලි කරුණක්. එසේනම්, සම්ප්‍රේෂකයෙකු විසින් එම පිරිවැය දැරිය යුත්තේ ඇයි?

    සම්ප්‍රේෂකයෙකු විසින් අධ්‍යාපනය ලබා දීම වෙනුවෙන් යම් පිරිවැයක් දරන්නේ එයින් ඊට වඩා වැඩි ප්‍රතිලාභයක් ලැබේනම් පමණයි. ඇතැම් විට මේ ප්‍රතිලාභය එයින් ලැබෙන මානසික තෘප්තිය. ඇතැම් විට ඒ වෙනුවෙන් ශිෂ්‍යයා හෝ තෙවන පාර්ශ්වයක් විසින් මුදලින් කරන ගෙවීමක් හෝ වෙනත් සත්කාරයක්. මෙය සමාජ පිළිගැනීම වැනි දෙයක් වෙන්න පුළුවන්. ඇතැම් විට මේ දෙකේ මිශ්‍රණයක්. ඇතැම් විට දැනුම සම්ප්රෙෂණයේදී සම්ප්‍රේෂ්කයාගේ අරමුණ දැනුම සංරක්ෂණය කිරීම හෝ දැනුම බෝ කිරීම වෙන්න පුළුවන්. මානසික තෘප්තිය ලැබෙන්නේ ඒ අරමුණ එක්ක.

    විධිමත් අධ්‍යාපන වෙළඳපොළ තුළ සිටින ටියුෂන් ගුරුවරු ඇතුළු ගුරුවරු හා සරසවි ඇදුරන් විසින් අධ්‍යාපනය සම්ප්‍රේෂණය කිරීමේ පිරිවැය දරන්නේ ශිෂ්‍යයන් විසින් හෝ තෙවන පාර්ශ්වයක් විසින් ඒ වෙනුවෙන් මුදලින් ගෙවීමක් කරන නිසා. එහෙත්, ඊට අමතරව මානසික තෘප්තිය හා සමාජ පිළිගැනීම වැනි වෙනත් ප්‍රතිලාභද එහි තිබෙන්න පුළුවන්.

    අධ්‍යාපනය ගැන පොදුවේ කතා කළත් අධ්‍යාපනය යනු සමජාතීය ප්‍රවර්ගයක් නෙමෙයි. උදාහරණයක් විදිහට විධිමත් අධ්‍යාපන වෙළඳපොළ ගත්තත් ප්‍රාථමික අධ්‍යාපනය සහ උසස් අධ්‍යාපනය අතර පැහැදිලි හා විශාල වෙනසක් තිබෙනවා. ප්‍රාථමික අධ්‍යාපනයේදී ග්‍රාහකයා විසින් අධ්‍යාපනය ඉල්ලා සිටින්නේ නැහැ. බොහෝ විට එය බලහත්කාරයෙන් පොවන්නක්. තමන් ලබන අධ්‍යාපනයේ අපේක්ෂිත ප්‍රතිලාභ පිළිබඳව ග්‍රාහකයාට පැහැදිලි අදහසක් නැහැ. එහෙමනම්, මේ වැඩේ මේ විදිහට වෙන්නේ ඇයි?

    මේක ආර්ථික විද්‍යාවෙන් එහා තිබෙන ප්‍රශ්නයක්. වෙනත් හැම සතෙකුට මෙන්ම සාපේක්ෂව මිනිසෙකුට “මිනිසෙකු” වීමට දීර්ඝ කාලයක් අවශ්‍යයි. අලුතෙන් ලොවට බිහිවන මිනිස් බිළිඳෙකුට වැඩිහිටි මිනිසුන්ගේ රැකවරණය හා උපකාර නොලැබුණහොත් ස්වාධීනව වැඩිහිටි මිනිසෙකු වීමේ කිසිදු හැකියාවක් නැහැ. මිනිස් බිළිඳා ආහාර ඇතුළු බොහෝ දේ සඳහා පරායත්තයි. මෙය වෙනත් සතුන්ටද පොදු දෙයක් වුවත් ස්වාධීන වීම සඳහා වෙනත් ඕනෑම සතෙකුට වඩා වැඩි කාලයක් මිනිසෙකුට අවශ්‍යයි. මිනිස් බිළිඳෙකු මිනිස් වැඩිහිටියෙකු කිරීම කවුරු හෝ විසින් දැරිය යුතු විශාල පිරිවැයක්.

    වත්මන් සමාජය තුළ ස්වාධීනව ජීවත් විය හැකි මිනිස් වැඩිහිටියෙක් වීමටනම් සිරුර උස් මහත් වීමට අමතරව තවත් බොහෝ දේ අවශ්‍ය වෙනවා. මේ සඳහා කිසියම් මූලික අධ්‍යාපනයක්ද අනිවාර්යයෙන් අවශ්‍ය වෙනවා. (“බෙල්ල පාලුවට ඔලුව තිබීම ප්‍රමාණවත් නැහැ”). ඒ අවශ්‍ය මූලික අධ්‍යාපනය කුමක්ද කියන එක අදාළ මිනිස් බිළිඳාට ස්වාධීනව ජීවත් වන්නට සිදු වන සමාජය කුමක්ද යන්න අනුව වෙනස් වෙනවා.

    මිනිස් බිළිඳෙකු මිනිස් වැඩිහිටියෙකු සේ ගොඩ නැගීම වෙනත් අයෙකු විසින් කළ යුතු දෙයක්. එය ඉබේට සිදු වන්නේ නැහැ. මෙය කළ යුත්තේ කවුරු විසින්ද?

    මේ ප්‍රශ්නයට පිළිතුර සමාජ සම්මුතියක්. මේ සඳහා ලබා දිය හැකි පළමු පිළිතුර මෙය දෙමවුපියන්ගේ වගකීමක් බවයි. දෙවන පිළිතුර පොදු, සමාජයීය වගකීමක් බවයි. එනම්, සියළු මිනිස් වැඩිහිටියන්ගේ සාමූහික වගකීමක් බවයි. ප්‍රායෝගිකව දැකිය හැක්කේ මේ තත්ත්වයන් දෙක අතර අතරමැදි තත්ත්වයක්. සත්ත්ව ලෝකය තුළ වුවද එවැනි චර්යාවන් දැකිය හැකියි.

    අපට දෘශ්‍යමාන ලෝකය තුළ මිනිස් බිළිඳෙකු වැඩිහිටියෙකු කිරීම සඳහා අවශ්‍ය පිරිවැයෙන් විශාලතම කොටස දෙමවුපියන් විසින් දැරීම සාමාන්‍ය තත්ත්වයයි. එය දෙමවුපියන් අතින් සිදු නොවෙද්දී බොහෝ විට මිනිස් බිළිඳෙකු අසරණ වෙනවා. වෙනත් බොහෝ සත්ත්ව ගහණ හා අදාළවද සාමාන්‍ය තත්ත්වය එයයි.

    ඕනෑම සත්ත්ව ගහණයක් පරිණාමය වන ස්වභාවික ක්‍රියාවලිය තුළ එය එලෙස සිදු වීම අරුමයක් නෙමෙයි. වර්ගයා බෝ කිරීම වෙනුවෙන් ප්‍රමාණවත් ආයෝජනයක් සිදු නොකරන සත්ත්ව කොට්ඨාශයක් වඳ වී යනවා. එහෙම නොවෙන්නම් වෙනත් සත්ත්ව කොට්ඨාශයක් විසින් ඒ පිරිවැයේ බරට කරට ගත යුතුයි. එසේ වෙන අවස්ථා තිබුනත් පරිණාමික ඉතිහාසය තුළ එය සාමාන්‍ය තත්ත්වය නොවූ නිසා දරුවන්ට ස්වාධීනව ජීවත් විය හැකි වන තුරු අවශ්‍ය පිරිවැය දෙමවුපියන් විසින් දැරීම ජාන තෙරපුම හරහාම එන දෙයක්.

    මෙය එකම හේතුව නෙමෙයි. සමහර වෙලාවට දරුවන් වෙනුවෙන් දරන පිරිවැය ආර්ථික ලාබ වෙනුවෙන් දෙමවුපියන් විසින් කරන ආයෝජනයක්. උදාහරණයක් විදිහට කෘෂිකාර්මික සමාජයක දරුවන් කියන්නේ උස් මහත් කරගත්තට පස්සේ ශ්‍රමය සපයන යන්ත්‍ර. “පුත්‍ර සම්පත” වගේ යෙදීම් තියෙන්නේ ඒ නිසා.

    එය එසේ වුවත්, අනෙක් අතට මෑතක් වන තුරුම දරැවන් බිහිවීම සෑහෙන තරමක අහම්බයක්. ජාන තෙරපුම හරහා ස්වභාවික ලෙස ඇති වන ලිංගික අවශ්‍යතා වල අතුරු ඵලයක්. නමුත් උපත් පාලන ක්‍රම හා ඒ පිළිබඳ දැනුම සුලබ වීමෙන් පසුව මේ තත්ත්වය දැන් වෙනස්. දරුවෙකු කියන්නේ තවදුරටත් අහම්බයක් නෙමෙයි. බොහෝ දුරට සවිඥානික තේරීමක්.

    වත්මන් බටහිර ලෝකයේ සම්මතයන් දිහා බැලුවොත් දරුවන් හදා ලොකු මහත් කරන එක මේ වෙද්දී බොහෝ දුරට එසේ කිරීමේ විනෝදය හෝ තෘප්තිය තකා කරන වැඩක්. ඒ හැර වෙනත් “මතු බලාපොරොත්තු” නැහැ. දරුවන් හදන එකෙන් ඒ විනෝදය හෝ තෘප්තිය නොලබන කෙනෙකුට දරුවන් හදා නොගනිමින් අවශ්‍ය පමණ ලිංගික සතුට ලබන්න බාධාවක් නැහැ. ඒ වගේම, තමන්ගේම නොවන දරුවන් තමන්ගේ දරුවන් කරගෙන හදා වඩා ගනිමින් ඔවුන් වැඩිහිටියන් කිරීමේ පිරිවැය දැරීම වේගයෙන් ප්‍රචලිත වන දෙයක්. ඊටත් අමතරව, සුරතල් සතුන් වෙනුවෙන් දරන පිරිවැය පෙන්වන්න පුළුවන්.

    මේ දේවල් කරන්නේ තමන්ගේම හෝ දරුකමට හදාගන්න ගත් දරුවෙකු ලොකු මහත් කර ස්වාධීන වැඩිහිටියෙකු කිරීමේ සතුට වෙනුවෙන් මිසක් එතැනින් එහාට වෙනත් අනාගත ප්‍රතිලාභ බලාගෙන නෙමෙයි. ජීවවිද්‍යාත්මක හෝ එසේ නොවන දෙමවුපියන් විසින් දරුවන්ගේ මූලික අධ්‍යාපනය වෙනුවෙන් ආයෝජනය කරන එකත් මේ පැකේජ් එකේ කොටසක්.

    ලංකාවේ සමාජය තවමත් මේ තැනට ඇවිත් නැති වුනත් වේගයෙන් එතැනට එනවා. කොහොම වුනත් ලංකාවේ සමහර දෙවවුපියන් තවමත් දරුවෝ හදන එක සලකන්නේ ආයෝජනයක් විදිහට. මතු බලාපොරොත්තු ඇතිව ආයෝජනයක් විදිහට දරුවෝ හැදුවත්, දරුවන් හැදීමේ තෘප්තිය පිණිස පමණක් දරුවෝ හැදුවත් ඒ දරුවෝ ලොකු මහත් කරලා ස්වාධීන පුරවැසියන් විදිහට සමාජයට දමන එක දෙමවුපියන්ගේ ඉලක්කයක්. ඒ සඳහා, ඔවුන්ට අවම මූලික අධ්‍යාපනයක් දෙන්න වෙනවා. එය කොයි වගේ එකක්ද කියන එක තීරණය කරන්නේ දෙමවුපියන් විසින් මිසක් එම දරුවන් විසින් නෙමෙයි.

    ඉහත තත්ත්වය තුළ දරුවෙකුට මූලික අධ්‍යාපනය ලබා දීමේදී ග්‍රාහකයා වන්නේ දරුවා වුනත් පිරිවැයෙන් සැලකිය යුතු කොටසක් ගෙවන්නේ දෙමවුපියන් විසින්. දරුවන්ට මූලික අධ්‍යාපනයක් ලබා දීම දෙමවුපියන්ගේ තීරණයක් නිසා මෙහි වැරැද්දක් නැහැ. හැබැයි දරුවන්ටත් එහිදී ගෙවන්න වෙන පිරිවැයක් තිබෙනවා. සමහර වෙලාවට දරුවෝ ඒ පිරිවැය ගෙවන්නේ වෙන කරන්න දෙයක් නැති කමට අකැමැත්තෙන්. නමුත් දරුවන් සම්බන්ධව තීරණ ගැනීමේ බලාධිකාරය තිබෙන්නේ දෙමවුපියන් සතුව නිසා දරුවන්ට වෙනත් විකල්පයක් නැහැ. සාමාන්‍යයෙන් දරුවන් වැඩිහිටියන් වූ පසු මේ “හිරිහැරය” කිරීම ගැන දෙමවුපියන්ට දොස් කියන්නේ නැහැ. එහෙම කරන්නේ ඔවුන් විසින් එසේ නොකළොත්.

    දෙමවුපියන් විසින් තමන්ගේ දරුවන්ට ලබා දිය යුතු මූලික අධ්‍යාපනය ගැන තීන්දු ගන්නේ සමාජයීය සාධක ගැන හිතලා. මොකද වැඩිහිටියන් විදිහට සාර්ථක වීම සඳහා ඔවුන් විසින් ලබා ගත යුතු දැනුම මොන වගේ එකක්ද කියන එක තීරණය වෙන්නේ ඔවුන්ට ජීවත් වෙන්න සිදුවන සමාජයේ අවශ්‍යතා අනුව. ඒ නිසාම, තමන්ගේ දරුවන්ට ලබා දිය යුතු අධ්‍යාපනය මොන වගේ එකක්ද කියන එක දෙමවුපියන්ගේ පෞද්ගලික තීරණයක් වුනත්, කිසියම් නිශ්චිත සමාජයක ජීවත්වෙන බොහෝ දෙමවුපියන්ට ඔවුන්ගේ දරුවන්ට ලබා දෙන්න අවශ්‍ය වන මූලික අධ්‍යාපනය ආසන්නව සමාන එකක්. වෙනත් සමාජයකදී එය වෙනස් විය විය හැකිවාක් මෙන්ම එකම සමාජයක වුවත් කාලයත් එක්ක වෙනස් වෙනවා.

    ඉහත තත්ත්වය නිසා දෙමවුපියන් විසින් එක් එක් දරුවාට වෙන වෙනම මූලික අධ්‍යාපනය දෙන එකට වඩා දරුවන් කණ්ඩායමකට පොදුවේ එම අධ්‍යාපනය ලබා දෙන එක වඩා කාර්යක්ෂමයි. එක පැත්තකින් එයින් ලබා දෙන අධ්‍යාපනයේ ගුණාත්මක භාවය වඩා හොඳින් තහවුරු වෙනවා. මොකද දරුවන්ට හොඳම දෙය තීරණය කරන්නේ වැඩි පිරිසක් එකතු වෙලා. දෙවනුව, පොදුවේ අධ්‍යාපනය ලබා දීමේදී දරුවෙකු වෙනුවෙන් ඒ සඳහා වැය කළ යුතු පිරිවැය පහළ යනවා. ආර්ථික විද්‍යා භාෂාවෙන් කිවුවොත් මෙහිදී එකිනෙකාට ධනාත්මක බාහිරතාවක (positive externality) වාසිය ලැබෙනවා.

    ධනාත්මක බාහිරතාවක් කියන්නේ මේ වගේ දෙයක්. අපි හිතමු ගමේ කාටවත් අකුරු කියවන්න බැහැ කියලා. දැන් කාට හෝ ආණ්ඩුවේ කන්තෝරුවකින් ලියුමක් ලැබෙනවා. ලියුම කියවාගන්න කෙනෙක් හොයා ගන්න වෙන්නේ ගම් හතක් පයින් ගිහින්. ඔහොම තියෙද්දී ගමේ කෙනෙක් අකුරු කියවන්න ඉගෙන ගන්නවා. දැන් මෙහි වාසිය තියෙන්නේ ඔහුට හෝ ඇයට පමණක් නෙමෙයි. එහි වාසිය අනෙක් අයටත් තියෙනවා.

    හැබැයි දැන් මේ විදිහට අකුරු දන්නා පුද්ගලයාට ගමේ වෙන කා එක්කවත් ලිඛිත සන්නිවේදනයක් කරන්න බැහැ. නමුත් දෙවැන්නෙක් අකුරු ඉගෙන ගත්තොත් පළමුවැන්නාට ඒ වාසිය ලැබෙනවා. තුණ්ඩු කෑල්ලක ලියලා හදිසියකට දෙවැන්නාට පණිවිඩයක් යවන්න පුළුවන්. අකුරු ඉගෙන ගැනීම නිසා පළමුවැන්නාට වහාම නොලැබුණු වාසියක් දෙවැන්නාට වහාම ලැබෙනවා. ගමේ ඉන්න අකුරු උගත් ප්‍රමාණය ඉහළ යද්දී අනෙක් හැමෝටම එයින් යම් වාසියක් ලැබෙනවා.

    මේ අකුරු ඉගෙන ගැනිල්ල එක සීමාවකට ගියාට පස්සේ අකුරු ඉගෙනීම ධනාත්මක බාහිරතාවක් වීමේ බලපෑමට සාපේක්ෂව අකුරු ඉගෙන නොගැනීමේ සෘණාත්මක බාහිරතාව (negative externality) කාටත් පෙනෙන්න පටන් ගන්නවා. අපි හිතමු ගමේම අකුරු නොදන්නා අය ඉන්නේ දෙතුන් දෙනයි. දැන් මොකක් හෝ ගමට දැනුම් දෙන්න අවශ්‍ය වී දැන්වීමක් ගැහුවම ඔය දෙන්නා මග හැරෙනවා. ඒ දෙන්නට වෙනම පණිවිඩ යවන්න වෙනවා. මේක ගමේ සියල්ලන්ටම ප්‍රශ්නයක්. ඒ දෙන්නටත් අතින් වියදම් කරලා හරි අකුරු උගන්වන එක ඊට වඩා වාසියි.

    පැහැදිලි කිරීම සඳහා හතර දෙනෙක් ඉන්න බෝඩිමක් ගැන හිතමු. ඔය හතර දෙනාගෙන් එක්කෙනෙක් කැරම් ගහන්න දන්නවා. නමුත් අනෙක් තුන්දෙනා දන්නේ නැති නිසා කැරම් ගහන්න විදිහක් නැහැ. දෙවැන්නෙක් කැරම් ගහන්න ඉගෙන ගත් විට පළමුවැන්නාට වගේම දෙවැන්නාටත් ධනාත්මක බාහිරතාවයේ වාසිය ලැබෙනවා.

    ඔහොම තියෙද්දී තුන්වැන්නෙකුත් කැරම් ගහන්න ඉගෙන ගන්නවා. ඊට පස්සේ හතරවෙනියාට කැරම් ගහන්න බැරිවීම සෘණාත්මක බාහිරතාවක් වෙනවා. හතරවැනියාට කැරම් පුරුදු කරන්න ටිකක් මහන්සි වෙන එක අනෙක් තුන්දෙනාටම වාසියක්.

    තමන්ගේ දරුවාට මූලික අධ්‍යාපනය ලබා දෙන ගමේ පළමුවැන්නාට ඒ වෙනුවෙන් සැලකිය යුතු පිරිවැයක් දරන්න වෙනවා. නමුත් දෙවැනියෙක් එකතු වෙද්දී සාමාන්‍යයෙන් ඔය පිරිවැය වැඩි වුනත් දෙගුණ වෙන්නේ නැහැ. ඒ නිසා, එක් අයෙකුට යන වියදම අඩු වෙනවා. තව තව පිරිස් එකතු වෙද්දී ඔය වියදම තවතවත් අඩු වෙනවා. නමුත් මේ විදිහට වියදම ගොඩක්ම අඩු වුනාට පසුවත් ඒ වියදම දරාගන්න බැරි අය ඉතිරි වෙන්න පුළුවන්. එහෙම ඉතිරි වෙන්නේ එක් කෙනෙක් හෝ දෙන්නෙක්නම් ඒ ඉතිරි වන අයගේ වියදම අනෙක් අය එකතු වී සුබසාධනය කළා කියලා අනෙක් අයට පාඩු වෙන්නේ නැහැ. මොකද එහිදී එකතු වන ධනාත්මක බාහිරතාවයේ හෝ අඩු වන සෘණාත්මක බාහිරතාවයේ වාසිය වඩා වැඩියි.

    ඉහත කී තත්ත්වයන් යටතේ දෙමවුපියන් විසින් තමතමන්ගේ දරුවන්ට වෙන වෙනම මූලික අධ්‍යාපනය දීමට වඩා එය පොදුවේ ලබා දෙන එක කාටත් වාසිදායක වෙනවා. හැබැයි මේ තර්ක සියල්ල අදාළ වෙන්නේ හැම දරුවෙකුටම සාර්ථක වැඩිහිටියෙකු වීම සඳහා අවශ්‍ය වන මූලික අධ්‍යාපනය හා අදාළවයි. විස්තර කළ තත්ත්වයන් අනුව, මූලික අධ්‍යාපනය ලබා දීමේ ආකෘතිය විදිහට පොදු අධ්‍යාපනය කියන එක ස්වභාවික ලෙසම ගොඩ නැගෙන දෙයක්.

    ඔය වගේ තත්ත්වයක් ඇති වුනාට පස්සේ බොහොමයක් දෙමවුපියන් තමන්ගේ දරුවන්ට පොදු ආකෘතියක් තුළ ලැබෙන මූලික අධ්‍යාපනයෙන් සෑහීමකට පත් වෙනවා. මොකද ඔවුන් විසින් තනි තනිව තමන්ගේ දරුවන්ට මූලික අධ්‍යාපනය දෙන්න ගියානම් ඊට වඩා වැඩි මුදලක් වැය වෙනවා. බොහෝ විට එය දරාගන්න අමාරු මුදලක්. වෙනත් විදිහකින් කිවුවොත් තමන්ගේ දරුවන්ට පොදු අධ්‍යාපනය ලබා දෙන දෙමවුපියන් බොහොමයකට ඒ වෙනුවෙන් වැය කළ හැකි උපරිම මුදලින් ඔවුන්ගේ දරුවන්ට ලබා දිය හැකි පෞද්ගලික අධ්‍යාපනයට වඩා හොඳ පොදු අධ්‍යාපනයක් ඊට වඩා අඩු මිලකට ලැබෙනවානම් එය වෙනස් නොවන ස්ථායී සමතුලිතතාවයක් බවට පත් වෙනවා.

    ඉහත තත්ත්වය තුළ වුවත් තමන්ගේ දරුවන්ට වඩා හොඳ අධ්‍යාපනයක් දෙන්න අවශ්‍ය, පොදු අධ්‍යාපනයෙන් සෑහීමකට පත් නොවන, දෙමවුපියන් ඉන්න පුළුවන්. නමුත් ඔවුන් ඒ වෙනුවෙන් වැඩි පිරිවැයක් දරන්න කැමති නැත්නම් එතැනින් එහාට කිසිවක් වෙන්නේ නැහැ. එහෙත් එසේ වැඩි පිරිවැයක් දරමින් තමන්ගේ දරුවන්ට පොදු අධ්‍යාපනයට වඩා වෙනස් ආකාරයක අධ්‍යාපනයක් ලබා දෙන්න අවශ්‍ය දෙමවුපියන් සිටින විට මේ තත්ත්වය වෙනස් වෙනවා. එවැනි දෙමවුපියන්ගේ දරුවන් වෙනුවෙන් පොදු අධ්‍යාපනයට අමතර වෙනත් ආකෘතීන් බිහි වෙන්න පුළුවන්.

    ඇමරිකාවේ මේ සඳහා උදාහරණ වන්නේ නිවසේ සිට අධ්‍යාපනය ලබා දීම සහ පෞද්ගලික පාසැල්. ලංකාවේනම් ජාත්‍යන්තර පාසැල්.

    තමන්ගේ දරුවන්ට මේ විදිහේ වෙනස් ආකෘතියක අධ්‍යාපනයක් ලබාදෙන දෙමවුපියන්ටත් සාමාන්‍යයෙන් පොදු අධ්‍යාපනයේ පිරිවැය දරන්න සිදු වෙනවා. හේතු දෙකක් නිසා එහි වැරැද්දක් නැහැ. පළමුව, ඔවුන්ටද තමන්ගේ දරුවන් වෙනුවෙන් පොදු අධ්‍යාපනය ලබා දීමේ අවස්ථාව විවෘතව තිබෙනවා. ඔවුන් එය ලබා නොගත්තත් ලබා ගැනීමේ හැකියාව වෙනුවෙන් “රක්ෂණ වාරිකයක්” ගෙවීමේ වැරැද්දක් නැහැ. දෙවනුව, අනෙක් අයගේ දරුවන්ට පොදු අධ්‍යාපනය ලබා දීමේදී බාහිරතා හරහා ඔවුන්ට වාසියක් ලැබෙනවා.

    පැහැදිලි සමාජයීය අවශ්‍යතාවයක් නිසා මූලික අධ්‍යාපනය දරුවෙකුගේ අයිතියක් කියා සැලකීමේ වරදක් නැහැ. එම මූලික අධ්‍යාපනය වෙනුවෙන් පිරිවැය දැරීමේ ප්‍රධාන වගකීම තිබෙන්නේ දරුවකුගේ දෙමවුපියන්ටයි. අනෙක් අතට සමාජයීය ලෙස අවශ්‍ය වන මූලික අධ්‍යාපනය කොපමණද යන්න තීරණය වන්නේ කිසියම් සමාජයක වැඩිහිටියන්ට ඔවුන්ගේ ඊළඟ පරපුරේ මූලික අධ්‍යාපනය වෙනුවෙන් දැරිය හැකි පිරිවැය කොපමණද යන්න මතයි.

    ලංකාවේ දැනට පවතින විධිමත් අධ්‍යාපන ආකෘතිය ඇතුළේ මූලික අධ්‍යාපනය සේ හඳුනාගත හැක්කේ සාමාන්‍ය පෙළ දක්වා ලබා දෙන අධ්‍යාපනයයි. එතැනින් එහාට ලැබෙන අධ්‍යාපනය විශේෂිත අධ්‍යාපනයක්. ලංකාවේ අද සමාජය තුළ වැඩිහිටියෙකු වන දරුවෙකු සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලැබීම කිසිසේත්ම විශේෂ සුදුසුකමක් නෙමෙයි. එහෙත්, අඩු වශයෙන් එම මට්ටම දක්වා හෝ අධ්‍යාපනය නොලබන කෙනෙක් සැලකිය හැක්කේ සමාජය විසින් ඉල්ලන අවම මූලික අධ්‍යාපනය නොලැබූ අයෙකු ලෙසයි.

    මෙම සීමාව වෙනස් නොවන දෙයක් නෙමෙයි. සාමාන්‍යයෙන් වෙන්නේ කාලයත් එක්ක මේ අවම මට්ටම ඉහළ යන එකයි. වසර පණහකට පමණ පෙර ලංකාවේ මේ අවම මට්ටම අටවන ශ්‍රේණිය සමත් වීම හෙවත් අටපාස් වීම. නවවන ශ්‍රේණියේ සිට ලැබුණේ විශේෂිත අධ්‍යාපනයක්. පසුව මෙය වෙනස් වුනා.

    ඇමරිකාවේ විධිමත් අධ්‍යාපන ආකෘතිය තුළ වසර දොළහක පාසැල් අධ්‍යාපනය (මෙන්ම පෙර පාසැල් අධ්‍යාපනය) සැලකිය හැක්කේ මූලික අධ්‍යාපනයක් ලෙසයි. ඊට අමතරව, සරසවි පාඨමාලාවක පළමු වසරේදීද මූලික පොදු අධ්‍යාපනයක ලක්ෂණ තිබෙනවා. මෙම මූලික පොදු අධ්‍යාපනය අඩු වැඩි වශයෙන් සරසවියක දෙවන වසර දක්වාම දිගු වෙනවා. විශේෂිත අධ්‍යාපනයක් ලැබෙන්නේ ඉන් පසුවයි. අවශ්‍ය අයෙකුට සාමාන්‍යයෙන් සරසවියේදී ලබා ගත යුතු මෙම අධ්‍යාපනය සරසවි යාමට පෙර පාසැලේදීම වුවත්, පොදු අධ්‍යාපනයේ කොටසක් ලෙස, ලබා ගත හැකියි.

    (මතු සම්බන්ධයි)

    ~ ඉකොනොමැට්ටා

    RN