සටහන – නිශ්මං රණසිංහ
ජනවාරි 02 ,(LNW)කොළඹ :
අලුත් අවුරුද්ද ජයග්‍රහණයකින් අරඹමින් නවසීලන්ත සංචාරයේ තෙවන විස්සයි විස්ස තරගය ලකුණු 7 න් ජය ගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ.තෙවන තරගය සඳහා ඓතිහාසික වටිනාකමක් සහිත නවසීලන්තයේ දකුණු දූපතේ පිහිටි නෙල්සන් වෙත පැමිණි කණ්ඩායම් දෙකේ නායකයන් අතරෙන්,මේ තරගයේදී පළමුවරට කාසියේ වාසිය දිනා ගන්නට නවසීලන්ත නායකයා සමත් විය.පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව හිමි වුණේ මිචෙල් සැන්ටර්ගේ ආරාධනය පරිදි ශ්‍රී ලංකාවටය.
ශ්‍රී ලංකා ඉණිම සම්පූර්ණයෙන් ගොඩ නැඟීමේ වගකීම කුසල් ජනිත් පෙරේරා සිය වගකීමක් බවට පත් කර ගත්තේය.පරාජිත තරග දෙකේම උද්දාමයට පත්ව සිටි නවසීලන්ත පන්දු යවන්නන්ට දිගට හරහට බැට දුන් කුසල්,පන්දු 46 න් ලකුණු 101 ක් ලැබීය.ඒ සදහා 4 පහර 13 ක් ද,හයේ පහර 4 ක් ද ඇතුළත්ව තිබිණි.පළමු කඩුල්ල ලකුණු 23 දි දැවී යාමෙන් ඉනික්බිති පිටියට පැමිණි කුසල් ජනිත,දැවී ගියේ පස්වන කඩුල්ල ලෙසය.එවිට ලකුණු පූවරුව කුසල්ගේ දායකත්වය පෙරටු කර ගෙන ලකුණු 202 දක්වා ඉහළ නැංවී තිබිණ.
කුසල් ජනිත් සහ නායක චරිත් අසලංක ලකුණු 83 ට කඩුලු 3 ක් බිඳ වැටී තිබියදී පිටියේ එකතු විය.චරිත් දැවී ගියේ සිව්වන කඩුල්ලට ලකුණු 100 ක දායකත්වයක් ඇති කිරීමෙන් අනතුරුවය.ඔහුගේ දායකත්වය පන්දු 24 දී ලකුණු 46 ක් විය.හයේ පහර පහක් සහ එක් හතරේ පහරකින් චරිත්ගේ ඉණිම පෝෂණය විය.
තරග 2-1 ක් ලෙස නවසීලන්තයට තරගාවලි ජය අත් වුණ තරගාවලියේ කඩුලු 8 ක් දවා ගෙන තරගාවලියේ විරයා වූ ජාකොබ් ඩුෆී,ශ්‍රී ලංකාවේ කඩුලු 5 එක බැඟීන් පන්දු යවන්නන් පස් දෙනෙකු අතරේ බෙදුණු මෙම තරගයේදී ද ලකුණු 30 ක් ලබා දී එක් කඩුල්ලක් දවා ගන්නට සමත් විය.
පිළිතුරු ඉණිම සඳහා පිටියට පිවිසි නවසීලන්තය වෙනුවෙන් ආරම්භක කඩුල්ල සඳහා ලකුණු 81 සබඳතාවයක් ගොඩ නඟන්නට ටිම් රොබින්සන් (37) සහ රචින් රවීන්ද්‍ර (69) සමත් විය.ඔවුන් දෙදෙනා හැරුණු විට නවසීලන්තය වෙනුවෙන් සාර්ථක වූයේ ඩැරල් මිචෙල් ය.කඩුලු 7 ට ලකුණු 211 දක්වා නවසීලන්ත ඉණිම රැඟෙන ඒම සඳහා ප්‍රධාන වශයෙන් දායක වූ පුවේගකාරී ඉණිම ඩැරල් විසින් ක්‍රියාත්මක කළේ පන්දු 17 න් හයේ පහර 4ක් සහ එක් හයේ පහරක් සහිතව ලකුණු 35 ක් ලබා ගනිමින්ය.
ඔහු චරිත් අසලංකට එරෙහිව දැඩි ප්‍රහාරයක් දියත් කළ අතර එහෙත් මේ තරගයේදී අතිරේක පන්දු යවන්නෙක් ලෙස නවසීලන්ත පිතිකරුවන්ට දැඩි තර්ජනයක් ඇති කළ චරිත් ලකුණු 50 ක් ලබා දුන්න ද,කඩුලු 3 ක් දවා ගන්නට සමත් විය.නුවන් තුධාර මේ තරගාවලිය පුරාම පන්දු යැවීමේදී ඉතා හොඳ රිද්මයකින් පන්දු යවමින් පිතිකරුවන්ට ලකුණු ලබා ගැනීමට හරස්වීම ඇගයිය යුතුය.
තෙවන තරගයට පළමු තරග දෙකේ සිටි කමිඳු මෙණ්ඩිස් සහ මතීශ පතිරණ ඉවත් කර තිබිණ.මතීශ ඉවත් කිරීම තාවකාලික තීරණයක් වී කමිඳු මෙණ්ඩිස්නම් සදාකාලිකවම විස්සයි විස්ස ආකෘතියෙන් ඈත් කර තැබීම වටියි.ඔහුට විශිෂ්ඨ එක්දින සහ ටෙස්ට් ක්‍රීඩකයෙක් ලෙස ස්වීය රිද්මය ආරක්ෂා කරගෙන ශ්‍රී ලංකාවට වැඩි සාධාරණයක් කළ හැක්කේ ඒ ආකාරයෙන්ය.
එසේම භානුක රාජපක්ෂ ගැන ද දිගින් දිගට අවස්ථාව දීම සම්බන්ධයෙන් සිතා බැලිය යුතුව ඇත.එසේම අවිශ්ක ප්‍රනාන්දු ද විස්සයි විස්ස ක්‍රීඩකයෙක් ලෙස සිය අනන්‍යතාවය මේ වන විට දිය කරගෙන තිබෙන බවක් දැකිය හැකිය.
තරගයේ ලකුණු විස්තරයට → https://es.pn/3PlMPZe