සටහන – නිශ්මං රණසිංහ
ජනවාරි 04 ,(LNW)කොළඹ :
“මම හොඳින් ජීවත් වෙනවා. ඒ වගේම මම ජීවිතයට ආදරෙයි. මම තවමත් නිරෝගීව සිටීම සතුටක්.”
ඇයට වයස අවුරුදු සියයක් පිරෙන දා පවසා තිබිණ.
“මේ අවුරුදු 100 මට දැනුනේ 60ක් වගේ,”
ඇය සිය තරුණ බව ගැන කියන්න ද නැතිනම් ජීවිතයට දක්වන ලද දැඬි ආදරය ගැන කියන්නද එසේ පැවසූ බව පැහැදිළි නැත.එහෙත් ලෝකයේම ගෞරවයට පාත්‍ර වූ,වයස අවුරුදු 103 ක් ආයු වළදා ජිවිතයෙන් නික්ම ගිය,හංගේරියාවෙන් බිහි වූ විශිෂ්ඨතම ජිම්නාස්ටික් සූරිය ලෙස පිළිගැනෙන ඇග්නස් කෙලෙටි ගේ දක්ෂතා නොව ඇයගේ ජිවිතයම අපූර්වත්වයෙන් පිරී තිබුණාය.
ඇය ජීවිතයට පැමිණි බාධක ඉදිරියේ නොසැලුණාය.නො‘නැවතුණාය.
ඇය උපන්නේ 1921 දී ය.1940 සහ 1944 ඔලිම්පික් තරඟ අවලංගුවීම නිසා ඇයට බොහෝ ජිම්නාස්ටික් ක්‍රීඩකයින් හොඳින් දස්කම් දක්වන වයසේදී ඔලිම්පික් සහභාගීත්වය අහිමි විය.
එසේම ඇයගේ යුදෙව් සමභවය නිසා 1941 දී නාසිවාදින්ගේ ම්ලේච්ඡත්වයේ ගොදුරක් නොවී සිටින්නට පලා යන්නට සිඳු වූවාය.ඇය හංගේරියාවේ ගම්බද ප්‍රදේශයක ව්‍යාජ නමකින් පෙනී සිටිමින් සේවිකාවක ලසෙ සේවය කළාය. ඇගේ මව සහ සහෝදරිය කීර්තිමත් ස්වීඩන් රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වූ රාවුල් වොලන්බර්ග්ගේ උපකාරයෙන් යුද්ධයෙන් දිවි ගලවා ගත්තද,පියා සහ ඥාතීන් නාසිවාදීන්ගේ ම්ලේච්ඡත්වයේ ගොදුරු බවට පත් විය.
යුද්ධයෙන් පසු සිය වෘත්තීය ජීවිතය නැවත ආරම්භ කරමින්, කෙලෙටි 1948 ලන්ඩන් ඔලිම්පික් උළෙලට තරඟ කිරීමට සූදානම් වූ නමුත් අවසන් මොහොතේ වළලුකර ආබාධයක් ඇගේ බලාපොරොත්තු බිඳ දැමීය.
වසර හතරකට පසු, ඇය වයස අවුරුදු 31 දී 1952 හෙල්සින්කි ක්‍රීඩා උළෙලේදී සිය මංගල ඔලිම්පික් ක්‍රීඩා කළ අතර, බිම අභ්‍යාසයේ රන් පදක්කමක් මෙන්ම රිදී සහ ලෝකඩ දෙකක් ද දිනා ගත්තාය. 1956 දී ඇය මෙල්බර්න් ඔලිම්පික් උළෙලේ රන් පදක්කම් හතරක් සහ රිදී පදක්කම් දෙකක් දිනා ගනිමින් සාර්ථකම ක්‍රීඩිකාව බවට පත් වූවාය.
ඇය වයස අවුරුදු 35 දී මෙල්බර්න්හිදී ජිම්නාස්ටික් ඉතිහාසයේ වයස්ගතම රන් පදක්කම් ලාභිනිය බවට පත්වෙන අතරවාරයේ, අසාර්ථක සෝවියට් විරෝධී නැගිටීමකින් පසුව සෝවියට් සංගමය හංගේරියාව ආක්‍රමණය කළේය. කෙලෙටි ඕස්ට්‍රේලියාවේ රැඳී සිටිමින් දේශපාලන රැකවරණ ඉල්ලා සිටියාය. පසුව ඇය ඊළඟ වසරේ ඊශ්‍රායලයට සංක්‍රමණය වූ අතර පුහුණුකරුවෙකු ලෙස සේවය කළ අතර 1990 දශකය දක්වා ඊශ්‍රායල ඔලිම්පික් ජිම්නාස්ටික් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළාය.
කෙටි කලකට ඕස්ට්‍රේලියානු ජිම්නාස්ටික් ක්‍රීඩකයින් පුහුණු කිරීමෙන් පසු, ඇය 1957 දී ඊශ්‍රායලයට සංක්‍රමණය වූ අතර, අවසානයේ ඇය ජාතික ජිම්නාස්ටික් වැඩසටහනක් ගොඩනඟා, ඊශ්‍රායල කණ්ඩායම පුහුණු කර, 2017 දී රටේ ඉහළම සිවිල් සම්මානය වන ඊශ්‍රායල් ත්‍යාගය දිනා ගත්තාය.ඒ ඇයට අවුරුදු 96 දී ය.සක්‍රීයව ක්‍රියාශීලිව වයස 96 දී ත් ක්‍රීඩාවට සම්බන්ධව සිටි මේ අපූරු ගැහැණිය ඊශ්‍රායලයේදී ඇයට හමු වූ හංගේරියානු ක්‍රීඩා උපදේශකයෙකු වූ රොබට් බීරෝ සමඟ විවාහ වීමෙන් පසු ඩැනියෙල් සහ රෆායෙල් යන පුතුන් දෙදෙනෙකුගේ මව් වීමට භාග්‍යය ලද්දාය.
ජීවිතය පුරාම ඇය වයසට වඩා ඉදිරියෙන් සිට ජීවිතය ජය ගත්තාය.ප්‍රශ්නවලට අරමුණු,ඉලක්ක පසු කර යන්නට නොඳුන්නාය.2024 නත්තල් දා ඇති වූ රෝගී තත්ත්වය නියුමෝනියා තත්ත්වය දක්වා වර්ධනය වුව ද,වයස 103 ක් වූ ඇයට ඒ සමඟ ද දින ගණනාවක් පරාජය භාර නොගෙන පොර බදන්නට ශක්තිය තිබුණාය.2025 ඒ ශක්තිමත් නමනීය ශරීරය මේ ලෝකයට අහිමිවන තෙක් ඇයගේ ජීවිතයෙන් ජීවිතය මෙන්ම ක්‍රීඩාව ඉඟෙන ගන්නට බොහෝ දේ හිමි කර දි තිබිණ.