*
Tuesday, January 7, 2025
spot_img

Latest Posts

“ලෝකය ජයගනිමි, මානව දයාවට කෙළ ගසමි” හෙවත් මස්ක්!

ඉසුරු පරාක්‍රම

ජනවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටෙස්ලා, ස්පේස්එක්ස් වැනි සමාගම් දැවැන්තයන් ගේ හිමිකරුවන ඊලෝන් මස්ක් නම් බිලියනපති ව්‍යවසායකයා ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදුකිරීම අතින් විශාල ප්‍රසිද්ධියක් ලබා සිටින්නෙකි.

විවිධ කර්මාන්තවල විප්ලවීය වෙනසක් ඇති කිරීම සඳහා පුරෝගාමී වූ මස්ක් එමඟින් ගෝලීය දැවැන්තයකු බවට පත්ව තිබුණ ද, පොදු වේදිකාවල ඔහුගේ හැසිරීම සහ ඔහු විසින් සිදුකරනු ලබන ඇතැම් ප්‍රකාශ ඉතාමත් ප්‍රශ්න සහගත ය.

මස්ක් විසින් ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලැබූ ප්‍රකාශවලින් බොහෝවිට සීමාව ඉක්මවාගිය අපහාසය විද්‍යමාන වී තිබෙන අතර, මෙම ප්‍රකාශ ඔස්සේ බොහෝවිට සමාජයේ පවතින සංවේදී ගැටළු හා ආන්තීරණයට ලක්වන ප්‍රජාවන් අවමානයට ලක්ව ඇති බව ඔහුට එරෙහිව ගොඩනැඟී තිබෙන චෝදනාවකි.

කොවිඩ් වසංගත සමයේ ලොවක් පීඩා විඳිනවිට එම වසංගත තත්ත්වය සැහැල්ලුවෙන් තකා කතා කිරීමේ සිට, අධි අවදානම් කණ්ඩායම් ඉලක්කකරගනිමින් සිදුකරනු ලැබූ අපහාසාත්මක ප්‍රකාශ දක්වා, ඊලෝන් මස්ක් ගේ සමාජීය වගකීම පැහැරහැර ඇති ප්‍රකාශ බොහොමයකි.

2020 වර්ෂයේ දී පැවති කොවිඩ් වසංගත සමයේ, මෙම වෛරසය පාලනය කිරීමට ලොවක් පොරකමින් සිටිය දී, එම වසංගතයේ අවදානම අවතක්සේරුවට ලක්කොට කතාකළ මස්ක්, වසංගතය පාලනය කිරීම සඳහා රටවල් අගුලු දැමීම ෆැසිස්ට්වාදී ක්‍රියාවක් බවත්, කුඩා දරුවන් මෙම වෛරසයට මූලික වශයෙන් ප්‍රතිශක්තියක් පෙන්නුම්කරන බවත්, මේ හේතුවෙන් ජනතාව අතර නොසන්සුන්තාවය පුපුරාගොස් ඇති බවත් පැවසුවේ ය.

මස්ක් ගේ සාවද්‍ය ප්‍රකාශ හේතුවෙන් ඔහු යටතේ සේවයකළ සේවකයන්ගේ ජීවිත අවදානමේ වැටුණා පමණක් නොව, මස්ක් ගේ වදන් විශ්වාසකළ ඔවුන් විද්‍යාත්මක කරුණු විශ්වාස කිරීමට මැලි වූ අයුරු ද දක්නට ලැබිණි.

මෙමඟින් ලොව පුරා කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් සාවද්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාප්ත වීමේ ප්‍රවණතාවය නිර්මාණය විය! ඔව්, කොවිඩ් වසංගතය පිළිබඳ සාවද්‍ය තොරතුරු ජනගත කිරීමේ පුරෝගාමියා වන්නේ ද, කර්මාන්ත ක්ෂේත්‍රයේ නව්‍යකරණයේ පුරෝගාමියාවන ඊලෝන් මස්ක් ම ය.

ඊලෝන් මස්ක් යනු ජනතාවගේ ආරක්ෂාව අභිබවා තම ව්‍යාපාරවල සාර්ථකත්වය වෙනුවෙන් වැඩි ප්‍රමුඛතාවයක් ලබා දෙන පුද්ගලයකු බවට පසක් වූයේ මෙම සිදුවීම සමඟ යි.

මස්ක්, ජනවාර්ගිකත්වය, සමාජභාවය, ඇතුළු අනෙකුත් සමාජයේ පවතින සංවේදී මාතෘකා සම්බන්ධයෙන් දරන අදහස් ද අතිශයින්ම ආන්දෝලනාත්මක ය. මෙවන් ක්ෂේත්‍ර සම්බන්ධයෙන් මස්ක් විසින් සිදුකොට ඇති ප්‍රකාශ බොහෝවිට ආන්තීකරණයට ලක්වන ප්‍රජාවන්ට අවමානය ගෙන දී ඇති බව කිය වේ. උදාහරණයක් ලෙස, ලිංගික අපයෝජනය සම්බන්ධයෙන් කාන්තාවන් ඇතුළු ලිංගික අපයෝජනයේ වින්දිතයන් විසින් ගෙනයනු ලබන #MeToo ව්‍යාපාරය, හුදෙක් ඇතැම් කාන්තාවන් විසින් ඉදිරිපත්කරනු ලබන නිදහසට කරුණක් පමණක් බව මස්ක් විසින් පවසා තිබේ.

මස්ක් ගේ මෙවන් ප්‍රකාශ ඔස්සේ හෑල්ලුවට ලක්කර තිබෙන්නේ, ලිංගික හිංසනය හා පහරදීම්වලින් දිවි ගලවා ගත් අයගේ සැබෑ අරගලබව සිහියේ තබාගත යුතු ය. මෙමඟින් සමාජයේ ගැඹුරු ලෙස මුල්බැසගෙන තිබෙන අර්බුදයකට එරෙහිව අරගලකරන උදවිය කෙරෙහි මස්ක් තුළ සහකම්පනයක් නොමැතිබව මනාව විදහා පායි.

තම ව්‍යාපාරතුළ විවිධත්වය සහ පිළිගැනීම නොමැතිවීම යන කරුණට අදාළව ද මස්ක් විවේචනවලට ලක්ව සිටියි. සමානාත්මතාවය සඳහා තමාගේ සහාය ලබා දෙන බව මස්ක් විසින් පවසා සිටිය ද, ඔහුට හිමි ටෙස්ලා සමාගමට එරෙහි ව, වාර්ගික කෙණහිලිකම් හා රැකියා ස්ථානයතුළ මුහුණදීමට සිදුවන හිංසනයන් සම්බන්ධයෙන් විවිධ අවස්ථාවල නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබේ. මෙම සිදුවීම් අතර, වාර්ගිකත්වය පදනම්කරගත් අපහාස සිදු කිරීම, සේවකයන්ට අසාධාරණ අන්දමින් සැලකීම, සහ කළු ජාතික සේවකයන් පීඩාකාරී රැකියා වටපිටාවන්ට නිරාවරණය කිරීම ආදී චෝදනා ඇතුළත් වේ. 

සේවකයන් සහ කම්කරුවන් හමුවේ ඊලෝන් මස්ක් පෙන්වනු ලබන ආකල්ප අතින් ද ඔහුගේ ප්‍රශ්නගත හැසිරීම තවත් ව්‍යාකූලකර තිබේ. 2021 වර්ෂයේ දී, කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කරන වෘත්තීය සමිතියක්වන United Auto Workers (UAW) සමච්චලයට ලක්කරමින් ට්විටර් පණිවිඩයක් නිකුත් කිරීමට මස්ක් කටයුතු කළේ ය.

වෘත්තීය සමිති සහ කම්කරු අයිතිවාසිකම් පහත්කොට සැලකීමේ, සහ තම සාර්ථකත්වයට අතහිත දුන් පුද්ගලයන් පහසුවෙන් මඟහැර යාමේ මස්ක් ගේ නිර්ලජ්ජිත හැසිරීම, ඔහු ධනය හා බලය පිටුපස කොපමණ කෑදරකමකින් යුතු ව හඹා යන පුද්ගලයකු ද යන්න සිහිපත් කර දෙයි.

ටෙස්ලා සමාගමේ සේවකයන් හට පැය ගණනාවක් දීර්ඝ වශයෙන් සේවයේ යෙදීමට සිදුව ඇති අතර, විවිධ අන්තරාදායක රැකියා වටපිටාවන්වල සේවයේ නිරත වෙමින් පීඩාකාරී ලෙස සමාගමේ නිශ්පාදන කෝටාව සපුරාලීමට සිදුව ඇති බව ද වාර්තා වේ. මෙහි දී ඔවුන්ගේ පෞද්ගලික ආරක්ෂාව කෙරේ ද එතරම් තැකීමක් සිදුනොවන බව වාර්තා වේ.

මස්ක් තම සේවකයන් හමුවේ දක්වන ආකල්පය තුළින් ඔහු මිනිසුන්ට වඩා ලාභයට ප්‍රමුඛතාවය ලබා දෙන බව පිළිබිඹු කරයි.

සමාජ මාධ්‍යතුළ අපහාසාත්මක ප්‍රකාශ සිදුකිරීම අතින් ද මස්ක් උසුලන්නේ රාජකීයත්වය කි. වරක ට්විටර් ලෙස හඳුන්වනු ලැබූ දැන් එක්ස් ලෙස හඳුන්වනු ලබන මස්ක්ගේ මුදලටම යට වූ සමාජ මාධ්‍ය වේදිකාවතුළ ඔහු විසින් භුක්ති විඳිනු ලබන්නේ වල්බූරු නිදහසකි. 2018 වර්ෂයේ දී, ගුහාවක සිර වී සිටි තායිලන්ත ජාතික තරුණ පාපන්දු කණ්ඩායමකගේ දිවි ගලවා ගැනීමට ඉදිරිපත් වූ බ්‍රිතාන්‍ය ජාතික කිමිදුම්කරුවකුට එක්ස් සමාජ මාධ්‍යය (එවකට ට්විටර්) ඔස්සේ “ළමා අපයෝජකයකු” යැයි ප්‍රසිද්ධියේ අපහාස කිරීම නිසා මස්ක්ට නඩුමඟට බැසීමට ද සිදුවිය.

මස්ක්ගේ මෙම පදනම් විරහිත ප්‍රකාශය අපහාසයක් වූවා පමණක් නොව, එය තමා විසින් දරන අදහස්වලට විරුද්ධ මතධාරීන් හමුවේ මස්ක් දක්වන අපරිණත හැසිරීම ද පිළිබිඹු කළේ ය. වඳුරකුට දැලිපිහියක් හසුවුනා මෙන්, අතිමහත් බලයක් ඇති මිනිසකු ප්‍රතිවිපාක පිළිබඳ කිසිඳු තැකීමක් සිදුනොකොට පුද්ගලයන් ඉලක්කකරගනිමින් විවිධ ප්‍රහාර එල්ලකරනු ලබන ආකාරය මින් පෙන්නුම් කරයි.

කෙසේවෙතත්, ළමා අපයෝජනය ට එරෙහිව මෙතරම් උනන්දුවෙන් කතාකරන ඊලෝන් මස්ක්ගේ සර්වබලධාරී හස්තය මෙන් ක්‍රියාකරන එක්ස් සමාජ මාධ්‍යය තුළ, “භාෂණයේ නිදහස” මුවාවෙන් බාලවයස්කරුවන් සිටින කාමෝද්දීපන වීඩියෝපට නම් බුරුතු පිටින් හුවමාරුවන බව පැවසිය යුතු ය.

මස්ක්ගේ ආන්දෝලනාත්මක හැසිරීම් සහ ප්‍රකාශ අතර පිළිකුල් සහගත ම නිරීක්ෂණයක් වන්නේ, ඔහු සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාව අරඹයා දක්වන ආකල්පයි. සමාජභාවී විවිධත්වයක් ඇති පුද්ගලයන් විසින් භාවිතා කරනු ලබන සර්වනාමයන් ප්‍රසිද්ධියේ සමච්චලයට ලක්කරන ඊලෝන් මස්ක්, එවන් පුද්ගලයන් විකාරරූපී බව පවසයි. තම එදිනෙදා ජීවිතයේ අනේකවිධ හිරිහැර හා ප්‍රචණ්ඩත්වයන්ට මුහුණදීමට සිදුවන සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාවට ඊලෝන් මස්ක් යනු වචනයේ පරිසමාප්ත අර්තයෙන් ම සතුරෙකි. 

ඊලෝන් මස්ක් සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාව කොපමණ පිළිකුල් කරන්නේ ද යත්, වරක ඔහුගේ සංක්‍රාන්ති සමාජභාවී දියණිය දරුකමින් අතහැර දැමීමට තරම් ඔහු දුෂ්ට විය. තම දියණිය දියණියක් බව පිළිනොගන්නා මස්ක්, ඇගේ නෛතික සංක්‍රාන්තිය සඳහා අවශ්‍ය නීතිමය ලියවිලිවලට අවශ්‍ය අත්සන් ලබා ගැනීමට ඈ විසින් තමා රැවටූ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය. ඊලෝන් මස්ක්ගේ සංක්‍රාන්ති සමාජභාවී අනන්‍යතාවයක් ඇති විවියන් විල්සන් නම් දියණිය මේ වන විට 21 හැවිරිදි වියේ පසුවන අතර, තම පියාගේ ප්‍රකාශවලට ප්‍රතිචාර ලබා දෙමින් ඈ අවධාරණය කර සිටියේ තමා කැලිෆෝර්නියා ප්‍රාන්තයේ නීත්‍යානුකූල ව හඳුනාගනු ලැබූ කාන්තාවක බවත්, තමාට පහළින් සිටින කිසිවකුගේ අදහස් සම්බන්ධයෙන් ඈ වධ නොවන බවත් ය. 

සමාජභාවී අනන්‍යතාවය සම්බන්ධයෙන් මස්ක් දරන ආකල්පවලින් තවදුරටත් පිළිබිඹු කරන්නේ, ලොව බොහෝ රටවල මේවන විටත් දැවැන්ත පීඩාවකට ලක්ව සිටින ආන්තික කණ්ඩායමක් කෙරෙහි ඔහුට සහකම්පනයක් නොමැති බවයි. ජනතාව දැනුවත් කොට එමඟින් සමානාත්මතාවය ප්‍රවර්ධනය කරනු වස් තම සමාජ මාධ්‍ය භාවිතා කරනවාට වඩා තම නිදහස වෙනුවෙන් අරගල කරන ජනතාව හෑල්ලුවට ලක්කරන ප්‍රකාශ නිකුත් කිරීමට ඊලෝන් මස්ක් වැඩි රුචියක් දක්වන බව මෙමඟින් විද්‍යමාන වේ. 

විවිධ ලිංගික අනන්‍යතා මත ආන්තීකරණයට ලක්වීම පිළිබඳ කතාකරන විට, ඊලෝන් මස්ක් යනු කිසිවිටෙක විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන්ගේ සුබසාධනය වෙනුවෙන් කටයුතුකළ පුද්ගලයකු නොවන බව ද සිහිපත්කළ යුතු ය. වරක, ජර්මනියේ ජාතිකවාදී දේශපාලන පක්ෂයක් ලෙස හැඳින්වෙන Alternative for Germany (AfD) පක්ෂය ජනතාව හිතන තරම් “හිට්ලර්වාදී” හෝ “අන්ත දක්ෂිණාංශික” නොවන බව පෙන්වීමට මස්ක් උදාහරණයට ගනු ලැබුවේ, එම පක්ෂයේ සම-සභාපතිනි ඇලිස් වීඩල්ගේ ලිංගිකත්වයයි. ඈ “ශ්‍රී ලාංකික කාන්තාවක සමඟ සමරිසි ජීවිතයක්” ගතකරන බව මස්ක් පැවසුවේ ය.

වීඩල්ගේ සහකාරිය ස්විට්සර්ලන්ත පුරවැසියකු වන අතර, ඈ “ශ්‍රී ලාංකික කාන්තාවක” යැයි පැවසීම තුළින්, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අන්ත දක්ෂිණාංශික දේශපාලන න්‍යාය පත්‍රයේ සංක්‍රමණික ප්‍රතිපත්තියේ තිබෙන බිහිසුණුබව ද ඊලෝන් මස්ක් විදහා පෙන්වූ බව මින් පසක් වේ.

ඊලෝන් මස්ක්ගේ චර්යාව සහ කටවාචාලකම සැකයෙන් ඔබ්බට ප්‍රශ්න සහගතබව පැවසිය යුතු ය. තාක්ෂණය සහ කර්මාන්ත ක්ෂේත්‍රයට අමිල සේවයක් ඉටුකළ තැනැත්තකු ලෙස කීර්තියක් උසුලන මස්ක්, මනුසත්බව යනු තාක්ෂණය පදනම් කරගත් ව්‍යාපාර ලාභයක් නොවන බව පළමුව අවබෝධකරගත යුතු ය.

සමාජයේ පවතින බරපතල ගැටළු සුළුකොට තැකීම, ආන්තීකරණයට ලක්වන හඬවල්වලට සවන් නොදීම සහ සාවද්‍ය තොරතුරු ව්‍යාප්ත කිරීම කෙරේ නැඹුරුවක් දැක්වීම වැනි ඊලෝන් මස්ක් මහජනයා ඉදිරියේ පෙන්වන පෞරෂයේ පවතින ගැටළුකාරී හැසිරීම් සමාජීය යහපත සඳහා කිසිවිටක කිසිඳු ආකාරයකින් උපකාරී නොවන බව ඔහු අවබෝධකරගත යුතු ය.

සැබෑ නායකත්වය යනු, මූල්‍යමය සාර්ථකත්වයෙන් ඔබ්බට යන දෙයක් බව හඳුනා ගැනීමට ඊලෝන් මස්ක්ට දැන් කාලය එළඹ ඇත. එය කැපවීම, වගවීම සහ සංවේදනයෙන් සමන්විත, වරප්‍රසාද ලත් සුළු දෙනෙකුට සීමා නොවී ලොව සෑම පුරවැසියකුට ම යහපත් ජීවිතයක් උදාකර දෙන නායකත්වයක් වියයුතු ය. 

සබැඳි ලිපි:

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan