පෙළපාලි ගිහිල්ලා, කෑගහලා රට ගොඩගන්න බෑ. සියලුම දෙනා එකතු විය යුතුයි – රාජිත

Date:

තවදුරටත් බෙදී වෙන්වෙමින් අරගල කිරීමෙන් තේරුමක් නැති බවත් රට ගොඩගැනීමට නම් සියලුම දේශපාලන නායකයින් එකට එක්වී දේශපාලනය කළයුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.

“මම සහ මම වැනි දේශපාලනඥයින් කරපු ප්‍රකාශවලට මුල් කාලෙදී බනින්න පුළුවන්. නමුත් අවසානය වෙනකොට ඒවා ඔක්කොම සිද්ධ වුණානෙ. ඒවා ඔක්කොම පිළිගන්න වුණා. දැන් බලන්න මේ ජාතීන් අතර අසමගිය ඇතිකරලා මේ රට කාලකන්නි කළායින් මේ සඳහා රුපියල් කෝටි ප්‍රකෝටි කීයක් වියදම් කළාද මේවාට ? මේ යුද්ධය කියන්නෙ මේ දේශපාලනඥයො ඇතිකරපු එකක්නෙ. මේ සිංහල – දෙමළ ප්‍රශ්නය මොකක්ද, ඡන්ද ගන්න සිංහලයො සිංහල ජාතිවාදය වැපිරුවා, ද්‍රවිඩයො ද්‍රවිඩ ජාතිවාදය වැපිරුවා. පස්සෙ කාලෙක මුස්ලිම් නායකයොත් මුස්ලිම් ජාතිවාදය වැපිරුවා. මේ හැම එකෙන්ම බලාපොරොත්තු වුණේ තමන්ගෙ ඡන්ද ගොඩ වැඩිකරගන්න නෙ.

අපි ඡන්ද ගත්තෙ බොරු කියන්නෙ නැතුව. මට මතකයි 2004 රනිල් වික්‍රමසිංහ මහතාගේ සාම ගිවිසුම ආරක්ෂා කරන්න මම එයාගෙ බ්‍රිගේඩියර් වගේ හිටියා. සමහර වෙලාවට දවස් 4 – 5ක් මම රෑ එළිවෙනකල් හැමෝමත් එක්ක තර්ක කරනවා. එහෙම කරලාත් මගේ දිස්ත්‍රික්කයේ මිනිස්සු දන්නවා මගේ පැවැත්ම. ඒ මිනිස්සු දන්නවා මගේ මතවාද. ඒ වෙලාවෙ සමහරු මට කොටියාය කිව්වා, කොටින්ට පාවාදුන්නා කිව්වා, ඒ වෙලාවෙත් මම ඡන්ද ලක්ෂය පැන්නුවා පළමුවරට. ආණ්ඩුව පැරදුණා නමුත් මම දිස්ත්‍රික්කෙන් පළවෙනියා වුණා. ඔය රටේ කියන ඒවා අපේ මිනිස්සුන්ට නෑ, මොකද ඒ මිනිස්සු දන්නවා මගේ චර්යාව.

ඉතින් ඒ වගේ අද මගේ පැහැදිලිව අදහසක් තියෙනවා මේ රට ගළවාගන්නවා කියන එක බොහොම අමාරුයි. දැන් මේ රට ළිඳේ අඩියටම වට්ටලා ගියේ අර කට්ටිය. එතකොට ඒ වට්ටපු ඒවායේ වැරදි කියකියා හිටියා කියලා මෙතනින් ගොඩ එන්න බෑ. වෙනදා තිබුණෙ අපට ජාතික අර්බුදය එනවා, අපි ගහගන්නවා, ඒවා විසඳාගන්නවා. ආර්ථික අර්බුද එනවා – දැන් චන්ද්‍රිකාගෙ කාලෙ සෘණ 1.3කට වැට්ටුවා, අපි ඇවිල්ලා 5% වෙනකල් වැඩිකරගත්තා. අද ඇවිල්ලා තියෙන්නෙ මූල්‍ය අර්බුදයක්. අපට සල්ලි නෑ. අපි හිඟන්නාගෙ තත්වෙට වැටිලා තියෙන්නෙ. අපි වෙන කාගෙන්හරි සල්ලි එනකල් ඉන්න ඕනෙ. ඩොලර් කියන ඒවා මවන්න බෑ. රුපියල් කියන ඒවා අච්චු ගැහුවත් ඩොලර් ගහන්න බෑ. නමුත් රුපියල් අච්චු ගහන්න ගහන්න අපේ ජීවන වියදම වැඩිවෙනවා. උද්ධමනය වැඩිවෙනවා. එහෙනම් අපට තනියෙන් මේකෙන් ගොඩ එන්න බෑ කාටවත්. අපි ඔක්කොම එක්කහු වෙන්න අවශ්‍යමයි.

ඒ සඳහා අපි රටේ පෙළපාලි ගිහිල්ලා, කෑගහලා, කුඩුපට්ටම් කරගෙන යන්නත් බෑ. ඒවා කරන්න ගියොත් මේ රට තවත් වැටෙනවා. මම තරම් අරගලවලට ආසා කරපු මිනිහෙක් නෑ, මගේ මුළු ජීවිතයම අරගලයක්. මම නොගිය පෙළපාලි නෑ ලංකාවේ. මම ආශ්‍රය නොකරපු වාමාංශිකයො නෑ. විජේවීර ඇරෙන්න සියලුම වාමාංශිකයො එක්ක මම ආශ්‍රය කළා. ප්‍රභාකරන් ඇරෙන්න උතුරේ සියලුම සන්නද්ධ නායකයො එක්ක මම කතා කරපු දේශපාලන සංවාදය තිබුණු මිනිහෙක්. එක වෙලාවක දයාපාල තිරාණගම සහෝදරයාව ජේ. ආර්. ගෙ ආණ්ඩුවෙන් හොයද්දී මාස තුනක් මගේ කාමරේ මම තියාගෙන හිටියා එයාව. අපේ ගෙදරට එන කවුරුත් දන්නෑ ඔහු හිටියා කියලා. ඒ ඔක්කොම කරලා මම හරි ආසාවක් තියෙන්නෙ අරගලය කියන එක ගැන. නමුත් මේක ඒ කාලය නෙවෙයි. අපේ රටේ මිනිස්සු අසරණ වෙලා ඉන්නෙ. රස්සා නැතිවෙලා, හොඳටම අමාරුවෙ වැටිලා ඉන්නෙ. අපේ දේශපාලනයේ අන්තිම කාලෙ මෙහෙම ඛේදවාචකයකට මුහුණ දෙන්න අපි හීනෙකින්වත් හිතුවෙ නෑ. මෙතනින් එළියට මේ රට ගේන්න අපට විශ්වකර්මයෝ නෑ මේ රටේ. දෙවිවරු නෑ. රොබෝලා නෑ. ඉන්නෙ අපි වගේම හොඳ – නරක තියෙන දුර්වලකම් තියෙන මිනිස්සු. රටට ආදරය කරන ඒ මිනිස්සු ටික ඔක්කොම එක්කහු වෙන්න ඕනෙ. එක්කහු වෙන්න ඕනෙ ගහගන්න නෙවෙයි. තියෙන සියලුම ප්‍රශ්න අමතක කරලා, වෙච්ච දේවල් ඔක්කොම අමතක කරලා, මේ ඔක්කොම කට්ටිය මේසෙකට වාඩිවෙලා කතා කරලා මේ රට ගොඩගන්න එක තමයි දැන් තියෙන එකම දේශපාලනය. වෙන කිසිම දේශපාලනයක් නෑ”

රාජිත සේනාරත්න මහතා මේ බව පැවසුවේ TNL රූපවාහිනී නාලිකාවේ දේශපාලන වැඩසටහනකට එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු හමුදාපති හැමිල්ටන් වනසිංහ අභාවප්‍රාප්ත වෙයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු හමුදාපතිවරයෙකු වන ජනරාල් හැමිල්ටන් වනසිංහ...

ජුනි පළමු දින 10 ට විදෙස් සංචාරකයින් 44,000ක් ඇවිත් !

සටහන - රුවන් නෙළුගොල්ල 2025 ජුනි මාසයේ පළමු දින 10...

ඊශ්‍රායලය විසින් ඉරානයට දැවැන්ත ගුවන් ප්‍රහාර එල්ල කරයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 13; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අද(13)අලුයම ඊශ්‍රායලය විසින්...

ලංකා ගුරු සංගමයේ සභාපතිගේ වැඩ තහනම් කරයි !

ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දුගේ වැඩ තහනම් කර...