රෂිකා හෙන්නායක ජනවාරි07, කොළඹ LNW :
රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින්, ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් තනතුරට උසස් කර තිබේ.
2025 ජුනි මස 19 වන දින එවකට ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නිතිඥ රොහාන්ත අබේසූරිය මහතා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු පදවියට පත්වීමෙන් පසු ඇතිවූ පුරප්පාඩුවට අනුව ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා එලෙස පත් කර ඇත.
සුමති ධර්මවර්ධන මහතා වසර 32කට අධික කාලයක් නිතිපති දෙපාර්තමේන්තුවේ සේවය කර තිබෙන බව සඳහන් වේ.
කොළඹ වාණිජ මහාධිකරණය විසින් 2022 ජුනි මස රුසියාවට අයත් AEROFLOT ගුවන් යානය ශ්‍රී ලංකාවෙන් පිටවීමට තහනම් කරමින් නිකුත් කරන ලද ඉන්ජක්ෂන් තහනම ඉවත්කර ගැනීමට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් පෙනී සිටියේ සුමති ධර්මවර්ධන මහතායි.
එමෙන්ම 2020 නොවැම්බර් මස එය LTTE මහවිරු සමරුව පැවැත්වීම සඳහා රිට් ආඥාවක් ඉල්ලා යාපනය මහාධිකරණය ඉදිරියේ පොලීසියට විරුද්ධව නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටිමින් LTTE සංවිධානයට අයත් කණ්ඩායම් විසින් රිට් ආඥාවක් ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සම් නිශ්ප්‍රභ කිරීමට ඔහු කටයුතු කළේය.
මෙරට අභියාචනාධිකරණය ඉදිරියේ ශ්‍රී ලංකා රග්බි නිලවරණය පැවැත්වීමට තහනම් කිරීමට ඉදිරිපත් කරන ලද රිට් ආඥාව ඉවත් කර ගැනීමටද ධර්මවර්ධන මහතා කටයුතු කරන ලදි.
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ස්වාධීන සභාපතිවරයා වශයෙන් සිටි සර් රොනී ෆ්ලැනගන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව ඇති වූ පුරප්පාඩුවට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් 2024 නොවැම්බර් මස පළමුවනදා සිට පත් කරන ලද්දේ සුමති ධර්මවර්ධන මහතායි.
එකී තනතුරට පත්කරන ලද ප්‍රථම ආසියාතිකයා වශයෙන්ද ඔහු ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන දුනි.
ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා කොළඹ ඩී.එස්.සේනනායක විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.
තවද ඔහු ක්‍රීඩා නීතිය මෙන්ම විදුලි සංදේශ නීතියේ නිපුණතාවය ලත් නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු ද වේ.
ධර්මවර්ධන මහතා නීතිපති දෙපාර්තමේන්තුවේ අභියාචනාධිකරණ අංශයේ ප්‍රධානියා ලෙස අභියාචනාධිකරණය වෙත පවරා ඇති BYD වාහන නඩුවේ මෙන්ම, රේගුවට එරෙහිව පවරා ඇති අනෙකුත් නඩුවලද ශ්‍රී ලංකා රේගුව වෙනුවෙන්ද පෙනී සිට තිබෙන බව වාර්තා වේ.
වසර 32කට අධික කාලයක් සුමති ධර්මවර්ධන මහතා ශ්‍රී ලංකාවේ මෙන්ම ජාත්‍යන්තර මට්ටමින් නීතියේ අභිවෘද්ධිය උදෙසා කැපවීමෙන් කටයුතු කළ රාජ්‍ය නිලධාරියෙකි.


