*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

හිරු කුමරු අහසක් – (තුන්වන විස්සයි විස්ස පරාජය සහ තරගාවලි පරාජය ගැන….)

SKY
සාමාන්‍යයෙන් මේකෙ තේරුම අහස හැටියට ගත්තට වර්ථමාන ක්‍රිකට්වල මේ අකුරු තුන යොදා ගන්නෙ ඉන්දීය සුපිරි පිතිකරු සූරිය කුමාර් යාදෙව් කෙටියෙන් හඳුන්වන්නයි.සූරිය කුමාර් හරියට ඒකෙ තේරුම හිරු කුමරු කියන එකෙත් වැරද්දක් නැහැ. අහසයි හිරු කුමරුයි එකට කොහොමත් පෑහෙනවා.හැබැයි මේ හිරු කුමාරයට හරියට පන්දුව දකින්න පටන්ගත්තට පස්සෙ හිරු කියන්නෙ අහසෙ දකින දෙයක් නෙමෙයි මුළු අහසම බවට පත් වෙනවා.ඉන්දියාව සමඟ නිමාව දුටුව විස්සයි විස්ස තරගාවලියෙ තෙව තරගයෙදී ඔහු ඉර තරම්ම ප්‍රබල බවත්,අහසතරම්ම විශාල බවත් අපේ පියවි දෑස ඉස්සරහ මවපු සිතුවිලිවලින් ඇති කරල මවල පෙන්නුවා.


සූරියකුමාර් මුම්බායට හෝ මහාරාෂ්ට ප්‍රාන්තයට අයිති කෙනෙක් නෙමෙයි.උත්තර් ප්‍රදේශයේ ඉදල රස්සාවට පූනේවලට ආපු කෙනෙක්ගෙ පුතෙක්.මෙහෙම ආපු පුතා ටික දවසකින් වීදියට බැහැල දරුවො එක්ක ක්‍රිකට් ගහන හැටි දැකපු තාත්තාට තමයි ඉස්සෙල්ලම ඉව වැටුණෙ මේ ක්‍රිකට් වීදියට එහා තියෙන එකක් බව.ඒ අනුව දිල්පි වෙන්ගස්කාර් ගේ ඇකඩමියෙ හැදුණ වැඩුණ මේ හාදයා මුම්බායි කණ්ඩායමට සෑහෙන වැඩක් කරත්,ලෝකෙට රහ දැනෙන මට්ටමට එන්න කාලයක් අයිපීඑල් එකේ පදම් වෙන්න වුණා.
සාමාන්‍යයෙන් දකුණු ආසියාතික රටවල ජාතික වරම් දිනා ගැනීම ඉක්මණට සිද්ධ වුණත් සූරියතුමාර්ගෙ කතාවෙදි ඒක එහෙම වුණේ නැහැ.අයිපීඑල් එකේදී හොඳටම කරත් ඉන්දීය ක්‍රිකට් පාළක මණ්ඩලය සහ තේරීම් කමිටුවට ඒක හොඳටම දැනෙන්න ගත්තෙ 2021 දී.ඒ නිසා සූරිය කුමාර් යාදෙව්ගෙ පළමු එක්දින ජාත්‍යන්තර තරග සහභාගීත්වය වගෙම පළමු ජාත්‍යන්තර විස්සයි විස්ස සහභාගීත්වයත් සිද්ධවෙන්නෙ 2021 වසරෙදි යි.2022 වෙන කොට හැබැයි සූරියකුමාර් යාදෙව් කියන්නෙ සාමාන්‍ය චරිතයක් නොවන බව ලෝකෙට හොඳටම තේරෙන්න අරගෙනයි තිබුණෙ.ඒ මුම්බායි ඉන්දියන් දස්කම් නිසාම විතරක් නෙමෙයි ඉන්දිය කණ්ඩායම වෙනුවෙන් ඔහු ලද අවස්ථාවන් හී පෑ ඉඟි බිඟිත් නිසයි.
ඔහු ගෙවුණු විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේදි සියල්ලගේම අවධානය තමන් සතු කරගන්න සමත් වුණා.ඔහුගේ පහරදීමේ රටාවෙන් ඉන්දියාවය ජයග්‍රහණය කරා යන්න බැරි වුණත් ඔහු ලෝකයේ වර්ථමානයේ සිටින හොඳම විස්සයි විස්ස පිතිකරුවා බවට පත් වුණා.ඒ් වගේම ඔහු ජාත්‍යන්තර එක්දින ලකුණූ දහස සඳහා ළඟාවෙන්නෙ පන්දු 573 ක් පමණක් වැය කරමින්.එය වේගවත්ම ලකුණු දහස සම්බන්ධ වාර්තාවක්.


මේ ප්‍රහාර සඳහා ඔහු ලෝක කුසලානයට පෙර තමන් නියෝජනය කරන පාර්සා ජිම්කානා කණ්ඩායමට දැණුම් දීලා විවිධ පන්දු යවන්නන් සහ පන්දු වීසි කරන්නන් යොදවාගෙන පැය හතර බැඟින් වූ ප්‍රහාරයන් එල්ල කිරිමේ සැසි ගණනාවකට සහභාගි වි තිබෙනවා.දුටු විට උන්මාදයක් සේ හැඟෙන සහ ගැනෙන මේ පහරදීම්වලින් ඉනික්බිතිව ඔහු නරඹන්නන් උමතු කරන පහර දීමේ රටාවක් නිර්මාණය කරගෙන තිබෙනවා.
අද ඔහුට වෛර කරන්නට,දොස් තබන්නට ප්‍රතිවාදියෙක්වත් නැති තරමට ඒ ප්‍රහාරය දිගේ ලෝකයේම ආදරය ගලා එනවා.විශ්මයම රැඳෙන ඒ ප්‍රහාරය ඉදිරියේ ශ්‍රී ලංකාව ලද පරාජය පිළිබඳව කම්පාව මිස ඔහුගේ පහරදීමේ රටාවට ආස නොකරන කෙනෙක් ආදරය නොකරන කෙනෙක් හොයා ගන්න නැහැ.
SKY ගෙ මේ පහරදීම අමුත්තක් නෙමෙයි.ඔහු ශ්‍රී ලංකාවට එරෙහිව රැස් කරන්නෙ සිය තෙවැනි ශතකයයි.ලකුණු 112 ට ඔහු වැය කර තිබුණේ පන්දු 51 යි.මීට පෙර ඔහු නවසීලන්තයට එරෙහිව පන්දු 55 දී,ඒ වගෙම පන්දු 51 දි ලකුණු 111 ක් ලබා ගන්නත් SKY සමත් වී තිබෙනවා.ඒ නිසා 200 ඉක්ම වූ ප්‍රහාරක වේගයක් කියන එක ඔහුගේ ශතක ලබා ගැනිමේ සාමාන්‍යය තත්ත්වය යි.ඔහුව සාමාන්‍ය තත්ත්වයට පත් වන්නට නොදී දවා ගැනීම සිඳු කරගන්න නොහැකි හැම විටකදීම පාහේ සිඳු විය හැකි ඉරණම තමයි ශ්‍රී ලංකාවට අත් විඳින්නට වුණේ.
පළමුව පන්දුවට පහර දීමට පැමිණි ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරු ඉෂාන්ට් කිෂන් පළමු පන්දු ඕවරයේම ඉවත් කර ගන්නට ඩිල්ෂාන් මධුශංක සමත් වෙනවා.නමුත් ඉන් අනතුරුව පන්දුවට පහර දෙන්නට පිවිසි රාහුල් ත්‍රිපති දිගටම උත්සාහ කළේ පීඩනය ආපිට හරවන ප්‍රහාරයකට යන්නයි.අවදානම් සහගත සහ ආසන්න දැවීම් අවස්ථා ද සහිතව ඔහු ගන්න උත්සාහය ව්‍යර්ත කරන්නට චාමික කරුණාරත්න සමත්වන විට ඔහු පන්දු 16 න් ලකුණු 35 ක් උඳුරාගෙන තිබුණා.විස්සයි විස්ස පිටියෙ පැහුණු මිනිහෙක් නොවුණු ශබ්මාන් ගිල් සහ සූරියතුමාර් යාදෙව් ඉන්දීය ඉණිමේ නැංගුරම බවට පත් වූ සබඳතාවය දිග හරින්නේ ඉන් පසුවයි.පන්දු 52 දී ලකුණු 111 ක් එකතු කරපු ඒ සබඳතාවය නිමා කරමින් ඉන්දීය කණ්ඩායමට තෙවන කඩුල්ල අහිමිවන්නේ ලකුණු 163 දී.
ඉනික්බිතිව යාදෙව් තනිව ඉණිම ගොඩ නඟමින් ක්‍රියාත්මක වෙද්දි නැවත පෙර දෙවන තරගය සිහියට නැංවූ අක්ෂාර් පටෙල් සමඟ එක්ව අවසාන මොහොතේ පන්දු 20 දී ලකුණු 39 ක නොබිඳි සබඳතාවයක් පවත්වනවා.එහි දී අක්ෂාර් පටෙල් පන්දු නවයකින් ලකුණු 20 ක් රැස් කරමින් සූරියකුමාර් යාදෙව්ට අපූරු සහයක් ලබා දෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් පස් දෙනෙකුගෙන් යැපෙනු විනා කිසිඳු අතිරේක පන්දු යවන්නෙක් කැඳවා බලන්නට දසුන් ශානකට කල්පනා වුණේ නැහැ.ඒ තරමටම ඔළුව හිරි වැටෙන අන්දමේ ප්‍රහාරයක් සූරියකුමාර් දියත් කළේ.පරාජයෙන් අනතුරුව සිය ඇඟිල්ලේ ආබාධයක් ගැන දසුන් පැවසුව ද ඔහු ශ්‍රී ලංකාව ජයගත් තරගයේ අවසාන පන්දු ඕවරය භාරගත්තා.ඒත් ඔහු පවසන තොරතුරු හැටියට ඒ ආබාධය තිබියදීමයි.අවශ්‍යයනම් මේ ප්‍රාහරාත්මක තරගයේ දී අවසාන පන්දු ඕවරය භාර දුන් චාමිකට එදත් පන්දු ඕවරයක් ඉතුරුව තිබුණා.ඒ අනුව බලන විට ඒ මොහොතේ පටෙල් පමණක් කඩුල්ලේ සිටීම නිසා තර්ජනය පළල් වූයේ නැහැ වගේම සමහර විට අක්ෂාර් පටෙල්ගේ වේගවත් උඩ පන්දුව චාමික රැක නොගන්නට එම තරගයත් ආබාධ සහිත දසුන්ගේ පන්දු යැවීමෙන් පරාජය වී ඔහු පිත්තෙන් කළ ප්‍රහාරය අපතේ යන්නට තිබුණා.
ඒ නිසා ශ්‍රී ලංකාව පැත්තෙන් සිඳු වූ වැරද්දක් හැටියට දසුන් අතිරේක පන්දු යවන්නෙක් ගැන නොසිතීම පිළිගත යුතුයි.එසේම එහිදී එම ප්‍රතිපලය මීටත් වඩා භයානක වන්නට ද තිබුණා.නමුත් නොවුණ දේ ට වඩා සිඳු වූ දේ අත් නොහැර සාකච්ඡාවට ගැනීමයි වැදගත්.හරියට පළමු තරගයේදී වයිඩ් පන්දු අපේක්ෂාවෙන් චාමික කරුණාරත්නට එල්ල වූ චෝදනාවන් හා සමානයි.ඉන්දියන් විනිසුරුවන් දෙන්නෙ නැහැ කියා සිතා පහර දිය යුතුව තිබුණත්,වඩාත් පහසු අවදානමකින් තොරව පිත්ත නොයොදවා ලකුණු ලබා ගැනීම බව චාමිකගේ විශ්වාසය වෙන්න ඇති.එසේම විනිසුරු නොඳුන් පසු නොදෙන බව චාමික දැන ගත්තා සේ ම,නරඹන විචාරය කරන සියල්ලමත් දැන ගන්න බව ඇත්ත නිසා ඒ පන්දුවකට පහරක් එල්ල කරන්නට ගොස් දැවී යාමක් සිඳුවිණි නම්,මේ චෝදනාව වෙනස් විදිහකට එල්ල විය හැකියි.දිනන්න තිබුණ තරගය වයිඩ් එකකට ගහන්න ගිහිං පරාද කරා යන්න එයයි.
ඒ නිසා පිටිය මැද තිබෙන මානසිකත්වය නරඹා අදහස් ප්‍රකාශ කරන අයෙක්ගේ මානසිකත්වයට වඩා වෙනස්.ඊයේ දිනයේ දි දසුන්ට බලපෑවේත් ඔහු සජීවීව විඳින ප්‍රහාරයන්.ඒ ඇතුළට තමන් පෙර තරගයේදී මෙන් පන්දු ඕවරයක් ඔබන්නට ගොස් මේ ලකුණු පූවරුව මීට වඩා තැනකට යා හැකි බව ඔහුට සිතෙන්නට ඇති.දෙවන තරගයේදී ඔහුට වඳ නොදුන් තරමට ඒ අවස්ථාවේදී සිය ආබාධය ද සිහියට ඇවිත් වඳ දෙන්නටත් ඇති.ඒ නිසා එය තීරණය කිරීමට ඔහු පසුබාන්නට ඇති තවත් හේතුවක් ලෙස පෙර තරගයේදී ඔහුට එකතු වූ වීරත්වයට සිඳු විය හැකි හානියත් සිහියට නැඟෙන්නට ඇති.
ලකුණු දෙසීය ඉක්මවා ලබා ගැනීම සහ ලකුණු දෙසීයට වැඩි ගණනක් හඹා යාම අතර පරතරය ඊයේ ශ්‍රී ලංකා පිතිකරුවන්ගෙන් ද දකින්නට ලැබුණා.ලකුණු 91 ක පරාජයකට යද්දී ලකුණු 137 න් නිමා වූ එම ඉණිමේ වැඩිම ලකුණු ප්‍රමාණය දසුන් ශානක සහ කුසල් මෙණ්ඩිස් සමව ලැබූ ලකුණු 23 යි.කුසල් පන්දු 15 ක් සහ දසුන් පන්දු 17 ක් වැය කර එම ලකුණු ප්‍රමාණය ලබා ගත්තා.
ආබාධයකින් පසුව ගෙවුණු එල්පිඑල් තරගාවලියේ දි ලකුණු අතරට පිවිසි අවිශ්ක ප්‍රනාන්දු වඩාත් දක්ෂතා දක්වා තිබුණේ එක්දින තරග සදහායි.ඔහු මේ සංචාරයේ ඉදිරි එක්දින තරග සඳහා ඇතුළත් විය යුතු පිතිකරුවෙක්.නමුත් ඔහු විස්සයි විස්ස තරගයකට කැඳවා දුන් පීඩනය නොදිය යුතුව තිබූ එකක්.ඒ අවස්ථාව දිය යුතුව තිබුණේ විස්සයි විස්ස තරගාවලියේ කැපී පෙණුන ප්‍රහාරයක නියැලුණ සදීර සමරවික්‍රමටයි.සදීර පැමිණියා කියා ලකුණු 228 ක් හඹා යාමේ විශ්වකර්ම වැඩේ ඔහුට තනියෙන් කරන්නට හැකි වෙන්නේ නැහැ.නමුත් වඩාත් සුදුසු ක්‍රීඩකයා අවස්ථාව දිනා ගනු ලබනවා.


කතාබහට තුඩු දුන් භානුක රාජපක්ෂ අසාර්ථකභාවය නිසා කණ්ඩායමෙන් පිටත රඳවා තිබුණා.මීට වසරකට පමණ පෙර මේ ආකාරයටම ඔහු දක්ෂතා අතර සිටියදී කණ්ඩායමෙන් නෙරපා තිබුණ මොහොතක අප පමණක් නොවේ බොහෝ දෙනෙක් ඔහු වෙනුවෙන් පෙනී සිටියා.නමුත් ඒ අසාධාරණයට එරෙහිව පොළවේ පය ගසා සිටින ප්‍රෙක්ෂකයන් පවා පාරට බැස කරපු සටනේ අවසාන ප්‍රතිපලය ඔහුගේ ආගමික නිකාය විසින් පැහැර ගනු ලැබුවා.මේ නිසා නැවත දක්ෂතා අතරට පැමිණ දෙවියන් හරහාම ගොඩ ආ යුතු තත්ත්වයකට පත්ව සිටියදී භානුක කණ්ඩායමෙන් ඉවතට විසි විම සෑහෙන් වෙහෙසක් දරා නැවත කණ්ඩායමට පැමිණිය යුතු තත්ත්වයක්.
භානුක හෝ ඔහුගේ ආගම නොවන වෙනත් ආගමක අයෙක් හෝ සිය ආගමික විශ්වාසයන් මත සිතෙහි ඇති වන යම් සංයමයක්,අධිශ්ඨානයක් පදනම් කරගෙන ක්‍රීඩාවේදි මානසික ස්ථාවරයක් හදා ගන්නට සමත් විය හැකි නමුත්,ක්‍රිකට් පවතින පිටියට අදාළ භෞතික කාරණාවලට සාපේක්ෂව මිස දෙවියන් හෝ වෙනත් ශෘස්තෘන්ලාට ක්‍රීඩාව පාළනය කළ නොහැකියි.එසේනම් එම විශ්වාසය දරන්නා වෙනත් එවැනි විශ්වාසයන් දරන අයෙකුට තමන්ගේ ජයග්‍රහණයේ අවශ්‍යයතාවය පරාජය වූ විට තමන්ගේ විශ්වාසයට වඩා ප්‍රතිවාදියාගේ විශ්වාසය ශක්තිමත් බව පිළිගත යුතු වෙනවා.එසේම කුමන හෝ ආගමික බලයක් සහිත අවස්ථාවක ජය හිමි වෙනු ඇතැයි ද
තමන් සාර්ථක වනු ඇතැයි ද සිතන පිරිසිත් හැඳින්විය හැක්කේ ක්‍රීඩාවට අවශ්‍යය ආත්ම ශක්තිය හීන තත්ත්වයක පවතින්නෙක් ලෙසයි.
ක්‍රීඩා පරිපාලකයන් මේ සම්බන්ධයෙන් නිතර මානසික උත්ප්‍රේරකයන් හරහා ක්‍රිඩක මනස ශක්තිමත් කිරීමට කටයුතු කළ යුතු වෙනවා.කෙසේ අප මේ තරගාවලිය ආරම්භයේදීම සටහන් කළ පරිදි ඉන්දීය කණ්ඩායමේ පරණ නම් කිහිපයක් ඉවත් කර අලුත් යැයි හැඟෙන කණ්ඩායමක් ඉදිරිපත් කළත්,එහි සිටයේ ලෝකයේ ඉහළම මට්ටමේ හැකියාවන් සහ අත්දැකීම් සහිත බහුතරයක් නියෝජනය කරන විස්සයි විස්ස කණ්ඩායමක්.එම කණ්ඩායමට තරග දෙකකදී හොඳ තරගයක් දෙමින් සහ එක් තරගයක් ජය ගනිමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පෑ දස්කම් සුළු කොට නොතැකිය යුතුයි.දැන් ඇරඹෙන්නට තිබෙන්නේ වෙනත් ආකෘතිමය හරඹයක්.එහිද ඉන්දියානුවෝ දක්ෂයෝ පමණක් නොවේ අත්දැකීම් පිරුණු ක්‍රීඩකයෝ ද වෙති.එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායම ද ඕනෑම මොහොතක ඕනෑම කණ්ඩායමක් පරාජය කළ හැකි දක්ෂයන් සපිරි කණ්ඩායමක්.නිර්භීතව තීරණ ගනිමින්,වගකීම් දරන්නට උර දෙමින් කණ්ඩායම රැක ගැනීම සඳහා සටන් කළ යුතුයි.එය හැම ක්‍රීඩකයෙක්ම වගකීමෙන් දරනවානම් එළැඹෙන එක්දින තරගාවලිය ශ්‍රී ලංකාවට ජය ගත හැකියි.වසර පුරා වැඩි අත්දැකීම් ප්‍රමාණයක් අනෙක් රටවල කණ්ඩායම්වපට වඩා අඩුවෙන් ලැබෙන ශ්‍රී ලංකාව වෙනුවෙන් පරිපාලකයන් එය ද නිවැරදි කරන්නට කටයුතු කළ යුතු අතර,රජයේ ක්‍රීඩා පරිපාලකයන් ක්‍රීඩාවෙන් රට ඈථ් කරන තමන්ගේ සෙල්ලම් පෙන්නන්න පුළුවන් ඉඩ ලොකු කර ගන්න දරණ සංශෝධන නොකර ක්‍රීඩාව සුරක්ෂිත කරන්නට තමන්ට දිය හැකි හොඳම සහය දෙන්න කල්පනා කළ යුතුයි.


ලකුණු පූවරුව
https://www.espncricinfo.com/series/sri-lanka-in-india-2022-23-1348629/india-vs-sri-lanka-3rd-t20i-1348642/full-scorecard

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan