*
Sunday, November 24, 2024
spot_img

Latest Posts

නාගරීකරණය හා ආර්ථික වර්ධනය

ජාතික ගිණුම් ඇස්තමේන්තු අනුව, 2022 වසරේ ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය වූ රුපියල් බිලියන 24,147.7ක මුදලින් රුපියල් බිලියන 10,473.2ක් හෙවත් 43.4%ක් ආර්ථිකයට එකතු කර තිබෙන්නේ බස්නාහිර පළාතෙන්. නමුත්, මිලියන 22.2ක් වන රටේ ජනගහණයෙන් එම පළාත තුළ ඉන්නේ මිලියන 6.2ක් හෙවත් 28.0%ක් පමණයි.

ඉහත ප්‍රතිශත දෙස බැලූ විට බස්නාහිර පළාතේ ඒක පුද්ගල ආදායම රටේ ඒක පුද්ගල ආදායමට වඩා සැලකිය යුතු තරමින් වැඩි බව පැහැදිලිව පෙනෙනවා. අනෙක් අතට, රටේ ඒක පුද්ගල ආදායම ඔය මට්ටමේ තියෙන්නේ බස්නාහිර පළාත නිසා කියා කියන්නත් පුළුවන්.

මේ තත්ත්වය දෙස බලන්න පුළුවන් ආකාර දෙකක් තිබෙනවා. එසේ බැලිය හැකි එක විදිහක් වන්නේ “කොළඹට කිරි අපිට කැකිරි” ප්‍රශ්නයක් විදිහට බලන එක. එහෙම බලන්නේ නැතුව, “අපි කැකිරි විතරක් හද හදා ඉඳිද්දී කොළඹ කැකිරි වගේම කිරිත් හදනවා” කියලා කියන්නත් පුළුවන්.

ප්‍රශ්නයක් හඳුනාගන්නා විදිහ මත ඒ ප්‍රශ්නයට විසඳුම් හොයන ආකාරයත් වෙනස් වෙනවා. පළමු ආකාරයෙන් ප්‍රශ්නය හඳුනා ගත්තොත්, අනෙක් අයට නොලැබෙන යම් දෙයක් කොළඹට ලැබෙනවා. එය අසාධාරණයක්. මේ අසාධාරණය නැති කිරීම මගින් ඒක පුද්ගල ආදායමේ තිබෙන විෂමතා නැති කරන්න පුළුවන්.

නමුත්, දෙවන ක්‍රමයට බැලුවොත්, අනෙක් අය නොකරන දෙයක් කොළඹ කරනවා. එහෙම කරලා ආර්ථිකයට වැඩි දායකත්වයක් ලබා දෙනවා. ඒ නිසා, මෙහි විසඳිය යුතු ප්‍රශ්නයක් නැහැ.

මේ ප්‍රශ්නය හෝ නැති ප්‍රශ්නය දෙස බැලිය හැකි ඉහත ආකාර දෙකටම යම් පදනමක් තිබෙනවා. ඒ නිසා, ඔය පැහැදිලි කිරීම් දෙකෙන් එකක් වෙනුවෙන් අනෙක් පැහැදිලි කිරීම පැත්තකට විසි කරන්න බැහැ.

දළ දේශීය නිෂ්පාදිතය කියා කියන්නේ රට තුළ සිදු වූ සමස්ත අගය එකතු කිරීම. නිෂ්පාදනයක් කරද්දී කිසියම් අගය එකතු කිරීමක් වෙනවා. නමුත් අගය එකතු කිරීමක් වෙන්නේ නිෂ්පාදනයක් කරද්දී පමණක් නෙමෙයි. නිෂ්පාදනය කළ දේ හුවමාරු වෙන තරමට තව තවත් අගය එකතු වෙනවා.

අපි හිතමු තමන්ගේ කෑමට පොල් හා බිත්තර නිපදවා ගන්නා දෙදෙනෙක් ගැන. මේ දෙන්නාම තමන්ට අවශ්‍ය ප්‍රමාණයට බිත්තර හා පොල් නිපදවා ගන්නවා. එහිදී රටේ ආර්ථිකයටත් අගය එකතු කිරීමක් වෙනවා. මේ එක් එක් නිෂ්පාදනය වෙනුවෙන් මේ දෙන්නාටම යම් ශ්‍රම කාලයක් වැය කරන්න වෙනවා.

දැන් මේ දෙන්නාගෙන් එක් අයෙක් පොල් නිපදවන එක නවත්වලා බිත්තර පමණක් නිපදවන්නත්, අනෙක් එක්කෙනා බිත්තර නිපදවන එක නවත්වලා පොල් පමණක් නිපදවන්නත්, කලින් වැඩ දෙකටම යෙදවූ තමන්ගේ ශ්‍රම කාලය යොදවනවා කියා අපි හිතමු. ඒ කියන්නේ කලින් මහන්සි වුනු තරමට වඩා දැන් මහන්සි වෙන්නේ නැහැ. එහෙම කරලා මේ දෙන්නා බිත්තර හා පොල් හුවමාරු කරගත්තා කියා හිතමු.

මේ විදිහට පොල් හා බිත්තර දෙකම වෙනුවට එක දෙයක් හදන්න තමන්ගේ කාලය යෙදවීම නිසා සමස්තයක් ලෙස පොල් නිෂ්පාදිතය වගේම බිත්තර නිෂ්පාදිතයත් ඉහළ යාම සාමාන්‍ය තත්ත්වයයි. ඊට අඩු වශයෙන් හේතු දෙකක් තිබෙනවා. පළමුව, දැන් පොල් හදන්න තෝරා ගන්නේ ඒ වැඩේ හොඳටම කරන්න පුළුවන් පුද්ගලයා. බිත්තර හදන්නේ ඒ වැඩේ හොඳටම කරන්න පුළුවන් පුද්ගලයා. දෙවනුව, වැඩ දෙකක් වෙනුවට එකක් එක දිගටම කරද්දී ඒ සම්බන්ධව විශේෂ ප්‍රාගුණ්‍යයක් ඇති වෙනවා.

මේ හේතුව නිසා, බිත්තර හදන පුද්ගලයාට බිත්තර සමඟ හුවමාරු කර කලින් පොල් ප්‍රමාණය ලබා ගත්තාට පස්සේ කලින් හදාගත් බිත්තර ප්‍රමාණයට වඩා බිත්තර ප්‍රමාණයක් අතේ ඉතිරි වෙනවා. අනෙක් පැත්තෙන් පොල් හදන පුද්ගලයාට පොල් සමඟ හුවමාරු කර කලින් බිත්තර ප්‍රමාණය ලබා ගත්තාට පස්සේ කලින් හදාගත් පොල් ප්‍රමාණයට වඩා පොල් ප්‍රමාණයක් අතේ ඉතිරි වෙනවා. ඔය විදිහට බිත්තර හා පොල් ප්‍රමාණයක් අතේ ඉතිරි වෙන්නේ සිදු වූ හුවමාරුව නිසා. එහෙම නැතුව කලින් වගේ බිත්තර හා පොල් දෙවර්ගයම තමන් විසින් හදා ගත්තානම් ඔය ඉතිරිය වෙන්නේ නැහැ. නමුත් අවස්ථා දෙකේදීම යෙදවූ ශ්‍රම කාලය සමානයි. ඒ නිසා ඉතා පැහැදිලිවම දෙවන අවස්ථාවේදී ජීවන තත්ත්වයේ ඉහළ යාමක් තිබෙනවා.

දැන් මේ උදාහරණයේදී මම මුදල් සම්බන්ධ කර ගත්තේ නැහැ. අගය එකතු වීම සිදු වෙන්නේ ගනුදෙනු වැඩිවීම නිසා මිසක් ඒ ගනුදෙනු වලට මුදල් සම්බන්ධ වීම නිසා නෙමෙයි. මුදල් කියන්නේ ගනුදෙනු පහසු කරන මාධ්‍යයක් පමණයි.

මේ උදාහරණයේදී මෙන් දෙදෙනෙකු ගනුදෙනු හරහා සම්බන්ධ වූ පසු බිත්තර හදන්නේ ඒ දෙන්නාගෙන් හොඳින්ම බිත්තර හැදිය හැකි පුද්ගලයා. පොල් හදන්නේ හොඳින්ම පොල් හැදිය හැකි පුද්ගලයා. සම්බන්ධ වන ප්‍රමාණය සීයක් වුනොත්, ඉන් පසුව බිත්තර හදන්නේ ඒ සිය දෙනාගෙන්ම හොඳින්ම බිත්තර හැදිය හැකි පුද්ගලයා. පොල් වුනත් එහෙමයි. ඒ නිසා ගනුදෙනු හරහා වැඩි පිරිසක් සම්බන්ධ වන තරමට නිෂ්පාදනය වඩ වඩා කාර්යක්ෂම වෙනවා.

අනෙක් පැත්තෙන් ගනුදෙනු හරහා වැඩි පිරිසක් සම්බන්ධ වන තරමට ඕනෑම පුද්ගලයෙක් විසින් තමන් විසින් තමන් වෙනුවෙන් නිපදවා ගන්නා දේවල් ප්‍රමාණය සීමා වෙනවා. මේ ඇතැම් අය විසින් නිපදවන්නේ තමන්ට කිසිසේත්ම අවශ්‍ය නොවන දෙයක් වෙන්න පුළුවන්. නමුත් ඒ සමඟ හුවමාරු කර තමන්ට අවශ්‍ය දේ ලබා ගත හැකිනම්, එහෙම කරන එකෙන් අවසාන වශයෙන් තමන්ගේ ජීවන තත්ත්වය ඉහළ යනවානම් තව වෙන මොනවද?

රටක ආර්ථිකය තුළ සිදු වන අගය එකතු කිරීම් මුදලින් මැනිය හැකි නිසා, මෙයින් කියවෙන්නේ මොන විදිහකින් හෝ සල්ලි හොයාගෙන ඒ සල්ලි වලින් තමන්ට අවශ්‍ය දේවල් මිල දී ගන්න එක ඒ දේවල් තමන් විසින්ම හදා ගන්නවාට වඩා වාසියිනම් කරන්න තියෙන්නේ ඒක නේද කියන එක. මේ වැඩේ වැඩි වැඩියෙන් සිදු වෙන තරමට පුද්ගලයෙකුගේ ජීවන තත්ත්වය වැඩි දියුණු වෙනවා. රටේ ගොඩක් අයගේ ජීවන තත්ත්වය ඔය විදිහට ගනුදෙනු හරහා වැඩි දියුණු වෙද්දී ඒ රටේ ආර්ථිකය ප්‍රසාරණය වෙනවා. දළ දේශීය නිෂ්පාදිතය වැඩි වෙනවා. පළාතක් වැනි රටක කොටසක් ගත්තත් එහෙමයි.

ඉහත හේතුව නිසා, ගම් වලට සාපේක්ෂව නගර වල ඒක පුද්ගල ආදායම වැඩියි. ජීවන තත්ත්වය වඩා හොඳයි. මොකද නගර වල ජන ඝණත්වය වැඩියි. ඒ නිසාම වැඩි දෙනෙක් ගනුදෙනු හරහා එකට සම්බන්ධ වෙනවා. ඒ විදිහට ගනුදෙනු වැඩි වන තරමට ආර්ථිකයට සිදුවන අගය එකතු කිරීම් ඉහළ යනවා. ඒ වගේම, තනි පුද්ගලයෙක්ට තමන් වඩාත්ම දක්ෂ (බොහෝ විට ඒ නිසාම වඩාත්ම කැමති) රැකියාව කරන්න වැඩි අවස්ථාවක් ලැබෙනවා. මොකද ගනුදෙනු හරහා විශාල පිරිසක් සම්බන්ධ වෙලා නිසා තමන් නිපදවන භාණ්ඩය හෝ සේවාව වෙනුවෙන් හොඳ මිලක් ගෙවන්න කැමති ප්‍රමාණවත් පිරිසක් ඒ ගොඩේ ඉන්නවා. ගමක එවැනි පිරිසක් නැහැ.

ලංකාවේ ගම් වල අය නගර ගැන බොහෝ විට කියන නිශේධනාත්මක කතාවක් තිබෙනවා.

“හැම දේම සල්ලි වලටම ගන්න එපායැ!”

ඕක ඔය විදිහට නොබලා වෙනත් විදිහකටත් බලන්න පුළුවන්.

“සල්ලි තියෙනවානම් ඕනෑ දෙයක් ගන්න පුළුවන්!”

ඔය අවස්ථාව ගමේ නැහැ. නගරයේ තිබෙනවා. ඒකෙන් අනෙක් පැත්තෙන් කියැවෙන්නේ ඕනෑ දෙයක් විකිණීමේ අවස්ථාවත් නගරයේ තියෙනවා කියන එක. ඒ කියන්නේ කෙනෙකුට සල්ලි හොයන්න ක්‍රම වැඩි ප්‍රමාණයක් නගරයේ තිබෙනවා. ගමේ ඒ ප්‍රමාණය සීමිතයි. මොකද ගනුදෙනු හරහා එකට සමබන්ධ වී ඉන්න ප්‍රමාණය පොඩියි.

(මෙහි සල්ලි හොයන අවස්ථා ගැන කියද්දී එයින් අදහස් කරන්නේ රටේ ආර්ථිකයට අගය එකතු කිරීමක් කරන භාණ්ඩ හා සේවා නිෂ්පාදන ගැන. සල්ලි හෙවිය හැකි අයථා ක්‍රම ගැන නෙමෙයි. ඒවා එක්ක පටලවා ගන්න එපා.)

රටක් ලෝකයට විවෘත වෙද්දී සිදු වෙන්නේ ඔය අවස්ථාවන් ප්‍රමාණය විශාල ලෙස ඉහළ යාම. ඇමරිකාවේ සුපිරි වෙළඳසැල් වල විකුණන ඇඟලුම් ලංකාවේ හදනවා. ඒ මහන්සියම වෙලා ඔය ඇඟලුම් හදලා ලංකාව ඇතුළේ විකුණලා ඔය ශ්‍රමිකයින්ට සමාන මට්ටමේ ජීවන තත්ත්වයක් පවත්වා ගන්න බැහැ. ඒ වගේම ඒ මහන්සියම වෙලා වෙන දෙයක් කරලා ඔය ආදායම හොයන්න බැහැ. ගමේ ඉඳලානම් කොහොමවත් බැහැ.

ආදායම් හෙවීම සඳහා රටක හැම තැනකම එක හා සමාන අවස්ථාවන් නැති වීම සාමාන්‍ය හා ස්වභාවික තත්ත්වයක්. එය ප්‍රතිපත්ති වැරැද්දක් නෙමෙයි. අධ්‍යාපනය වැනි රජයෙන් සපයන පොදු සේවාවන් හා අදාළව එවැනි විෂමතා ඇත්නම් එය වැරැද්දක් වෙන්න පුළුවන්. නමුත්, ආදායම් හෙවිය හැකි විකල්ප අවස්ථා සම්බන්ධව ගම හා නගරය අතර කොහොමටත් වෙනසක් ඇති වෙනවා. නගරයේ අවස්ථා වැඩියි.

නගරයේ ආදායම් හෙවිය හැකි විකල්ප අවස්ථා වැඩි නිසා, ඒ අවස්ථා හොයාගෙන මිනිස්සු ගමෙන් නගරයට සංක්‍රමණය වෙනවා. එහෙම සංක්‍රමණය වෙද්දී නගරයේ ජන ඝනත්වය තවත් ඉහළ යනවා. ජන ඝනත්වය ඉහළ යද්දී ගනුදෙනුද ඉහළ ගොස් මේ විකල්ප අවස්ථා තවත් වැඩි වෙනවා. එවිට නගරය තවත් ආකර්ශනීය තැනක් වෙනවා. මේ එක්ක ගම හා නගරය අතර ආදායම් පරතරය එන්න එන්නම වැඩි වෙනවා.

කවුරු කැමති වුනත් අකැමැති වුනත් ආර්ථික වර්ධනය නාගරීකරණය එක්ක සම්බන්ධ දෙයක්. නගරය තරමටම ගම දියුණු කරනවා කියන එක කවදාවත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද ගමේ හා නගරයේ ඒක පුද්ගල ආදායම් වෙනසට හේතුව නිරන්තරයෙන් ගමෙන් නගරයට සිදු වන සංක්‍රමණය. ඇමරිකාව වගේ රටක් දිහා බැලුවත්, චීනය වගේ රටක් දිහා බැලුවත් මේ කරුණ පැහැදිලිව පේනවා. ඇත්තටම කළ යුත්තේ මේ නාගරීකරණයට පුළුවන් තරම් පහසුකම් සලසන එක. රටේ ආර්ථිකය වේගයෙන් දියුණු විය හැක්කේ එවිටයි.

කිසියම් ප්‍රදේශයක හැමෝම හැම දෙයක්ම සල්ලි වලට ගන්නවා කියන්නේ අදාළ ප්‍රදේශය තුළ සිදු විය හැකි ගනුදෙනු අතින් කාර්යක්ෂමතාවය උපරිමයි කියන එක. ඒ දේවල් ගන්න සල්ලිත් තියෙනවානම්, මොන විදිහකින් හෝ ආර්ථිකයට අවශ්‍ය අගය එකතු කිරීම සිදු වෙලා. නමුත්, ප්‍රදේශයෙන් පිටත සමඟ ගනුදෙනු කිරීම හරහා මේ කාර්යක්ෂමතාවය තවත් වැඩි කරගන්න පුළුවන්.

මුළු ලෝකයේම දළ දේශීය නිෂ්පාදිතයෙන් හතරෙන් එකක් එකතු කරන්නේ ඇමරිකා එක්සත් ජනපදය. ඇමරිකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් බාගයක් එකතු වෙන්නේ නාගරික කලාප විසි තුනකින්. මේ සමඟ පළ කර තිබෙන ඇමරිකාවේ සිතියමේ තැඹිලි පාටින් ලකුණු කර තිබෙන්න්නේ එම කලාප විසි තුන. නිල් පාටින් ලකුණු කර තිබෙන ඉතිරි විශාල කොටසේ දායකත්වය මේ කලාප විසි තුනෙන් පමණක් ලැබෙනවා. වෙනත් විදිහකින් කිවුවොත් මුළු ලෝකයේම දළ දේශීය නිෂ්පාදිතයෙන් අටෙන් එකක් එකතු වෙන්නේ ඔය නාගරික කලාප විසි තුනෙන්. චීනයේ ඔය වගේ සිතියමක් ඇන්දොත් එහි තත්ත්වයද මීට සමාන බව පැහැදිලිව පෙනෙයි.

~ ඉකොනොමැට්ටා

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan