සටහන – රෂිකා හෙන්නායක
ජනවාරි 10 කොළඹ (LNW): වැරැද්ද නිවැරදි කිරීමේ හැකියාව තවම ආණ්ඩුවට ඇති බවත්, සෞඛ්‍ය සේවාව බරපතල අර්බුධයකට නොයවා, වාහාම සාකක්ච්චා කරලා ගැටලුව විසඳන ලෙස ජනාධිපතිවරයාගෙන් සහ අමාත්‍ය මණ්ඩලයෙන් ඉල්ලන බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පවසයි.
ඉතිහාසය තුල තමන්ගේ හැන්දෙන්, තමන්ගේම කණ්ඩායමට බෙදලා දුන්න නරකම සෞඛ්‍ය ඇමතිවරයා නොවී, අනෙකුත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ට සාධාරණය ඉටු කරන ලෙස වෛද්‍ය රමේෂ් පතිරණ සෞඛ්‍ය ඇමතිවරයාගෙන් ඉල්ලා සිටින බවද ,පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසා සිටී.
ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ,
” සෞඛ්‍ය සේවයේ සමගිය බිඳින්න සැලසුම් සහගත වැඩ පිළිවෙලක් තිබෙනවා. සෞඛ්‍ය සේවයේ එක පාර්ශවයකට විතරක් විශේෂ සැලකිල්ලක් කරනකොට අරගල ඇති වෙනවා කියලා ඕනෙම කෙනෙක් දන්නවා. සෞඛ්‍ය ඇමතිවරයා වෛද්‍ය නිලධාරියෙක් වුණාම අමාත්‍යමණ්ඩලය තුල ඔහුගේ මැදිහත්වීම පක්ෂහ්‍රාහී වෙනවා. එහෙම නැත්නම් මෙහෙම තීරණ ගන්න විදිහක් නෑ. සෞඛ්‍ය සේවය තුල වුවමණාවෙන්ම ඇති කල මේ අබුධය සෞඛ්‍ය බලධාරීන්ගේ හොරකම් වැහීමේ සැලසුමක්.
දේශපාලන කොන්ත්‍රාත් ගන්න ඇතැම් අයගේ හැසිරීම මගින් මේ බව තහවුරු වෙනවා. එක පැත්තකින් සෞඛ්‍ය සේවාවේ වෘත්තීන් අතර සමගිය, විවිධ කාර්යමණ්ඩල වල ගෞරවය කෙලෙසන ප්‍රකාශන සිදු කිරීම සහ ඒවාට විශාල ප්‍රවෘත්තිමය වටිනාකමක් දෙන්නෙත් මේ වැඩ පිළිවෙලේම කොටසක් විදිහට. සනිපාරක්ෂක කාර්ය මණ්ඩලයට පවා ගෞරව කරන්න රෝහලක අධ්‍යක්ෂකවර ඉගෙනගෙන තියෙන්න ඕනේ. තනතුරුවලට ගැලපෙන්නේ නැති නිලධාරීන් සෞඛ්‍ය සේවාවේ ඉහල තනතුරු වල ඉන්නවා. ඔවුන් අනවශ්‍ය අර්බුධ හදලා, දේශපාළණ කත් ඇදීම් කරලා ඉහල තනතුරුවලට යන්න හදනවා.
වෛද්‍ය නිලධාරී සංගමය පහුගිය කාලේ කරපු වැඩ නිසා රුපියල් 35000/- ක දීමනාව ලැබුණු බව එක්තරා කුප්‍රකට වෛද්‍ය අධ්‍යක්ෂක වරයෙක් කියලා තිබුණා. සෞඛ්‍ය සේවයේ හොරකම් ගැන කථා නොකරමින් ඒවා යට ගහන්න දීපු සහයෝගය ගැනද ඔහු කියන්න හදන්නේ කියන සැකය අපිට තිබෙනවා. කොහොම වුණත් දීමනාවක් වෙණුවෙන් සෞඛ්‍ය සේවාව හෝ රෝගීන් පාවා දෙන්න අපිට බැහැ. ආණ්ඩුවට ජැක් ගහන අයට දීමනා දෙන්න ආණ්ඩුව කටයුතු කරනවා වගේ එකක් කියන එක හිතා මතා කරපු බරපතල ප්‍රකාශයක්.
පරිපූරක වෛද්‍ය වෘතීයවේදීන් ඉල්ලුවේ 20000ක වැටුප් වැඩිවීමක් විතරක් කියලා වෛද්‍ය සංගමය කියලා තිබුණා. තනියෙන් දීමනා වැඩි කිරිමකට වඩා අපි පොදු සෞඛ්‍ය සේවයේ පැවැත්වම ගැන වැඩි අවධානය යොමු කලේ ආණ්ඩුවට සල්ලි නෑ කියන නිසා. ජීවත් වෙන්න බැරිව, එදා වේල නැතුව මැරෙන මිනිස්සුන්ගෙම් එකතු.කර ගත්තු සල්ලිවලින් අපි විතරක් කාලා ඇඳලා තැනකට යන්න අපිට බලය පෙන්නන්න බැරිකමක් තිබුණා, ඒක ඇත්ත. ඒත් ආණ්ඩුවට බහුතර රජයේ සේවකයෙකුගේ මූලික වැටුවපටත් වඩා වැඩි දීමනා වැඩි කිරීමක් කරන්න පුළුවන්නම්, එහෙම සල්ලි අමාරුවක් තියෙන්න විදිහක් නෑ.
DAT දීමනාව වැඩි කලා කියලා ඒක අනිත් අයට නෑ කියන්නේ නොමග යවන්න. එහෙම කුමන්ත්‍රණ අමාත්‍යාමණ්ඩලය වගේ වගකිවයුතු තැන්වල සිදු වෙනවානම්, ඒ වගේ කැබිනට්ටුවක් රට ගොඩ ගන්නේ කොහොමද. සෞඛ්‍ය අමාත්‍යාංශය එහම වැරදි අදහසක් දිලා අමාත්‍යමණ්ඩලය නොමග යැව්වාට, DAT දීමනව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ට ලබා දීමේ කිසිදු බාධාවක් නැහැ.
කොහොම වුණත් වැරැද්ද නිවැරදි කිරීමේ හැකියාව තවම ආණ්ඩුවට තිබෙනවා. සෞඛ්‍ය සේවාව බරපතල අර්බුධයකට නොයවා, වාහාම සාකක්ච්චා කරලා ගැටලුව විසඳන්න කියලා අපි ජනාධිපතිවරයාගෙන් සහ අමාත්‍ය මණ්ඩලයෙන් ඉල්ලනවා. ඒ වගේම ඉතිහාසය තුල තමන්ගේ හැන්දෙන්, තමන්ගේම කණ්ඩායමට බෙදලා දුන්න නරකම සෞඛ්‍ය ඇමතිවරයා නොවී, අනෙකුත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ට සාධාරණය ඉටු කරන්න කියලා වෛද්‍ය රමේෂ් පතිරණ සෞඛ්‍ය ඇමතිවරයාගෙන් අපි ඉල්ලනවා.
එහෙම නැතුව සෞඛ්‍ය සේවාව විශාල අරගලයකට, වෘත්තීන් අතර කුලල්කා ගන්නා අර්බුධයකට යන එක වලක්වන්න බැරි වේව්” ලෙස පවසා සිටී.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇
