මෙම ලිපි මාලාවේ පළමු කොටසින් අපි බිත්තර ඉල්ලුම ගැන කතා කළා. බිත්තර ඉල්ලුමට හේතුව පාරිභෝගිකයින් විසින් බිත්තර වලට ලබා දෙන වටිනාකම. වෙළඳපොළ ක්‍රියාකාරිත්වය තේරුම් ගැනීම සඳහා පාරිභෝගිකයින් විසින් බිත්තර වලට වටිනාකමක් ලබා දෙන්නේ කොහොමද කියන එක හෝ ඇයි කියන එක තේරුම් ගන්න අවශ්‍ය නැහැ. එක් එක් පාරිභෝගිකයාට සාපේක්ෂව වාස්තවික නොවන, සාපේක්ෂ වටිනාකමක් තිබෙන බව තේරුම් ගත්තහම ඇති. එකම පාරිභෝගිකයෙක් ගත්තත්, තැන, වෙලාව, දැනට අතේ තිබෙන බිත්තර ප්‍රමාණය වගේ විවිධ සාධක මත මේ වටිනාකම වෙනස් වෙනවා.
පාරිභෝගිකයෙක්ට බිත්තරයක් යම් මුදලක් වටිනවානම් නිෂ්පාදකයෙකුට ඒ මුදලට හෝ අඩු මුදලකට බිත්තරයක් විකුණන්න පුළුවන්. නමුත්, ඊට වඩා වැඩි මිලකට විකුණන්න බැහැ. නොවටිනා ගාණක් දීලා බිත්තරයක් ගන්න පරිභෝගිකයෙක්ට තියෙන අමාරුව මොකක්ද?
බිත්තරයක් රුපියල් 65ක් කියා කියමු. ගණන් වැඩියි කියලා බැණ බැණ හරි කවුරු හෝ කෙනෙක් ඒ මිල ගෙවලා බිත්තර මිල දී ගන්නවානම් එහෙම කරන්නේ බිත්තරයක් අඩුම වශයෙන් රුපියල් 65ක් වටින නිසා. බිත්තරයක් රුපියල් 65ක් නොවටිනා බව සිතන කෙනෙක් ගණන් ඇහුවට පස්සේ බිත්තරය නොගෙන හැරිලා යනවා.
හැබැයි කාට හරි බිත්තරයක් රුපියල් 65ක් වටිනවා කියන එකෙන් ඒ පුද්ගලයා බිත්තරයක් මිල දී ගනිද්දී අනිවාර්යයයෙන්ම රුපියල් 65ක් ගෙවනවා කියන එක අදහස් වෙන්නේ නැහැ. ඕනෑම කෙනෙක් බලන්නේ පුළුවන්කමක් තියෙනවානම් රුපියලක් හරි අඩුවෙන් ගන්න. රුපියල් 65 ගෙවන්නේ අඩුවෙන් ගන්න කිසිම ක්‍රමයක් නැත්නම් පමණයි. ඒ නිසා, බිත්තරයක මිල සහ බිත්තරයක වටිනාකම අතර සෘජු සම්බන්ධයක් නැහැ. බිත්තරයක මිල තීරණය වෙන හැටි දැන ගන්නනම් අපිට සැපයුම පැත්තත් කතා කරන්න වෙනවා.
බිත්තර සපයන එක ඒකාධිකාරයක්නම්, නිෂ්පාදකයාට එක් එක් පාරිභෝගිකයාගෙන් එම පාරිභෝගිකයා ගෙවන්න සූදානම් උපරිම මිලම, ඒ කියන්නේ බිත්තරයේ එම පාරිභෝගිකයාට සාපේක්ෂ වටිනාකමම, අය කර ගන්න පුළුවන්. නමුත්, ඒකාධිකාරයක් නැත්නම් ඔය වැඩේ කරන්න බැහැ. තරඟකරුවෙක් ඇවිත් අඩුවට බිත්තර විකුණලා පාරිභෝගිකයාව කඩා ගන්නවා.
වෙළඳපොළ තරඟයක් තියෙන කොට පාරිභෝගිකයෙකුට තමන්ගේ සාපේක්ෂ වටිනාකමට වඩා අඩුවෙන් බිත්තර මිල දී ගන්න අවස්ථාවක් ලැබෙනවා. එය වාසියක්. ගෙවන මිල සහ බිත්තරයේ වටිනාකම අතර වෙනස. බිත්තරය නිසා ලැබුණු සතුටෙන් අතින් ගිය සල්ලි නිසා අහිමි වුනු සතුට අඩු කළාට පස්සේ ඉතිරි වන අතිරික්ත සතුට. ඕකට තමයි ආර්ථික විද්‍යාවේදී පාරිභෝගික අතිරික්තය කියා කියන්නේ.
වෙළඳපොළ තරඟය වැඩි වුන තරමට බිත්තරයක් අඩු මිලකට ගන්න ලැබෙනවා. පාරිභෝගික අතිරික්තය වැඩි වෙනවා. තරඟය අඩුනම් අතිරික්තයත් අඩුයි.
අපි හිතමු ප්‍රමාණවත් තරඟයක් තිබෙනවා කියා කියලා. කොයි තරම් අඩු මිලකට බිත්තරයක් මිල දී ගන්න පුලුවන්ද?
බිත්තරයක් මිල දී ගන්න පුළුවන් අවම මිල එහි නිෂ්පාදන පිරිවැය. තරඟය වැඩි වෙද්දී නිෂ්පාදකයෝ රුපියලෙන් රුපියල බිත්තර මිල අඩු කරනවා. නමුත්, මිල නිෂ්පාදන පිරිවැය මට්ටමට පහත වැටුනට පස්සේ තවත් අඩු කරන්න බැහැ. ඊට පස්සේ කරන්න වෙන්නේ නිෂ්පාදනය නවත්තන එක. අතින් කාලා හරක් බලන්නේ කවුද?
ඔය හේතුව නිසා, බිත්තරයක මිල නිර්ණය වෙන්නේ නිෂ්පාදන පිරිවැය මත. හැබැයි එහෙම වෙන්නේ ප්‍රමාණවත් තරඟයක් තිබෙනවානම් පමණයි. එහෙම ප්‍රමාණවත් තරඟයක් තිබෙන වෙළඳපොළක් තරඟකාරී වෙළඳපොළක් ලෙස හැඳින්වෙනවා. තරඟකාරී වෙළඳපොළක නිෂ්පාදකයින්ට තමන්ගේ මහන්සිය, ගන්න අවදානම ආදිය සඳහා ප්‍රතිලාභයක් මිසක් ලාබයක් කියලා අමතර මුදලක් ලැබෙන්නේ නැහැ.
හැබැයි කිසියම් රටක, කිසියම් භාණ්ඩයකට අනිවාර්යයෙන්ම තරඟකාරී වෙළඳපොළක් හැදෙන්නේ නැහැ. ඒක තීරණය වෙන්නේ නිෂ්පාදන තාක්ෂනය, වෙළඳපොළ පරිමාව වගේ කරුණු මත. තරඟකාරී වෙළඳපොළක් හැදෙන්නනම් නිෂ්පාදන තාක්ෂනය සරල වෙන්න ඕනෑ. අවශ්‍ය මූලික ප්‍රාග්ධනය අඩු වෙන්න ඕනෑ. නියාමනයක් නැති හෝ අවම වෙන්න ඕනෑ. තව ඔය වගේ කාරණා තියෙනවා.
මේ කාරණා වැදගත් ඇයි කියන එක පැහැදිලියිනේ. නිෂ්පාදන තාක්ෂනය සරලනම්, වැඩේ පටන් ගන්න අවශ්‍ය ප්‍රාග්ධනය පොඩි ගාණක්නම්, කර්මාන්තයට ඇතුළු වෙන්න රජයෙන් අවසර ගන්න අවශ්‍ය නැත්නම්, එක්කෙනෙක් ලාබ ගන්නවා පෙනුණු වහාම තව අය වැඩේට බහිනවා. කාලයක් චීන අවන්හල්. තව කාලයක් කමියුනිකේෂන්. මතක ඇතිනේ.
නමුත්, තාක්ෂනය සංකීර්ණනම් එක්කෙනෙක් ලාබ ලබන බව පැහැදිලිව පෙනුනත්, වෙන කෙනෙක්ට වැඩේ අල්ලගෙන පටන් ගන්න අමාරුයි. සල්ලි ගොඩක් යට කරන්න අවශ්‍යනම් ඒත් එහෙමයි. රජයෙන් අවසර ගන්න අවශ්‍යනම් කොහොමටවත්ම වැඩේ පටන් ගන්න බැහැනේ. හරියට බාර් පර්මිට් වගේ.
මේ වගේ තත්ත්වයන් තිබෙන විට ඒකාධිකාර හැදෙනවා. හැබැයි වෙළඳපොළ පරිමාව විශාල වෙද්දී, මේ වගේ තත්ත්වයන් යටතේ වුනත් කවුරු හරි වැඩේට අත ගහනවා. මොකද තාක්ෂනය අල්ල ගන්න පුළුවන් කෙනෙක් කොහේ හරි ඉන්නවා. සල්ලි තියෙන කෙනෙක් කොහේ හරි ඉන්නවා. මේ හේතුව නිසා, ඇමරිකාව, ඉන්දියාව වගේ ලොකු රටවල් වලට සාපේක්ෂව ලංකාව වගේ පොඩි රටක ඒකාධිකාර හැදෙන්න තිබෙන ඉඩකඩ වැඩියි.
තරඟකාරී වෙළඳපොළක වාසිය තනිකරම වගේ පාරිභෝගිකයාටයි. නිෂ්පාදකයාට ලැබෙන්නේ පිරිවැය පමණයි. හැබැයි එහෙමයි කියලා නිෂ්පාදකයෝ ලාභ අපේක්ෂාව අත අරින්නේ නැහැ. මොන විදිහෙන් හෝ පිරිවැය අඩු කරගෙන ලාබ ලබන්න උත්සාහ කරනවා. තරඟකරුවන්ට වඩා අඩු පිරිවැයකින් නිෂ්පාදනය කරන්න පුළුවන්නම් තරඟකාරී වෙළඳපොළක වුනත් ලාබ ගන්න පුළුවන්. හැබැයි ටික කාලයකට පමණයි. අනෙක් අය වැඩේ අල්ලගත්ත ගමන් මිල අඩු වෙනවා. ඊට පස්සේ නැවත හිටපු තැනමයි. හැබැයි මේ ක්‍රියාවලිය නිරන්තරයෙන් සිදු වෙන්නේ නිෂ්පාදන කාර්යක්ෂමතාවය එන්න එන්නම වැඩි වෙනවා.
ඒකාධිකාරයක තියෙන ප්‍රශ්නය පාරිභෝගික අතිරික්තය අඩු වෙන එක විතරක් නෙමෙයි. පෙර විස්තර කළ ක්‍රියාවලිය සිදු නොවන නිසා කාර්යක්ෂමතාවය ඉහළ යවන යාන්ත්‍රනයකුත් නවතිනවා.
ඒකාධිකාරය රාජ්‍ය ඒකාධිකාරයක් වුනහම පාරිභෝගික අතිරික්තය අඩු නොවෙන්න පුළුවන්. මොකද රාජ්‍ය ආයතන ලාබ ගන්න අවශ්‍යම නැහැනේ. ඔය සමහර වෙලාවට පිරිවැයටත් අඩුවෙන් විකුණන්නේ. නමුත්, දෙවනු කී ප්‍රශ්නයනම් එළෙසම තිබෙනවා. ඒ නිසාම, පාරිභෝගිකයාට නිෂ්පාදන පිරිවැයටත් අඩුවෙන් බඩුව ලැබුණත්, තරඟකාරී වෙළඳපොලක ලැබෙන තරම් අඩු මිලක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම රාජ්‍ය ඒකාධිකාරයක් පාඩු ලබද්දී පැත්තක ඉන්න අයට ඒ පාඩුව වෙනුවෙන් සල්ලි ගෙවන්න වීමේ අමතර ප්‍රශ්නයකුත් හැදෙනවා.
බිත්තර නිපදවන එක රොකට් සයන්ස් එකක් නෙමෙයිනේ. කිකිළියෙක් දෙන්නෙක් ගෙනත් දැම්මා. එච්චරයි. ඊට පස්සේ තියෙන්නේ කෙකර ගාණ වෙලාව බලලා බිත්තර ටික එකතු කර ගන්න. මහ ලොකු සල්ලියක් අවශ්‍යත් නැහැ. ඒ නිසාම, අවුලක් නැතුව තරඟකාරී වෙළඳපොළක් හැදෙන්න ඕනෑ. තරඟකාරී වෙළඳපොළක් හැදෙනවා කියන්නේ කාලයත් එක්ක ටිකෙන් ටික නිෂ්පාදන කාර්යක්ෂමතාවය ඉහළ යන එක. ලංකාවේ එහෙම වෙලාද? වෙලා නැත්නම් ඒ ඇයි? තරඟකාරී ලෙස බිත්තරයක්වත් හදා ගන්න බැරිනම්, ඊට වඩා සංකීර්ණ දේවල් හදන්න පුලුවන්ද? එහෙම බැරි වෙලා තියෙන්නේ ඇයි? වැරැද්ද කොහේද? වැරැද්ද හදාගන්න බැරිද? මේ දේවල් අපි ඉදිරි ලිපියකින් කතා කරමු.
~ ඉකොනොමැට්ටා
RN