වලල පතල කළ නම මුල් කරගෙන අභියෝගතා ක්‍රිකට් සූරතාවලියක්

0
87

සටහන – නිශ්මං රණසිංහ

ජනවාරි 11 කොළඹ (LNW): වලල ඒ රත්නායකය ශ්‍රී ලංකා පාසල් අතර මලල ක්‍රීඩා පාසල ලෙස වසර ගණනක සිට විරුදාවලි ලබන්නට ප්‍රධාන වශයෙන් බලපෑවේ එහි මලල ක්‍රීඩා පුහුණුකරු වූ සුසන්ත ප්‍රනාන්දුගෙ පුහුණු කළමණාකාරීත්වය ය.ඔහු යටතේ පුහුණු සහකරුවන් ලෙස සිටි ලක්ෂමන් හපුආරච්චි වැනි අය මෙන්ම ඔහු යටතේ පුහුණුව ලැබූ තවත් විශාල පිරිසක් ද අද වන විට පුහුණුකරුවන් ලෙස වැජඹෙමින් සිටින අතර වර්ථමානයේ මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩා අධ්‍යක්ෂ ධූරය දරන අතුල ජයවර්ධනයන් ද,සුසන්ත වලල ප්‍රධාන පුහුණුකරු ධූරය දරන සමයේ එම ක්‍රීඩක සංචිතය භාරව සිටි ගුරුවරයෙක් ලෙස වලල ජයග්‍රහණ වෙනුවෙන් කැප වුණු අයෙක්ය.


ඒ ආකාරයෙන් බලන විට සුසන්ත ප්‍රනාන්දු යනු වලල කේන්ද්‍රීයව රටට පල ඇති මලල ක්‍රීඩා මෙන්ම ක්‍රීඩාවන්ද දියුණු කිරීමේ පදනමක් ලෙස වැඩ කළ සහ කරන අයෙක් ලෙස ඇගයීමක් ලද යුතු අයෙකි.මේ ඇගයීම රටින් ලැබෙන ආකාරය මෙන්ම තමන්ගේ දහදිය වෙහෙස වැටුණු පොළවෙන් ලැබෙන ආකාරය ද විඳින්නට ලැබීම මහත් භාග්‍යයකි.ඩී.ඒ.ඉනෝකාගේ සිට වර්ථමානයේ තරුෂි කරුණාරත්න දක්වා ජාත්‍යන්තර ජයග්‍රහණ රටට ලබා දීම වෙනුවෙන් වලල හරහා පෙළ ගස්වන ලද ක්‍රීඩක නාමාවලිය ගත් විට මනෝජ් පුෂ්පකුමාර,ඩිල්ශි කුමාරසිංහ,ජේ.එම්.සිෆ්රාත්,ජානක වීරසිංහ,ගීතානි රාජසේකර ලෙස එක දිගට පෙළ ගැස්විය හැකි නම් බොහෝ වෙති.ඇතැමෙක් මුල සිට ද,ඇතැමෙක් ඇරඹුම ද වලලෙන් සහ සුසන්තගෙන් ගෙන සිය ක්‍රීඩා ජීවිතය සරු කර ගත්තෝය.


එවැනි ඉතිහාසයකට හිමිකම් කියන පුද්ගල නාමයේ වලල හිමිකම තමන් සන්තක කර ගනිමින් වසර ගණනක මතක පිරුණු ආදි සිසුවන් රොඳ බඳින ක්‍රිකට් තරගාවලියකට යාමට වලල ආදි ශිෂ්‍යයන් තීරණය කර ඇත.වලල ආදි සිසුවන්ට පමණක් සීමා වී ඇති ඔවුන්ට පවුල් පිටින් සහභාගි වී විනෝද විය හැකි තැනක් මෙන්ම වලල නම රට පතල නමක් කරන්නට වෙහෙසුණු සුසන්ත ප්‍රනාන්දු අගයමින් පවත්වන ක්‍රිකට් තරගාවලියේ සූරතාවය වෙනුවෙන් සුසන්ත ප්‍රනාන්දු අභියෝගතා කුසලානය පිරිනැමීමටත් වටිනා මුදල් ත්‍යාගයන් බෙදා දීමටත් ආදි සිසුවෝ තීරණය කර තිබෙති.
පෙබරවාරි 25 දා පවත්වන මෙම සාණකෙලිමය අත්දැකීම වලල විඳි කීර්තියේ හිමිකරු වු මලල ක්‍රීඩාවට මඟ පෙන් වූ පුහුණුකරු වටා ගොනුව ඇති අතර එදින ඔහු වටා රැඳෙමින් ක්‍රිඩක ක්‍රීඩිකාවන්ට මඟ පෙන්වීමට කලින් කළට සහය වූ සියලු දෙනාට ද ගෞරවය බෙදී යන දවසක් වනු සැක නැත.