ළමැද්දට අත තියා හිත සොයන
වැරැද්දට ස්නේහයම විසිකරන
පුරුද්දට අත් අකුරු වැසි වසින
දුරුත්තට කවි ලියා තනි රකින
කඳුළු විළිලන සොඳුරු මඳහසක
පතුළ විනිවිද දකින හදවතක
අතුළ හැඟුමන් ගෙනෙන පියපතක
විසිර ඇත කඳුළුබිඳු සියවසක
ගිරවියක ගොළු වුණොත් පව් නැද්ද
කෙතරම්ද දුක මිදුණ නිස්සද්ද
පිනි බිඳිති හිමිදිරියෙ ඇහැරෙද්ද
කළු පැහැති වුණෝතින් කිරි ඉද්ද
මෙය මගෙ හදයි එයට පිවිසෙන්න
බය නැතුව පය තියා ඇවිදින්න
පය රිදෙයි නම් පසෙක ඉඳගන්න
නිය තුඩින් කවියකට ඇහැරන්න
ජනේරුව ඇරඹුමද අවසනද
පෙනේ නොපෙනෙන ඇසක නිදිවැරුම
දැනේ නම් සසලබව පද අතර
සෙනේහය ඇද හැලෙයි ඇස පිපිර
කව් සිළුමිණෙන් ඇසෙන කවියකට
කවුළු දොර අරින්නට ඉඩ නොදෙන
කවුරුවත් නොවෙයි මේ මඳ පවන
කවුළු දොර පියන් මත ඇණ ගසන
සදාදර අනන්තය අත ගාව
පියාඹන සිතුම් තටු අතගෑව
මලානික කවියකට අත පෑව
සිනාසෙන කඳුළුබිඳු දුටුවාද
~ මංජුල වෙඩිවර්ධන


