“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම – නාමල්ට විවෘත ලිපියක්!

Date:

විශේෂ ලිපිකරුවකු විසිනි

ජනවාරි 12, කොළඹ (LNW): දරුවන් රැකගැනීම මැයෙන් සමලිංගිකත්වය දඩමීමාකරගත් “මව්වරුන්ගේ පෙරමුණ” නමින් පිහිටුවාගත් සංවිධානයක් විසින් රැගෙන යනු ලබන හානිකර දේශපාලන න්‍යාය පත්‍රය ළමා අයිතිවාසිකම් ක්‍රියාධරයන්ගේ ප්‍රභල විවේචනයට තුඩු දී තිබේ.

මෙම සංවිධානය දරුවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන මුවාවෙන් මෙරට ජීවත්වන ආන්තීකරණයට ලක්වන ප්‍රජාවක් ඉලක්කකරගත් ද්වේශසහගත මහජන ව්‍යාපාරයක් රැගෙනයන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මෙම සංවිධානය බිහිකිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාර්යමණ්ඩල ප්‍රධානී ජෙහාන් හමීඩ් ඇතුළු පිරිසක් කටයුතුකර ඇති බැවින් එය පිටුපස පවතින දේශපාලනික අරමුණ කුමක්ද යන්න පැහැදිලි බව ශ්‍රී ලංකාවේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රභල හඬක් නඟන වෛද්‍ය තුෂාරා වික්‍රමනායක මහත්මිය පෙන්වා දෙයි.

මේ පිළිබඳව කරුණු මතුකරමින්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා වෙත විවෘත ලිපියක් යොමු කිරීමට ඒ මහත්මිය කටයුතුකර තිබේ.  

වෛද්‍ය තුෂාරා වික්‍රමනායක මහත්මිය විසින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වෙත යොමුකළ විවෘත ලිපිය පහත දැක්වේ:

Dear Namal,

*මව්වරුන් එක මිටට රඟන භීතිකාව නවත්වන්න*

ඔබත් මාත් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ රාජ්‍ය නායකයන්ගෙ දරුවන් නිසා ආදරයෙන් කරන ඉල්ලීමයි.

🟢 මෙරට ජනගහණයෙන් 30% වන මිලියන 7ක් චන්දයක් නැති දරු පුරවැසියන්ගෙ අභිවෘද්ධිය හැම දේශපාලන න්‍යාය පත්‍රයකම කේන්ද්‍රය විය යුතු බවට ඔබ 2022 දී අත්සන් කොට පොරොන්දු වූවා මතක ඇති. ඒ විතරක් නෙවේ ඔවුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය නතර කරන්නත් Stop Child Cruelty Trust/ළමා හිංසනයට තිත පදනම සමඟ තරුණ දේශපාලකයෙක් ලෙස ඔබ එකඟවූවා මතක ඇති. “Protecting a child should be a priority!”

අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ බර කරට ගත් ඔබ එදාට වඩා පරිනතයි සිතමි. මගේ පවුලේ දේශපාලන මෝඩකම් ගැන මම ප්‍රසිද්ධව විවේචනය කරලා තියෙන්නෙ ස්වාධීන පුරවැසියෙක් ලෙස මගෙ වගකීම් ඉටු කිරීමටයි. ඒ වගකීමේ බර මට දැනුනේ මගේ දරුවන් සමඟ ලංකාවේ පදිංචියට ආවයින් පසුව රටේ සිද්ද වෙන රාජ්‍ය අකර්මණ්‍යතා ගැන පෞද්ගලික අත්දැකීමෙන්ම පැහැදිලි අවබෝධයක් ලබා ගත්තායින් පසුවයි. ඇත්තටම මගෙ දරුවන්ට දායාද කරන බංකොලොත් රට ගැන නිවැරදි කෝනයකින් බලන්න පරක්කු වුනාට මම අදටත් කණගාටු වෙනවා. ඒ නිසාමයි මීලඟ දේශපාලන ඛේදවාචකය වෙන්න කලින් මේක ලියන්නෙ.

2009 දි යුද්ධය අවසන් කරමින් ළමා සොල්දාදුවන් 2000+ පමණ බේරාගත් රජය, ඒ දරුවන්ව සාර්ථකව පුනරුත්ථාපනය කලේ නියපොත්තකින් වත් රිදවන්නෙ නැතුව. අදටත් ඔවුන්ගෙ අනන්‍යතාවය අනාවරණය කරලා නෑ. ඔවුන් නැවත අපරාධ වලට යොමු වෙලා නෑ. යුද්ධයකින් කිසිවෙකු හෝ ජයග්‍රහණය නොකරන බව මා විශ්වාස කලත්, ඒ කුරිරු වසර 30ක අවසානයෙ අප ලැබූ එකම ජයග්‍රහණය ඒ දරුවන්ගෙ නිදහසයි. මෙය එක්සත් ජාතීන්ගේ පැසසුමට පවා ලක් වුණු කාරණයක්.

Fast forward to 2020…

ඔබගෙ බාප්පා ජනාධිපති Gotabaya Rajapaksa, ඒ කියන්නෙ අගමැති වෙච්ච මගේ තාත්තාගෙ රජයෙ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, ළමා සොල්දාදුවන් නිදහස් කරන්න දායක වුනු පුද්ගලයාම නැකතට වැඩ පටන් ගත්තේ මරණ දණ්ඩණයට නියම වුනු දරුණු අමානුෂික ළමා ඝාතකයෙක් නිදහස් කරලා. එතකොට ඔබගෙ තාත්තා Mahinda Rajapaksa අගමැති, ඔබ ප්‍රබල ඇමතිවරයෙක්. මගේ තාත්තා මිය ගිහිං, මගේ අයියා Vidura Wickramanayaka රූකඩ රාජ්‍ය ඇමති කෙනෙක්. එදා ඒ නිදහස් කිරීමෙන් පසුව මේ මුතුඇටය අරාජිකත්වයට ඇද දැම්මේ නීතිය වල් වද්දලා, අධිකරණය හෑල්ලු කරලා, විනිසුරුවන් නිර්වස්ත්‍ර කරලා. ඔක්කොටම වඩා රටක අවදානම වැඩිම, ඒ නිසාම ආරක්ෂාව වැඩියෙන් ලැබිය යුතු දරු පරපුර අමු අමුවේ අනාරක්ෂිත කරලා.

Fast forward to 2026…

ඒ තීරණය ගැන ඔබ සහ අර රූකඩ මගෙ අයියත් ඇතුලුව නිශ්ශබ්ද වෙච්ච රජය අද පවතින ළමා ආරක්ෂණ අර්බුදයට වගකිව යුතුයි. ළමා අපයෝජන පැමිණිලි 40,000ක් ළමා ආරක්ෂණ අධිකාරියෙ හිරවෙලා, ළමා අපයෝජන ෆයිල් 4000 ක් නීතිපති දෙපාර්තමේන්තුවේ හිරවෙලා, සෑම පැය 2කට වරක් මේ ධර්ම ද්වීපයෙ දරුවෙක් ලිංගික අතවරයකට පත් වෙනවා, 80% ක් පාසල් දරුවන් ශාරීරික හිංසනයට පත් වෙනවා, ඒ කියන්නෙ දවසකට දරුවන් 1000ක් වත් ගුටි කනවා, බරපතල අපරාධ වලින් 3 වෙනි ස්ථානයට ලිංගික අපයෝජන ඉහල ගිහිල්ලා. කොටින්ම, අපයෝජකයින් ළමයින්ට ශාරීරික/ලිංගික හිංසන කරලා මරණ තැනට රට වැටිලා.

ඔබගෙ බාප්පටත්, තාත්තටත් එදිරිව අපි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය ඉදිරියේ ගොනු කල පැමිණිලි සැලකිල්ලට ගෙන 2009 දි අත්පොලොසන් දුන්නු රාජ්‍ය නායකයින්ම 2020 දි කලකිරීමෙන් තැති ගැස්සුනා. ජාත්‍යන්තරය අපේ අහිංසක දරුවන් වෙනුවෙන් විලාප නගනකොට ඔබලා ඔල්වරසන් දුන්නෙ කොටි ත්‍රස්තවාදියෙකුට කැබිනට් ඇමති කමක් දීලා, දූවරුන් 100කට ලිංගික අතවර කලා යැයි පාපොච්චාරණය කල දූශකයෙකුට දේශපාලන වරම් දීලා. රාජ්‍ය නායකයින් වුනු ඔබගෙ බාප්පටත්, තාත්තටත් මෙරට දේශපාලන ඉතිහාසයෙ කිසිදා මැකිය නොහැකි කලු පැල්ලමක් ඇතිව ඇමෙරිකාවෙන් පුද්ගල තහංචි පැමිණවීම දෛවයේ සරදමක් නෙවේද?

🔴 ඒ ඔක්කොමත් හරි මේ ලියුම ලියන්න හේතුවක් වුනේ අලුත්ම නාටකය ලෙස SLPP පක්ෂයෙ Chief of Staff ලෙස තනතුරට පත් Jehan Hameed, Shenali Waduge සහ Shanuka Elangasekere නායකත්වය දෙන Mothers’ movement / මව්වරුන්ගේ පෙරමුණ හරහා කරන මීලඟ ඛේදවාචකය වළක්වාගන්න.

වර්ථමාන රජය හඳුන්වා දුන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල ඇති වැරදි ගැන මමත් විරුද්ධයි. නමුත් සාරවත් ප්‍රතිපත්තිමය සංවාදයක් නොකර, මෙය හුදෙක් සම ලිංගික ප්‍රශ්නයක් ලෙස බිල්ලො මවමින්, 21 වෙනි ශතවර්ෂයෙ හැදෙන ගෝලීය පුරවැසියන් වෙන අපේ දරුවන්ට උචිත අත්‍යාවශ්‍ය ලිංගිකත්ව අධ්‍යාපනයට එරෙහි වීම මා අනුමත නොකරමි. සෑම පර්‍යේෂණයකින්ම පෙන්වා දෙන්නෙ සහ සෑම දියුණු ශිෂ්ඨ සම්පන්න රටක්ම පිළිගෙන ඇත්තේ ලිංගික අපයෝජන වළක්වා ගැනීමට ඇති එකම තුරුම්පුව වයසට සරිලන ලිංගිකත්ව අධ්‍යාපනය බව ඔබ නොදන්නවා නොවේ. නමුත් ඔබේ නායකත්වය යටතේ මේ සිදුකරමින් සිටින්නේ අපේ දරුවන් අනාරක්ෂිත කරන තවත් මහා අපරාධයක්. ඒ වගකීම් විරහිත නායකත්වයෙන් ඔබට කොහෙත්ම ගැලවෙන්න දෙන්න බෑ.

මම දැක්කා ප්‍රවෘත්ති සාකච්ඡාවකදි ඔබ ප්‍රකාශ කලා ඔබලාගෙ පාලන සමයෙ යම් වැරදි වුණා. වැරදි නිවැරදි කරගෙන ඉදිරියට යනවා කියලා. එය ප්‍රශංසනීයයි.

ඉතිං මගේ මාතෘ භූමියෙ, මගේ දරුවන් චන්ද දායකයින් වන ලස්සණ දූපතේ අනාගත රාජ්‍ය නායකයෙක් වෙන්න බලාපොරොත්තු වෙන ඔබට කරන විවෘත ඉල්ලීමයි:

▶️ 1) ළමා ඝාතකයෙක් නිදහස් කිරීමට සහයෝගය දුන් මහජන බදු මුදලින් නඩත්තු වෙන නියෝජිතයෙක් ලෙස ඒ අධම ක්‍රියාව ගැන පුරවැසියන්ගෙන් සමාව ගන්න.

▶️ 2) මව්වරුන්ගේ පෙරමුණ සඳහා ඔබගෙ පක්ෂයේ දායකත්වයක් නැති බවට තහවුරු කරමින් දරුවන් බිල්ලට දෙන මේ දේශපාලන නාටකය වහාම නවත්වන්න.

මහජන නියෝජිතයින් වගවීමට ලක් කිරීම මගෙ පුරවැසි වගකීම බව මම තරයේ විශ්වාස කරන අතර, ඔබගෙ ඉදිරි දේශපාලන කටයුතු සඳහා ධෛර්‍ය ශක්තිය ලැබේවා!

Yours sincerely,

Tush

සබැඳි ලිපි:

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් සමඟ අගමැති නරේන්ද්‍ර මෝදි සරුංගල් යවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අගමැති නරේන්ද්‍ර මෝදි...

සමසෞඛ්‍ය විරෝධය යළි ඇරඹෙයි. මහ වැසි නොතකා උද්ඝෝෂණයේ! (PHOTOS)

කොළඹ LNW:සම සෞඛ්‍ය උපාධිය රැකගැනීම සඳහා ව්‍යාපාරය විසින් අද...

කමේනිට මරණය: ඇමරිකාව හා ඊශ්‍රායලය මැදිහත්වුවහොත් ඉරානය යුද්ධයකට සුදානම්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ දින ගණනක්...

මහනුවර අපරාජිත බව බිඳ වැටෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 12, කොළඹ LNW: මැලිබන් ජාතික රග්බි ලීග්...