*
Saturday, June 22, 2024
spot_img

Latest Posts

මහ බැංකු අධිපතිගේ මාධ්‍ය ජවනිකාව තනතුර උල්ලංඝනයක් ද?

– 

රජය විසින් අනුගමනය කරන වත්මන් IMF ණය වැඩසටහන මත පදනම් වූ ආර්ථික කළමනාකරණ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාවය පිළිබඳ ව මෑත දී මහ බැංකු අධිපති විසින් මහ බැංකු පරිශ්‍රයේ දී පැවැත් වූ දේශනයක සඳහන් වූ කරුනුවල සාරාංශයක් පහත දැක්වෙයි.

සමාජ මධ්‍යයෙහි පළ වූ එම වීඩියෝව පහත දැක්වෙයි.

https://www.blogger.com/video.g?token=AD6v5dzH8aC0HoH-_2wZhfMXRzHo1VuGdSmdiseedjKDsFqfr7Knb_qkjvSM-04FxBPyfXgZuqIbKif91WZdlhTysM45JRMWb6_B49tu6U6azsafz59TcByASVEMdq4g0u-xepaLZA0

එබැවින්, මෙම ලිපියේ අරමුණ වනුයේ වත්මන් අර්බුදයෙන් ආර්ථිකය සහ පොදුජනතාව ගොඩ ගැනීම සඳහා මහ බැංකු අධිපති විසින් දැක්වූ ආර්ථික කළමනාකරණ අදහස්වල කිසිම ප්‍රයෝගික වැදගත්කමක් නොමැති බවත්, එම අදහස් හුදෙක් පටු දේශපාලනික මතවාදයකට පදනම් වී ඇති බවත් ඉදිරිපත් කිරීම යි.

සමස්තයක් ලෙස ගත් විට මහ බැංකු අධිපතිගේ දේශනය තුළින් ඔහු තනතුර දැරීමට නුසුදුසු පුද්ගලයෙකු බවට සනාථ වෙයි. ඊට ප්‍රධාන හේතු දෙකකි.

  • ඔහු දැක්වූ ආර්ථික කළමනාකරණ අදහස් හුදෙක් මහජන වැදගත්කමක් නොමැති ආර්ථික මානසිකත්වයක් මිස, ඒවා ක්‍රියාත්මක කළ හැකි ක්‍රමවේදයක් කිසිම රටක රජයකට හෝ මහ බැංකුවකට නොමැති වීම.
  • ඔහුගේ නිල විෂය පථයෙන් ඔබ්බට ගොස් ඉදිරි මැතිවරණවල දී IMF වැඩසටහන ඉදිරියට ගෙන යාම සඳහා අපේක්ෂකයන් තෝරා ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳ ව මහජනයාට උපදෙස් දීම. මෙය 2022 අප්‍රේල් 12 දින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ පාර්ලිමේන්තු ක්‍රමවේදයෙන් පිටත රාජ්‍ය විදේශ ණය පැහැර හැරීමට නොදෙවෙනි සිද්ධියකි.

ඔහු විසින් ජනවාරි 01 දින කරන ලද තවත් තනතුරට නුසුදුසු මාධ්‍ය ජවනිකාවක් පිළිබඳ ව මා විසින් පළ කළ ලිපිය ද මෙහි දක්වමි (මෙතනින් කියවන්න).එබැවින්, මෙවැනි පුද්ගලයන් ඉහළ රාජ්‍ය තනතුරු දැරීමෙන් රාජ්‍ය ස්ථායිතාවයට ඇති පද්ධති අවදානම් හඳුනාගෙන නිසි විසඳුම් ක්‍රියාත්මක කිරීම ව්‍යවස්ථාදායකයේ සහ විධායකයේ මහජන වගකීම යි.

මහ බැංකු අධිපති විසින් දැක්වූ අදහස් කෙටියෙන් 

  • මෙය රට ඉදිරියට ගෙන යාම සඳහා අවුරුදු 4 ක වැඩපිළිවෙලක්
  • අනෙක් වැදගත් කරුන වන්නේ, රාජ්‍ය පාලනය සහ දුෂණය යි. බදු සම්බන්ධ ගැටළුව වන්නේ රාජ්‍ය පාලනය සහ දුෂණය හරියට නොමැති නිසා බව. එයත් මෙම වැඩපිළිවෙළේ එක් අංගයක් බව.
  • ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝකයටම ඉදිරිපත් කොට ඇති වැඩපිළිවෙළේ ප්‍රධාන අංගයන් වන්නේ, රාජ්‍ය මූල්‍ය ඒකාබද්ධතාවය, මූල්‍ය ප්‍රතිපත්තිය, මූල්‍ය ස්ථායිතාවය, සමාජ ආරක්ෂණය සහ රාජ්‍ය පාලනය සහ දුෂණය යි. එම වැඩපිළිවෙල නොමැතිව වෙනත් පැත්තකට ගිය හොත් නැවතත් පැරණි තැනටම යන බව.
  • ලබන වසරේ වාණිජ ණය හිමියන් සමඟ ගිවිසුමෙන් පසු ණය ප්‍රතිව්‍යුහගත කරණය අවසන් වීම.
  • ඊළඟ පිම්ම වනුයේ ආර්ථිකය වේගයෙන් වර්ධනය කර ගෙන ජනතාවගේ ජීවන තත්ත්වය සහ ආදායම වැඩි කිරීම හරහා රටේ වැඩි වූ බඩු මිලට සරිලන ආදායමක් ජනතාවට ලැබීම බව.
  • රට සංවර්ධනය කරන ආකාරය IMF විසින් නොකියන අතර එය කරන ආකාරය අප විසින් තීරණය කළ යුතු බව. IMF විසින් අනුමත කොට ඇත්තේ රට ස්ථායී කිරීම සඳහා අප විසින් ඉදිරිපත් කොට ඇති වැඩපිළිවෙල පමණක් බව. එය රට ස්ථායී වූවාට පසු ඊළඟට කරන වැඩපිළිවෙල බව.
  • ඒ සඳහා මූලික අවශ්‍යතාවය වන්නේ සාර්ව ආර්ථික ස්ථායිතාවය සහ රාජ්‍ය ණය තිරසාර භාවය රැකගෙන යාම බව.
  • මෙවැනි පොරොන්දු ලබා දී 16 වතාවක්ම IMF වෙත ගොස් මුදල් ලබා ගත් පසු, එම පොරොන්දු ඉවත ලා නැවත පරණ තත්ත්වයට ගිය බව.
  • පසුගිය 16 වතාවේම IMF යන ලද්දේ ගෙවුම් ශේෂ අර්බුදය විසඳා ගැනීම සඳහා වන අතර විදේශ විනිමය ඉපයීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොකළ බැවින් නැවත පැරණි තත්ත්වයට ගිය බව.
  • මෙවර IMF යන ලද්දේ ගෙවුම් ශේෂ අර්බුදයක් සමඟ දිගු කාලීන ණය අර්බුදයක් සමඟ බව.
  • එබැවින්, ඉදිරි වසර 10 තුළ ණය ස්ථායිව පවත්වා ගැනීම අවශ්‍ය අතර එසේ නොවූවොත් ඊළඟ ක්‍රෑෂ් එකෙන් අප ඉතිරි නොවන බව.
  • එබැවින්, මෙම අවස්ථාවේ ණය තිරසාර භාවය, රටේ මිල ස්ථායිතාවය 4%, 5% මට්ටමක පවත්වා ගෙන යාම අවශ්‍ය බව.
  • ආර්ථිකයක පුරෝකථන හැකියාව යනු උද්ධමනය එන වසර 10 ක කාලය තුළ 4%, 5% මට්ටමක පවත්වා ගැනීම, අයවැය ප්‍රාථමික ගිණුමේ ශේෂය 2% ක මට්ටමක රාජ්‍ය මූල්‍ය ස්ථායිතාවය පවත්වා ගැනීම යන ප්‍රතිපත්තිවල ස්ථායිතාවය බව.
  • ඒ සඳහා බදු අඩුවැඩි කිරීම, පොලී අනුපාත අඩුවැඩි කිරීම සහ විනිමය අනුපාතය අඩුවැඩි කිරීමට සිදු වන බව. කිසිම රටක ඒවා එක මට්ටමක පවත්වා ගැනීම යනු පුරෝකථන හැකියාව නොවේ.
  • එබැවින්, පුරෝකථන හැකියාව යනු රාජ්‍ය මූල්‍ය ස්ථායිතාවය, මූල්‍ය පද්ධතියේ ස්ථායිතාවය සහ අනෙක් රාජ්‍ය ප්‍රතිපත්ති ස්ථායිතාවය යනාදිය බව.
  • පුරෝකථන හැකියාව සහ ස්ථායිතාවය පවත්වා ගැනීමට නම්, පොලී අනුපාත, විනිමය අනුපාත සහ බදු අනුපාත අඩුවැඩි විය යුතු බව.
  • අනෙක් කරුන වන්නේ ස්ථායී රජයක් තුළින් තීරණ ගැනීමේ හැකියාව බව.
  • ඉන්දියාව 6%-7% මට්ටමේ වර්ධනය වන විට, අතීතයේ මෙන් 4%-5% මට්ටමක වර්ධනය වීමේ හැකියාවක් අපට ඇති අතර ඒ මගින් ඉක්මනින් මෙතනින් එලියට යා හැකි බව. ඒ සඳහා මූලික ප්‍රතිපත්ති සහ අඩිතාලම අවශ්‍ය බව.
  • විදේශ විනිමය ඉපයීම, රජයේ ණය ස්ථාවර මට්ටමක් සහ ආදායම් වියදම් තුලනයක් පැවතීම සහ උද්ධමනය ස්ථාවර මට්ටමක පැවතේ නම් විනිමය අනුපාතය ස්ථාවර වනු ඇත. විනිමය අනුපාතය යනු සෑම දෙයකම අවසාන ප්‍රතිඵලය බව. විදේශ විනිමය ආදායම සහ වියදම හෝ ඉල්ලුම සහ සැපයුම සමතුලිත කර ගත් විට විනිමය අනුපාතය ස්ථාවර වන බව.
  • එහෙත්, පෙර පැවති මතය වූයේ විනිමය අනුපාතය ස්ථාවරව පවත්වා ගත් විට අනෙක් සියල්ල හරියන බව වන අතර එය එසේ නොවන බව.
  • 2022 මාර්තු මස අනෙකුත් දේවල් ස්ථාවර නොකොට විනිමය අනුපාත පාලනය අතහැර දැමූ විට එය කොහේ යාවි දැයි නොදත් අතර එය 200 සිට 400 ට ඉහළ ගියේ එබැවින් බව. සමහරු එය 400, 450 ට ඉහළ යනු ඇතැයි පුරෝකථනය කළ බව. මෙම වැඩපිළිවෙල නොකළා නම්, ඊටත් වඩා ඉහළ යා හැකිව තිබූ බව.
  • දැන් අප සංධි ස්ථානයකට පැමිණ ඇති බව, රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගත කිරීම හරහා රජයට ලැබෙන දීර්ඝ කාලීන සහනය ප්‍රයෝජනයට ගෙන, රටේ විදේශ විනිමය ඉපැයීමේ හැකියාව වැඩි කර ගෙන, විදේශ විනිමය හිඟය නැති කර ගෙන, ණය ගන්නේ නැතිව විදේශ විනිමය උපයන රටක් බවට පත් කර, ස්ථාවර රජයකට රට තුලින් ණය ගත හැකි ප්‍රමාණයට රාජ්‍ය වියදම් පාලනය කොට ආදායම් වැඩි කිරීම කළ යුතු බව.
  • ඉදිරි මැතිවරණයක දී ජනතාවගේ වගකීම වන්නේ, යම් කෙනෙකු විසින් තම රජය යටතේ බදු අඩු කිරීම සහ සහන සැපයීම වැනි පොරොන්දු ඉදිරිපත් කරන විට, ඒවා ලබා දෙන්නේ කොහෙන් ද? යන්න විමසිය යුතු බව සහ එසේ දෙන ක්‍රමවේදය ඔවුන් විස්තර ඇතිව ජනතාවට ප්‍රකාශ කළ යුතු බව.
  • මෙම වැඩපිළිවෙල අතර මැද යම් යම් වෙනස්කම් සමඟ ස්ථාවරව ඉදිරියට යා යුතු අතර, එබැවින් ජනතාව ඉදිරි වැඩපිළිවෙල පිළිබඳ ව අවබෝධයෙන් ක්‍රියා කළ යුතු බවට පණිවුඩයක් දෙන බව.

මහ බැංකු අධිපති විසින් දැක්වූ අදහස් 10 ක් පිළිබඳ සෘජු ප්‍රතිචාරය

1. ස්ථාවර භාවය සහ ස්ථායීතාවය

එම දේශනයේ දී මහ බැංකු අධිපති විසින් මෙම සංකල්පයන් දෙක පටලවා ගෙන අදහස් දැක්වීය. “ස්ථාවර” යනු මිල ගණන් හෝ විනිමය අනුපාතය යම් මට්ටමක කාලයක් නොවෙනස්ව පවත්වා ගෙන යාම යි. “ස්ථායී” යනු යම් හිතකර යයි සැලකෙන මට්ටමක් නියෝජනය කෙරෙන පරාසයක වෙනස් වීම යි.

2. රාජ්‍ය මූල්‍ය කළමණාකරණය පිළිබඳ අදහස් 

  • බදු, රාජ්‍ය අයවැය හිඟය සහ රාජ්‍ය ණය තිරසාර භාවය යනු රජයේ ස්වාධිපත්වය යටතේ පවතින රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියට අයත් විෂයන් ය. එබැවින්, රාජ්‍ය මූල්‍ය පවත්වා ගත යුතු ආකාරය පිළිබඳ අදහස් දැක්වීමට මහ බැංකු අධිපතිට නෛතික බලයක් නොමැත. ඊට හේතුව, මහ බැංකුවට පැවරී ඇත්තේ මූල්‍ය ප්‍රතිපත්තිය පමණක් බැවිනි. එබැවින්, මහ බැංකුව විසින් කළ යුත්තේ, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය ඇතුළු ආර්ථිකයේ සියළු වෙළෙඳපොළ ක්‍රියාකාරකම් තුළින් මහ බැංකුවේ අරමුණු කෙරෙහි කෙරෙන බලපෑම සැලකිල්ලට ගෙන, එම අරමුණු ඉටු කිරීම සඳහා මූල්‍ය ප්‍රතිපත්තිය ස්‌වාධීනව ක්‍රියාත්මක කිරීම යි. එහෙත්, මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කෙරෙන ආකාරය පිළිබඳ ව කිසිම තොරතුරක් මහ බැංකු අධිපති විසින් ප්‍රකාශ කොට නොමැත.
  • බදු, රාජ්‍ය අයවැය හිඟය සහ රාජ්‍ය ණය තිරසාර භාවය යනාදිය හුදු රාජ්‍ය බලයට පැමිණීම සඳහා භාවිතා කෙරෙන දේශපාලනික මතවාදයන් වෙයි. එහෙත්, ඒවායේ මට්ටම් පිළිබඳ තීරණ ගැනීමේ ආර්ථික මූල ධර්මයන් හෝ පිළිගත් ආර්ථික කළමනාකරණ ප්‍රමිතීන් රැසක් නූතන මූල්‍ය සහ සැපයුම් අංශ ආර්ථික මූලධර්මයන් මගින් ඉදිරිපත් වී ඇත. ඒ අනුව, ස්වෛරිත්ව මුදල් බලය හිමි රජයන්ට අයවැය හිඟය සහ දේශීය මුදල් ණය ගැටළු නොමැති අතර ඒවායේ මට්ටම තීරණය කරනුයේ පොදුජන සංවර්ධනය සඳහා අවශ්‍ය සමාජ ආර්ථික ආයෝජන සහ නිෂ්පාදන සම්පත් උපයෝජනය මත ය. මෙහි දී, ජාතික ආදායමට සාපේක්ෂව අයවැය සහ ණය ප්‍රතිශතයන් ගණනය කිරීම අර්ථ රහිත ය. එහෙත්, දේශපාලන නායකයන් විසින් අනුගමනය කරනුයේ එදිරිවාදී පක්ෂ දේශපාලනික මතවාදයන් ය. මීට හොඳම උදාහරණය වනුයේ ඇමෙරිකාවේ වර්ෂයකට කිහිප වරක් ණය සීමාව ඉක්මවා යාම හරහා රජය වැසීමට යාමේ ජවනිකාව යි. ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය තිරසාර නොවන බවට දැක්වෙන වාදයන් ද එවැනි ජවනිකාවකි.
  • IMF කොන්දේසි මත හිතුමතයේ බදු ඉහළ දැමීම, අයවැය හිඟය සහ රාජ්‍ය ණය පාලනය කිරීම යනාදිය පොදුජන ජීවන මට්ටම ඉහළ දැමීම ඉලක්ක කොට අනුගමනය කෙරෙන පිළිගත් සාරව ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්ති ප්‍රමිතීන්ට එරෙහි වෙයි. ආර්ථික අර්බුදයකින් හෝ අවපාතයකින් පෙළෙන රටවල රජයන් විසින් අනුගමනය කරන්නේ ණය හරහා රාජ්‍ය වියදම් සහ අයවැය හිඟය ප්‍රසාරණය කිරීමේ ප්‍රතිපත්තිය යි. එබැවින්, ශ්‍රී ලංකා රජය විසින් අනුගමනය කරන IMF වැඩසටහන හුදෙක් IMF ආයතනයට පමණක් සීමා වූ ආර්ථික කළමනාකරණ මූලධර්මයක් වන අතර ඉන් ගොඩ එන ලද කිසිම රටක් ලෝකයේ නොමැත.
  • එබැවින්, වත්මන් IMF වැඩසටහන යනු හුදෙක් මහජනයාට බර පටවා රජය හෝ දේශපාලනික පද්ධතිය මූල්‍ය බංකොලොත් භාවයෙන් බේරා ගැනීමේ වැඩසටහනකි. එහි දැක්වෙන සමාජ ආරක්ෂණය හුදෙක් රැවටීමකි. ඊට හේතුව, ශ්‍රී ලංකාව වැනි බොහෝ රටවල සමාජ ආරක්ෂණය ඉලක්ක කොට ගත් රජයන් පවතින අතර IMF සමාජ ආරක්ෂණ සංකල්පයෙන් කෙරෙන්නේ, පවතින සමාජ ආරක්ෂණය කප්පාදු කිරීමකි.

3. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝකයටම ඉදිරිපත් කොට ඇති වැඩපිළිවෙළේ ප්‍රධාන අංගයන්

  • එම අංගයන් IMF විසින් ඉදිරිපත් කළ ඒවා නොව, සාර්ව ආර්ථික කළමණාකරණයේ  දී සියළු රටවල පාහේ රජයන් අතීතයේ සිට අනුගමනය කෙරෙන අංගයන් වෙයි. එහෙත්, ඒවා දැඩිව සංකෝචනය කරන ලෙස විදේශ විනිමය අර්බුදයන්ට මුහුණ දෙන රටවලට නියම කිරීම IMF ක්‍රමවේදය යි. එය හුදෙක් පැරණි ජාතික ආදායම් සමතුලිත සංකල්පය මත පදනම් වී කෙරෙන අතර එය නූතන ගෝලීය ආර්ථිකයට යෝග්‍ය නොවේ.
  • එහෙත්, රාජ්‍ය පාලනය සහ දුෂණය සාමාන්‍ය IMF ණය වැඩසටහන්වල අඩංගු නොවේ. එය ශ්‍රී ලංකා අධිකාරීන්ගේ ඉල්ලීම මත අඩංගු කළ බව IMF විසින් ප්‍රකාශ කොට ඇත. එසේම, එය සාර්ව ආර්ථික ස්ථායිකරණ මූල ධර්මයන්හි ආවරණය වන විචල්‍යයක් නොවන අතර එය හුදෙක් දේශපාලනික විෂයකි.

4. IMF වැඩසටහන යනු රට සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් නොව, රට ස්ථායිකරණය සඳහා රජය විසින් ඉදිරිපත් කොට IMF විසින් අනුමත කළ වැඩසටහනක් බව.

  • මෙය සම්පූර්ණයෙන් අසත්‍ය වෙයි. මෙහි ඇති සියළු ඉලක්කයන් සහ ප්‍රතිපත්ති මෙවලම් IMF විසින් ඩොලර් 3 ක පමණ ණය මුදල සඳහා කොන්දේසි ලෙස ඉදිරිපත් කොට ඇත. සෑම රාජ්‍ය ප්‍රතිපත්තියක දී ම, ඒවා IMF කොන්දේසි ක්‍රියාත්මක කිරීම ලෙස රජය විසින් දක්වන්නේ එබැවිනි.
  • රටක් ස්ථායිකරණය කිරීම සහ ඉන් ඔබ්බට සංවර්ධනය කිරීම ලෙස ප්‍රතිපත්ති පියවර දෙකක් වෙන් කිරීමට අදාළ ආර්ථික විද්‍යා මූල ධර්මයන් නොමැත. ආර්ථික විද්‍යා සංකල්පයන්ට අනුව ආර්ථික ස්ථායිකරණය යනු සමස්ත ඉල්ලුම සහ සමස්ත සැපයුම තුලනාත්මක මට්ටමක පවත්වා ගැනීම යි. ඒ අනුව, රටක වර්ධනය සහ සංවර්ධනය ද ආර්ථික ස්ථායිකරණය ආරක්ෂාවන අයුරින් සිදු කළ යුතුය. එසේ නොවූ විට විවිධ ආර්ථික අවදානම් සහ අර්බුදයන් හට ගනු ඇත. එබැවින්, ආර්ථික ස්ථායිකරණය සහ සංවර්ධනය ලෙස යුග දෙකකට වෙන් කිරීම පදනම් රහිත ය.
  • මහ බැංකු අධිපතිගේ අදහස නිවැරදි නම්, ආර්ථිකය සංවර්ධනය කිරීමේ ප්‍රතිපත්ති ගැනීම සඳහා IMF වැඩසටහන අවසන් වන තෙක් වසර 4 ක් බලා සිටීමට මහජනයාට සිදු වෙයි. එය පිළි ගත හැකි තත්ත්වයක් නොවේ.

5. ගෙවුම් ශේෂ අර්බුදය නිරාකරණය සඳහා 16 වතාවක් IMF ගොස්, පසුව කොන්දේසි ඉවත ලා විදේශ විනිමය ඉපයීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොකිරීම

  • IMF වැඩසටහන්වල අරමුණ වනුයේ, රටවල විදේශ සංචිතය ඉහළ දැමීමට කොන්දේසි සහිත ණය මුදලක් ප්‍රදානය කිරීම තුළින් ගෙවුම් ශේෂ අර්බුදය නිරාකරණයට උදවු කිරීම යි. මීට පෙර ශ්‍රී ලංකා රජය විසින් ලබා ගත් විශාලතම IMF ණය මුදල් දෙක එවක ක්‍රියාත්මක කිරීමේ පුරෝගාමිකයකු වූයේ වත්මන් මහ බැංකු අධිපති ය. එබැවින්, මෑත අතීතයේ දී විදේශ විනිමය ඉපයීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොකිරීම කෙරෙහි වත්මන් මහ බැංකු අධිපති ද වගකිව යුතුය. 
  • විශේෂයෙන් ඒ සඳහා අවශ්‍ය මූර්ත අංශ සංවර්ධනය සඳහා මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක නොකළ අතර එය ක්‍රියාත්මක කරන ලද්දේ රජයට වෙළෙඳපොළ ණය ලබා ගැනීම හරහා විදේශ විනිමය ඉපැයීම සහ එමගින් මහ බැංකු විදේශ සංචිතය රැස් කර ගැනීම යි. එමගින් ආනයන ආර්ථිකය මහ බැංකුව විසින් මූල්‍යකරණය කරන ලදි. උදාහරණ ලෙස සියළු ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර නිකුත් කිරීමේ ඉහළ නිලධාරියෙකු ලෙස ක්‍රියා කළේ වත්මන් මහ බැංකු අධිපති ය. වත්මන් ආර්ථික අර්බුදයේ මූලය එය බවට විවාදයක් නොමැත. එබැවින්, මහ බැංකු අධිපති විසින් මෙවරත් IMF සමඟ අනුගමනය කරන්නේ පැරණි ප්‍රතිපත්තිය වෙයි.
  • වත්මන් ප්‍රතිපත්තිය තුළ ද ආර්ථිකයේ මූර්ත නිෂ්පාදනය තුළින් විදේශ විනිමය ඉපැයීම සඳහා වැඩපිළිවෙලක් ඉදිරිපත් කොට නැත. එබැවින්, මෙම IMF වැඩසටහන ද අසමත් වීමේ අවදානම ඉතා ඉහළ ය. ඒ බව IMF පවා පිළි ගෙන ඇත.

6. මෙවර IMF ගමන ගෙවුම් ශේෂ අර්බුදය සහ දිගු කාලීන ණය අර්බුදය සමඟ සිදු වීම

  • මෙය අසත්‍ය අදහසක් වෙයි. මෙවර හට ගත්තේ ද ගෙවුම් ශේෂ අර්බුදයකි. විදේශ ණය ගෙවා ගැනීමට නොහැකි වූයේ එබැවිනි. ගෙවුම් ශේෂ අර්බුදය හට ගත්තේ මහ බැංකුව තම විදේශ මුදල් සංචිතය පවත්වා ගැනීමට අසමත් වීම හේතුවෙනි. මීට පෙර 16 වතාව මෙන් නොව මෙවර ගෙවුම් ශේෂ අර්බුදයක් හට ගැනීමට පෙර රජය විසින් IMF ණය මුදලක් ඉල්ලා සිටිය ද, මෙවර IMF විසින් එය ශ්‍රී ලංකාවට පමණක් ප්‍රතික්‍ෂේප කිරීම තුළින් අර්බුදයට මංපෙත් විවර විය. එය හුදෙක් හුදකලා සිද්ධියක් නොවේ. එබැවින්, ශ්‍රී ලංකාව මුහුණ දෙන්නේ ණය අර්බුදයකට නොව, විදේශ ණය සේවාකරණ අර්බුදයකට ය. 
  • මෙසේ විදේශ ණය පැහැර හැරීම මෙතෙක් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් හතරක් (ඝානාව, සැම්බියාව සහ ඉතියෝපියාව) පමණක් සිදු කිරීමෙන් පෙනෙන්නේ, මෙය මෙම රටවල පැවති එකම ස්වරූපයේ ව්‍යුහාත්මක අවදානමක් පුපුරා ගිය බව යි. එහෙත්, ස්වෛරිත්ව මුදලක් පවතින රටවල දේශීය මුදල් ණය අර්බුදයන් හට නොගනී. එබැවින්, IMF වැඩසටහන හරහා සිදු කෙරෙන්නේ එම පැරණි විදේශ ණය සහ විදේශ සංචිත මොඩලය නැවත යාවත්කාලීන කිරීම බව නොරහසකි.

7. ආර්ථිකයක පුරෝකථන හැකියාව

  • පුරෝකථන හැකියාව ලෙස රාජ්‍ය මූල්‍ය ස්ථායිතාවය, මූල්‍ය පද්ධතියේ ස්ථායිතාවය සහ අනෙක් රාජ්‍ය ප්‍රතිපත්ති ස්ථායිතාවය දැක්වීම අර්ථ රහිත ය. ඊට හේතුව, ඒවා ආර්ථික විද්‍යාඥයන් විසින් නිර්වචනය කෙරෙන සංකල්පීය ආර්ථික තත්ත්වයන් වීම යි. එබැවින්, ඒවා පුරෝකථනය කිරීමට භාවිතා කළ හැකි නිර්නායකයන් හෝ සංඛ්‍යාවන් නොමැත. මහ බැංකු අධිපති විසින් ද ඊළඟ ක්‍රෑෂ් එකක් පිළිබඳ ව අනතුරු ඇඟවීම ද එවැනි පුරෝකථනයකි.
  • පුරෝකථන හැකියාව ලෙස උද්ධමනය එන වසර 10 ක කාලය තුළ 4%, 5% මට්ටමක පවත්වා ගැනීම සහ අයවැය ප්‍රාථමික ගිණුමේ ශේෂය 2% ක මට්ටමක රාජ්‍ය මූල්‍ය ස්ථායිතාවය පවත්වා ගැනීම දැක්වීම ද අර්ථ විරහිතය ය. ඊට හේතුව, මේවා රජය විසින් කලින් කලට ප්‍රකාශ කරන හුදු ඉලක්කම් වන අතර විශ්වාසයක් තැබිය හැකි ඉලක්කම් නොවීම යි. අතීතයේ රජය සහ මහ බැංකුව විසින් මෙවැනි ඉලක්කම් රාශියක් දක්වා ඇති අතර ඒවා සැබෑ වීම දැකිය නොහැකිය. තව ද, මේවා රජය විසින් සකසන ඉලක්කම් වෙයි. මෙහි දී, මහ බැංකු අධිපතිට නොතේරෙන ආර්ථික අර්බුදය වන්නේ, මහ බැංකුව විසින් උද්ධමනය 5% මට්ටමේ පවත්වා ගෙන ගිය හොත්, වසර 14 ක දී රුපියලේ වටිනාකම හෙවත් දේශීය ක්‍රය ශක්තිය ශුන්‍යය වන බව යි. එසේම, 2019 සිට මේ දක්වා දැනටමත් රුපියලේ වටිනාකම ශුන්‍ය වී ඇත (පාරිභෝගික මිල දර්ශකය 100% කින් ඉහළ යාම). එබැවින්, මහ බැංකුවේ 5% උද්ධමන ඉලක්කය හේතු කොට නුදුරු අනාගතයේ දී මහජනයා වෙනත් මුදල්වලට මාරු විය හැකිය.
  • පුරෝකථන හැකියාව සහ ස්ථායිතාවය පවත්වා ගැනීමට නම්, පොලී අනුපාත, විනිමය අනුපාත සහ බදු අනුපාත අඩුවැඩි විය යුතු බව දැක්වීම ද අර්ථ විරහිත ය. ඊට හේතුව, ඒවා වෙළෙඳපොළ සාධක මත නොව, රාජ්‍ය ප්‍රතිපත්ති මගින් කලින් කලට අත්තනෝමතිකව අඩුවැඩි කිරීම යි. එය රජය විසින් ආර්ථිකය මෙහෙයවීම සඳහා වෙළෙඳපොළ පද්ධතියට මැදිහත්වීමේ දී ඉලක්ක කෙරෙන මිල ගණන් ය. රජය විසින් දක්වන්නේ ඒවා ආර්ථිකය ස්ථායිකරණය සඳහා සිදු කෙරෙන බව යි. උදාහරණ ලෙස 2022 අප්‍රේල් මස සිට ආර්ථිකයේ පොලී අනුපාතයන්ට මහ බැංකුව විසින් කළ කී දෙස බැලීමෙන් පැහැදිලි වෙයි. එහි කිසිම පුරෝකථනයක් හෝ ස්ථායිතාවයක් පැවතියේ නැත. එය හුදෙක් සැබෑ ලොව ආර්ථික දත්ත මගින් තහවුරු වී නොමැති පැරණි මූල්‍ය වාදී සංකල්පයන් මත සිදු කරන ලදි. තව ද, මෙවැනි අඩුවැඩි කිරීම් රජය විසින් යම් යම් ව්‍යාපාරික කොටස්වලට ලාභ ගෙන දීමේ අරමුණින් කෙරෙන අභ්‍යන්තර වෙළෙඳ ක්‍රියාකාරකම් ලෙස ද විවේචනය වීම නොරහසකි. මීට හොඳම උදාහරණය පසුගිය මාස කිහිපය තුළ මහ බැංකු සහ බැංකු පොලී අනුපාතයන් මහ බැංකුව විසින් සැලකිය යුතු ලෙස පහළ දැමුව ද, ඊට සමගාමීව භාණ්ඩාගාර බිලපත් ඵලදා අනුපාතයන් පහළ යාමට  මහ බැංකුව ඉඩ නොදීම යි.
  • එසේ අඩුවැඩි වීම යෝග්‍ය නම්, පසුගිය රජය විසින් බදු සහ පොලී අනුපාතයන් පහළ දැමීම නිර්දය ලෙස විවේචනය කරන මහ බැංකු අධිපති විසින් වත්මන් රජයේ ඉහළ පොලී අනුපාතයන් සහ දිනෙන් දින ඉහළ දමන බදු අනුපාතයන් වර්ණනා කිරීම හාස්‍ය ජනකය. ඊට හේතුව, එම අවස්ථාවන් දෙකම හුදෙක් රාජ්‍ය ප්‍රතිපත්ති වීම යි.
  • එබැවින්, ආර්ථිකයේ පුරෝකථන හැකියාවක් පිළිබඳ ව කථා කිරීම අර්ථ විරහිත දෙයකි. පුද්ගලයන් සහ වෙළෙඳපොළ සහභාගි කරුවන් නිරන්තරයෙන් අපේක්ෂණයන් ලෙස සැලකෙන පුරෝකථනයන් හරහා ක්‍රියා කරන අතර එය සිදු විය යුතු ආකාරය මහ බැංකු අධිපතිට අර්ථ නිරූපනය කළ නොහැකිය. ඊට හේතුව, ඒ සඳහා වන පිළි ගත් ආර්ථික විද්‍යා හෝ සංඛ්‍යාන න්‍යායන් හෝ ප්‍රමිතීන් නොවීම යි.

8. 2022 මාර්තු මස විනිමය අනුපාත පාලනය අතහැර දැමීම

  • මෙය අර්ථ විරහිත ප්‍රකාශයකි. ඊට හේතුව, එම අවස්ථාව වන විට මහ බැංකු අධිපති විසින් දක්වන පරිදි ඊට පෙර ස්ථාවර කිරීමට දෙයක් නොතිබූ බැවිනි. එය රට ඓතිහාසික මට්ටමක ආර්ථික, සමාජීය සහ දේශපාලනික අර්බුදයකට මුහුණ දුන් අවස්ථාවකි. එබැවින්, වත්මන් මහ බැංකු අධිපති ද පත් වී සති කිහිපයකින් ඉල්ලා අස්වීමට සුදානම් වූ බව මධ්‍යයේ වාර්තා විය. අතීතයේ දී විදේශ මුදල් අර්බුයන්ට මුහුණ දුන් 1996/97 නැගෙනහිර ආසියානු රටවල් ඇතුළු සියළු රටවල පොදු ලක්ෂණය වූයේ, එසේ විනිමය අනුපාතය වෙළෙඳපොළ බලවේගයන්ට අත හැරීමත්, ඒ අනුව ක්ෂණිකව මුදල අවප්‍රමාණය වීමත් ය. එසේ අත හැරීමට හේතුව වූයේ කාලයක් තුළ විනිමය අනුපාතය ස්ථාවරව තබා ගැනීම සඳහා විදේශ සංචිතය භාවිතා කිරීම නිසා විදේශ සංචිතය දිය වී යාම යි. එවැනි අවස්ථාවල පුද්ගලයන් විසින් විනිමය අනුපාතය පිළිබඳ විවිධ පුරෝකථනයන් සහ සමපෙක්ෂණයන් කිරීම ස්වභාවික දෙයකි.
  • 2022 මැයි 12 දින වත්මන් මහ බැංකු අධිපති විසින් මහ බැංකු විධානයක් හරහා නැවත විනිමය අනුපාතය රුපියල් 360 ක් ලෙස ස්ථාවර කිරීම ද, 2020 මාර්තු මස ආරම්භය තෙක් මහ බැංකුව විසින් රුපියල් 200 විනිමය අනුපාතය පවත්වා ගැනීමට සමාන ක්‍රියාවකි. ඊට හේතුව, විදේශ විනිමය ලැබීම් සහ සංචිතය කඩා වැටී ඇති අවස්ථාවක, එසේ විනිමය අනුපාතය ස්ථාවරව තබා ගැනීමට නීතිය සහ මහ බැංකු බලය භාවිතා කිරීම යි.
  • ආනයන, විදේශ ණය සේවාකරණය සහ මිල ගණන් ඇතුළු ආර්ථික ස්ථායිතාවය සඳහා විනිමය අනුපාතය ස්ථාවරව පවත්වා ගැනීමේ මහ බැංකු මූල්‍ය ප්‍රතිපත්තිය පසුගිය දශක දෙකක පමණ කාලයක් පුරා අනුගමනය කරනු ලැබුවේ, එවක විෂය භාර මහ බැංකු නිලධාරියා වූ වත්මන් මහ බැංකු අධිපති ය. එකල, රුපියලේ අවප්‍රමාණය සීමා කිරීම පමණක් නොව සමහර කාලවල රුපියල ප්‍රතිප්‍රමාණය කිරීම ද මහ බැංකුව විසින් කරන ලදි. එය විදේශ ඉපැයුම් අතිරික්තයකින් නොව, විදේශ ණය ගැනීම හරහා සිදු කරන ලදි. 
  • මහ බැංකු අධිපති විසින් IMF සහ ලෝක බැංකු ණය තුළින් වර්තමානයේ විදේශ සංචිතය තර කිරීම හරහා සිදු කරන්නේ ද විනිමය අනුපාතය පාලනය කිරීමකි. මහ බැංකු අධිපති විසින් 2023 මාර්තු මස බැංකු වෙළෙඳපොළෙන් ඩොලර් මිලියන 500 ක් පමණ මිල දී ගැනීම තුළින් ශ්‍රී ලංකාව තුළ ඩොලරය කඩා වැටීම වැලැක්වූ බව ද මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කරන ලදි. එසේ නොකළා නම්, විනිමය අනුපාතය පහළ බැස ආනයන පිරිවැය පහළ යාම හරහා ජීවන වියදම පහළ යා හැකිව තිබිණ. එහෙත්, මහ බැංකුව එසේ විනිමය අනුපාතය වෙළෙඳපොළ බලවේගයන් අනුව වෙනස් වීමට ඉඩ නොදෙන අතර එය කරන්නේ විනිමය අනුපාතය ස්ථාවර කිරීම සඳහා අවශ්‍ය අනෙක් දේවල් ස්ථාවර කිරීමට පසුව නොවේ.
  • ඔහු පවසන පරිදි විදේශ විනිමය ඉපයීම, රජයේ ණය ස්ථාවර මට්ටමක් සහ ආදායම් වියදම් තුලනය සහ උද්ධමනය ස්ථාවර මට්ටමක තබා ගැනීම තුළින් විනිමය අනුපාතය ස්ථාවර කරන ලද රටවල් නොමැත. විදේශ විනිමය ආදායම සහ වියදම සමතුලිත කොට විනිමය අනුපාතය ස්ථාවර කරන රටවල් ද දක්නට නොමැත. එසේ සමතුලිත විනිමය අනුපාතයන් කුමක් ද? යන්න මහ බැංකු ආර්ථික විද්‍යාඥයන්ට දැන ගැනීමට ආර්ථික විද්‍යා න්‍යායයන් සහ ක්‍රමවේදයන් ද නොමැත. ඒ බැවින් බොහෝ දියුනුවල රටවල මහ බැංකු විසින් කරනු ලබන්නේ රාජ්‍ය විදේශ ණය හරහා විනිමය අනුපාතය තමන් කැමති මට්ටම්වල අඩුවැඩි කිරීම යි. ඒ සඳහා විනිමය පාලනයන් ද යොදා ගනී. එබැවින්, ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ආදායම සහ වියදම හෝ ඉල්ලුම සහ සැපයුම තුලනය වන විනිමය අනුපාතයක් පිළිබඳ ව අදහස් දැක්වීම හුදෙක් ආර්ථික විද්‍යා පංති කාමරයකට යාමකි.

9. ඉන්දියාවේ 6%-7% ට සාපේක්ෂව 4%-5% ක ආර්ථික වර්ධන හැකියාවක් ශ්‍රී ලංකාවේ පැවතීම

  • මෙය හුදෙක් අතීතය මත පදනම් වූ අර්ථ රහිත ප්‍රකාශයකි. ශ්‍රී ලංකාවේ විභව ආර්ථික වර්ධන හැකියාව පිළිබඳ ප්‍රකාශයක් කළ යුත්තේ, ආර්ථිකයේ පවතින සම්පත් ව්‍යුහය, නිෂ්පාදන ධාරිතාවය සහ ව්‍යුහය සහ රාජ්‍ය ආර්ථික ප්‍රතිපත්ති පදනම් කර ගෙන ය. එය ආර්ථික විද්‍යාඥයන්ගේ කාර්යයකි. අර්බුදයට පෙර පැවති ආර්ථික වර්ධන අනුපාතය ශ්‍රී ලංකාවේ විභව වර්ධන අනුපාතය බව ප්‍රකාශ කිරීමට මහ බැංකු අධිපති වැනි ජාත්‍යන්තර මට්ටමේ ආර්ථික විද්‍යඥයන් අවශ්‍ය නොවේ. පසුගිය ආර්ථික වර්ධන අනුපාතයන් ගැන කථා කිරීම දේශපාලන නායකයන්ගේ හැසිරීමකි.
  • එසේම, මෙම ඉලක්කම් රජය විසින් සකසන ඒවා වන අතර එම ආර්ථික වර්ධන අනුපාතයන් තුළින් ආර්ථිකය මුහුණ දෙන විදේශ මුදල් අර්බුදයට සහ ජීවන මට්ටම කඩා වැටීමට විසඳුමක් නොලැබේ.
  • එසේම, ඒ සඳහා මහ බැංකුවේ කාර්ය භාරය දක්වා නොමැත. ඊට හේතුව, නව මහ බැංකු පනතට අනුව ආර්ථිකයේ නිෂ්පාදනය සහ සැපයුම පිළිබඳ ව අරමුණු හෝ කාර්ය භාරයක් මහ බැංකුව පැවරී නොමැති අතර මහ බැංකුව විසින් මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනු ලබනුයේ, හුදෙක් ආර්ථිකයේ සමස්ත ඉල්ලුම පාලනය කිරීම සහ බැංකු පද්ධතියේ ද්‍රවශීලතාවය ආරක්ෂා කිරීම සඳහා ය. එබැවින්, මහ බැංකුව යනු ආර්ථික වර්ධනයට හවුල්වන ආයතනයක් නොවන අතර ආර්ථික වර්ධනය හුදෙක් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියේ අරමුණ වනු ඇත. එබැවින්, මහ බැංකුව සහ රජය අතර ප්‍රතිපත්ති ගැටුම් හට ගැනීමේ අවකාශය ඉතා ඉහළ වෙයි.

10. ඉදිරි මැතිවරණවල දී රජයන් පත් කර ගැනීම පිළිබඳ ව මහජනයාට උපදෙස් දීම

  • වත්මන් IMF වැඩසටහන ඉදිරියට ගෙන යන රජයක් පත් කර ගන්නා ලෙස මහජනයාට අවවාද කිරීමක් මෙහි දී සිදු කොට ඇත. එබැවින්, මහ බැංකු අධිපති විසින් තම නිල වගකීම ඉක්මවා දේශපාලනික රජයන්ට පක්ෂව අදහස් ප්‍රකාශ කොට ඇත.
  • එසේම, ඉදිරි මැතිවරණවල දී තෝරා ගත යුතු ශ්‍රී ලංකාවට යෝග්‍ය ආර්ථික කළමනාකරණ ක්‍රමවේදය ද ඔහු විසින් මහජනයාට නිර්දේශ කොට ඇත.
  • 2023 සැප්තැම්බර් 14 දින පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද නව මහ බැංකු පනත අනුව මහ බැංකුව සහ එහි නිලධාරීන් රජයෙන් පූර්ණ ස්වාධින වෙයි. එබැවින්, මහ බැංකු අධිපති විසින් මැතිවරණයන් සහ රජයන් පත් කිරීම පිළිබඳ ව මහජනයාට උපදෙස් දීම හරහා මහ බැංකුව අධිපති තනතුරට නුසුදුසු පුද්ගලයෙකු බවට පත් වී ඇත.
  • එවැනි පුද්ගලයන් මහජන තනතුරු දැරීම වත්මන් IMF වැඩසටහනේ අංගයක් වන යහපාලනය සහ දුෂණය පිටුදැකීමට එරෙහි ක්‍රියාවකි.

නිගමනය

  • වත්මන් රජය අනුගමනය කරන යහපාලන සහ දුෂණ පිටුදැකීමේ IMF වැඩසටහන අනුව මහ බැංකු අධිපති එම තනතුර දැරීමට නුසුදුසු පුද්ගලයෙකු බව.
  • මහ බැංකු අධිපති විසින් දේශනයේ දී ඉදිරිපත් කරන ලද ආර්ථික කළමනාකරණ අදහස් හුදු ප්‍රයෝගික වැදගත්කමක් නොමැති පෞද්ගලික න්‍යායාත්මක අදහස් පමණක් වීම.
  • වත්මන් ආර්ථික සහ ජීවන වියදම් අර්බුදයෙන් ආර්ථිකය සහ පොදුජනයා ගොඩ ගැනීම සඳහා මහ බැංකුවට ක්‍රියාත්මක කළ හැකි මූල්‍ය ප්‍රතිපත්ති නොමැති බව.

එබැවින්, මෙවැනි  මහ බැංකුවකින් ආර්ථිකයට  සහ පොදුජන සංවර්ධනයට ඇති ඵලය කුමක් ද? යන්න මහජනයා විසින් ප්‍රශ්න කෙරෙන කාලය වැඩි ඈතක් නොවේ.

(වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරාකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදුවන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායකවීමේ අරමුණින් මෙම ලිපිය සකසන ලදි.)

පි සමරසිරි

[ආර්ථික විද්‍යාව බී.ඒ. ගෞරව (කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ. (කැන්සස් විශ්ව විද්‍යාලය)]

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව 

(හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂක, මහ බැංකු සහකාර අධිපති, මහ බැංකු මුදල් මණ්ඩල ලේකම්, ණය තොරතුරු කාර්යාංශයේ සභාපති, ශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපති, ශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපති, ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජික, ශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 12 ක කතෘ)

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan