වැලිකන්ද ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් පිරිසකට මන්නයකින් පහරදීමට පැමිණි පුද්ගලයකු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
සවස වැලිකන්ද ප්‍රදේශයේ දී පුද්ගලයින් තිදෙනෙකු සමඟ ධාවනය වූ යතුරුපැදියක් නැවැත්වීමට රථවාහන පොලීසිය විසින් නියෝග කර ඇති අතර එහිදී එහිදී අදාළ යතුරුපැදිය අණ නොතකා ධාවනය කර ඇත.
පසුව එම යතුරුපැදිකරු නිවසට ගොස් ඇති අතර පොලිස් නිලධාරීන් ඔහුව ලුහුබැඳ නිවසට යාමේදී එම පුද්ගලයා මන්නයකින් පොලිස් නිලධාරීන්ට පහරදීමට උත්සාහ කළ බවත් එහිදී පොලිස් නිලධාරීන් වෙඩිතැබූ බවත් පොලීසිය සඳහන් කරයි.
වෙඩි වැදීමෙන් පපුවට සහ පාදයකට තුවාල සිදුවූ සැකකරු රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ 28 හැවිරිදි තරුණයකු වන අතර ඔහු මීට පෙර මත්ද්‍රව්‍ය චෝදනා 07ක් සම්බන්ධයෙන් වරදකරුවෙකු වී ඇති බවත් මේ වනවිට තවත් අපරාධ චෝදනා දෙකක් සම්බන්ධයෙන් නඩු විභාගවෙමින් පවතින බවත් පොලීසිය ප්‍රකාශ කරයි.
වෙඩිතැබූ අවස්ථාවේදී පොලිස් නිලධාරියකු විසින් සිය ජංගම දුරකථනයෙන් පටිගත කරන ලද වීඩියෝවක් පහතින් දැක්වේ. එම වීඩියෝවෙන් නම් පෙන්නුම් කෙරෙන්නේ සැකකරු මන්නා ප්‍රහාරයක් එල්ල කිරීමට ළඟට පැමිණීමට පෙරම පොලිස් නිලධාරීන් ඔහුට වෙඩි ප්‍රහාරයක් එල්ල කරන බවත් පළමු වෙඩි පහර වැදී තිබියදී දෙවැනි වරටත් වෙඩි ප්‍රහාරයක් එල්ල කරන බවත් ය.


