යම් රටකින් තවත් රටකට ගත යුතු දෙයක් තියෙනවද කියලා බලන්නනම් පළමුව ඒ රටවල් දෙකේ වෙනස්කම් අධ්‍යයනය කළ යුතුයි. එවැනි පෙනෙන වෙනසක් නැත්නම් එහි ගත යුතු අමුතු දෙයක්ද නැහැ. වෙනසක් ඇත්නම් ඇතැම් විට එහි ගත යුත්තක් තිබෙන්න පුළුවන්. ඒ වගේම, එවැනි වෙනසකින් පෙන්වන්නේ කිසිසේත්ම නොගත යුතු දෙයක් වෙන්නත් පුළුවන්.
අද අපි වියට්නාම් පොතේ දදේනි පිටුව පෙරළමු. වියට්නාමයේ දදේනිය ලංකාවේ එම අගය මෙන් පස් ගුණයකටත් වඩා වැඩියි. නමුත් ඒක පුද්ගල දදේනිය දිහා බැලූ විට රටවල් දෙකේ ලොකු වෙනසක් නැහැ. ලොකු රටක හා කුඩා රටක දදේනි සංසන්දනය කරන එක නිවැරදි නැති බව අපි දන්නවා. ඒ නිසා, අපි රටවල් දෙකේ දදේනි අගයයන් සංසන්දනය නොකර ඒවායේ සංයුති දෙස අවධානය යොමු කරමු.
ආර්ථිකයේ අංශ අනුව වෙන් කළ විට, වියට්නාමයේ 2022 දදේනියේ සංයුතිය මේ වගෙයි.
කෘෂිකාර්මික අංශය – 11.96%
කාර්මික අංශය – 38.17%
සේවා අංශය – 41.32%
ශුද්ධ බදු – 8.55%
දැන් අපිට ඉහත සංයුතිය ලංකාවේ එම සංයුතිය සමඟ සංසන්දනය කරන්න පුළුවන්.
කෘෂිකාර්මික අංශය – 8.7%
කාර්මික අංශය – 30.3%
සේවා අංශය – 56.1%
ශුද්ධ බදු – 4.9%
රටවල් දෙකේම දදේනි වල ලොකුම පංගුව සේවා අංශය. එහෙත්, ලංකාවේ එම කොටස වඩා වැඩියි. වියට්නාමයේ සේවා අංශයේ පංගුව අඩු වෙද්දී, එම අඩුව ඉතිරි සංරචක තුන අතර බෙදී ගොස් තිබෙනවා. එම පංගු තුනම ලංකාවේ එම පංගු වලට වඩා විශාලයි.
රටක ඒක පුද්ගල ආදායම ඉහළ යද්දී දදේනියේ කෘෂිකාර්මික අංශයේ පංගුව පහළ යන එක සාමාන්‍ය තත්ත්වයක්. පසුගිය වසරේදී වෙනස් වුනත්, කාලයක් තිස්සේම ලංකාවේ ඒක පුද්ගල දදේනිය තිබුණේ වියට්නාමයට වඩා ඉහළින්. ඒ නිසා, වියට්නාමයේ දදේනියේ කෘෂිකාර්මික අංශයේ පංගුව තවමත් ලංකාවේ එම පංගුව තරම් කුඩා වී නොතිබීම විශේෂ තත්ත්වයක් නෙමෙයි. වියට්නාමයේදී එම පංගුව ක්‍රමයෙන් කුඩා වෙමින් තියෙද්දී ලංකාව ලංකාවේ එම ප්‍රවණතාවය ආපසු හැරවීම සඳහා මහන්සි විය යුතු නැහැ.
හැබැයි මේ පංගු වල පරිණාමයේ එක් වෙනස්කමක් දකින්න පුළුවන්. ලංකාවේ දදේනිය ඇතුළේ කෘෂිකර්මයේ පංගුව අඩු වෙද්දී ඒ වෙනුවට සේවා අංශය වඩා වැඩියෙන් ආදේශ වී තිබෙනවා. ඊට සාපේක්ෂව, වියට්නාමයේ කාර්මික අංශයේ පංගුව ඉහළ ගොස් තිබෙනවා. වඩා ලොකු කෘෂිකාර්මික හා කාර්මික අංශයක් එක්ක සාපේක්ෂව කුඩා සේවා අංශයක් කියා කියන්නේ වියට්නාමයේ ආර්ථිකය ලංකාවට සාපේක්ෂව නිෂ්පාදන ආර්ථිකයක් කියන එක. වියට්නාමයේ කෘෂිකාර්මික හා කාර්මික නිෂ්පාදිත වල එකතුව දදේනියෙන් 50%ක් පමණ වෙද්දී, ලංකාවේ එම ප්‍රතිශතය 39%ක් පමණයි. වියට්නාමයේ දදේනිය තුළ රජයේ මැදිහත්වීම් වල බලපෑම වඩා විශාල බවද දැකිය හැකියි.
කාලයක් තිස්සේ දැඩි මධ්‍යගත සැලසුමක් ඇතුළේ ලොකු මහත් වූ වියට්නාම් ආර්ථිකය නිෂ්පාදන ආර්ථිකය පැත්තට බර වීමේ ලොකු පුදුමයක් නැහැ. සමාජවාදී මධ්‍යගත ආර්ථික සැලසුමක් ඇතුළේ රටක සේවා ආර්ථිකයට වෙළඳපොළ ආර්ථිකයකදී ලැබෙන සැලකිල්ල ලැබෙන්නේ නැහැ. එහි හොඳ නරක පසුව කතා කරමු.
දළ දේශීය නිෂ්පාදිතය කියා කියන්නේ කිසියම් කාලයක් තුළ රටක නිපදවන සියලුම භාණ්ඩ හා සේවා වල වෙළඳපොළ වටිනාකම. මේ අගය ඇස්තමේන්තු කළ හැක්කේ වෙළඳපොළක් ඇත්නම් පමණයි. ආර්ථික විද්‍යාවේ වෙළඳපොළ කියන සංකල්පයෙන් අදහස් කරන්නේ ඉල්ලුම හා සැපයුම සමතුලිත වන යාන්ත්‍රනයක් මිසක් “පොදු වෙළඳපොළ” වැනි බෝඩ් ලෑල්ලක් ගහපු මුදලට බඩු විකුණන තැනක් නෙමෙයි. වෙළඳපොළ කියන සංකල්පය වියුක්ත අදහසක්.
බෝඩ් ලෑල්ලක් ගහපු, මුදලට බඩු විකුණන තැනක් තිබූ පමණින් එහි වෙළඳපොළක් පවතින්නේ නැහැ. පැරණි සෝවියට් දේශයේ වගේම මධ්‍යගත සැලසුම් ක්‍රමය අනුගමනය කළ වෙනත් තැන් වලත් සමුපකාර හෝ වෙනත් ඒ ආකෘතියේ “මුදලට බඩු විකුණන තැන්” ඕනෑ තරම් තියෙන්න ඇති. නමුත් මේ තැන් හරහා ඉල්ලුම හා සැපයුම තුලනය වීමක් සිදු වුනේ නැහැ. එහෙම වෙන්නේ ඉල්ලුම හා සැපයුම අනුව නිදහසේ මිල වෙනස් වෙන්න ඉඩ ලැබුණොත් පමණයි. නමුත් ඔය තැන් වල වුනේ රජයෙන් නියම කරන මිලට බඩු විකුණන එකයි. ඒ නිසා, ආර්ථික විද්‍යාවේ අර්ථයෙන්, වෙළඳපොළක් කියා එකක් තිබුනේ නැහැ.
රටක වෙළඳපොළක් නැත්නම් භාණ්ඩයක හෝ සේවාවක වෙළඳපොළ වටිනාකම තක්සේරු කළ හැකි යාන්ත්‍රණයක්ද නැහැ. ඒ නිසා, ඒ වගේ රටක දදේනිය ඇස්තමේන්තු කරන්න පුළුවන්කමකුත් නැහැ. මේ හේතුව නිසා ඔය සමාජවාදී මධ්‍යගත සැලසුම් ක්‍රමය ඇතුළේ හිටපු රටවල් දදේනිය කියා එකක් ගණනය කළෙත් නැහැ.
දදේනිය ගණනය නොකර රටක ආර්ථිකයේ දිශානතිය ගැන අදහසක් ගන්න බැහැ. ඒ නිසා, ආර්ථිකය වර්ධනය වන බව සහතික කර ගන්න හෝ එසේ වන පරිදි සැලසුම් හදන්නත් බැහැ. මේ හේතුව නිසා පැරණි සමාජවාදී රටවල් විසින් දදේනිය වෙනුවට ශුද්ධ ද්‍රව්‍ය නිෂ්පාදිතය කියා මිනුමක් සකස් කරගෙන තිබුණා. මාක්ස්ගේ අදහස් මත පදනම්ව සකස් කර තිබුණු මෙම මිනුම තුළ වෙළඳපොළ වටිනාකාම කියන සාධකය නොසලකා හැර ද්‍රව්‍ය නිෂ්පාදිතයේ සමස්තයක් ගණනය කෙරුණා.
වියට්නාමයද ඇතුළුව පැරණි සමාජවාදී රටවල් විසින් කාලයක් තිස්සේම රටේ ආර්ථික දියුණුව මැන්නේ මෙම ශුද්ධ ද්‍රව්‍ය නිෂ්පාදිතය ඇසුරෙනුයි. පසුව, මේ රටවල් විසින් එම ගණනය කිරීම අත හැර අනෙක් රටවල් මෙන්ම දදේනිය ගණනය කරන්න පටන් ගත්තා. දැන් මේ ක්‍රමය තවදුරටත් භාවිතා කරන්නේ උතුරු කොරියාව සහ කියුබාව වැනි රටවල් පමණයි.
ගුද්ධ ද්‍රව්‍ය නිෂ්පාදිතය ගණනය කිරීමේදී සේවාවන් බොහොමයක වටිනාකම මග හැරී යනවා. ඊට හේතුව වෙළඳපොළක් නැති පසුබිමක සේවා හරහා සිදු වන අගය එකතු වීම පහසුවෙන් ගණනය කළ නොහැකි වීමයි. මෙයින් වෙනස්ව වෙළඳපොළ ආර්ථිකයක් තුළ අගය එකතු වීම සිදු වන්නේ භාණ්ඩ නිෂ්පාදනයක් හරහාද නැත්නම් සේවා නිෂ්පාදනයක් හරහාද කියන එක ඒ තරම් වැදගත් නැහැ. සමාජවාදී මධ්‍යගත සැලසුම් ක්‍රමය තුළ ශුද්ධ ද්‍රව්‍ය නිෂ්පාදිතය වැඩි කරගත හැක්කේ භාණ්ඩ නිෂ්පාදනය වැඩි කර ගැනීමෙන් පමණක් නිසා එම රටවල මධ්‍යගත සැලසුම් තුළ හැම විටම මෙන් ඉලක්ක කළේ රටේ නිෂ්පාදන ආර්ථිකය වර්ධනය කර ගැනීමටයි.
වෙළදපොළ ආර්ථික ක්‍රමය තුළ අවසන් ඉලක්කය හැකි පමණ වැඩි අගය එකතු කිරීමක් කිරීමයි. ගනුදෙනු වැඩි වන තරමට මෙම ඉලක්කයට වඩා කිට්ටු වෙනවා. ඒ නිසා, ප්‍රායෝගිකව විවිධ සීමාවන් දැකිය හැකි වුවත්, වෙළදපොළ ආර්ථික ක්‍රමය හා ජාත්‍යන්තර වෙළඳාම ගහට පොත්ත මෙන් එකට යන දෙකක්.
මෙයින් වෙනස්ව මධ්‍යගත සැලසුමක් සකස් කළ හැක්කේම කිසියම් ප්‍රදේශයක් හා ජනගහණයක් ඉලක්ක කර පමණයි. ඒ නිසාම, සමාජවාදී මධ්‍යගත සැලසුම් ක්‍රමය සමඟ ආරක්ෂණවාදය එකට යනවා. මෙයින් නෛසර්ගික ලෙසම ජාත්‍යන්තර වෙළඳාම දිරිමත් කරන්නේ නැහැ.
මධ්‍යගත සැලසුම් ක්‍රමය තුල සිටි රටවල් ජාත්‍යන්තර ගනුදෙනු නොකළ බවක් මෙයින් අදහස් වන්නේ නැහැ. එවැනි ගනුදෙනු විශාල ලෙස සිදු වුනා. එහෙත්, බොහෝ විට මෙම ගනුදෙනු සිදු වුනේ වෙළඳපොළ මූලධර්ම මග හැර වෙනත් මූලධර්ම මත පදනම් වූ වෙනත් යාන්ත්‍රන හරහායි.
දෙවන ලෝක යුද්ධයෙන් පසුව මාර්ෂල් සැලසුම අනුව බටහිර රටවල් විසින් 1948දී යුරෝපීය ආර්ථික සහයෝගීතා සංවිධානය පිහිටුවා ගැනීමෙන් පසුව සෝවියට් කඳවුර විසින්ද එවැනිම ජාත්‍යන්තර සංවිධානයක් පිහිටුවා ගනු ලැබුවා. මෙය අන්‍යෝන්‍ය ආර්ථික සහයෝගීතා කවුන්සිලය හෙවත් කොමිකොන් සංවිධානය ලෙස හැඳින්වුනා. යුරෝපීය ආර්ථික සහයෝගීතා සංවිධානයේ මෙන්ම මේ සංවිධානයේද අරමුණ වූයේ සාමාජික රාජ්‍යයන් අතර වෙළඳාම වැඩි දියුණු කර ගැනීමයි. වියනාමය 1978 වසරේදී කොමිකොන් සංවිධානයේ සාමාජිකත්වය ගනිමින් එම සංවිධානයට සම්බන්ධ වූ දහවෙනි හා අවසන් රට බවට පත් වුනා. එම රට කොමිකොන් සංවිධානයේ සාමාජිකත්වය ලබා ගත් එකම ආසියාතික රටයි. චීනය මෙම සංවිධානයේ සාමාජිකයෙක්ව සිටියේ නැහැ.
සමාජවාදී රටවලට තම කඳවුරේ හා කඳවුරෙන් පිටත අනෙකුත් රටවල් සමඟ ගනුදෙනු කිරීම වෙළඳපොළ ක්‍රමය පිළිගත් රටවල් එකිනෙකා සමඟ ගනුදෙනු කරන තරම් සරල හෝ පහසු වූයේ නැහැ. වෙළඳපොළ ක්‍රමය අනුව භාණ්ඩයක මිල තීරණය වන්නේ එහි ඉල්ලුම හා සැපයුම අනුව නිසා එහි අමුතුවෙන් ගිවිසුම්ගත වීමේ අනිවාර්ය අවශ්‍යතාවයක් නැහැ. නමුත් මධ්‍යගත සැලසුම් ක්‍රමය තුළ භාණ්ඩයක මිල නිර්ණය වුනේ එක් එක් රටේ මධ්‍යගත සැලසුම තුළයි. මේ නිසා රට රටවල මිල ගණන් අතර විශාල නොගැලපීම් තිබුණා. එහෙත් වෙළඳපොළ ක්‍රමය තුළ මෙන් ජාත්‍යන්තර වෙළඳාම තුළ මේ නොගැලපීම් ගැලපිය හැකි ස්වභාවික යාන්ත්‍රනයක් තිබුණේ නැහැ.
ඉහත කී නොගැලපීම් මධ්‍යයේ සමාජවාදී කඳවුරේ රටවලට ගනුදෙනු කළ හැකි වූයේ කිසියම් ආකාරයක භාණ්ඩ හුවමාරු පදනමක් මත පමණයි. ලංකාව හා චීනය අතර වූ රබර්-සහල් ගිවිසුම ක්‍රියාත්මක වූයේද මෙවැනි මූලධර්මයක් මත පදනම්වයි. කෙසේ වුවද, මොන විදිහෙන් හෝ මේ රටවල් අතරද සැලකිය යුතු පරිමාණයකින් ජාත්‍යන්තර ගනුදෙනු සිදු වුනා.
සෝවියට් දේශය කඩා වැටීමෙන් පසුව කොමිකොන් සංවිධානයේ ක්‍රියාකාරිත්වයද ක්‍රමයෙන් අක්‍රිය වී ගියා. එයින් පසුව එම කඳවුර සමඟ කාලයක් සිටි වියට්නාමයට අලුතෙන් වෙළඳපොළවල් සොයා ගැනීමේ දැඩි උවමනාවක් ඇති වුනා. ඊට අනුරූපව, වියට්නාමය විසින් සිය සමාජවාදී දේශපාලන ව්‍යුහය එලෙසම තිබියදීම ආර්ථික තලයේදී වෙළඳපොළ ප්‍රතිසංස්කරණ වෙත යොමු වුනා. වියට්නාමයේ ආර්ථිකය සීග්‍ර පරිවර්තනයකට ලක් වෙන්නේ මෙම ප්‍රතිපත්ති වෙනසින් පසුවයි. වැඩි විස්තර ඉදිරි ලිපියක කතා කරමු.
~ ඉකොනොමැට්ටා
RN