Friday, October 7, 2022

Latest Posts

අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා

ගී ඇසුර 21

රජරට ජනතාවගෙ හද ගැහෙන රාවය වුණු රජරට සේවය වර්ණවත් කළ ශිල්පීන් අතර විශාරද ගුණදාස කපුගේට හිමි වෙන්නෙ විශේෂිත ස්ථානයක්. ඔහු මුලින් රජරට සේවයට පත්වෙලා යන්නේ 1981 අගෝස්තු මාසයෙ.

ගුණදාස කපුගේ, කරුණාරත්න දිවුල්ගනේ සහ ජයතිලක බණ්ඩාර කියන ගායන ශිල්පීන් තිදෙනාම රජරට, එකට වැඩ කළා. ඇත්තටම ඒ කාලෙ කපුගේ වාගෙම සුධීමතුන් පිරිසකගේ ඇසුර ලබන්නට රජරට සේවයෙ ඇත්තන්ට ඉඩ හසර සැලසුණා. විජයානන්ද ජයවීර, ස්වර්ණ ශ්‍රී බණ්ඩාර, තිලක සුධර්මන් ද සිල්වා, සිරිල් රාජපක්ෂ, ප්‍රේමකීර්ති ද අල්විස්, කුලසේන ෆොන්සේකා, නිව්ටන් ගුණසේකර, ඩී. එස්. දයාරත්න, ඩෙන්සිල් විජේරත්න වැනි සුධීමතුන් කාලයෙන් කාලයට රජරට සේවය ආලෝකවත් කළා.

1988-89 භීෂණය රජ කළ අවදියේ රජරට සේවයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කළේ ගුණදාස කපුගේ. යුද හමුදා රැකවල් මැද සීමිත පිරිසක් එක්ක සංස්කෘතික දෙපාර්තමේන්තුවට අයිති අනුරාධපුර පුරාවිද්‍යා සංචාරක නිවහනට ඔහුවත් ගාල් කොට තිබුණා. එවකට සහන නිවේදකයන් දෙපළක් වූ කරුණාරත්න දිවුල්ගනේත් ජයතිලක බණ්ඩාරත් හිටියෙ කපුගේ එක්කමයි. ඔවුන් දෙපැත්තෙන්ම එන භීෂණයෙ ගොදුරු බවට පත්වෙලයි හිටියෙ. ඔවුන්ගේ ළඟම හිතවතෙකු වුණු නන්දන මාරසිංහ දේශප්‍රේ​මී ජනතා ව්‍යාපාරය මඟින් ඝාතනය කරල තිබුණ වගේම ජයතිලක බණ්ඩාරට වෙනත් නිල යාන්ත්‍රණ වලින් ජීවිත තර්ජන එල්ලවෙලා තිබුණා. අර කඳවුරට ගාල් වී සිටිම මරණ තුනක් මැද පැණි කෑමක් වුණත් එහි ගත කළ හැම රාත්‍රියක්ම සාදයක් කරගන්නට තරම් ඔවුන් නිර්භීත වුණා. කපුගේ රජරට සේවයෙ වැඩ බලන පාලකවරයා වශයෙන් අභියෝගාත්මක මෙහෙවරක් කරමින් සිටින අතර ටික කලකින්ම විජයානන්ද ජයවීර එහි පාලකවරයා වශයෙන් පත් කර එවා තිබුණා. ඉන් අනතුරුව විජයානන්ද ජයවීර සහ ගුණදාස කපුගේ බොහොම අවබෝධයෙන් සහ දැඩි ළෙන්ගතුකමකින් රජරට සේවයේ වැඩ කටයුතු ඉදිරියට පවත්වාගෙන ගියා.

රට පුරා ආරාජිකත්වය ඔඩු දුවද්දි මේ කලා ශිල්පීන් හිටියෙ ජනතාවගෙ පැත්තෙ. වාමවාදී සිතුම් පැතුම්වලින් සවිබලව. වෘත්තීය සටන්, ශිෂ්‍ය අරගල සහ ජනතා මර්දනය හමුවේ පීඩිතයන් නියෝජනය කරමින් මේ ගුවන් විදුලි ශිල්පීන් ගත් ක්‍රියාමාර්ග, පළ කළ මතවාද එවකට පාලක පැළැන්තිය රිස්සුවේ නැහැ. ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ නායකත්වයෙන් පැවති එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක් තමයි එවකට බලයේ හිටියෙ. අද වගේම එදත් පාලකයන්ගෙ පෙරළෙන ඉරණම දිහා බලාගෙන කපටි ආරක්ෂකයන් ලෙස කටයුතු කළ ඇතැම් බලවේග කපුගේලාගේ සෘජු ප්‍රතිපත්තිවලට එරෙහිව රහසින් කුමන්ත්‍රණය කළා. එහි ප්‍රතිඵල​ය හැටියට තමයි 1990 ජනවාරි 30 වනදා කපුගේ, දිවුල්ගනේ සහ ජයතිලක බණ්ඩාර වැඩ තහනමට ලක් වෙන්නෙ.

අනතුරුව ඔවුන් මහමඟට වැටෙන්නෙ රාජ්‍ය විරෝධී සහ දේශද්‍රෝහී ලේබලයත් පිටේ අලවගෙන. නන්නත්තාර වූ ඔවුන් අනතුරුව කොළඹ එනව. කපුගේ පුංචි කාලෙකට සංගීතවේදී සේන වීරසේකරගෙ ගෙදරත්, ජයතිලක සහ දිවුල්ගනේ නුගේගොඩ වින්සන්ට් කුරුඹාපිටියගෙ මුද්‍රණාලයෙ ඉහළ මාලයේ නවතිනවා. මේ තත්වය දැනගත් පූජ්‍යපාද රඹුකන සිද්ධාර්ථ හිමියන් ඔවුන් අමතන්නෙ කම්පිත සිත් දිරිමත් කරවමින්.

“ආරංචි වුණා ඇබැද්දිය. දැන් ඉතින් ඕව ගැන පසුතැවිලි වෙලා වැඩක් නෑ. අපි වැඩ කරමු”

උන්වහන්සේ හව්හරණක් නැතිව හිටපු මේ තුන්දෙනාව කැඳවාගෙන ඇවිත් ගංගාරාමයෙ නවත්වාගෙන කාමරයක් පිළියෙල කරල දීල කන්න බොන්න දෙන්න පටන්ගත්තා. ඒක බෝසත් කරුණාවක්. ඒ වෙනකොට ගංගාරාමයෙ කාර්මික විදුහල ක්‍රියාත්මක වුණේ සිද්ධාර්ථ හිමියන් යටතෙ.

මේ කලා ශිල්පීන්ට ජීවත්වෙන්න මගක් නැති බව දන්න නිසා උන්වහන්සෙ එදිනෙදා වියදමට අතට මිටට සොච්චමක් ලැබෙන සුළු පරිමාණයේ යම් යම් වැඩ කටයුතු නිර්මාණය කළා. වෙසක් භක්ති ගීත වගේ විවිධ වැඩ සටහන්. ඔවුන්ගෙ රස්සාව ආපහු හදල දෙන්න ගත්තු උත්සාහය නම් පල දැරුවේ නැහැ.

රාජ්‍ය ආයතනවල දොරටු වැහුණත් කපුගේ එදත් ජනහද මස්තකයෙහි වැජඹුණු ආදරණීය ගායකයෙක්. සිදුවූ අලකලංචි මැද සිද්ධාර්ථ හාමුදුරුවෝ කපුගේට අලු‍ත් යෝජනාවක් ගෙනාවා.

“කපුගේ මහත්තයා අපි කරමු ඒකපුද්ගල ප්‍රසංගයක් ?”
“ෂෝ කරන්න කොහෙ තියෙන සල්ලියක්ද හාමුදුරුවනේ”

කපුගේ අර යෝජනාව ලත් තැනම ලොප් කළා. ඒත්, හාමුදුරුවො නෙවෙයි පස්ස ගැහුවෙ. උන්වහන්සෙ ප්‍රසංගයේ ප්‍රාග්ධන වියදමට කරඋර දුන්නා. අපේක්ෂාව වුණේ අනාථ වූ මේ කලා ශිල්පීන්ට හව්හරණක් සැපයීම. ඇත්තටම ඒක සමාජ වැඩපිළිවෙලක්. රිසි මතවාදයක් එක්ක අරමුණක් ඇතුව ඔවුන්ට ඒ තුළ නිරත වීමේ ඉඩකඩක් ඔය ව්‍යාපෘතියෙන් නිර්මාණය වුණා.

ප්‍රසංගය නම් කළේ “කම්පන” නමින්. ගී පද මාලා ‌හොයාගෙන පුහුණුවීමේ ඉඩකඩත් හදල දීලා කම්පන මංගල දැක්මට ලු‍ම්බිණියත් වෙන්කළ උන්වහන්සේ රැඟුම් පාලක මණ්ඩලයේ අවසරයත් අරගත්තා.
ඒත්, ඊළගට කපුගේ හොයාගන්න නෑ.

ඔහු විටින් විට සිය සොහොයුරාගෙ ගෙදරත්, සේන ජයන්ත වීරසේකරගෙ ගෙදරත් ලැගුම් ගන්නව. මිතුරු ඇසුරට යනව. ඇඩ්‍රස් නැති ජීවිතයක්. කොහොමින් ‌හරි රට වටේටම පණිවිඩ යවලයි පුහුණුවීම් වලට ඔහු කැඳවගත්තෙ.

ගංගරාමෙ සීමා මාලකේදී මංගල නැකතට සර්පිනාව වයල ප්‍රසංගයෙ කටයුතුවලට මුල පිරුව.

හැමදාම හවසට කපුගේ ඇතුළු පිරිස් යාබද කාමරේ සංගීත පුහුණුවීම් වල යෙදෙන ආකාරය හාමුදුරුවන්ට ඇහෙනව. ඒ එක්කම උන්වහන්සේට සිහිපත් වුණා ඔවුන් වැටුණු අසරණ තත්වය. අනුරාධපුරේ ඉඳන් කොළඹ ආ පිරිස නෑ හිතමිතුරන් හමුවෙන්න යන්නවත් බැරි තරම් අසරණයි. මාසික වැටුපක් අරන් සිය අඹුදරුවන් නඩත්තු කළ ඔවුන් අද ඉන්නෙ තව කෙනෙකුට අතපාන තත්වයක. තාවකාලිකව ඉන්නෙ නුහුරු පරිසරයක. පුදුම අසරණකමක්. හාමුදුරුවන්ට ඒ හැගීම ගීතයක් විදියට ලියැවුණා.

පිහිටක් නැති – සරණක් නැති
සතුටක් ඇති – මුහුණක් නැති
මේ සසර දනව්වේ
අපි අසරණ වෙලා ‌වගේ හිතට දැනෙනවා
බුදු හාමුදුරුවනේ
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවාග

ඔය කාලෙම තමයි රඹුකන සිද්ධාර්ථ හිමියන්ගෙ ගීත රචනා ඇතුළත් “සමනළ කන්ද” සංයුක්ත තැටිය නිර්මාණය කරන්නෙ. වැඩ නැතුව හිටපු නිසා එහි ගීත කීපයක තනු නිර්මාණ කිරී‌මේ වගකීම කපුගේට පැවරුණා. කරුණාරත්න දිවුල්ගනේ සහ ජයතිලක බණ්ඩාර එහි ගී ගායනයට හවුල්කර ගැනුණා.

අර ලියපු “පිහිටක් නැති” ගීතය “සමනළ කන්ද” ‍සංයුක්ත තැටිය වෙනුවෙන් පරිපූර්ණත්වයට පත් කරගන්නට උන්වහන්සේ වෙහෙසුණා. තව දුරටත් ඔවුන් පත්ව තිබූ අසරණකමම තමයි උන්වහන්සේගෙ හිතට වද දුන්නෙ.

හබලක් ඇති – ඔරුවක් නැති
මිනිසෙක් වෙයි – වෙරළක් නැති
මේ සසර දනව්වේ
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා
බුදු හාමුදුරුවනේ
අපි අසරණ‌ වෙලා වගේ හිතට දැනෙනවාග

ගී පද මාලාව කපුගේ අතට පත්වුණාම එහි තනුව නිර්මාණය වෙන්නේ කපුගේගෙ මානව ධ්වනිය තුළ ඇති‌ ශෝකී විලාපය උද්දීප්ත වන ආකාරයට.

“අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා”

ගිතයේ ස්ථායි සහ අන්තරා කොටස්වල ඔහු ඒ පද පෙළම පුනරුච්චාරණය කරනවා. ඒ පුනර් ගායනයේදී ඔහු උච්ච ශතකය සහ මධ්‍ය සප්තකය මුසු කරන්නේ අසරණයකුගේ ශෝකී විලාසය මහා භ්‍රාන්තියකින් අප හමුවේ තබමින්. “බුදු හාමුදුරුවනේ…” යන්න ප්‍රතිරාව වෙන්නෙ පිහිට ඉල්ලා යදින අනාථයකු රූපණය කරවමින්.

කපුගේ යෙදූ තනුවෙ හැටියට මේ සාමූහික හැඟීම ප්‍රකාශ කරන්නට ගායන වෘන්දයක් අවශ්‍ය වුණා.

ගී පටිගත කිරීමේදී කපුගේගෙ ගායනයට අත්වැල් ගී හඬ මුසු කළේ මාලනී බුලත්සිංහල, කරුණාරත්න දිවුල්ගනේ සහ ජයතිලක බණ්ඩාර.

පස්සෙ කාලෙ “කම්පන” ප්‍රසංගයටත් මේ ගීතය ඇතුළත් වුණා. පෞද්ගලික අනුභූතියක් වුණත් රඹුකන සිද්ධාර්ථ හිමියන්ගෙ සෙසු ගීතවල තියෙන මානව හිතවාදී ගුණය මේ ගීතයෙනුත් උද්දීප්තියට පත් කරවමින් එය පොදු අත්දැකීමක් කරගන්නට උන් වහන්සේ සමත් වී තිබෙනවා. ඒ නිසාම මේ ගීතය ශ්‍රවණය කරන අපට එයින් කියවෙන්නේ අපේම අසරණකම කියල හැමවිටම හිතෙනවා. මේ මොහොතටත් ඒ සිතුවිල්ල වලංගුයි.

© නිලාර් එන්. කාසිම්

පෙර ලිපි:

ඇය යන්න ගියා මැකිලා

පුන්සඳ රෑට

ගමේ කෝපි කඩේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.