*
Sunday, September 22, 2024
spot_img

Latest Posts

දෙදහස් පන්සීයකට පස්සෙ උරුමය ලැබිම

ඩකා නගරයේදී පළමුවරට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආදි වාසි තරුණයෙක් ජනවාරි 20 වන දා ඩකා මැරතන් තරග බිමට පිවිසෙයි.මීට වසර 2500 ට ත් ඉහත අතීතයක ඉතිහාසය විසින් දක්වා තිබෙන පරිදි භාරතයෙන් පැමිණි චෞරයන් පිරිසක් එවකට ශ්‍රී ලංකාවේ උරුමය පැවරී තිබූ යක්ෂ ගෝත්‍රයේ කුමාරිකාවක් සරණ පාවා ගත්තේය.ඇය කුවේණිනම් විය.ඉනික්බිති චෞරත්වය සහ සළෙලකමෙන් නොනැවතී රාජ්‍ය බලය සඳහා කුවේණිය මාර්ගය කර ගන්නවා සේම බලය අත්පත් කර ගැනීමෙන් පසුව ඇය පළවා හැරියේය
කුවේණිගේ පරපුර සේ අපට හමුවන ආදි වාසී වැදි ප්‍රජාව එදා සිට සමාජයේ ඉහළ වරප්‍රසාද අහිමි කරමින් වන වැදී ජීවිතය සොයන්නෝ බවට පත් වූහ.ඔවුන් විභාගයක් සමත්වීම,විශ්ව විද්‍යාලයට යාම,උපාධි ලැබීම,ගුරු වෘත්තියට පිවිසීම මෙන්ම මේ කතාවද ජන මාධ්‍යයට වටිනාකමක් දෙන්නේ ඔවුන්ගේ දක්ෂතාවයට ඉඩ ලැබෙන සේ, ඔවුන්ට මේ රටේ සාමාන්‍ය පිළිගැනීම නොඳුන් නිසාය.ඒ සියල්ලගෙන් පිළිගැනෙන්නේ,ඔවුන්ගේ ජයග්‍රහණ මේ ක්‍රමය විසින් අහිමි කර අවස්ථාවන් පෙරළිමක් වීමේ වෘතාන්තයක් විමය.අප ජීවත්වන සමාජයේ සම අවස්ථා නොමැතිවීමේ ඛේදවාචකයේ දිග පළලය.

ඒ නිසා හෙට බංගලාදේශයේදී පැවත්වෙන ඩකා මැරතන් නමින් ප්‍රකට බංගබන්දු ෂෙයික් මුජීබ් මැරතන් තරගය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවෙන් තරග බිමට පිවිසෙන මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ මැරතන් තරගය ජයගත් තලාවරිගේ රත්නපාල සුවිශේෂි චරිතයක්ය.

ලෝකය ගත්තද ආදිවාසී ජන කොටස් මැජික් කර තිබෙන අවස්ථා මිස ඔවුන්ගේ ආදි උරුමයන්ට සමාන පිළිගැනීමක් සමාජයේ ලැබෙන්නේ අඩුවෙන්ය.ඕස්ට්‍රේලියාවේ ඇබෝර්ජින්වරු,නවසීලන්තයේ මඕරිවරු වැනි උදාහරණ ගත හැකි අවස්ථා බොහොමයකි.අප්‍රිකාවේ මෙවැනි නොසළකා හැරීම් දරුණු ඝාතන රැලි බවට පත්වීම සාමාන්‍ය තත්ත්වයකි.ඔවුන් යටත් කොට සුළු ජනවර්ගයක් කිරීම,සුළු කොට තැකීම යන ඓතිහාසික වරද නිවැරදි කිරීම ලෝක දේශපාලනයේ බලපෑම් සහගත මාතෘකාවක් කර ඊට අවධානය යොමු කිරීම දියුණු ලක්ෂණයක් බවට කථිකාවක් නිර්මාණය වී ඇති අතර විශේෂයෙන් එවැනි ම්ලේච්ඡ ඝාතන සංස්කෘතික වටපිටාවන් නිර්මාණය වූ රටවලට ක්‍රීඩාව හරහා ආලෝකයක් එකතු කර තිබෙන අතර ඔවුන්ට ඔලිම්පික් උළෙල සඳහා සහභාගිවීම සඳහා ලෝකයේ පහසුකම් සැළස්වීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවද එකඟ වී ඇත.
සුළු ජන කොටස් ලෙස නොසළකා හරින ඒ ආදිවාසීකම මැද්දේ ඒ පවුරු බිඳ පෙරට පැමිණි රත්නපාල මෙන්ම මේ රටේ ආර්ථිකයට තවමත් සිය දහදියෙන් මහා කාර්ය භාරයක් කරන තවමත් ඒ වෙනුවෙන් තමන්ට ජීවත්වීමට සරිලන දෛනික වැටුප හෝ නොලබන ද්‍රවිඩ වතු කම්කරුවන්ගේ නියෝජනයන් ද මේ රටේ දුර දිවීමේ ඉතිහාසය තුළ ස්වර්ණමය සළකුණක්ය.
ඇඟට ඉදි කටු ඇණෙන සීතලේ,ඔවුන් වතුකම්කරුවන් ලෙස මේ පොළවට වට්ටන දහදියෙන් පැළවෙන ආර්ථිකයේ උරුමය එදා වේල පිරිමහගන්න තරමටවත් නොදෙන ක්‍රමවේදයක,ඒ සටන් ඔවුන් අතරින් මතුවන නායකත්වයකට පමණක් යස ඉසුරු නෙලන්නට දී මග බලන සංස්කෘතිය, එයින් ගොඩ එන්නට ලංකාවේ වතු අධ්‍යාපන ක්‍රමයද පොහොසත් කරන්නේ නැත.බොහෝ විට කම්කරු වෘත්තියට දුවන පනින ඔවුන් ඒ සම්බන්ධ දැණුමක් සහිත අයෙක්ගේ ඇස් බැල්මට හසුවී කුමන හෝ හමුදාවකට යොමු කර දිවවීමකදී ඔහුව හුදෙකලා වීරයෙක් කරගනු විනා අපි ඔවුන්ව මහා සම්ප්‍රදාය විසින් නොසළකා හැර තිබීමේ කතාව මතුවන්නේ නැත.
උදාහරණයකට තොණ්ඩමන්ලාගේ අධ්‍යාපන පරිචය සහ ඔවුන් ඒ හරහා දිනාගෙන තිබෙන අවස්ථා,දේපළ,ධනය සඳහා පසුබිම සකස් කරන්නේ වතු දේශපාලනය හරහා අත් කර දෙන සමාජ වටපිටාවය.නමුත් වත්තකින් කෙනෙක් උපාධියක් ලබා ගන්නේ කෙතරම් මෑතකදී ද යන්න පිළිබඳව පුවත් අපි මෑතක දුටිමු.ඒ නිසා දෙමළ වතු ප්‍රජාව යනු මෙහෙකරුවන් යන ආකල්පයේ තබා සිතීමේ අපේ ජානමය හුරුව, ඒ අතරින් මතුවන ක්‍රීඩා වීරයෙක් ඉදිරියේ මදකට පසුබෑවද ඒ වීරයන් මතු කරන මිනිසුන්ගේ ඛේදවාචකය නිමා කිරීමට,මේ දක්ෂයන් තනන වතු අධ්‍යාපනය හෝ ඉහළ දැමීමට කල්පනා කරන්නේ නැත.
ඒ නිසා රත්නපාල මෙන්ම ඩකා මැරතන් තරගයේදී හමුවන කේ.ෂම්මුගේෂ්වරන් ද මැරතන් තරම්ම දුෂ්කර පවුල් සංස්කෘතියක් පෙරළා නැඟෙන අභිමානයක්ය.ක්‍රීඩාව දේශපාලනිකයි කියන කාරණය මෙන්ම පවතින පක්ෂ දේශපාලනයට වඩා උත්තරීතර මානවීය සංස්කෘතියක නියෝජනයක් බව ද අපට හැඟෙන්නේ සම තත්ත්වයේ පිළිගැනීමක් නැති,බොහෝ විට දක්ෂයා මහා සංස්කෘතියේ පාලිත දේශපාලනයට යට කර දැමිය හැකි ඉඩ ක්‍රීඩාවේදි වැළක්වෙන්නට තියෙන ඉඩ විශාල බැවින්ය.එය දක්ෂතාවයම ජයගන්න විෂයකි.ඒ නිසා සැබෑ දක්ෂයාට තවමත් මතුවන්න පාරවල් සැකසී නැති පොළවක,රත්නපාලලා සහ ෂම්මුගේෂ්වරන්ලා වැනි අහම්බ හමුවීම හරහා,එසේ නොවන්නට ඔවුන්ගේ උප සංස්කෘතික පරිසරයන් තුළ ක්‍රීඩාව ස්ථාපිත කරන්නේ කෙසේ ද යන්න ජාතික මට්ටමෙන් කල්පනා කළ යුතුය.
දිනලා තියෙන්නෙ වැදි කොල්ලෙක් නැත්නම් වත්තක දෙමළ කොල්ලෙක් කියා පුදුමයට පත්වන පිරිස්,ඒ පුදුමය නිරමාණය කර, අසමාන බව ඇති කිරීම සඳහා දායක වූවෝ වෙති.මේ ක්‍රමය දුවන බලය අපි තනා ඇත්තේ ඔවුන්ව විශ්මයට පත් කරන්නන් කරවන්නටය.නමුත් සිඳු විය යුත්තේ සමාන සහෝදරකම ඇති කිරීමය.ක්‍රීඩාව ආදරේ වපුරන,සමානත්මතාවයට මඟපාදන පාරක් වන්නේ එතැනදී ය.මේ සංස්කෘතියේ හෙට දුවන ශ්‍රී ලංකා කාන්තා හා පිරිමි මැරතන් කණ්ඩායම ඇතුළේ වෙනස් සැළකීම් නැත.සියල්ලට රත්නපාල රත්නේය.ෂන්මුගේස්වරම් ෂම්මු ය.ආදරණිය සහෝදරවරුය.බොහෝ දෙනා එක පවුලක් සේ එකට වැටී සිටින්නෝය.
ඒ නිසා ඩකා මැරතන් තරගය ඇතුළේ පෙනෙන්නේ ලංකාවේ ක්‍රිඩාවේ විශ්මයය. රත්නපාල,ෂම්මුගේෂ්වරන් සමඟ එකට වෙනසක් නොපෙන්වා වැඩ කරන මේ තරගයට සහභාගිවන සමස්ත කණ්ඩායමම කියන පාඬම ලංකාවට වැදගත්ය.ක්‍රීඩාව හරියට මේ පොළව මත බෙදීම්වලින් සහ දේශපාලන කුහකකම්වලින් තොරව පය ගසා නැඟිටින්නේනම් මේ රටේ දක්ෂයාට හරි තැන ලැබෙන හොඳ දේශපාලනික වැඩබිම ක්‍රීඩාව වෙනු ඇත.ෂම්මුගේෂ්වරන්ලාගේ අම්මා සහ තාත්තා මහා සංස්කෘතියෙන් බඩට කන්නට නිසි වැටුපක් නොලබන සංස්කෘතියේ උරුමකරුවෝය.ඔවුන්ව නොසළකා හරින දේශපාලනයටම ෂම්මුව අත හරින්න බැරිය.ඒ තව දුරටත් පවතින දේශපාලන සංස්කෘතිය නියෝජනය කරන්නට,ඒ මතින් තව දුරටත් යැපෙන්නට ෂම්මුලාව මූනිච්ඡාවට වැළඳගැනීම ආශිර්වාදයක්ය.
මේ සම්බන්ධ අපූරු කතාවක් කීවේ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරියෙක්ය.හැමතැනම දුවන ක්‍රීඩාවේ දේශපාලන දෙවැන්නා අනුග්‍රහයක් දෙන්නට යැයි රත්නපාලගේ ගෙදර ගොස් ඇත්තේ වටපිටාවේ දේශපාලන හෙංචයියාලාද එකතු කරගෙනය.රාජ්‍ය නිලධාරීන්ද ඊට එක්ව ඇත.ඒ වෙනුවෙන් උන්ගේ කට බඩ පුරවන්න සංග්‍රහ කරන්නට යැයි වගකීම පනවා ඇත්තේ රත්නපාලටය.
තමන්ගේ අතින් ග්ලූකෝස් පැකට් එකක්වත් අරං නොඳුන් ප්‍රාදේශිය දේශපාලනඥයන් සමහර විට ළඟ එන ඡන්දේදී එදා රත්නපාලගේ සංග්‍රහයත් භූක්ති විද, ගත්ත පොටෝ තමන්ගේ ප්‍රචාරන වැඩවලටත් යොදා ගන්නට ඉඩ ඇත.එවැනි හිඟන දේශපාලනයක් සමඟ රටේ කීර්තිය පොහොසත් කරන්න ක්‍රීඩා කරන රත්නපාලලා,ෂම්මුලා පමණක් නොව මේ මැරතන් තරගයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරන හැම කෙල්ලෙක්ටම කොල්ලෙක්ටම ඇති කතාව කිලෝ මීටර් 42.195 ක් දුවනවාට වඩා දුෂ්කරය.දිග ඇරියොත් ඒ දුෂ්කර මඟට වඩා කියන්නට ඇති වචනමාලාව දිගය.අමාරුකම් වංගු ලෙස ගතහොත් වංගු මීටරෙන් මීටරයටය.
ඩකා ජාත්‍යන්තර මැරතන් තරගයට ගෙවන ත්‍යාගය ටකා ලක්ෂ පහෙන් පටන් ගනියි.ශ්‍රී ලංකාවේ මුදලෙන් එය ලක්ෂ පහළොවකට වඩා වැඩිය.වසර තිහකට පමණ පෙර ශත ගණනක් වූ ටකා එකක වටිනාකම අද රුපියල් තුනකට වැඩිය.බංගලාදේශය අපට ණය දෙන තත්ත්වයේ පමණක් නොව ගෙවීම පැහැර හැර කල් දෙන,සමාව දෙන මට්ටමට වැඩී ඇත.ඒ දේශපාලනඥයන්ගේ ක්‍රීඩාවේ තරමය.මේ තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ටකා ලක්ෂ ගණන්වලට සමීප වෙන්න තියෙන විශාල ඉඩ වැදගත්ය.සමස්ත තරගයේ ජයට මෙන්ම දකුණු ආසියානු ජයට ද මෙහිදී ත්‍යාග හිමි වන්නේය.අනුග්‍රහ ටිකට් පත එන තෙක් නොසිට සුමාන කිහිපයකට පෙර එහි ගොස් පුහුණුව ලබන්නට තිබුණානම් තත්ත්වය තවත් යහපත් වන්නට තිබිණ.නමුත් ලංකාවට එහෙම ක්‍රීඩා පාලනයක් නැත.
අනුන්ගෙන් කන ගමන් බෙදන එකේ අඩු පාඩු සොයන මට්ටමේ ක්‍රීඩා අමාත්‍යංශයක් අපට ඇත.රටත් ක්‍රීඩාවත් දුවන්නට,හැඩට ඇඳගෙන ගොස් ප්‍රදාන කරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත දෝත දිගු කරගෙක සිටින ක්‍රීඩා අමාත්‍යංශය ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත උපයන හැටි ගැන එහි සීමා ගැන අවවාද දෙන හැටි,නීති දමන හැටි බලා සිටින විට සිනා උපද්දන සුළුය.ඩකා මැරතන් දුවා එන විට ටකා ටික පරිස්සම් කරගන්න දුවන කෙල්ලන්ට සහ කොල්ලන්ට සිඳුවනු ඇත.මන්ද සපත්තු දෙකක් හෝ ගන්නට ඒ මුදල් වැය කරන්නට පෙර ප්‍රාදේශිය ඡන්දයකුත් ළග එන බැවින් ක්‍රීඩාවේ දේශපාලන ලොක්කෝ ප්‍රාදේශීය දේශපාලනඥයන් ද පිරිවරාගෙන අතේ තියෙන තුට්ටු දෙකට තට්ටු කර කා බී යන්න ගෙවල්වලට එන්නට හැකිය.
ක්‍රීඩා අමාත්‍යතුමා මෑත කාලයේ ක්‍රීඩා අමාත්‍යංශයට ආ විශිෂ්ඨම කතා කරුවෙක්ය.ඔහු එක රැයින් වෙනස් කරන මට්ටමේ කතා කර ඇතැම් නිලධාරීන් ඉන් පසුව අමාත්‍යවරයාගේ බලතල ගෙන ගැසට් නිකුත් කරන මට්ටමට වර්ධනය වූවා මිස තනතුරු හෙළ වී නැත.හෙළවුණොත් හෙළවෙන්නේ ක්‍රීඩා අමාත්‍යතුමාය.එතුමාට නීතිය අත ළඟම ඇත.නමුත් ගහන ලියුම් නිලධාරීන් හරි අපූරුවට රටේ ක්‍රීඩාව හිරවෙන විදිහටත්,ජාත්‍යන්තරයට ක්‍රීඩා අමාත්‍යවරයාගේ හිස හසුවන විදිහටත් ගසන්නට දක්ෂය.දේශපාලන ඇඟිළි ගැසීම් වැඩි බව ජාත්‍යන්තර වශයෙන් තදින් එල්ල වූ විට ක්‍රීඩා අමාත්‍යවරයා ඉවත් කරන බව කී නිලධාරි ක්‍රීඩා අමාත්‍යවරයා සමුගන්නා උත්සවයේ පිළිගැනීමේ කතාව හෝ ස්තූතිය කරනු ඇත.
එහෙම වටපිටාවක කටින් බතල අක්කර ගණන් වගා කරන ක්‍රීඩා පරිපාලනයක් එක්ක කිලෝ මීටර් 42 ක් දුවන්නට නොව එකක් දුවන්නට හෝ එකෙක් සිටීම වැදගත්ය.එවැනි අය පොකුරු පුහවාගෙන පාර කියා දෙන මේ කණ්ඩායම සමඟ එකතු වී සිටින සජිත් ජයලාල් හැමදාම කියන කතාවක් ඇත.
“මං කියන්නෙ මෙයා මෙච්චරයි.මුන්ට හොඳට කන්න ටික දෙන්න වැඩ සටහනක් හදලා අනුග්‍රහයක් දෙන්න.පදක්කම් අරං පෙන්වන්නම්.”
ක්‍රිඩා පරිපාලනයටම සම්බන්ධ ඉහළ තනතුරක් දැරුවත් ඔහුටද මේ උවමනාවන් හීනය.රූපවාහිනිවල කතා කරන ඩඩ්ලි සිරිසේන වැන්නෙක් පෞද්ගලිකව කතා කරලා සජිත් ජයලාල්ට කියනවනම් ඔයාගේ ඔය වැලිමඩ පැත්තේ දුවන්න නැවතිලා ඉන්න ළමයින්ට මාසෙකට යන හාල් ටික මං දෙන්නම් වගෙ කතාවක්…
එළවළු ටිකට,මස් මාළුවලට …..
ඒවා ඇත්තටම හීනය.
හීන දකින්නවත් අමාරු තත්ත්වයන් එක්ක හීන හැබෑ කර ගන්න දුවන කෙල්ලන්ට කොල්ලන්ට හෙට බංගලාදේශය හොල්ලන්න හයිය ලැබේවා යන්න අපේ පැතුමය.පුළුවන්නම් දිනලා එන කොට එන ඇමතිවරුන්ට දේශපාලකයන්ට දන ගහලා ඔළුව නමලා වදින්න නැමෙන්න යන්නෙ නැතුව කෙළින් ඉදලා කතා කරපල්ලා.උඹලා මීට වඩා කෙළින් උන් පිස්සු කෙළියෙ නැත්නම් කියන එක අවබෝධ කර ගනිල්ලා.
ජයවේවා!
හෙට හොඳට දුවමු!
(කාන්තා සහ පිරිමි කණ්ඩායම් සමඟ වන ඡායාරූපයේ පුහුණුකරු සජිත් ජයලාල් දෙපසින් සිටින්නේ ෂම්මු (වමේ) සහ රත්නපාල ය.(දකුණේ)

නිශ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan