ඇෆ්ගන් තරගාවලියට සැරසේන්..

Date:

සටහන – නිශ්මං රණසිංහ

ජනවාරි 19 කොළඹ (LNW): සිම්බාබ්වේ තරගාවලිය නිමාව දුටුවේ අප මීට පෙර තබන ලද සටහනට අනුවම ඇෆ්ගන් තරගාවලියට සැරසේන් කියමින්ය.සිම්බාබ්වේ අවසන් විස්සයි විස්ස තරගය කජු කන්නා සේ දිනුවද,එය ඇෆ්ගන් තරගය සඳහා සියයට සියයක සුදුසුකමක් නොවේ.ඇත්තම කතාව ධාවනයකනම් ආරම්භයේ පළමු පියවර වන සැරසේන් විධානයට අනුව සූදානම් වීමක්ය.එත් ගෝ යන්නට පෙර තවත් විධානයක් ද ඇත.ඒ නිසා තව දුරටත් ඒ තරගාවලියට සූදානම්වීමට හැකි බව පෙන්වීමක් මේ ජයග්‍රහණ තුළ කියැවෙන්නේය.

දෙවන තරගයේදී අවසාන පන්දු ඕවරය ශ්‍රී ලංකාවේ පරාජය බවට පත් කරන්නට මුල් වූ ඇන්ජලෝ මැතිවිස් තෙවන තරගයේදී ආරම්භක පන්දු යැවීම භාර ගත්තේය.එය ජයගත් පළමු තරගයේදී ද සිඳු විය.එය දෙවන තරගයේ සිඳු නොවුණේ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීම සහ ඇන්ජලෝ එහිදී දීර්ඝ ඉණිමක් ක්‍රීඩා කළ පසු පන්දු යැවීමට උචිත තත්ත්වයත නොසිටි බැවින්ය.සජීවීව තරගය නැරඹු අයෙක් ඇන්ජලෝ එම ඉණිම ක්‍රීඩා කරපු දක්ෂ විලාසය මෙන්ම එය ඔහු කෙතරම් අපහසුවෙන් දරා ගත්තේ ද යන්නත් දන්නේය.ඇන්ජලෝට දෙවන තරගයේදී ද ආරම්භක පන්දු ඕවරය යැවීමේ හැකියාව තිබුණේනම් ඔහු මේ තරගාවලියේ වීරයා වීම සාධාරණය කරන්න තවත් සුදුසුකම් සපුරා ගන්නට තිබිණ.

ඇන්ජලෝ පමණක් නොවේය.මුළු කණ්ඩායමම මීට වඩා ශාරිරිකව ඇෆ්ගන් තරගයට ශක්තිමත්ව මුහුණ දිය යුතුව ඇත.කෙටි ලකුණු,පන්දු රැකීමේදී පන්දුවට වේගයෙන් පැමිණිම ආදිය දියුණු කරගත යුතුය. එමෙන්ම පොදුවේ පන්දු රැකීම ගැන ද වැඩි සැළකිල්ලක් දැක්විය යුතුය.එසේම ආත්ම විශ්වාසයෙන් ක්‍රීඩා කරන බව දැනෙන මානසික සත්කාරයක් ඔවුන්ට ලැබිය යුතුය.

දෙවන තරගය පරාජය වීමෙන් පසු තෙවන තරගයේදී ශ්‍රී ලංකාවට නැවත තරගයට පිවිසෙන්නට ලැබුණු මුල්ම ශක්තිය කාසියේ වාසිය විය.ඒ අනුව තණනිල්ලේ හැසිරීම අනුව සිම්බාබ්වේ කණ්ඩායම පාලනය කරන්නට අවශ්‍යය සැළසුම ක්‍රියාත්මක කරන්නට ශ්‍රී ලංකාව ගත් උත්සාහයේ පළමු ඉලක්කය පළමු ඕවරයේම සාර්ථක කර දෙන්නට ඇන්ජලෝ සමත් වූයේ දෙවන තරගයේදී සිම්බාබ්වේ ඉණිමේ ජයග්‍රහණයේ පදනම බවට පත් වූ ක්‍රේග් එවින්ස් ක්‍රීඩා පිටියෙන් ඉවත් කිරීමෙන්ය.ඒ සඳහා සදීර සමරවික්‍රම රැකගත් උඩ පන්දුවද විශිෂ්ට එකක් විය.

එසේම ඊයේ කුසල් ජනිත් පෙරේරා වෙනුවට කණ්ඩායමට කැඳවා තිබුණු ධනංජය ද සිල්වා අතිරේක පන්දු යවන්නා ලෙස ක්‍රියා කරමින් යවන ලද එකම ඕවරයේදී එක ලකුණක් පමණක් ලබා දෙමින් එක් කඩුල්ලක් ලබා ගැනීම මෙන්ම ඉතා හොඳ මට්ටමේ උඩ පන්දු දෙකක් ද රැක ගැනීමට සමත් විය.එසේම ඩිල්ශාන් මධුශංක ද අනර්ඝ උඩ පන්දුවක් රැක ගන්නට සමත් විය.

මේ තරගාවලියේ පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම කඩුලු ලබා ගත් ක්‍රීඩකයා බවට පත් වූයේ වනිඳු හසරංගය.ඔහු තෙවන තරගයේ ජයග්‍රහණයේ නියමුවා වෙමින් තරගයේ වීරයා බවට පත් වූයේ සිම්බාබ්වේ ඉණිම විනාශ කරමින් ලකුණු 15 ට කඩුලු 4 ක් දවා ගනිමින්ය.එහෙත් තරගාවලියේ ප්‍රතිවාදීන්ට වැඩිම බලපෑම එල්ල කළ පිතිකරුවා මහේෂ් තීක්ෂණය.ඔහු කඩුලු 6 ක් දවා ගත්තේය.එක් කඩුල්ලකට ලකුණු 9.16 සාමාන්‍යයක් වීමටත් වඩා වටින්නේ ඔහු පන්දු ඕවරයකදී ප්‍රතිවාදීන්ට ලබා දී ඇති ලකුණු ප්‍රමාණයය.එය 4.92 කි.එහෙත් ඔහු පන්දු රැකීම දියුණු කර ගැනීම ගැන ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම අවධානය යොමු කළ යුතු පන්දු රකින්නාය.

දසුන් ශානක තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙස කණ්ඩායමේ තබා ගන්නේනම් ඔහුව පන්දු යැවීම සඳහා යොදා ගත යුතුය.ඒ නිසා ඒ ගැන ද අවධානය යොමු කළ යුතු වන්නේය.සත්‍ය වශයෙන්ම කිවහොත් සිම්බාබ්වේ කණ්ඩායම නිවැරදිය අධ්‍යයනය කරන්නේනම් එය ඇෆ්ගන් තරගයට කණ්ඩායම සකසා ගැනීම සඳහා සම්පූර්ණ පාඩමක් ලෙස යොදාගත හැකිය.කිසිවෙකු පවසන්නේනම් ඇෆ්ගනිස්තානය පරාජය කළ නොහැකි කණ්ඩායමක් හැටියට එය මුසාවක්ය.එහෙත් ඒ වෙනුවෙන් වෙනස් කරගත යුතු බොහෝ දේ ඇත.ඒ සඳහා මහන්සි විය යුතුය.සැළසුම් සකස් කළ යුතුය.

සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 82 ට සීමා කිරීම සඳහා හොඳින් පන්දු යැවීම,පන්දු රැකීම බලපෑවේය.ඊටත් වඩා කණ්ඩායමක් හැටියට හැසිරීමේ ධනාත්මක දියුණුවක් දකින්නට තිබිණ.එහෙත් එය සියයට සියයක් නොවන බව පැහැදිළිය.මේ ඇමුණුම සකස් කර ගැනීම වැදගත් අතර ඒවා ඔළුවලින් ගැට ගසන්නට හැකි මානසික මඟ පෙන්වීමක් මේ කණ්ඩායමට තේරෙන සහ සමීප බසකින් කණ්ඩායමට ලැබිය යුතුය.

ලෝකයම පිළිගන්නා හොඳම තුන් ඉරියව් ක්‍රීඩයෙක් මෙන්ම ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ටත් නො’ඇරෙන ලෝකයේ විස්සයි විස්ස ක්‍රිකට් ප්‍රදර්ශනවල මිල ඉහළ ක්‍රිඩක භාණ්ඩයක් වන සිකන්දර් රාසා පළමු තරගයෙන් පසුව ශ්‍රි ලංකා ක්‍රීඩකයන්ට පාලනය කරන්නට හැකි වීම සැළකිය යුතු දක්ෂකමකි.එය වටින්නේ රාසාව අමාරුවේ දැමීමට හැකි ආකාරයෙන් පන්දු යැවීම සහ පන්දු පිටිය සකසා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දක්ෂ වීම නිසාය.

අනේක ප්‍රචාරණ සැළසුම් ක්‍රියාත්මක වෙද්දී ද,තරගය නරඹන්නට පැමිණීමේ යම් වැඩිවිමක් තෙවන තරගයේ දි දකින්නට තිබිම හොඳ ලකුණක්ය.එය දෙවන තරගය පරාජය වී තිබියදී වීම වඩාත් වැදගත්ය.ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ යළි යළිත් තේරුම්ගත යුත්තේ තමන්ට තරම් සුඛෝපභෝගී ජිවිතයක් ගත කරන්නට ක්‍රිකට් ලෝලියාට වත්කමක් නැති බවය.ඒ නිසා පැමිණෙන පිරිස අතර පවතින් ආර්ථික උද්ධමනය සමඟ කැරට් කෑම,බෝංචි කෑම අත හැරියද ක්‍රිකට් අත අරින්නට නොහැකි නිසා ඒ අත ඇරීම් ක්‍රිකට් වෙනුවෙන් කැප කරන ක්‍රිකට් ලෝලියෝද සිටින වග ක්‍රීඩකයෝ කල්පනාවට ගත යුතු වන්නාහ.මේ තත්ත්වය තේරුම් ගැනීමට අපහසු නැති දුෂ්කර ජිවිත ගෙවපු බොහෝ අය මේ කණ්ඩායමේ වෙති.කුසල් මෙණ්ඩිස්,පැතුම් නිශ්ශංක,ඩිල්ෂාන් මධුශංක මෙන්ම මහේෂ් තීක්ෂණ වැන්නන් ජිවත් වූ පරිසරයේ ගෙයින් ගෙට ද මේ තත්ත්වයන් ඇත්තක්ය.ඒ නිසා ඔවුන්ට ඔවුන් ආදරය කරන දේ සහ විශ්වාස කරන දේ අහිමිවීමෙන් නැඟෙන කෝපයන් සහ වේදනාවන් කවරේද යන්න යම් ආකාරයකින් හෝ අමතක වී ඇත්නම් සිය වැඩිහිටියන් හෝ කියා දිය යුතුව ඇත.

මේ මොහොත ක්‍රිකට් සම්බන්ධයෙන් තීරණාත්මකය.ක්‍රිකට් පරිපාලනයට කඩා පනින්නට බලා සිටින පිරිස් දේශපාලනිකවද සම්බන්ධව ක්‍රිකට් ක්‍රීඩාවේ සිඳුවන සියල්ල පරිපාලනය පිටින් බැඳ එය ඉවතට තල්ලු කරන්නට උත්සාහ ගනිමින් සිටිති.මේ ඇත්ත ඇතුළේ බොහෝ මිනිසුන්ට නොදැනෙන දේ සහ නොදන්නා දේ වන්නේ අප පිටියේ දකින කණ්ඩායම මෙන්ම එය තෝරන පිරිස ද ලංකාවේ තීරණය වන්නේ ක්‍රීඩාවේ දේශපාලන බලධාරියාගේ අනුමැතියෙන් බවය.එය ක්‍රීඩා පණතට අනුව ක්‍රීඩා සංගම්වල ස්වාධීනත්වයට අදාළ නොවන නිසා මේ හැම කඩා වැටීමක් පිටුපසට යමක් වෙනස් කිරිමේ සහ ඇතුළත් කිරීමේ හැකියාව ඇති දේශපාලන බලධාරියා තමන්ගේ වචන ක්‍රියාපද කළ හැකි සීමාවන් නොසළකා,කෙළින්ම පරිපාලනය වෙනස් කිරීමට යාමෙන් ජාත්‍යන්තර වශයෙන් තහනමට ලක් වි ඇති බව ද ඒ සමඟම සමාජය අවබෝධ කර ගත යුතුය.

ඒ නිසා මේ බොහෝ ක්‍රියාවලදී ක්‍රීඩාව වෙනුවෙන් අවශ්‍යය යටිතල පහසුකම් සැකසීම,පහසුකම් සපයාදීම,ජාත්‍යන්තර තරග ලබා ගැනීම සහ ඒවා ක්‍රියාත්මක කිරිම වැනි බොහෝ දේ සිඳු කරමින් කස ගැසීමේ සිට නැටිම දක්වා බොහෝ දේ කරන්නේ ක්‍රීඩා පරිපාලනය විය යුතු වුව ද,නටන නැට්ටුවන් සහ නැටුම් කවරේද යන්න තීරණය කරන්නේ ක්‍රීඩාවේ දේශපාලන බලධාරිත්වය ය.ඒ සම්බන්ධයේ බරපතල බලපෑම නොදැන පෙරහැරට වියදම් කරන්නා වන ක්‍රීඩා පරිපාලනයට සියල්ලටම බැන වැදීමෙන් පෙන්වන්නේ සමාජය ලංකාවේ ක්‍රිඩාව ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් පෙන්වන දුප්පත්කමය.

ඒ දුප්පත්කම ක්‍රිඩාවට පමණක් නොව සමස්තයටම අදාළය. ඒ නිසා හදිසියේ පහළවන බෝධි සත්වයන්ට වැද වැටෙන මිනිස්සු ඇති සමාජයක ක්‍රීඩාවේදී පමණක් බුද්ධිමත් අධ්‍යයනයකින් හරි වැරද්ද සොයා ගන්නා සමාජයක් සිටින බව නොසිතිය යුතුය.ක්‍රීඩකයන්ගේ අත්වල බැඳ ඇති පිරිත් නූල්වල ප්‍රමාණයෙන් ද,සමහරු පන්දුවෙන් පන්දුවට ආගම සිහි කිරීමෙන් ද පෙන්වන්නේ ලාංකේය සමාජයේ නොපිරුණු බවය.දියුණු සමාජයන් හී දත්ත ගෙන හැර පාන අය ඒවායේ දියුණු මිනිසුන් ඉන්නේ කෙසේද යන්න නොවිමසන තත්ත්වයක අප දකින්නේ පදනම වෙනුවට ඒ මත පිහිටන ප්‍රහර්ශය පමණි.

එ නිසා බොහෝ අය එකිනෙකට බැදි ඇති මිත්‍යාවේ විශ්වාසවල සිටම ක්‍රිකට් ද කියවා ගත්තාම ලංකාවේ ක්‍රිකට් දියුණු කරන්නට ඒ තුළින්ම කියවා ගැනීමක් අවශ්‍යය වන්නේය.
ළඟ එන ඇෆ්ගනිස්තාන තරගාවලිය ට ඒ කියවා ගැනීම සහිතය සූදානම් වන්නට ක්‍රිකට් හා සබැඳි සියලු පිරිස් එක්ව එක්සිතව වැඩ කළ යුතුව ඇත.කුමන නැට්ටුවා තේරුව ද කම් නැත.ක්‍රිකට් පරිපාලනය නැට්ට්වුා කයෙන් හා මනසින් තීරණය කරන වැඩේට මුල් තැන දෙන්නට කල්පනා කළ යුතුය.ක්‍රිකට් අවසානයේ පිටියට බසින එකොළහගේ නොවේය.ඒ එකොළහ තේරෙන සංචිතයේ ද නොවේය.සමස්ත රටේය.

ඇමතිවරු ද අවුරුදු පනහක් පරණ පනතක් රැඟෙන එය කඩුවක් කරගෙන රජ්ජුරුවන්ගෙන් වඳුරාට ලැබුණ කඩුව ලෙස එය වනන්නට යද්දී දැන ගත යුතු දේ වන්නේ ක්‍රිකට් නොව ලොව පිළිගත් ඕනිම ක්‍රීඩාවකට ජාත්‍යන්තරව හැසිරෙන්නට දී ඇති බලයට අතපෙවීම කළහොත් රටටම වරදින බවය.පෙරහැර නටවන්න හැකි වුණාට,එම සංවිධානයේ වී සේප්පුවට ද අත පොවන්නට, තමන්ට අවශ්‍යය අය සිටිය යුතු බව සිතන්නට යාමෙන් වන්නේ වැඩ වරද්දා ගැනීමක්ය.

මේ සියල්ල අතර ක්‍රීඩකයා දෙපැත්තටම ඇති වගකීම තේරුම් ගන්නේනම් සහ එය තේරුම් කර කියා දෙන්නට බස දන්නා අයෙක් ඉදිරිපත් වන්නේනම් ඇෆ්ගනිස්තානය ජය ගැනීම ශ්‍රී ලංකාවට අපහසු නැත.එහෙත් මේ සිම්බාබ්වේ පරාජය කිරීමෙන් අප ලැබුවේ එම ජයග්‍රහණයට අවශ්‍යය සැරසේන් කියන විධානය පමණක් යන්න මතක තබා ගත යුතුය.පහත ඇත්තේ සිම්බාබ්වේට එරෙහිව පැවති අවසාන විස්සයි විස්ස තරගයේදී ශ්‍රී ලංකාව කඩුලු 9 න් ජයගත් තරගයේ ලකුණු පූවරුවය.
https://www.espncricinfo.com/series/zimbabwe-in-sri-lanka-2023-24-1412536/sri-lanka-vs-zimbabwe-3rd-t20i-1412544/full-scorecard

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කඩුලු වර්ෂාවට හසු නොවුණ කුසල්ගේ ඉණිමෙන් ලංකාවට ඉණිමක ජයක් බලාපොරොතුවක්

නිශ්මං රණසිංහ ජුනි 27, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති සහ ජාතික ජන බලවේගයේ නායකයින් අතර හමුවක්!

කොළඹ LNW:දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති තාබෝ ම්බෙකි (Thabo...

ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ් පිට්ගේ ලොස් ඇන්ජලීස් නිවස කොල්ල කයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ්...

වයඹදිග පකිස්ථානයට හදිසි ගංවතුර තත්වයක්; හයදෙනෙකු මියගොස් නව දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග කයිබර් පක්තුන්ක්වා...