කොළඹ LNW:පතුලටම වැටුණු රටක් භාරගත්තද නැවත එවැනි ඉරණමකට පත්වීමට ඉඩක් නොදෙන අතර පියවරෙන් පියවර මේ රට ගොඩනගන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේය.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (19) කළුතර ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.
රටේ ආර්ථිකය හොඳ නම්,යහපත් නම් ජාතික ජන බලවේගය ආණ්ඩුවක් නොගන්නා අතර ආණ්ඩුව ගන්නෙම රටේ ආර්ථිකය කඩා වැටීම නිසා බවද ජනාධිපතිවරයා පැවසුවේය.
ඒ අනුව ආණ්ඩුව ලෙස රට ගොඩනගන වැඩපිළිවෙළේදී සමාජයේ විශේෂ අවධානයකට ලක්ව තිබෙන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ගනු ලබන තීන්දු තීරණ කිහිපයක් ගැනද මෙහිදී අනුර කුමාර දිසානායක මහතා කරුණු දැක්වීය.
”මේ රට හදන්න ඕනා. මෙච්චර කාලයක් මොකද කරලා තියෙන්නේ? රටේ ජනතාව රැවටීමකට භාජනය කරලා ඒගොල්ලෝ මහජනයාගේ ධනයෙන් විරාජමාන ලෙස වැජඹෙනවා. ඒගොල්ලන්ට දුක නැද්ද? කෙඳිරිය තියෙන්නේ ඒකයි. උදේ හවා ටීවීවල සාලේ පුටුව තියාගන්නවා ඉතින් අඩනවා. දුක කියනවා,වේදනාව කියනවා. ඒගොල්ලන්ට තව දශක එකහාමාරක් විතර අඬ අඬ ඉන්න වෙනවා. මතක තියාගන්න හරිද. එහෙමයි මේක හදන්නේ. මේ දේශපාලන පරිවර්තනය ඕනේ නැද්ද? මේ දේශපාලන අලුත් වෙනස ඕනේ නැද්ද? ඕනා. තව ශක්තිමත් කරන්න ඕනා. තව අපි හොයාගෙන තියෙනවා.මොකක්ද? මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ යෝජනාව ඉක්මණින් පාර්ලිමේන්තුවට ගේනවා. ඒ විශ්‍රාම වැටුප අහෝසි කරනවා. පාර්ලිමේන්තුවේ කැන්ටින් එක ගැන ලොකු විවාදයක් තියෙනවනේ. තව සතියකින් දෙකකින් වෙන වැඩේ මම කියනන්ද? කෑම එක ඔතාගෙන පාර්ලිමේන්තුවට එන්න කියන්නේ නැහැ. පාර්ලිමේන්තුවෙන් කෑම එක ගන්නවා නම් හරි ගාන ගෙවන්න ඕනේ. කෑම එකට රු.2000ක් යනවා නම් 2000 දෙන්න. ඒක අවුලක් නෑනේ. ඒක කරනවා. තව දවස කිහිපයක් ඕනේ යෝජනා ටිකක් තියෙනවා සම්මත කරගන්න. කැන්ටින් එක ඇරලා තියෙනවා ගාන ගෙවල කන්න පුළුවන්. මන්ත්‍රීවරුන්ට වාහන පර්මිට් දුන්නා. පර්මිට් විකුණනවා. ජනාධිපතිවරුත් පර්මිට් ගත්තා. වාහන සංචිතයේ වාහන 60ක් 70ක් තියෙනවා. තව පර්මිට් එකක් දෙනවා. ඒකත් විකුණනවා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව මන්ත්‍රීවරුන්ට පර්මිට් දෙන්නේ නැහැ. මාස දෙකයි. අපේ රටේ දේශපාලනය පරිවර්තනයක් කරන්න ජාතික ජන බලවේගයේ ආණ්ඩුව වැඩකරනවා. ඒ තමුන්නාන්සේලා දීපු ශක්තිය. අපිට ආණ්ඩුවක් ලැබෙන්න ශක්තිමත් ආර්ථිකයක් තියෙන ආණ්ඩුවක් නෙවෙයි. අපි දැනගෙන ගන්නේ. ආර්ථිකය හොඳනම් ආර්ථිකය යහපත් නම් අපිට ආණ්ඩු දෙන්නෙත් නැහැ. ඇත්තටම ආර්ථිකය හොදයි නම් යහපත් නම් අපි ආණ්ඩු ගන්නෙත් නැහැ. අපිත් ඔය පැත්තකට වෙලා ඉන්නවා මොනවා හරි දෙයක් කරගෙන. ආණ්ඩුව ගන්නෙම මොකක් නිසාද, ආර්ථිකය වැටිලා. ණය ගෙවා ගන්න බැරි රටක්. ඩොලර් සංචිත බින්දුවට හිඳුන රටක්. විදුලිය,ගෑස් නැතුව මීට අවුරුද්දකට එකහමාරකට කලින් පාරවල් ගානේ මිනිසු කෑගගහ හිටපු රටක්. ණය ගෙවාගන්න බැරිවුණ රටක්. ආදායම් මාර්ග සියල්ල කඩා වැටුණු රටක්. සුළු හා මාධ්‍ය පරිමාණ කර්මාන්ත කඩා වැටුණු රටක්. දරුවන්ට උගන්වන්න පොතක්, පෑනක්,පන්සලක් ගන්න බැරි වුණ රටක්. එහෙම රටක් අපි ගත්තේ. දැන් මහත්තුරු කතා කරන විදිහට පේනවා අපි නිකන් සංවර්ධනයෙන් කෙළපැනපු රටක් ගත්තා වගේ. වැටෙන්න පුළුවන් පතුලටම වැටුණු රටක් අපි ගත්තේ. හැබැයි අපි ඔයගොල්ලන්ට එක සහතිකයක් දෙන්නම්. නැවත කවදාවත් අපේ රටට එවැනි ඉරණමක් අත්වෙන්න ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ඉඩදෙන්නේ නැහැ. අපි පියවරෙන් පියවර ශක්තිමත්ව මේ රට ගොඩනගනවා.” යනුවෙන් ජනාධිපතිවරයා අවධාරණය කරන ලදී.
ආශිකා බ්‍රාහ්මණ