සටහන – පුලී
ජනවාරි 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමෙරිකාවේ ජනපති පරිච්ඡේදය නව පිටුවකින් ආපහු ආරම්භ වනවාත් සමඟ ම සිය සමාරම්භක කතාවේ දී එක්සත් ජනපද නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ජාතිය අමතා ඔහුගේ දැඩි තීරණයක මතයක් ලෝකයාට පැවසීය.
මෙය නන් දෙසින් වූ සැමගේම අවධානයට මෙන්ම කතා බහට ලක් වූ සුවිශේෂී මාතෘකාවක් ද විය.
මෙලෙස එක්සත් ජනපදය මින් ඉදිරියට “පිරිමි” සහ “ගැහැණු” යන සමාජභාවයන් පමණක් හඳුනා ගන්නා බවට ප්‍රකාශ කිරීමත් සමඟ ඔහු මිලියන සංඛ්‍යාත ඇමරිකානුවන්ගේ, විශේෂයෙන්ම සංක්‍රාන්ති සමාජභාවී හෝ සමාජභාවී ද්විත්ව-නොවන අනන්‍යතා ඇති ලෙස හඳුනා ගන්නා අයගේ අයිතිවාසිකම්, ගෞරවය සහ ආරක්ෂාව වල පල්ලට යවමින් මෙම දැඩි තීරණය ගෙන තිබේ.
මෙම තීරණය මානව හිමිකම් සහ සමානාත්මතාවය වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරීන් සහ එවැනි සංවිධාන විසින් ලබා ඇති ප්‍රගතියට අපහාසාත්මක තත්ත්වයක් ඇති කර තිබේ.
එක්සත් ජනපද සංගණන කාර්යාංශයේ ගෘහස්ථ ස්පන්දන සමීක්ෂණ (Census Bureau Household Pulse Survey) වාර්තාවන්ට අනුව, එක්සත් ජනපදයේ මිලියන 3 ක ජනතාවක් සංක්‍රාන්ති සමාජභාවී හෝ සමාජභාවී ද්විත්ව-නොවන අනන්‍යතා ඇති අයවලුන් ලෙස හඳුනාගෙන ඇති අතර, මෙම ප්‍රතිපත්තිය ජනගහනයෙන් සියයට 1කට අධික (සියයට 1.14) පිරිසකට සෘජුව ම බලපානු ඇත.
මේ වන විටත් පද්ධතිමය වශයෙන් වෙනස්කම්වලට සහ ප්‍රචණ්ඩත්වයට මුහුණ දෙන මෙම ප්‍රජාව, ඔවුන්ගේ අනන්‍යතා පිළිගැනීම ප්‍රතික්ෂේප කරන රජයක් විසින් තවදුරටත් කොන් වනු ඇතැයි යන බියෙන් සහ තැතිගැන්මෙන් සිටිනු ඇත.
සංක්‍රාන්ති සමාජභාවී හෝ සමාජභාවී ද්විත්ව-නොවන අනන්‍යතා ඇති ප්‍රජාව “සමාජීය වශයෙන් ඉදිකරන ලද ජනවර්ගයක්” (socially engineered race) ලෙස හඳුන්වමින් ට්‍රම්ප්, ස්ත්‍රී-පුරුෂභාවය සහ එහි ඉතිහාසය යන දෙකෙහි ම වැරදි අවබෝධයක් සමාජගත කර ඇත්තේ ඔවුන් ද හැඟීම් දැනීම් ඇති ජාතියක් බවට ගානකටවත් ගන්නේ නැතිව ය.
මූලික මානව හිමිකම් මෙන්ම ස්ත්‍රී-පුරුෂභාවයෙහි නිසි අවබෝධයකින් තොරව කොටුකරන ලද සංස්කෘතික රාමූන්, ප්රචණ්ඩත්වය, අසමානතාවය සහ නීතිමය පීඩාවන් හරහා රෝමානු කතෝලික බයිබලයේ බලපෑම මත බටහිර ස්ත්‍රී-පුරුෂ සම්මතයන් පැනවූ යටත් විජිත බලවතුන්ගේ කුරිරු ජන සංහාරයන්වල නැවත ඉපදවීමක් අන්ත-දක්ෂිණාංශික මතවාදයන් සමඟ ට්‍රම්ප් මෙලෙස සනිටුහන් කරයි.
ස්ත්‍රී-පුරුෂභාවයෙහි වර්ණාවලියක පැවැත්ම ප්‍රතික්ෂේප කිරීමට උත්සාහ කරන ට්‍රම්ප්ගේ අන්ත දක්ෂිනාංශික දෘෂ්ටිවාදය, LGBTQIA+ ප්‍රජාවට එල්ල කරන දැඩි පහරකි.
එපමණක් නොව, කලාපීය දේශපාලනය නොතකා විවිධ ලිංගික අනන්‍යතා ඇති අයවලුන් වෙනුවෙන් පැහැදිලි ස්ථාවරයක සිටින ගෝලීය ආයතනයක් වන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් (WHO) එක්සත් ජනපදය නිල වශයෙන් ඉවත් වන බව ද ට්‍රම්ප් සිය සමාරම්භක කතාවේ දී ප්‍රකාශ කළේය. Covid-19 වසංගතය පාලනය කිරීමේ දී ඔහුගේ ම අසාර්ථකත්වය සම්බන්ධයෙන් ට්‍රම්ප් ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ සිය පෞද්ගලික තරහක් පිරිමහ ගැනීමක් පමණක් නොව, ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිබඳව කන්සර්වටිව් මතධාරීන් අතර පවතින විශ්වසනීයත්වය පලුදු කිරීම ද මෙමඟින් ගම්‍ය විය.
සමාජභාවය අනන්‍යතා ද්විත්වයකට පමණක් ලඝු කිරීමට ට්‍රම්ප් ගත් මෙම දැඩි තීරණය ප්‍රතිපත්තිමය වරදක් පමණක් නොව, එය සමානාත්මතාවය, යුක්තිය සහ මානව ගරුත්වය යන සාරධර්මවලට සෘජුවම විරුද්ධ වන සදාචාරාත්මක බලපෑමක් බව ද කිව යුතුය.
එක්සත් ජනපදයේ මෙම තීරණයට අත උස්සන පිරිසක් ද, එයින් තැලී පෙලී බයෙන් සැකෙන් ඉන්න වන පිරිසක් ද මේ වනවිට විවිධාකාරයේ හැඟීම් සමුදායක ගිලෙමින් සිටිනවා විය හැක. එක් පැත්තකින් ඔවුන් පාගා දමා බලන්නට ඉන්න උන්ටනම් මෙය රජ මඟුලක් ද විය හැක. නමුත් සාධාරණව ගත් කළ විවිධ අනන්‍යතා ඇත්තෝ ද මනුෂ්‍යයෝය.