කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී ගුවන් යානයකින් බැසීමේදී ජංගම පියගැටපෙළේ (mobile staircase) ඇදවැටී මෙරට රාජ්‍යතාන්ත්‍රික නිලධාරිනියක් තුවාල ලබා ඇති බව වාර්තා වේ. ටික දිනකට පෙර මෙම අනතුර සිදුව ඇති අතර එයින් එම නිලධාරිනියගේ අස්ථියක බිඳීමක්ද සිදුව ඇති බව සඳහන්.
මේ පිළිබඳ සොයා බැලීමේදී අපට දැනගැනීමට ලැබුණේ ශ්‍රී ලංකන් ගුවන් සේවය භාවිතා කරන මෙම ජංගම පියගැටපෙළවල් වසර 20කට වඩා පැරණි බවයි. ඒ අනුව දීර්ඝ කාලයක් තිස්සේ අලුතින් මෙම යන්ත්‍ර මිලදී ගැනීමක් සිදුකර නොමැති අතර පැරණි ඒවාම ඔහේ භාවිතා කිරීමට බලධාරීන් කටයුතු කර තිබේ.
එමෙන්ම ගුවන් යානයක් පැමිණි විට මගීන්ට බැසීම සඳහා දොරවල් දෙකට ජංගම පියගැටපෙළවල් දෙකක් ලබාදිය යුතු වුවත් මෙහිදී බොහෝවිට ලබාදෙන්නේ එක් ජංගම පියගැටපෙළක් පමණක් බවත් ඒ හේතුවෙන් සියලුම මගීන්ට ගුවන් යානයෙන් බැසීම සඳහා සැලකිය යුතු වේලාවක් ගතවන බවත් තවදුරටත් වාර්තා විය.
ගුවන් යානයකින් ගොඩබසින ගුවන් මගීන්ව ආගමන විගමන අංශය කරා ගෙනයන බස් රථවල පවතින අබලන් තත්වය සම්බන්ධයෙන් අපි මීට පෙර ලිපියකින් අනාවරණය කළෙමු. රටකට පැමිණෙන විදෙස් සංචාරකයින්ව මුලින්ම පැරණි ජංගම පියගැටපෙළකින් බස්සාගෙන පැරණි බස් රථයකින් ප්‍රවාහනය කළ පසුව රටේ තත්වය සම්බන්ධයෙන් ඔවුන්ට මැවෙන ආකල්පය හමුවේ සංචාරක හෝටල් සඳහා ඉහළ ගාස්තුවක් අය කරන්නේ කෙසේද යන ප්රශ්නය පවා මතුවෙන බවයි එම ක්ෂේත්රයේ ප්‍රවීනයෙකු අප වෙත සඳහන් කළේ.
විශේෂයෙන්ම මෙරට සංචාරක කර්මාන්තයේ නව පිබිදීමක් වාර්තා වෙමින් පවතින මෙවන් යුගයක ගුවන් තොටුපලේ අඩුපාඩු සම්පූර්ණ කරගෙන සංචාරකයින්ට පළමු මොහොතේ පටන්ම ශ්‍රී ලංකාව කෙරෙහි වඩාත් ප්‍රසන්න හැඟීමක් ඇතිවීමට කටයුතු කිරීම ගුවන් තොටුපල බලධාරීන්ගේ වගකීමකි.
සබැඳි පුවත් –