එක හමුදා කඳවුරකින් T56 ගිනිඅවි 70ක් පාතාලයට ගිහින්. සමහර උසස් නිලධාරීනුත් අපරාධයන්ට සම්බන්ධයි – ජනපති හෙළිකරයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අපේ රට මේ වනවිට අපරාධවලින් ගහණ, කොයි මොහොතේ කවුරුන් ඊට බිලි වේදැයි කිව නොහැකි රටක් බවත් එම තත්වයෙන් රට මුදවා ගැනීමට තම රජය අනිවාර්යයෙන්ම කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

“අපේ රටේ මේ අපට පෙනෙන දෘෂ්‍යමාන ලෝකයට යටින් ඉතාමත් බරපතළ අපරාධ ලෝකයක් තියෙනවා. අපේ රටේ නමගිය අපරාධකරුවන් විදෙස් රටවල ඉඳන් මේක මෙහෙයවනවා. ඒ 65 දෙනෙකුට අපි මේ වනවිටත් රතු වරෙන්තු අරන් තිබෙනවා. අපි සාකච්ඡා කරමින් තිබෙනවා ඔවුන් ලංකාවට කැඳවන්න. තව කණ්ඩායමක් බන්ධනාගාරය ඇතුළේ සිට මෙහෙයවනවා. අපි ඒ ප්‍රධාන අපරාධකරුවන් එක මූලස්ථානයකට ගෙනිගිල්ලා එතන ඔවුන්ට ඇතුළෙ ඉඳන් අපරාධ මෙහෙයවන්න බැරිවෙන්න තත්වයක් අපි හදනවා දැන්. ඊළඟ ගත්තොත් … අපෙ රටේ හමුදාව ඉතාමත් නීත්‍යානුකූලව ගෞරවාන්විත රැකියාවක් කරනවා. හැබැයි ඒ ලක්ෂ ගණනක් වන හමුදාවටත් අපකීර්තියට පත්වෙන සිදුවීම් ටිකක් මේ අපරාධ ලෝකයේ තිබෙනවා. එක හමුදා කඳවුරකින් T 56 ගිනිඅවි 73ක් පාතාලයට ගිහිල්ලා තියෙනවා. ඒ 73න් මේ වෙනකොට අපි 38ක් හොයාගෙන තියෙනවා, තව 35ක් අපරාධ කල්ලි අතේ ගැවසෙනවා”

ප්‍රශ්නය – එක හමුදා කඳවුරකින් ?

“ඔව්, එක හමුදා කඳවුරකින්”

ප්‍රශ්නය – මේවා එක පාරද එළියට ගිහිල්ලා තියෙන්නෙ, නැත්නම් අවස්ථා ගණනාවකදීද ?

“එකපාර එළියට ගිහිල්ලා. මම මේ කියන්නෙ හමුදාව ගැන භක්තිය, ගෞරවය එසේම තබාගන්න ගමන්. නමුත් මේකෙ අතළොස්සක් ඉන්නවා, මේ වැඩේ වෙනවා”

ප්‍රශ්නය – කාල වකවානුවක් තියෙනවාද මේවා එළියට ගිය ?

“පරීක්ෂණයක් ගිහිල්ලා පරීක්ෂණය නතර කළා. කාල වකවානුවකුත් තියෙනවා, මට ඒක අවුරුද්ද මතක නෑ”

“එතකොට මම කියන්නේ මෙහෙම නිදැල්ලේ ගිනිඅවි සැරිසරන රටක්. සමහර අපරාධයන්ට සමහර උසස් ආරක්ෂක නිලධාරීන්ගේ සබඳතාවයක් තිබෙන බව හෙළිදරව් වෙලා තිබෙනවා. එතකොට මේ අපි ඉස්සරහා තියෙන්නෙ ටිකක් අපරාධවලින් ගහණ, ඒකට කොයි වෙලාවෙ කවුරුන් හෝ බිලිවිය හැකිද කියලා සැකයක් තියෙන රටක් තමයි. ඒකට අවි ආයුධ තිබෙනවා. ප්‍රහාරය සඳහා පුහුණු කරන ලද කණ්ඩායම් ඉන්නවා. කුඩු ව්‍යාපාරය තියෙනවා. මුදල් තියෙනවා. ඔබ දකින්න ඇති පහුගියදා දඹුල්ලෙදී රුපියල් බිලියන 2.8ක, කෝටි 280ක විශාල මුදල් තොගයක් ඇල්ලුවා. ඒ කියන්නෙ විශාල මුදල් තිබෙනවා, කුඩු ජාවාරම තිබෙනවා. ඒ නිසා මේක අර එක කාටල් එකක් හැටියට මේ පොදු සමාජය යට තියෙන්නෙ. දැන් මොකක්ද කරන්න ඕනෙ ? මේක නතර කරන්න ඕනෙ. අපට යම් කාලයක් ගතවුණා, මොකද පොලිස් දෙපාර්තමේන්තුව සඳහා අපි අලුත් ව්‍යුහයක් හැදුවා, ඒ අලුත් ව්‍යුහය අපට පොලිස් කොමිෂන් සභාවෙන් අනුමත කරගන්න ඕනෙකම තිබුණා. දැන් අපට පොලිස් කොමිසමෙන් අනුමත කළා, පහුවදා කැබිනට් මණ්ඩලයෙන් අපි අනුමත කරලා පොලිස් දෙපාර්තමේන්තුව සඳහා නව ව්‍යුහයක් අපි හදලා තියෙනවා. ඒ එන නව ව්‍යුහයේ මේ පාතාලය, කුඩු මැඬපැවැත්වීම සඳහා අවශ්‍ය ඒකක පිහිටුවීමට අපි කල්පනා කරනවා. ඒ නිසා මේ අපරාධවලින් ගහණ මේ රාජ්‍යය මුදවාගන්නවා. මා දැක්කා පොලිස්පතිතුමා පහුගියදා මාධ්‍ය හමුවකදී කිව්වා මේ පාතාලය වර්ධනය වෙන්න දේශපාලන රැකවරණය තිබුණා. අද මම ඔබට සහතිකයක් දෙන්නම්, මේ පාතාලය වර්ධනය වෙන්න ආරක්ෂා කරන්න දේශපාලන රැකවරණයක් නෑ. පොලීසියට දේශපාලන බලපෑම් එන්නෙ නෑ. ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්. මම දන්නවා හමුදාව, පොලීසිය, STF වැනි ආයතන සමහර වෙලාවට ඔවුන්ගෙ ජීවිත පිළිබඳ නොතකා ඒ කාර්යයට මැදිහත් වෙලා ඉන්නවා. මං හිතන්නෙ මෑත කාලයේ විශාලතම කුඩු තොගය, විශාලතම මුදල් තොගය අත් අඩංගුවට අරන් තිබෙනවා. මා ඔවුන්ව ඒ සියලු නිලධාරීන් කැඳවලා මේ මාසය අන්තිමේ ඔවුන්ට සහතික පත් පිරිනැමීමේ උත්සවයකුත් ලෑස්ති කරලා තියෙනවා. මොකද අපි ඔවුන්ව දිරිගන්වන්න ඕනෙ. ඔවුන්ගෙ විශ්වාසය තහවුරු කරලා පොදු සමාජයත් සම්බන්ධ කරගෙන මේ අපරාධ ගහණ රාජ්‍යය අපි මුදවාගන්න ඕනෙ, ඒක අපි කරනවා”

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (ජනවාරි 21) සිරස රූපවාහිනී නාලිකාවේ විකාශය වූ සම්මුඛ සාකච්ඡාවකදී ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඒකාබද්ධ ගොවි සංවිධානයෙන් රජයට ඉල්ලීමක්!

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : 2024 වසරට සාපේක්ෂව...

වතු කම්කරුවන්ට සුබ කාලයක්!

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : වර්තමානයේ පවතින කම්කරු...

වයස් කාණ්ඩ හතරක බාලක බාලිකාවෝ ස්කොෂ් සඳහා කොරියාවට

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: දකුණු කොරියාවේ ගිම්චියොන් ස්කොෂ්...

විපක්ෂයෙන් මන්ත්‍රීලා ගන්නේ අත උස්සන්න විතරයි. තීන්දු ගන්න බලයක් දෙන්නෑ. 69 ලක්ෂය වගේ තමා – ඇමති ප්‍රසන්න

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඊට සම්බන්ධ...