නිශ්මං රණසිංහ ජනවාරි 23, කොළඹ LNW:
කාසියේ වාසියත් සමඟ පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන අවසාන පන්දු ඕවරයයි.නොදැවී ලකුණු 92 ක් ලබා කඩුල්ලේ සිටින කුසල් මෙණ්ඩිස් සහ ලකුණු 5 ක් නොදැවී ලබා සිටින දුනිත් වෙල්ලාලගේ පන්දුවට පහර දෙමින් සිටියි.කලෙකට පසුව නිතර අවඥාවට ලක් වෙන මෙණ්ඩිස්ගේ නම ඉදිරියේ සටහන්වීමට නියමිත ශතකයක් පැහැදිළිව පෙනෙන්නට තිබුණ ද,පළමු පන්දුවට මුහුණ දෙන වෙල්ලාලගේ හයේ පහරක් එල්ල කරයි.ඊ ළඟ පන්දුවට එක ලකුණකි.එය ද වයිඩ් පන්දුවක්ද සමඟ පැමිණි නිසා මෙණ්ඩිස්ට ශතකය ලබා ගැනීමට අවශ්‍යය ලකුණු 8 ට පන්දු පහක් ඉතිරිව ඇත.එහෙත් ශතකයට වඩා මුළු ලකුණු ප්‍රමාණයට එකතු වන එක ලකුණ ද වැදගත්ය.මෙණ්ඩිස් එක ලකුණක් සමඟ පැති මාරු වෙයි.ඉතිරි පන්දු හතර සඳහන් වන්නේ වෙල්ලාලට ලකුණු 4,4,4,2 ක් ලෙසය.

ශ්‍රී ලංකාව ලකුණු 19 න් ජයගත් මේ තරගයේ තරගයේ වීරයා මෙණ්ඩිස් ද,වෙල්ලාලගේ කියා විසදුණ මොහොත මෙයය.මෙණ්ඩිස් වෙහෙස වී ශතකයට ගියා නම් ඔහුගේ ඉණිමේ වටිනාකම නොදැවී ලබා ගත් ලකුණු 93 ට වඩා බොහෝ වටින්නේය.එසේම වටිනා ස්ටම්ප් කිරීම් දෙකක් සහ උඩ පන්දුවක්ද රැක ගත්තේය.මෙණ්ඩිස් ශතකය අත හැරීම නිසා වෙල්ලාලගේ පන්දු 12 දි නොදැවී ලකුණු 25 ක් ලබන්නේය.ඔහු ලබා ගන්නා කඩුලු දෙකම තීරණාත්මකය.

අවසාන මොහොතේදී ශ්‍රී ලංකාවෙන් තරගය උඳුරා ගන්නට උත්සාහ කළ රෙහාන් අහමඩ් දවා ගන්නට ලෝන්ග් ඕෆ් කළාපයේ සිට රැකගත් ප්‍රදර්ශණාත්මක උඩ පන්දුවත්,පන්දු යවමින් පෙරළා පැමිණි සෑම් කරන්ගේ උඩ පන්දුවත් ශ්‍රී ලංකා ජයග්‍රහණයේ තීරණාත්මක සංධිස්තාන වූ විශිෂ්ඨ දායකත්වයන්ය.ඒ නිසාම වචනයේ පරිසමාප්ත අරුතෙන්ම ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයට තුන් ඉරියව්වෙන්ම දායක වූ වෙල්ලාලගේ මේ ජයග්‍රහණයේ වීරයා වන්නට වඩාත් සුදුසු වූ අතර එහෙත් කණ්ඩායම් ජයග්‍රහණය වෙනුවෙන් කුසල් මෙණ්ඩිස් ශතකය කැප කරමින් නොදැවී රැස් කළ ලකුණු 93 ද වීරත්වයට සෑම අතින්ම සුදුසු දායකත්වයක්ය.

මේ තරගයට කණ්ඩායම නම් කිරීමේදී වනිඳු හසරංග මෙන්ම මහේෂ් තීක්ෂණ ද නොසළකා හැර තිබිණ.හැමදාම අඩු පාඩු පුරවන්නට යොදා ගත් දුනිත් වෙල්ලාලගේ සහ ජෙෆ්රි වැන්ඩර්සේ කණ්ඩායමට කැඳවා තිබිණ.ලැබෙන අවස්ථාවන් අපතේ නොහැර හැමදාම කරන ආකාරයෙන්ම දෙදෙනාම සිය වගකීම මැනවින් ඉටු කළේය.වැන්ඩර්සේ ලකුණු 39 ට කඩුලු 2 ක් සහ වෙල්ලාලගේ ලකුණු 41 ට කඩුලු 2 ක් දවා ගැනීමට සමත් විය.
වැන්ඩර්සේ,වෙල්ලාලගේ පමණක් නොව දඟ පන්දු යවන්නන් ලෙස ධනංජය ද සිල්වා මෙන්ම චරිත් අසලංකත් හොඳින් පන්දු යැව්වද ඔවුන් විසින් හැඬ වූ එංගලන්ත පිතිකරුවන්ව ශ්‍රී ලංකාවේ වේග පන්දු යවන්නන් විසින් තොටිල්ලේ දමා නලවන්නට විය.ප්‍රහාරයට ලක්වීමට අමතරව ඔවුන්ගේ තීරණාත්මක මොහොත තුළ කරන ලද වයිඩ් පන්දු යැවීම ද නිසා දඟ පන්දු යවන්නන් ආරක්ෂා කළ දුන් ශ්‍රී ලංකා ලකුණු පූවරුවට සමීප වන්නට පහසු විය.දඟ පන්දු යවන්නන් ඇති කළ පීඩනය ආරක්ෂා කර ගැනීමට අසිත ප්‍රනාන්දු සහ ප්‍රමෝද් මධුශාන් සමත් වී නම් මේ ජයග්‍රහණය ලකුණු 19 ට වඩා විශාල එකක් වන බව සහතිකය.

ලකුණු 271 ක් හඹා යමින් සිටි එංගලන්තය වෙනුවෙන් දෙවන කඩුල්ලට එකතු වූ ලකුණු 117 ක සබඳතාවයට දායක වූ බෙන් ඩකට් (62) සහ ජෝ රූට් (61) ඇති කර දුන් සහනදායී වටපිටාව ක්‍රමික ආක්‍රමණයක් සහිතව කඩුලු පූජා නොකර පෙරට ගෙන යන්නට එංගලන්ත පිතිකරුවෝ අසමත් වූහ.ඒ සඳහා ශ්‍රී ලංකාවේ පන්දු යැවීම සහ පන්දු රැකීම විසින් ඇති කරන ලද පීඩනයද සුවිශාල විය.මේ සුසංයෝගී බලපෑම නිසා මේ තරගය තුළ එංගලන්තයට නිරන්තරයෙන් කණ්ඩායමක් හැටියට ශ්‍රී ලංකාව ඇති කළ බලපෑම ජයග්‍රහණයට මඟ පෙන්වීය.එංගලන්තයට බලපෑමක් ඇති කරන සුලු පන්දු රැකිමක් කණ්ඩායමක් හැටියට දියත් කළ අතර එහිදී වෙල්ලාලගේ රැකගත් උඩ පන්දු තුනෙන් දෙකක් ද,ධනංජය ද සිල්වා රැක ගත් උඩ පන්දුවද සුවිශේෂී මට්ටමේ විය.එසේම කුසල් මෙණ්ඩිස් කඩුල්ල පිටුපස සිට කළ මෙහෙයද පන්දු රැකීමේ දක්ෂතාවය නිසා එංගලන්තයට අහිමි කළ ලකුණු ප්‍රමාණය ද ගත් විට මේ ජයග්‍රහණයට ශ්‍රී ලංකා කණ්ඩායම කණ්ඩායමක් විදිහට දැක් වූ දායකත්වය ඉහළින් තිබිණ.
ශ්‍රී ලංකා ඉණිමේ පළමු කඩුල්ලට ලකුණු 50 ක සබඳතාවයක් ඇති කරන්නට පැතුම් නිශ්ශංක (21) සහ කමිල් මිෂාර (27) සමත් විය.එහෙත් එතැන් සිට කුසල් මෙණ්ඩිස් එක් පැත්තක රැඳී ශ්‍රී ලංකා ලකුණු පූවරුව ඉහළට ඔසවන්නට වෙර දරද්දී අනෙක් පසින් පිතිකරුවන් එකිනෙකා දැවී යන්නට විය.මේ තත්ත්වය වෙනස් වූයේ ජනිත් ලියනගේ ගේ පැමිණීමෙන් ඉනික්බිතිවය.ජනිත් ලකුණු 46 ක් රැස් කළ අතර ඔහු සහ කුසල් පස්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 88 ක සබඳතාවයක් ඇති කරන්නට සමත් විය.

මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකාව තරග තුනකින් යුත් තරගාවලියේ 1-0 ක් ලෙස පෙරමුණට ගන්නට සමත් විය.එංගලන්තය සතුව අවසානය දක්වාම සටන් කළ හැකි ප්‍රවේගකාරී මෙන්ම පිතිකරණයේ නිපුනතාවයක් සහිත ක්‍රීඩකයින් සිටින බව අංක 9 පිතිකරු ජැමී ඕවර්ටන් පැහැදිළි කර දීම ඉතිරි තරගවලදී කල්පනාකාරී විමට කළ ඇරයුමක්ය.ශ්‍රී ලංකාවේ වේග පන්දු යවන්නන්ගේ පන්දු යැවිමේ දී නිැපරාදේ ලබා දෙන වයිඩ් පන්දු මෙන්ම නිසි ඉලක්කයකින් තොරව එල්ල කරන අනවශ්‍යය පුල්ටොස් පන්දු ප්‍රමාණය ද අවධානය යොමු කළ යුුතු දෙයකි.එසේම කෙටි ලකුණු සඳහා තව දුරටත් කඩුලු අතර දිවීම වේගවත් සහ විශ්වසනීය විය යුතුව ඇත.ජයග්‍රහණය සනාත වුව ද ක්‍රීඩාවේ පූරෟණත්වය ජයග්‍රහණයෙන්ම සනාත නොවන නිසා ඉදිරි තරගවලට වඩාත් විශ්වාසයෙන් සහ හැකියාවෙන් මුහුණ දීම වැදගත් වනු ඇත.
තරගයේ ලකුණු පූවරුවට පහතින් පිවිසෙන්න.
https://bit.ly/4r7ACZ0


