සටහන – පුලී
ජනවාරි 25, කොළඹ (LNW): Wicked සරල නාට්‍යමය ප්‍රතිවෘත්තියක් ලෙස බැලීම එහි ගැඹුරුම දේශපාලනික ශක්තිය මගහැරීමකි. එය “හොඳය/නරකය” යන නීතිමය නෛතික ද්විත්වය බිඳ දමමින්, බලය විසින් නිර්මාණය කරන සත්‍යය, කාන්තා ශරීරය දේශපාලනික භූමියක් බවට පත්වෙන ආකාරය, සමාජ ක්‍රමය පිළිබඳව විමර්ශනය කරයි. විශේෂයෙන්ම, ධනවාදී පාලන ව්‍යුහය තුළ “හොඳ ගැහැණිය” ලෙස ගොඩනැගෙන සංකල්පය හා එයට ප්‍රතිවිරුද්ධව “නරක” ලෙස ලේබල් වන සමාජවාදී විරුද්ධත්වය මෙහි මූලික සංවාදයට නතුවන කරුණකි.

“හොඳකම” ලෙස විකිණෙන අනුකූලතාව!
ධනවාදී සමාජය තුළ “හොඳ ගැහැණිය” යනු නෛතික ගුණාංගවල එකතුවක් නොව, පාලනයට පහසු දේශපාලනික නිෂ්පාදනයකි. ඇය අනුකූලයි, දෘශ්‍යමය ලෙස පිළිගත හැකි සහ පවතින බල ව්‍යුහයට අභියෝග නොකරයි. Glinda මේ ආකෘතියේ සම්පූර්ණ නිරූපණයයි. ඇයගේ “හොඳකම” ස්වයංසම්පන්න එකක් නොව, ජනප්‍රියත්වය, ප්‍රචාරණය සහ බලය සමඟ ගැලපෙන ලෙස සංස්කෘතිකව නිෂ්පාදනය වූ රූපයකි.
මෙහි ගැඹුරුම ප්‍රශ්නය නම්; හොඳය කියන සංකල්පය බලය විසින් නිර්වචනය කරන විට, එය තවමත් නෛතික වශයෙන් හොඳ ද?
Glindaගේ හොඳකම සමාජයට සැනසිල්ලක් දෙන නමුත්, එය අසාධාරණය ස්ථායි කරන හොඳකමක් බව Wicked අපිට අඟවයි.

“විකඩ්” හි සැඟව ඇති අභ්‍යන්තරය!
Elphabaගේ “නරකකම” නෛතික වශයෙන් විශ්ලේෂණය කළහොත්, එය දුෂ්ට බවක් නොව වටහා ගැනීමේ මඳිකමකි. ඇය පද්ධතිය අසාර්ථක බව හඳුනාගන්නා මොහොතේ සිටම, බලය ඇයව “අනතුරුදායක” ලෙස හඳුනාගනී. මෙය Michel Foucault වැනි දාර්ශනිකයන් සඳහන් කරන power/knowledge සම්බන්ධතාවයට සමාන වන අතර බලය ප්‍රශ්න කරන කෙනා සමාජයට “අසත්‍යවාදී”, “නරක”, “විකෘති” ලෙස පෙනීම අරුමයක් නොවේ.
Elphaba “Wicked” වෙන්නේ ඇය නීති කඩන නිසා නොව, නීති කාට සේවය කරනවද කියලා අහන නිසා ය. ඒ නිසාම ඇය සමාජවාදී චරිතයක් ලෙස කියවිය හැකියි. තනි සාර්ථකත්වය වෙනුවට සාමූහික යහපත, බලයේ මධ්‍යගතභාවයට එරෙහි විරෝධය සහ පීඩිතයන් වෙනුවෙන් කතා කිරීම ඇයගේ මූලික ලක්ෂණයි.

කාන්තා ශරීරය සහ දේශපාලනික ලේබලය!
Wicked තුළ කාන්තා ශරීරය සරල ජෛවික එකක් නොව දේශපාලනික සලකුණක් කර තිබේ. Elphabaගේ හරිත ශරීරය “අසමානතාවය” සංකේත කරයි. එය සමාජය පිළිගන්න අලංකාර සම්මතයට නොගැලපෙන නිසා, ඇය ස්වයංක්‍රීයවම “නරකයෙක්” ලෙස ලේබල් වේ. මෙහි පෙන්වන්නේ සමාජය “නරකකම” නිර්මාණය කරන ආකාරය මිස එය ඉබේ සිදුවන්නක් නොවන බවයි.
ඒ අතර Glindaගේ පැහැපත්, මනස්කාන්ත රූපය “ශුද්ධබව” සහ “හොඳකම” නිරූපණය කරයි. නමුත් මේ රූපය ඇතුළත හිස්කමක් තියෙන බව ඔවුන් පිළිගැනීමට පවා අකමැති කරුණකි.
අවසාන වශයෙන්;
“ධනවාදී හොඳ ගැහැණියට වඩා සමාජවාදී නරක ගැහැණිය හොඳ ද?” කියන ප්‍රශ්නයට Wicked දෙන පිළිතුර නෛතික වශයෙන් අපැහැදිලි නමුත් දේශපාලනිකව පැහැදිලිය:
යහපත කියන්නේ පද්ධතියට ගැලපීම නෙවෙයි; යහපත කියන්නේ අසාධාරණය හඳුනාගෙන එයට විරුද්ධ වීමයි—even if that resistance is branded as “wicked.”
Wicked අපිට කතාවක් පමණක් නොදෙයි!
අපි කවුද, අපි අනුමත කරන දේ මොනවද, සහ අපි නිහතමානීව පිළිගන්න අසාධාරණය කොච්චර දුරට අපේ වගකීමක් ද කියලා හිතන්න බල කරන කාචයක්!

Images – Internet

