සටහන – නිශ්මං රණසිංහ
ජනවාරි 27 කොළඹ (LNW):ලංකාව කියන්නෙ අනාගතයක් නැති රාජ්‍යයක්.අනාගතයක් ගැන හිතනවනම් හෙට දවස මොන වගේ වෙන්න ඕනිද කියලා හැඟීමක් තියෙන්න ඕනි.එහෙම හැඟීමක් නැති බව දැනෙන්නෙම අනාගතය භාරගන්න ඉන්න පිරිස වෙනුවෙන් ස්ථාවර සමාජයක් හදන්න අවශ්‍යයතාවයක් රාජ්‍යය ඇතුළෙ නොපෙනෙන නිසා.විශේෂයෙන් සංස්කෘතික මිනිසෙක් හැදීම කියන කාරණය රාජ්‍ය ඇතුළෙ අත ඇරිලම යනවා.
සමහර වැඩිහිටියන් ඉන්නවා දරුවො නැති.දාව දරුවො හදලා නැති හෝ දරුවො වදලා නැති කියන කාරණය තීරණය වෙන්නෙ ඔවුන් පිරිමි ද ගැහැණු ද කියන කාරණය මතයි.නමුත් දරුවො වැදුව හෝ හැදුව කියන කාරණය පසෙක දැම්මම ඔවුන් වැඩිහිටියො කියන එක ඇත්තක්.ඒ වයසෙන් වැඩිහිටි වීමත් එක්ක තමන්ට වඩා බාල පරපුර දෙස වගකීමෙන් බලන්න ඒ අයට වගකීමක් තියෙනවා.ඒත් ඒ වයසත් එක්ක දරුවො හිටිය ද නැද්ද කියන දේ පසෙකින් තියලා බැලුවම විශාල පුරවැසියන් පිරිසක් ඊ ළඟ පරම්පරාව ගැන හිතලා වැඩ කරන්නෙ නැහැ.අනාගතයට විශාල හානියක් වෙන විදිහට වැඩ කරන සමහර පිරිස් මැරුණම දකිනවා ඒ අය පෞද්ගලිකව මව්වරු පියවරු විදිහට තහන්ගෙ දරුවන්ට භෞතිකව දක්වා තිබෙන ආදරය සෙනෙහස.ඒත් ඔවුන් ජීවමානව මත සමාජය එක්ක හැසිරුණු ආකාරය දැක්කම හිතාගන්නවත් බැහැ දරුවෙක් ගැන හැඟීමක් තිබුණ මනුස්සෙක්ද කියන දේ ත්.ඇත්තටම වැඩිහිට හැසිරීම තුළ ඊ ළඟ පරම්පරාව ගැන තියෙන්න ඕනි හැඟීම සමස්ත අනාගත පරපුරටම අදාළ නැත්නම් අවසානයේ තමන්ගේ දරුවා භාර ගන්න ඉන්න හොට සමාජය දරුවාට රැකවරණය තියෙන,යහපත් ගුණගරුක සමාජයක් නොවන බව තේරුම් ගන්නෙ නැති වැඩිහිටියන් පෞද්ගලිකව තමන්ගෙ දරුවන්ට භෞතිකව සැප සම්පත් දීලා අත ඇරලා දාන්නෙ අශිෂ්ඨ අයහපත් සමාජයක.
මේ කාරණය තේරුම් ගැනීම ඉතාමත්ම අඩුවෙන් සිද්ධවෙන සමාජ ව්‍යහුයක තමන්ගේ දරුවාට අතිශයින් පෞද්ගලික භෞතික වටිනාකම් ගොඩ ගසන්නට කටයුතු කරන දේශපාලකයො වගෙම නිලධාරීන් පිරිසක් සමඟයි රට අනාගතයට ගමන් කරමින් සිටින්නේ.තමන්ට ලැබෙන පෞද්ගලික සමාජ වටිනාකම් සමඟ දරුවන්ට ඉහළ නමගිය පාසල්,වත්කම්,ඉහළම අධ්‍යාපනය ලබාදීමෙන් දරුවෙක්ගේ අනාගතය තෘප්තිමත් කරන්න බැරි බව තේරෙන්නෙ,සමාජමය වගකීම ඉටු කරලා ශිෂ්ඨ සම්පන්න අරක්ෂිත සමාජයක් හදන්න තමන්ගෙ දායකත්වය නොඳීමෙන් කරපු විනාශය ගැන තමන්ගෙම දරුවන්ගෙ විනාශයෙන් ඔප්පු වෙන්න ගත්ත දවසකයි.ඒ නිසා වැඩිහිටියො හැටියට හිතන පාලකයො රටේ අනාගතය සංවේදී මිනිස්සු කරන්න කරන කැපවීම අමතක කිරීමෙන් දවසක සිය ජීවිතයෙන් මැරි මැරී වන්දි ගෙවිය යුතු තත්ත්වයට පත් වෙනවා.
කොවිඩ් වසංගතයත් එක්ක දරුවො එක්ක බැඳිලා තිබුණ රාජ්‍ය අංශයෙන් දායක වෙච්චි වැඩවල තත්ත්වය සමාලෝචනයකට ලක් කරද්දි මානසික වෛද්‍ය අංශවල දත්ත සළකා බලන්න තිබුණා.මොකද ඒ පීඩනයෙන් වැඩියෙන්ම අපහසුවට ලක් වුණ පිරිසක් බවට දරවො පත් වුණා.තවමත් වෙනස් වූ අධ්‍යාපන චක්‍රය ඇතුළෙ විභාග ටිකවත් නිශ්චිත රටාවකට පවත්වන්න ආණ්ඩුවට හැකි වෙලා නැහැ.ඒ පීඩනයත් තියෙන්නෙ දරුවන් මතමයි.ඒ කිසිවක් අදාළ කර නොගෙන නිසි වයසට දරුවෙක්ව පාසලෙන් විභාගවලට මුහුණ දී පිටත් කිරීමේ කාරණය අතපසුවීම සමාජ වැරද්දක් බවවත් නොතකා ඔවුන් ඒ ප්‍රශ්න සමඟ දේශපාලනිකව හැල හැප්පෙන හැටි ඉතාම අශෝභනයි.අජූතයි.
එවැනි තත්ත්වයක දරුවන්ගෙ වින්දනය වෙනුවෙන් සකස් කරපු සාමූහික ක්‍රියාවලියක් හැටියට පැවතුණු රාජ්‍ය ළමා නාට්‍ය උළෙල වැනි ඉසව් පිමි ගණකින් ඉදිරියට අරගෙන ඇවිත් පොළවෙ ක්‍රියාත්මක කළ යුතුව තිබුණා.ඒ අවශ්‍යයතාවය අනුව ඒ අවශ්‍යයතාවය අනුව මෙහි ව්‍යාප්තිය වැඩි කිරීම සඳහා සහ සහභාගීත්වය තරගකාරීත්වයට අමතරව වෙනත් ආකාරයකින් පුළුල් කරන්නට තිබුණා. නමුත් රාජ්‍ය මට්ටමෙන් සංස්කෘතික දෙපාර්තමේන්තුව මේ වන තුරු එම නාට්‍ය උළෙල ආරම්භ කරන්නටවත් පියවර ගෙන නැහැ.
නාට්‍ය උළෙලවල් කප්පාදුව සම්බන්ධ කතා පැතිරුණ ද අවසානයේ එයට මුහුණ දෙන්නට සිඳු වී ඇත්තේ ළමා නාට්‍ය උළෙලටයි. එයින් ගම්‍ය වන්නේ ආණ්ඩුව අඩුම වගකීමකින් වැඩ කරන්නේ ළමයින් සම්බන්ධයෙන් බවත්,ඔවුන් නොසළකා හරින බවත් නොවේද?රටක පාළකයන් දරුවන්ගේ අවස්ථාවන් නොසළකා හැරීම හෝ වසා දැමීම යන්නම ඒ රටේ අනාගතය ගැන බිය උපදවන චිත්‍රයක් මැවීමකි.වගවීමක් නැති වැඩිහිටි දේශපාලන පරම්පරාවක් විසින් අනාගතය සම්බන්ධයෙන් ස්ථාවරත්වයක් නැති දරුවන් සහ තරුණයන් ඉතුරු කර තිබෙන සමාජ ව්‍යහුයක මෙැවැනි ක්‍රියාවන්වලින් තව දුරටත් සිඳුවිය හැක්කේ රටේ අනාගතය අවුල්වීමකි.
සහකම්පනයක් නැති,අසංවේදී මුල් නැති පරම්පරාවක් නිර්මාණය කිරීම රටට ආදරේ ඇති පාලකයෙක්ගේ කාර්යය නොවේය.එහෙත් මේ මොහොතේ රාජ්‍ය ළමා නාට්‍ය උළෙල කප්පාදු ලේඛණයේ ඉහළින්ම තබා ගැනීමට සංස්කෘතිය භාර දේශපාලකයාට හූ මිටි තබන යම් නිලධාරියෙක් වේනම් ඔහු ද පැහැර හරින්නේ, අනාගතයේ තමන්ගේ දරු පරම්පරාව වගකීම භාරගන්න නියමිත සමාජය වෙනුවෙන් වැඩිහිටියා විසින් කළ යුතුව ඇති යුතුකම්ය.
රාජ්‍ය නාට්‍ය උළෙලට නාට්‍ය නිර්මාණය කරන පිරිස් මෙන්ම ඒවාට සම්බන්ධ ලොකු කුඩා ශිල්පීන් ද එම කාර්යයේ නියැලීම ගැන කෘතඥ විය යුතු සංස්කෘතික දෙපාර්තමේන්තුවක් ඔවුන්ව නොසළකා, නොතකා හැරීම ඛේදවාචකයකි.රටපුරා ව්‍යාප්ත වෙමින්,දරුවන් සංවේදී සෞන්දර්‍යාත්මක කාරණයන් සමඟ රොක්වීමේ සොඳුරුතම අවස්ථාව අහිමි කිරීම ලෙස රාජ්‍ය ළමා නාට්‍ය උළෙල කප්පාදුව හැඳින්විය හැකිය.විශේෂයෙන් සංස්කෘතික වැඩ සටහන් දුරස් අගනුවරින් බැහැර පාසල්වල දක්ෂ නාට්‍ය ශීල්පීන් සහ නාට්‍ය හා බැඳුණ අනුශාංගික කලා විෂයන්හී නිපුනයන් බොහෝ දෙනෙක් ජාතික මට්ටමෙන් හඳුනාගැනීමේ වේදිකාවක් හැටියට රාජ්‍ය ළමා නාට්‍ය උළෙල භාවිතයට ගෙන තිබෙන බව ඉතිහාසය හැදැරීමෙන් හඳුනා ගන්නට හැකියාව ඇත.
මේ ලියුම්කරුට ඇති අත්දැකීම අනුව නාට්‍ය දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ට ද යහපත් මානව හැඟීම් ඇති කරවන්නකි.බන්ධනාගාර රැඳවියන් සමඟ වසර ගණනක් නාට්‍ය කටයුතුවල නියැලෙද්දී එක් අවස්ථාවක මාතර ප්‍රදේශයේ නාට්‍ය දර්ශනයකදී මාතර බාලිකා විදුහලක ගුරුවරියක් එම පාසලේ සිසුවියන් පිරිසක් කැටුව නාට්‍ය නැරඹීමට පැමිණියාය.ඇය නාට්‍ය අවසානයේ එම සිසුවියන් ද සමග විත් රඟ පෑ රැඳවි සොහොයුරන් හා කතා බහ කළාය.ඔවුන් දරුණු මිනිසුන් යැයි තිබුණ ආකල්පය නිසා දියණිවරු පේළිවල මැද රඳවාගෙන නාට්‍ය නැරඹීමට තීරණය කළ බව ඇය පැවසුවාය.නමුත් නාට්‍ය අවසාන වන විට ගුරුවරිය මෙන්ම එම දියණිවරුද මේ පිරිස සමඟ කතා කර යා යුතු බව තීරණය කර තිබිණ.ඔවුන් සම්බන්ධ අදහස සපුරා වෙනස් වි තිබිණ.
එම සංවාදය නිමාවන විට බොහෝ රැඳවි සොහොයුරන් තමන්ගේ නිවෙස්වල දරුවන් සමඟ මනසින් තනිව සිටි අතර බොහෝ සංවේදී වී තිබිණ.ඒ නිසාම පසුකලෙක මා ඔවුන් සමඟ ඇගයීම් ලද නාට්‍යයක් රාජ්‍ය ළමා නාට්‍ය උළෙලට ඉදිරිපත් කළ අතර දරුවන් වෙනුවෙන් වැඩ කිරීමෙන් ඔවුන්ට දරුවන් ගැන දැණුන වගකීම සහ ඇති කරගෙන තිබූ සංවේදීභාවයවත් අඩුම තරමේ දරුවන් ගැන වගකීමෙන් බැදුණ දේශාපාලකයන්ට සහ නිලධාරීන්ට නොමැතිවීම ඛේදයකි.
රාජ්‍ය ළමා නාට්‍ය උළෙල යනු දරුවන්ට උපදෙස් දෙන පාඩම් කියා දෙන තැනක් නොවේය.ඔවුන්ට ජීවිතය ගැන අලුත් පාඩම් අත්දැකීම් සහ වෙනස් ආකාරයේ නිර්මාණශීලී ඉදිරිපත් කිරීම්වලට පොළඹවන තැනක්ය.රට වෙනස් කරන පුරවැසියා හදන එක් තීරණාත්මක තැනක් බවට නාට්‍ය කරන දරුවාව පත් කළ හැකිය.එසේම යහපත් වින්දනයේ පාඩම වේදිකාව ඉදිරිපිට සිටින දරුවාට කියාදෙන සහ ඊට අවශ්‍යය ශික්ෂණය සහ සංයමය සමඟ වගකීම ඇති කරන වැඩ පිළිවෙලද නාට්‍ය තුළ ඇත්තේය.
දරුවන් පිරිසගේ කුසලතා එකතු කර වේදිකාවක් මත ප්‍රදර්ශනය කිරීමම පමණක් නාට්‍ය හැටියට ගත නොහැකිය.ඒ නාට්‍ය වේදිකාව ඉදිරිපස අසුන් ගෙන සිටින දරුවන්ට ද අවශ්‍යය සංයමය,විනය,ශික්ෂණය සහිත විදීම හුරු කිරීම ද නාට්‍යක් ප්‍රදර්ශනයේදී සිඳු වන්නේය.එසේ බැලූ විට මේ අතහැර දමා ඇති රාජ්‍ය වගකීම හැම අතින්ම දරුණු අපරාධයකි.හොඳ දරුවෙක්,නිර්මාණශීලී දරුවෙක්,නිදහස් දරුවෙක් සහ හරවත් සහ රසවත් දරුවෙක් හැඳෙන වැඩ බිමට දොරගුළු දමා අනාගතය හදන්නට කතා කිරීම නොම්මර එකේ මුග්ධකමකි.
ඒ නිසා රජය මේ මොහොතේ අනාගතය වෙනුවෙන් හොඳ දරුවන් හදන හොඳම වැඩ බිමක වසා ඇති තිරය නැවත සමාජය වෙත විවෘත කළ යුතුය.එපමණක් නොව පවුල තුළ වින්දනිය වටපිටාවක් ඇති කිරීම ද ළමා නාට්‍ය උළෙලකින් සිඳු වන්නේය.බොහෝ විට දරුවාගේ උනන්දුවට නාට්‍ය රඟහලට එන වැඩිහිටියා නැවත පිටව යන්නේ එතෙක් පවුල තුළ විසිරී පැවති වින්දනාත්මක කථිකාවේ දොරගුළු විවර කර ගනිමින් එක තැනකට එකතු කර ගනිමින්ය.එකට හිනා වෙමින් සමහර විට ඇස්වල කඳුළු මතු කර ගනිමින් ඔවුන් එකට එකම ප්‍රස්තුතයක් වෙත සංවේදී වීමම පවුලක් හැටියට අලුත් හුස්මක් සමඟින් පිබිදීමක්ය.ළමා නාට්‍ය කලාවක් රටක් කරන රජයක් මහා ඉහළින් පවත්වාගෙන යා යුත්තේ මෙන්න මේ සාධක සළකාය.එය නොතේරෙන වැඩිහිටියා යනු වැඩිහිටියා යන අරුතෙන් ගත හැකි අයෙක් නොවේය.ඔහු හෝ ඇය හිටියාවැඩි වගේ හැඟීමක් දනවන සමාජය මත පවතින මහා බරක්ය.
