සටහන – පුලී
ජනවාරි 30, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය බලය ස්තාපිත කළ පළමු පැය 24 තුළ විධායක නියෝග මාලාවක් ප්‍රකාශයට පත් කළේය. ඔහුගේ “America First” න්‍යාය පත්‍රයේ බැනරය යටතේ සකස් කරන ලද මෙම නියෝග 22, ආගමන ප්‍රතිපත්තියේ සිට විදේශ ආධාර දක්වා වූ සියලු විධිවිධාන වලට නතු නියෝගයන් විය.
ඇමෙරිකානු ව්‍යවස්ථාවට අනුව විධායක ජනාධිපතිගේ තනි කැමැත්තෙන් අත්සන් කරන විධායක නියෝග කෙරෙහි කිසිවෙකුට බලපෑම් හෝ අභියෝග කළ නොහැකි අතර ඒවා එක් ක්ෂණයකින් රටෙහි නීතිය සහ ජාතික ප්‍රතිපත්තිය බවට පත් වනු ඇත.
එක්සත් ජනපද-මෙක්සිකෝ දේශසීමාවේ සරණාගත මාර්ග වසා දැමීමේ සිට තීරණාත්මක විදේශ ආධාර වැඩසටහන් දින 90කට අත්හිටුවීම දක්වා, ඔවුන් කලාපය පුරා ප්රතිරාවය කළ එක්සත් ජනපද ප්රතිපත්තියන්හි නාටකාකාර මාරුවීම් රැසකි.
ආගමන හා ජාතිකත්ව පනතේ 208 වගන්තියේ පැහැදිලිවම සඳහන් වන්නේ ජාතිය, ආගම, ජාතිකත්වය, යම් සමාජ කණ්ඩායමක සාමාජිකත්වය හෝ දේශපාලනිකත්වය හේතුවෙන් තම ජීවිතය හෝ නිදහස ගැන බියක් ඇත්නම්, එක්සත් ජනපදයේ භෞතිකව සිටින ඕනෑම කෙනෙකුට සරණාගතභාවය සඳහා අයදුම් කිරීමට අයිතියක් ඇති බවයි.
1980 දී එක්සත් ජනපද නීතියට එකතු කරන ලද මෙම අයිතිය,
එක් විධායක නියෝගයක් මගින් ඕනෑම තත්වයක් යටතේ එක්සත් ජනපදයට ලේඛනගත නොකළ සංක්‍රමණිකයන් ඇතුළුවීම අත්හිටුවා ඇත.
එමෙන්ම නිතීවිරෝධි සංක්‍රමණික පවුල්වලට දාව ඇමෙරිකාවේ උපන් දරුවන්ට, ඇමෙරිකානු පුරවැසිභාවය හිමිවීම (Birthright citizenship) අහෝසි කිරීම.
2021 වසරේ ජනවාරි 6 වෙනිදා කැපිටල් කෝලාහලයේදී අත්අඩංගුවට ගත් දේශපාලනික සිරකරුවන් (ට්‍රම්ප් පාක්ෂිකයන්) 1,500 කට පමණ ජනාධිපති සමාව සහ නිදහස ලබා දීම.
COVID-19 සමයේ ඇමෙරිකානු පුරවැසියන් බලහත්කාරයෙන් නිවෙස්වල රැදවීමට සහ එන්නත් ලබා දීමට නිර්දේශ පැනවූ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් එක්සත් ජනපදය ඉවත් කර ගැනීම.
පැරිස් දේශගුණික ගිවිසුමෙන් ඉවත් වීම.
රාජ්‍ය සේවයට අලුතෙන් සේවකයන් බඳවා ගැනීම අත්හිටුවීම.
මෙතෙක් කාන්තාවන්ට සහ ලිංගික අනන්‍යතා සහිත පුද්ගලයන්ට ප්‍රමුඛත්වය ලබා දුන් DEI වැඩසටහන අහෝසි කිරීම.
ටික්ටොක් තහනම ප්‍රමාද කිරීම
ඇමෙරිකාව තුළ වෙනත් ලිංගික අන්යනයතා පිළිගැනීම තහනම් කිරීම සහ ඇමෙරිකාව තුළ හඳුනා ගන්නා ලිංගික අනන්‍යතාවයන් වන්නේ පිරිමි සහ ගැහැණු ලෙස පමණක් බව ප්‍රකාශයට පත් කිරීම.
ලතින් ඇමෙරිකාවේ සිට ඇමෙරිකාවට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන අයවලුන්, ත්‍රස්ත සංවිධාන ලෙස නම් කිරීම.
ඇලස්කාවේ ඛණිජ තෙල් කැණීම් ආරම්භ කිරීමට පියවර ලබා ගැනීම.
අදහස් නියාමනය කිරීමේ රාජ්‍ය මැදිහත්වීම අවසන් කිරීම.
(DOGE – Department Of Government Efficiency) නමින් රාජ්‍ය කාර්යක්ෂමතාවය පිළිබඳ නව දෙපාර්තමේන්තුව ස්ථාපිත කිරීම සහ ඒ ඔස්සේ රජයට ප්‍රයෝජනයක් නොවන සහ කුමන්ත්රණවලට සම්බන්ධ රාජ්‍ය ආයතන, ආරක්ෂක අංශ ඉවත් කිරීම කෙරෙනු ඇත. එහි ප්‍රධානීත්වය හිමි වූයේ සුප්‍රසිද්ධ ව්‍යාපාරික එලෝන් මස්ක්ට වීම විශේෂත්වයකි. එපමණක් නොව මෙය නම් කර තිබෙන්නේ ද ‘ඩොජ්’ නමින්ය. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දකුණු අත ලෙස කටයුතු කරන මස්ක් ට කරල පැහුන කාලයක් ට්‍රම්ප්ගේ ආගමනය සමඟ උදා වීම ද නොරහසකි.
බයිඩන් රජය විසින් පැනවූ දැඩි පාරිසරික නීති, දේශගුණික විපර්යාස සම්බන්ධ නීති, ලිංගික දිශානතිය පිළිබඳ නීති, සංක්‍රමණිකයන්ට හිතකර නීති වැනි නීති 78 ක් අහෝසි කිරීම ද සිදු කෙරිණි.
මෙවැනි නීතිරීති පැනවීම දක්ෂිණාංශික මත දරන ඕනෑම අයෙකුට දියුණු රටවලට අවශ්‍ය මෙවන් කොන්ද කෙලින් තියෙන පාලනයක් යැයි කීම, තර්ක කිරීම හරි ලේසිය. පසුව වාමාංශිකයන්ට කඩේ යනවා යැයි ප්‍රකාශ කිරීම ද පහසුය.
මාධ්‍ය නිදහස ප්‍රයෝජනයට ගනිමින් අපිට විටෙක වාමාංශිකයෙක් වීම පමණක් නොව දක්ෂිණාංශිකයෙක් වීමේද අවස්ථාවන් ඇත. නමුත් මේ කියැවෙන්නේ ඒ කිසිම පැත්තකට බැහැපු ප්‍රකාශන නොව අද ගන්නා සමහර තීරණවල බලපෑම ඉදිරියේදී කෙසේ වේවිද යන පැනයට උත්තර සපයමිනි.
නිතීවිරෝධි සංක්‍රමණික පවුල්වලට දාව ඇමෙරිකාවේ උපන් දරුවන්ට, ඇමෙරිකානු පුරවැසිභාවය හිමිවීම (Birthright citizenship) අහෝසි කිරීම තුළ, එලෙස නීතිවිරෝධි සංක්‍රමණිකයන් පිටමන් කරන විට, ඔවුනට දාව දරුවන් ඇමෙරිකාවේ සිටින විට පවුල් කැඩෙන බවට මැසිවිලි නැඟුන අතර එයට ට්‍රම්ප් පාර්ශවයේ පිළිතුර වූයේ සමස්ථ පවුලම රටෙන් පිටමන් කරද්දී, එවැනි ගැටලුවක් ඇති නොවන බවය. කියනකොටනම් ලේසිය. කරනවිට ඇතිවන්නේ පවුල් පිටින් සුන්නද්ධූලි වන වැඩක් ය.
මෙවැනි ක්‍රියා තුළින් පොඩි මිනිහා අතු ගා දානවා පමණක් නොව සිවිල් යුද්ධයක ඇරඹුමකට කෙටි පාරවල් පෙන්වා දීමක් ලෙසද පැවසිය හැක. වනවාට කියනවා නොව, විටෙක එලෙස සිදුවීමටද ඉඩ ඇතැයි ගම්‍ය කරගත හැකිය.
ලොව පුරා ගබ්සා කිරීම් සඳහා එක්සත් ජනපද මුදල් ලබාදීම් වළක්වන නීතිමය රාමුව සමඟ සම්බන්ධ වූ ප්‍රතිපත්තිය ලොව පුරා ගබ්සා ලබා ගැනීමට සිටින අයවලුන්ට ප්‍රධාන බලපෑමක් ඇති කරනු ඇති අතර වෙනත් අරමුණු සඳහා සෞඛ්‍ය සංවිධාන වෙත ආධාර මුදල් ගලා ඒම ද ට්‍රම්ප් මේ වනවිට අවහිර කර ඇත.
උපත් පාලනය, ළදරුවන් සඳහා පෝෂණ සහාය ලබාදීම් සහ HIV/AIDS ප්‍රතිකාර ඇතුළු තීරණාත්මක සේවාවන් සපයන කණ්ඩායම්වලට අරමුදල් කපා හැරීමෙන් සංවර්ධනය වෙමින් පවතින අපි වගේ රටවල ප්‍රජනක සහ මාතෘ සෞඛ්‍ය සේවාවට හානියක් වන බවද පැවසිය යුතුය.
ඇමෙරිකාව තුළ වෙනත් ලිංගික අන්යනයතා පිළිගැනීම තහනම් කිරීම සමඟ LGBTQ ප්‍රජාව මහත් අපහසුතාවයකට පත්ව ඇති අතර ඇමෙරිකාව තුළ හඳුනා ගන්නා ලිංගික අනන්‍යතාවයන් වන්නේ පිරිමි සහ ගැහැණු ලෙස පමණක් බව ප්‍රකාශයට පත් කෙරිණි. මෙවැනි තත්ත්වයන් මත විවිධ ලිංගික අනන්‍යතාවන් ඇති පිරිස මානසිකව මෙන්ම කායිකව ද අපහසුතාවයකට පත්ව ඇති අතර ඉන් ජාතිවාදී කණ්ඩායම් උසි ගැන්වීම්, තැන තැන දැනටමත් පවතින පිකටින් තුළින් එකිනෙකා අතර කෝලාහල ඇතිවීම්, තම අනන්‍යතාවන් වෙනුවෙන් මැරෙන්න වුනත් පොරකන මිනිස්සුන්ගේ දුක් අඳෝනා ගෝලීය ජනතාවට ද එහෙම් පිටින්ම බලපාන සාධකයක් වනු ඇත.
COVID-19 සමයේ ඇමෙරිකානු පුරවැසියන් බලහත්කාරයෙන් නිවෙස්වල රැදවීමට සහ එන්නත් ලබා දීමට නිර්දේශ පැනවූ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් එක්සත් ජනපදය ඉවත් කර ගැනීම සංවර්ධනය වෙමින් පවතින ශ්‍රී ලංකාව වැනි රටවලට ගහන කනේ පහරක් වැනිය. ඇයිදැයි කිවහොත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මුදුන් මුල බඳු වූ ඇමෙරිකාව ඉවත්ව යෑමෙන් ඔවුන්ගේ සංවිධානයට එන ප්‍රධාන අරමුදල් මූලාශ්‍රය නැති වන අතර ඒවායේ ප්‍රතිවිපාක තුළින් බැට කන්නේ අපි වගේ පුංචි රටවල මිනිස්සු ය.
මෙවැනි බොහෝ සිදුවීම් තවම එන්නට පටන් ගත්තා නොවේ. ඔබ අපි වාමාංශිකයි යන්නෙන් මඩ ගැහුවත් ඇත්ත මේකය. අද තර්ක කළ ඔබ පසු කලෙක දුක්විඳින ජනතාවට පවසන්නේ කුමක් ද යන්නෙන් තීරණය කළ යුතූය.