*
Friday, January 31, 2025
spot_img

Latest Posts

“ආකර්ෂණීය හදවතේ ප්‍රීතිමත් දිගහැරුම” – යෝගා

යෝගාවලට මොළයේ අළු පදාර්ථ ඉහළ නැංවීමට සහ වැදගත් පද්ධති වෙනස් කිරීමට හැකියාව ඇති බව අනාවරණය වී තිබේ. මේ නිසා යෝගා තුළින් මානසික සෞඛ්‍යය ඉහළ නැංවිය හැකි බවට දැන් බලාපොරොත්තු තබාගෙන තිබේ.

මගේ දකුණු අත වෙව්ලමින් තිබෙන අතර, මගේ නළලෙන් දහඩිය බිංදු වැටෙමින් තිබේ. මම පැත්තකට හැරී චමත්කාරාසන යෝග ඉරියව්ව සුහුණු සිටිමි. මෙය අසීරු යෝග ඉරියව්වකි. මගේ පිටුපස ආරුක්කුවක් ලෙස නැමී තිබේ. මම මගේ වම් අත මගේ හිස ට ඉහළින් දිගු කර, මගේ දකුණු පාදය බිම තබාගෙන අහස දෙස බලා සිටිමි.

චමත්කාරාසන යනු සංස්කෘත වචනයකි. එහි එක් පරිවර්තනයක් වන්නේ, “ආකර්ෂණීය හදවතේ ප්‍රීතිමත් දිගහැරුම” වන අතර, මෙම ඉරියව්ව, ආත්ම විශ්වාසය ඇති කරන බව කියනු ලැබේ. එමෙන් ම, සිරුරට දැනෙන ආතතිය නොතකා, පරාජය නොවන ධෛර්යවත් බවක් මට දැනෙමින් තිබේ.

මම මුලින් ම යෝගා ආරම්භ කරන විට, මගේ ඉලක්කය වූයේ දහඩිය වැය කරමින් ශක්තිය ගොඩ නැගීම යි. මම එය දුටුවේ හුදෙක් ව්‍යායාමයක් ලෙස පමණි. නමුත් එහි තවත් බොහෝ දේ ඇති බව මම සොයා ගත්තෙමි.

මීට වසර 2,000කට පෙර පුරාණ ඉන්දියාවේදී යෝග ආරම්භ විය. අද එය භාවනා යෝගවල සිට, වින්‍යාස දක්වා බොහෝ ආකාරවලට විහිදී ඇත්තේ, ශරීරයේ චලනය, භාවනාව සහ හුස්ම ගැනීමේ ව්‍යායාම ආදිය තුළින් මනස සහ ශරීර අතර ඇති සම්බන්ධය වැඩිදියුණු කිරීමේ අරමුණ ඇතිව ය. එමෙන් ම, යෝග ශරීරයට පමණක් නොව මානසික සෞඛ්‍යය වැඩි දියුණු කිරීමට ද සහය වන බවට සාක්ෂි දැන් ලැබී තිබේ. සමහර පර්යේෂකයන් පවා විශ්වාස කරන්නේ, පශ්චාත් කම්පනසහගත ආතති ආබාධ (PTSD) ඇති පුද්ගලයින්ට ඔවුන්ගේ රෝග ලක්ෂණ කළමනාකරණය කිරීමට යෝගා උපකාරී වනු ඇති බව ය.

යෝගාවලින් ලැබෙන ශාරීරික ප්‍රතිලාභ පිළිබඳ පර්යේෂණ පුළුල් ය. එය උත්සහ නොකළ අයට, යෝග පුදුමසහගත ලෙස වෙහෙසකර විය හැකි ය. එය ශක්තිය, නම්‍යශීලී බව සහ හෘද-ශ්වසන යෝග්‍යතාව වැඩි දියුණු කරයි. අධ්‍යයනවලින් පෙනී යන්නේ, යෝගා ශක්තිය සහ කඩිසරබව වැඩි දියුණු කරමින්, තුවාල වැළැක්වීමට උපකාරී වන බවයි. (එහෙත් එය වැරදි ලෙස සිදු කළහොත් තුවාල ඇති විය හැකි යි) එමෙන් ම, එයට, වෙනත් ක්‍රීඩාවල කාර්යසාධනය වැඩි දියුණු කළ හැකි බව ද ලෝක මට්ටමේ පාපන්දු ක්‍රීඩකයෝ, ඇමෙරිකානු පාපන්දු ක්‍රීඩක සහ පැසිපන්දු ක්‍රීඩකයෝ පවසති.

ඒ වගේ ම යෝගාවලට පුළුල් පරාසයක සෞඛ්‍ය ගැටලුවලට ප්‍රතිකර්ම සැපයීමේදී උපකාරී විය හැකි බව පෙන්වන පර්යේෂණ වර්ධනය වෙමින් පවතී.

අපස්මාරය ඇති පුද්ගලයින් තුළ ඇති වන වෙව්ලීම්, යෝගා මගින් සැලකිය යුතු ලෙස අඩු කිරීමට හෝ ඒවා සම්පූර්ණයෙන් ම වළක්වා ගැනීමට පවා හැකි වී ඇති බව පෙන්වා දී තිබේ. දෙවන වර්ගයේ දියවැඩියාව කළමනාකරණය කිරීමට, නිදන්ගත වේදනාව අඩු කිරීම සහ ආඝාතය ඇති වූවන් පුනරුත්ථාපනයට සහය වීමට ද යෝගා භාවිත කර ඇත. එමෙන් ම, අධ්‍යයනයකින් සොයාගත් ආකාරයට ස්නායු පද්ධතියේ ගැටලුවක් වන, බහුවිධ ස්ලෙරෝසිස් ඇති පුද්ගලයින්ගේ ජීවන තත්ත්වය වැඩි දියුණු කිරීම සඳහා භෞත චිකිත්සාවට වඩා යෝගා ඵලදායී වන අතර එක් අත්හදා බැලීමකින් පෙනී ගියේ, එය පිළිකාවෙන් දිවි ගලවා ගත් අයට ද ප්‍රයොජනවත් විය හැකි බව ය.

yoga

එක්සත් රාජධානියේ කාඩිෆ් විශ්වවිද්‍යාලයේ, මොළයේ පර්යේෂණ රූප මධ්‍යස්ථානයේ (කියුබ්‍රික්) සංජානන ස්නායු විද්‍යාඥ ක්ලෝඩියා මෙට්ස්ලර්-බැඩ්ලි පවසන්නේ, යෝගා දිගු කාලයක් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට ඔබට උපකාරී වන බව ය.

යෝගා මගින් මොළයේ සැකැස්ම ද වෙනස් කරන බව සොයාගෙන තිබේ. අධ්‍යයනවලින් පෙනී යන්නේ, එය හිපොකැම්පස්, ඇමිග්ඩලා, ප්රෙෆ්රන්ටල් බාහිකය, සින්ගුලේට් බාහිකය වැනි මොළයේ ජාලවල ව්‍යුහය හා ක්‍රියාකාරීත්වයට ධනාත්මක ලෙස බලපාන අතර එය මානසික තත්ත්වය වර්ධනයට හා ස්වයං චින්තනයට සම්බන්ධ වේ. පර්යේෂකයන් පවසන්නේ, මෙය වයසට සම්බන්ධ හා ස්නායු විකෘතිතා පහත වැටීම් අවම කිරීමට උපකාරී වන බව ය.

මෙට්ස්ලර්-බැඩ්ලිගේ පර්යේෂණය, වයස්ගත වීම සහ ස්නායු විකෘතිතා හා ස්නායු යාන්ත්‍රණය ගවේෂණය කරයි. “මොළයේ දාහය වයස්ගත වීම වේගවත් කරමින්, බොහෝ විට නිදන්ගත ආතති තත්ත්ව ඇති කරවිය හැකි බව අපි විශ්වාස කරනවා. කෝටිසෝල් වැනි ආතති හෝමෝන මෙම තත්ත්වය ඇති කරන අතර එමඟින් රුධිර පීඩනය ඉහළ නැංවිය හැකියි. මේ දෙකම සෞඛ්‍ය සම්පන්න නොවන වයස්ගත වීමේ අවදානම් සාධකයි,” ඇය පවසයි.

භාවනාව සහ මනස, යෝගා අභ්‍යාසවලට අත්‍යවශ්‍ය වන අතර, එය මෙටාකොග්නිෂන් හෙවත් සිතුවිලි පිළිබඳ කල්පනාකාරී බව සහ මානසික ආතතියට චිත්තවේගීය ප්‍රතිචාර නියාමනය කිරීම සඳහා වැදගත් වන මොළයේ ජාලවල වෙනස්කම් ඇති කරන බව පෙනේ.

“වයසට යන විට අපව නිරෝගීව තබා ගැනීමට යෝගාවලට හැකියාව ඇති බව අපි දන්නවා.” ඇය පවසයි. “අධ්‍යයන මගින් යෝගා පුහුණු කරන අයගේ මොළයේ ව්‍යුහාත්මක වෙනස්කම් සොයාගෙන ඇති අතර, මෙටාකොග්නිෂන් සම්බන්ධ ගැටලු විසඳීමේදී එය විශාල වශයෙන් උපකාරී වන බව පේනවා.”

යෝගා මොළයේ අළු පදාර්ථ පරිමාව වැඩි කිරීමට හේතු විය හැකි බව ස්නායු රුපකරණය මගින් අනාවරණය වී ඇත. අළු පදාර්ථ හෝ මස්තිෂ්ක බාහිකය, භාෂාව, මතකය, ඉගෙනීම සහ තීරණ ගැනීම ඇතුළු මානසික ක්‍රියා සඳහා වැදගත් වේ. ඇල්සයිමර් රෝගයේදී, අළු පදාර්ථ පරිමාව නැති වී යන ඇති අතර 2023 දී කළ එක් අධ්‍යයනයකින් හෙළි වූයේ, යෝග මගින් ඇල්සයිමර් අවදානමක් ඇති කාන්තාවන් අතර මතකය නැතිවීම මන්දගාමී කළ හැකි බව ය.

සියලු ම ව්‍යායාම ආතති හෝමෝන අඩු කිරීමෙන් සහ, “හොඳින් සිටින බව ඇඟවෙන රසායන ද්‍රව්‍ය වන” එන්ඩොර්ෆින් වැඩි කිරීමෙන් මනෝභාවය ඉහළ නංවයි. කෙසේ වෙතත්, යෝගාහි ඉරියව්, හුස්ම ගැනීම සහ භාවනා සංයෝජනය අමතර ප්‍රතිලාභ ද ලබා දේ. ඉන් මානසික සෞඛ්‍ය වැඩි දියුණු කරන අතර ම කාංසාව, ආතතිය සහ මානසික අවපීඩනය අඩු කිරීමට උපකාරී වේ. යෝගාවලට මානසික අවපීඩනයේ කෙටි කාලීන රෝග ලක්ෂණ ලිහිල් කළ හැකි බව ද අධ්‍යයනවලින් පෙනී ගොස් තිබේ.

“මට ජීවිතය පවත්වාගෙන යන්න ඕන වුණේ නෑ. ජීවිතය ඉතා දුෂ්කර බවක් දැනුණා,”යි යෝගා චිකිත්සක පුහුණු පාසලක් වන ‘ද මයින්ඩ්ඩ් ඉන්ස්ටිටියුට්හි’ නිර්මාතෘ හෙදර් මේසන් පවසයි. "යෝගා මගේ ජීවිතය වෙනස් කළ අතර, මානසික අවපීඩනය, කාංසාව සහ PTSD කළමනාකරණය කිරීමට මට උපකාරී වුණා."

යෝගාවල ගැඹුරු බලපෑම් අත්විඳීමෙන් පසු, මේසන්, යෝගා මනෝචිකිත්සාව සහ ස්නායු විද්‍යාව පිළිබඳ පුහුණුව ලැබූ අතර අවසානයේ 2009 දී ඇගේ ම යෝග චිකිත්සක පුහුණු පාසල ආරම්භ කළා ය. “සාක්ෂි නොමැති නමුත් යෝගවල බොහෝ වාසි ඇති බව මට හැඟිණි,” ඇය පවසයි. “ඔබේ ජීවිතයේ වැඩි කාලයක් බලාපොරොත්තු සුන් වී සිටි විට, ඵලක් නො ලැබෙන දෙයක් ඔබට අවශ්‍ය නැත.”

මේසන් දැන් යෝගා චිකිත්සාව පිළිබඳ සෞඛ්‍ය හා යෝග වෘත්තිකයන් පුහුණු කරයි. “මට තේරුණා මෙයට ප්‍රවේශ වීමේ ගැටලුවක් තියෙනවා කියලා,” ඇය පවසයි. “යෝග වැඩි වශයෙන් ම අලෙවි කරන්නේ, තරුණ, සුදු, කෙට්ටු කාන්තාවන් යෝගාවල යෙදෙනු පෙන්වමිනි. ඔබ එවැනි අයෙකු නොවේ නම්, එය ඔබ වෙනුවෙන් යැයි ඔබ සිතන්නේ නැහැ.”

“එය මිල අධික ද විය හැකි යි,” ඇය තවදුරටත් පවසයි. “ඒක යි මම එය බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය පද්ධතියට එකතු කරන්න අධිෂ්ඨාන කරගෙන ඉන්නේ,” ඇය පවසයි. මීට අමතරව, මානසික සෞඛ්‍ය ගැටලු ඇති පුද්ගලයින්ට බොහෝ විට තමන්ව රැකබලා ගන්න අපහසු යි. ඔවුන්ව ඒ සදහා පෙළඹවිය යුතු යි,” ඇය පැහැදිලි කරයි. “මම හිතුවා, අපි ඒක වෛද්‍ය පද්ධතියට ගෙනාවොත් ඒක වෙනස් වේවි කියලා.”

යෝග මගින් මොළයේ ගැමා-ඇමයිනොබියුටරික් අම්ලය (GABA) මට්ටම ඉහළ නංවන බව පෙන්වා දී තිබේ. මෙම ස්නායු සම්ප්‍රේෂකය, රසායනික පණිවිඩ යැවීමට සහ ලබා ගැනීමට ස්නායු සෛලවලට ඇති හැකියාව අවහිර කිරීමෙන් මොළයේ ක්‍රියකාරිත්වය මන්දගාමී කරයි. සති 12ක යෝග පාඨමාලාවක් ගැබා මට්ටම ඉහළ යැවීමට තුඩු දෙන බව අධ්‍යයයනවලින් සොයාගෙන ඇති අතර එය මනෝභාවය වැඩි දියුණු කිරීම සහ කාංසාව අඩු කිරීම සමග සම්බන්ධ වේ.

පුද්ගලයෙකු ආතතිසහගත සිදුවීමකට මුහුණ දෙන විට, ඔහුගේ ප්‍රතිචාර දැක්වීමේ ස්නායු පද්ධතිය ක්‍රියාත්මක වේ. එය හුස්ම ගැනීම සහ හෘද ස්පන්දනය වැනි ස්වේච්ඡා ශරීර කාර්යයන් පාලනය කරන අතර, අපගේ ප්‍රතිචාර පාලනය කිරීම සක්‍රීය කරයි. ජාන සෛලීය මට්ටමින් ක්‍රියාකාරී කරන සයිටොකයින නම් ප්‍රෝටීන නිපදවේ. භයානක තත්ත්වයකදී, මෙය ශරීරය තුවාල හෝ ආසාදනවලින් ආරක්ෂා කිරීමට උපකාරී වේ. කෙසේ වෙතත්, ආතතිය දිගට ම පවතින්නේ නම්, දිගුකාලීනව මෙම ක්‍රියාකාරී වීම හානිකර විය හැකි අතර පිළිකා, වයස්ගත වීම වේගවත් වීම සහ මානසික අවපීඩනය ඇතිවීමේ අවදානම වැඩි කරයි.

යෝගා සහ භාවනා වැනි මනස සහ ශරීරය සමබර කිරීම පුහුණු කරන පුද්ගලයින් සයිටොකයින නිපදවීමේ අඩුවීමක් අත්විඳින බව පර්යේෂකයන් සොයාගෙන තිබේ. එබැවින් ආතතිය හා සම්බන්ධ රෝග හා තත්ත්වයන් ඇතිවීමේ අවදානම අඩු වේ.

PTSD රෝගයෙන් පෙළෙන සමහර පුද්ගලයින්ට යෝගා ප්‍රයෝජනවත් විය හැකි බවට ඉඟි තිබේ. කෙසේ වෙතත්, PTSD සඳහා යෝග භාවිත කරන වෙනත් අධ්‍යයනවල ප්‍රතිඵල මිශ්‍ර වී ඇති අතර, එක් අධ්‍යයන සමාලෝචනයකට අනුව ඒ පිළිබඳ උසස් තත්ත්වයේ පර්යේෂණ නොමැති බව පෙනේ. මෑත අධ්‍යයනයකින් හෙළි වූයේ, PTSD රෝගයෙන් පෙළෙන ඇමෙරිකානු සෙබළුන් සඳහා යෝගා මගින් සහනයක් සැලසුණු අතර, තවත් අධ්‍යයනයක් හෙළි කළේ, නිරන්තර යෝගා පුහුණුවීම් මගින් නිදන්ගත PTSD ඇති කාන්තාවන්ට සහන සැලසෙන බව ය.

“ප්‍රතිකාරවලට ප්‍රතිරෝධය දක්වන PTSD විශාල ගැටලුවක්,”යි යෝගා චිකිත්සකයෙකු සහ ‘ලාභ නොලබන සංවිධානයක් වන PTSD එක්සත් රාජධානිය’ හි කළමනාකරු රේචල් බිල්ස්කි පවසයි. “වයස අවුරුදු 11 දී පමණ, මට ප්රොසැක් සහ සංජානන චර්යාත්මක චිකිත්සාව ලබා දුන්නා. නමුත් ඒ කිසි ම දෙයක් හරි ගියේ නෑ. මගේ නව යොවුන් වියේ මැද භාගය වන විට, මම සියදිවි නසා ගන්න තත්ත්වය ආවා. එහෙත් මට ප්‍රතිකාරවලට ප්‍රතිරෝධයක් තිබුණු නිසා දැනුණේ තවත් බිඳ වැටීමක්. ඒක හරියට, මේක වැඩ කරන්න ඕන. ඒක වැඩ කරන්නේ නැත්නම්, ඒ කියන්නේ මට සහජයෙන් ම ගැටලුවක් තිබෙනවා. ඒ වගේ ම මම කවදාවත් සුව වෙන්න විදිහක් නැහැ.”

yoga

“වසර ගණනාවක් තිස්සේ, බිල්ස්කි, කලබල වීම්, බියකරු සිහින සහ අඩු ආත්ම වටිනාකමක් ඇති හැඟීම්වලින් පීඩා වින්දා. නමුත් ඒ ඇය යෝගා පටන් ගන්නා තුරු පමණයි.”

පශ්චාත් විශ්වවිද්‍යාල චාරිකාවක් සඳහා ආසියාවට ගිය විටදී, ඇය සිතුවේ, “හරි, අපි මේ යෝගා කියන දේ උත්සහ කරමු. සමහර විට එය හිපියන්ට අදාළ දෙයක් වෙන්න ඇති.” සෑම දිනක ම, යෝගා පන්ති අවසානයේ සවාසන කාලය අතරතුර, සහභාගිවන්නන් බිම වැතිර සිටිමින් ලිහිල් වෙති. “එවිට මම දිගට ම අඬනවා,” බිල්ස්කි පවසයි. “මට තේරෙන්නෙ වත් නැති තැන්වල ඉඳන් මම ඇඬුවා. මට වෙනස් දේවල් දැනුණා. මට මගේ ශරීරය ආරක්ෂිත බව දැනුණා. සතියක් ඇතුළත ලොකු වෙනසක් වුණා.”

බිල්ස්කි, විනෝද වීම වැනි දේ සඳහා ඇගේ සියලු සැලසුම් අවලංගු කළ අතර ඒ වෙනුවට, යෝග පන්ති එකින් එකට ගොස්, අවසානයේ පුහුණු වී පසුව යෝග චිකිත්සාවට යොමු වූවා ය.

යෝගා චිකිත්සාව, ඇය පවසන පරිදි, වෙනත් යෝග ක්‍රමවලින් වෙනස් වේ. සියලු වර්ගවල යෝග PTSD රෝගීන්ට ගැළපෙන්නේ නැත. මෑත සමාලෝචනයකින් කුණ්ඩලිනී, සත්‍යානන්ද සහ උණුසුම් යෝගා වැනි, උණුසුම් පරිසරයක පුහුණු කරන යෝගා ඔවුන් සඳහා වඩාත් ප්‍රයෝජනවත් විය හැකි බවට සාක්ෂි සොයා ගෙන තිබේ.

මීට අමතරව, බිල්ස්කි පවසන පරිදි බොහෝ යෝගා ගුරුවරු කම්පන සමග කටයුතු කිරීමට පුහුණු වූවන් නොවේ. “ඔබට කම්පනය පිළිබඳ දැනුවත් ගුරුවරයෙකු අවශ්‍ය යි. යෝගා ගුරුවරු රැසක් ඉන්නවා. නිදසුනක් වශයෙන්, ඔබේ ශරීරය ආරක්ෂිත ස්ථානයක් ලෙස නොදැනෙන්නේ නම්, ඒකෙන් ඔබව තවත් කැළඹෙන පංති ලබා දෙන්න පුළුවන්. නමුත් යෝගා පන්තියක් ඔබේ ශරීරයට ඉහළ මට්ටමේ දැනුවත්භාවයක් ගෙන එනවා. එවිට ඔබට කම්පන යළි ඇති නොවිය හැකි යි”.

“යෝගා චිකිත්සකයින් සාමාන්‍ය යෝගා ගුරුවරුන්ට වඩා වැඩි පුහුණුවක් ලබනවා,” බිල්ස්කි පවසයි. “යෝගා චිකිත්සාව සෞඛ්‍ය වෘත්තියක් ලෙස යි සලකන්නේ. ජෛව වෛද්‍ය දැනුම සහ මනෝචිකිත්සක පුහුණුව මගින් මෙයට අනුග්‍රහය දැක්වෙනවා.”

යෝගා චිකිත්සාව, සාමාන්‍යයෙන් එකින් එක, සහභාගිවන්නාගේ අවශ්‍යතාවට අනුව සකස් කර ඇති අතර, “සමබර වීමේ කුසලතා” සහ හුස්ම ගැනීමේ භාවිතයන් කෙරෙහි අවධානය යොමු කරන බව බිල්ස්කි පැහැදිලි කරයි. “ශරීරයේ සංවේදනයන් ලුහුබැඳීමෙන්, අපට අවදානම් ඉඟිවලින් ආරක්ෂිත ඉඟි වෙන් කළ හැකි යි. හුස්ම ගැනීම තුළින් ගවේෂණය සහ ස්වයං නියාමනය සඳහා මෙවලමක් ලෙස අපි යෝගා ඉරියව් භාවිත කරනවා,” ඇය පවසයි.

යෝගා චිකිත්සාව, PTSD රෝගීන්ට ඔවුන්ගේ කම්පනය හා සම්බන්ධ ශාරීරික හා සංවේදක අත්දැකීම් ඉවසා සිටීමට උපකාරී වන බව ඇය පවසයි. විශේෂඥයින් විශ්වාස කරන්නේ, රෝග ලක්ෂණ කළමනාකරණය කිරීමේ මෙම හැකියාව මගින්, “කම්පනය යථාතත්ත්වයට පත් කිරීමේදී වැදගත් කාර්යභාරයක්” යෝගා ඉටු කරන බව ය. බොහෝ විට වෙනත් ප්‍රතිකාර සමග භාවිත කරන යෝග, අනුපූරක මැදිහත්වීම් කිහිපයකින් එකකි. එය කටු චිකිත්සාව, රූප චිකිත්සාව සහ මෝහන චිකිත්සාව වැනි දෙවන පෙළ විකල්ප ප්‍රතිකාරයකි.

මෙට්ස්ලර්-බැඩ්ලි පෙන්වා දෙන්නේ, බොහෝ පර්යේෂණ, යෝගවල ඇති ඉරියව් පැවැත්වීම, ඇදීම් සහ චලනය කිරීමට වඩා යෝගවල ඇති මනස සහ හුස්ම ගැනීමේ අංශ කෙරෙහි අවධානය යොමු කරන බව ය.

නමුත්, හුස්ම ගැනීම සමග ඉරියව් සමපාත කිරීම යෝගයේ මූලික අංගයක් බව ඇය තවදුරටත් පවසයි. “ඔබට ඇත්තට ම ඒ දෙක වෙන් කරන්න බැහැ,” ඇය කිය යි. “මොළයේ මෙම වෙනස්කම්වලට හේතුව කුමක් දැයි හරියට ම දැන ගැනීම දුෂ්කර ය. එය ඇදීමේ ව්‍යායාම ද? හුස්ම ගැනීම ද? ලිහිල් කිරීම? මේ සියල්ල කිරීම වැදගත් ද යන්න ගැන මට විශ්වාස නෑ.”

මෙය සම්පූර්ණයෙන් ම අවබෝධ කර ගැනීම සඳහා වැඩිදුර පර්යේෂණ අවශ්‍ය වේ. නමුත් දැනට, පාද දෙක ම බිම තබා, මගේ බැල්ම මගේ මැද ඇඟිල්ලට යොමු කරගෙන, මගේ දෑත් වීරභද්‍රාසන 2 – හෝ රණශූර 2 ආසනය අනුව දිගු කරගෙන සිටින මේ මොහොතේ මට සන්සුන්, ශක්තිමත් සහ සම්පූර්ණයෙන් ම පවතින බවක් දැනේ.

“යෝගාවලට මුළු මනස සහ ශරීර සංකීර්ණය වෙනස් කළ හැකි යි,” මේසන් පවසයි. “එය දිගු ගමනකි. නමුත් එහි එම බලය තිබෙනවා. මම හිතන්නේ ඒක නිසා වෙන්න ඇති අවුරුදු දහස් ගාණක් තිස්සෙ ඒක මිනිසුන් පුරුදු වෙලා තියෙන්නෙ.”

  • කැතරීන් ලැතම්
  • බීබීසී

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan