කරන්නාගොඩගේ පෙත්සම විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කරයි!

Date:

කොළඹ LNW:2008 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ විසින් ඉදිරිපත් කළ පෙත්සම විභාග කිරීම සඳහා නව පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කර තිබේ.

කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ තමන්ව විත්තිකරුවකු වශයෙන් නම් කර නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් හිටපු නාවික හමුදාපතිවරයා පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

උක්ත පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩුවේ විත්තිකරුවකු වශයෙන් තමන්ව නම් කිරීමට ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බවයි හිටපු නාවික හමුදාපතිවරයා ප්‍රකාශ කරන්නේ.

එහෙයින් නීතිපතිවරයාගේ එම තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඔහු අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියි.

එම පෙත්සම විභාග කරන පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු අමල් රණරාජා ඉකුත්දා එම නඩු විභාගයෙන් ඉවත්වන බව දැනුම් දී තිබුන අතර ඒ අනුව නව විනිසුරු මඩුල්ලක් නම් කිරීම සඳහා අදාළ පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න ප්‍රමුඛ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

ඒ අනුව අදාළ පෙත්සම විභාග කිරීම සඳහා මායාදුන්නේ කොරයා, පී කුමාරන් රත්නම්, ශෂී මහේන්ද්‍රන්, දමිත් තොටවත්ත සහ ප්‍රදීප් හෙට්ටිආරච්චි යන විනිසුරුවරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කර තිබේ.

එම නව විනිසුරු මඩුල්ල ඉදිරියේ අදාළ පෙත්සම පෙබරවාරි මස 07 වැනිදා කැඳවීමට නියමිතයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු පොහොට්ටු මන්ත්‍රී මනම්පේරිට රැඳවුම් නියෝග

සටහන - රුවන් නෙළුගොල්ල අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්න රසායන ද්‍රව්‍ය...

විදේශ ප්‍රේෂණ ලැබීමේ වර්ධනයක් – මුල් මාස අටට ඩොලර් බිලියන 5 ඉක්මවයි!

කොළඹ LNW: 2025 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර්...

රුසියාව, යුක්රේනයේ අමාත්‍ය මණ්ඩල ගොඩනැගිල්ලට පහර දේ

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 07: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව විසින්...