නිශ්මං රණසිංහ පෙබරවාරි 04 කොළඹ LNW:
ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්තය විස්සයි විස්ස තරගාවලිය 3-0 ක් ලෙ ජයග්‍රහණය කරනු ලැබුවා.මේ තරගාවලියේ තෙවන වරටත් කාසියේ වාසිය දසුන් ශානකට අහිමි වූ අතර පළමු තරග දෙකේදීම හඹා යාම තීරණය වුවත්,තෙවන තරගයේදී එංගලන්තය පළමුව පන්දුවට පහර දීමට තීරණය කරනු ලැබුවා.
තණතීරුව ගැනත්,තම කණ්ඩායම සතු දඟ පන්දු යවන්නන්ගේ දක්ෂතාවය පිළිබදව ඇගයීමත් තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා වූ සෑම් කරන් අදහස් දක්වද්දී පවසා සිටියා.ඔවුන් පළමුව පන්දුවට පහර දෙන තණතීරුව පන්දු යවන්නන්ට කෙතරම් උචිතද යන්න ඒ කතා බහේදී ඔහු පවසනවා.
“ලකුණු 135 ක් විතර දිනන්න ඇති වෙයි“
කරන්ගේ අදහස වන්නේ ඔවුන් මේ තණතීරුව ගැන තරගයට පෙර සිතූ අන්දමයි.ඊට සමීප වෙමින් එංගලන්තය පන්දු ඕවර් 20 නිමාවේදී ලබා සිටියේ ලකුණු 128 යි.ඒ වෙනුවෙන් කඩුලු 9 ක් පූජා කරන්නටත් එංගලන්තයට සිඳු වුණා.
කරන් පවසන එංගලන්තයේ දඟ පන්දු යැවීමේ දක්ෂයන් ගැන තමයි මේ තණතීරුව තුළ එංගලන්තය විශ්වාස තැබුවෙ.ලුක් වුඩ් (02),ජෙමී ඕවර්ටන් (01) සහ සෑම් කරන් (1) යන වේග පන්දු යවන්නන් තිදෙනාම යවනු ලැබුවේ පන්දු ඕවර් 04 ක් පමණයි.එම තණතීරුව කියවා ගැනීම සාර්ථක බවට ප්‍රතිපල තහුවරු කරමින් එංගලන්තය තමන් ලැබූ ලකුණු 128 ට ලකුණු 12 ක් මෙපිටින් (116) ශ්‍රී ලංකාවේ සියළුම ක්‍රිඩකයන්ව දවා ගනු ලබනවා.
ඒ දවා ගැනීම් අතර ජකොබ් බෙතල් ලකුණු 11 ට කඩුලු 4 ක් සහ විල් ජැක්ස් ලකුණු 14 ට කඩුලු 3 ක් දවා ගන්නට සමත් වුව ද,තරගයේ වීරයා වන්නේ ලකුණු හිඟ තණතිල්ලක අසීරුවෙන් ප්‍රවේගකාරී ලකුණු 58 ක් රැස් කළ සෑම් කරන වන අතර එය කරන්නට සමහර විට දසුන් ශානක තණතීරුව කියවා ගැනීමේ මදි පාඩුවත් බලපාන්නට ඇති.
මන්ද එංගලන්තය මදවේග පන්දු යැවීම පන්දු ඕවර් 4 ට සීමා කරද්දී ශ්‍රී ලංකාව සිය මද වේග පන්දු යවන්නන් දෙදෙනා වන දුශ්මන්ත චමීරත්,මතීශ පතිරණත් පන්දු ඕවර් 4 ම යැවීමට යොදා ගන්නවා.දසුන් ශානකත් පන්දු ඕවර් 3 ක් යැවූ පසු ශ්‍රී ලංකාව මේ තණිතීරුවේ දඟ කැවීමට වඩා වේගය ගැන විශ්වාස කර තිබෙන බවක් පැහැදිළි වෙනවා.එයට සාධාරණ හේතුවක් ලෙස දසුන් ට කියන්න ඇති හොඳම කතාව අනපේක්ෂිතව සහ විශිෂ්ට අයුරින් දුශ්මන්ත චමීර ලකුණු 24 ට කඩුලු 5 ක් දවා ගැනීම ලෙසත් ලකුණු 27 ට මතීශ පතිරණ කඩුලු 2 ක් දවා ගැනීමත් උදාහරණයට ගත හැකි වෙනවා.
දුශ්මන්තගේ විශිෂ්ට දක්ෂතාවයට එකඟ විය හැකියි.එහෙත් මේ තරගයේදී ශ්‍රී ලංකාව බොහෝ විට කරන ආරම්භක පන්දු යවන්නා ලෙස මහේෂ් තීක්ෂණව කැඳවීම නොකළ හේතුව සිතා ගත නොහැකියි.යම් තරමකට සාර්ථක වූ චරිත් අසලංක ගේ දඟ කැවීම සහ එම පන්දු යැවීමේ අත්දැකීම මේ තරගයට එකතු කර ගන්නට තිබුණ හොඳ ඉඩක්,චරිත් විසින් මීට පෙර තරගයේදී යම් ආකාරයක සාර්ථක ඉණිමක් දියත් කර පෙන්වා දී තිබියදීත් එය නොසළකා හැරීම ගැටළුවක් වෙනවා.එසේම මතීශගේ කඩුලු 2 ගැන කතා කරන්නේ මේ තරගයේදී ඔහුට ලැබුණු සහ ඒ ලැබුණු අවස්ථාවෙන් පෙන් වූ දස්කම් නිසයි.සමහර විට කමිඳු මෙන්ම අසලංක ද කණ්ඩායමට ගෙන මතීශ පිටත රඳවන්නටද මේ තරගයේ හැටියට ඉඩ තිබුණ බව පැහැදිළියි.මේ කණ්ඩායම පිටියට එවීම සඳහා තේරීමේදී වරදක් කර තිබෙන බව සනත් ජයසූරිය සහ දසුන් ශානක මත පැටවෙන බර විශාලයි.
එසේම දසුන් ශානක මත ඒ බර මෙන්ම මේ තරගයේදී මෙන්ම මීට පෙර තරගයේදී ද පන්දුවට පහර දුන් ආකාරයේ ගැටළුවක් දකින්නට ලැබුණා.ඔහු දඟ පන්දුව කියවා ගැනීමේදී විශාල පසුබෑමකට ලක්ව සිටින බව දකින්නට ලැබෙන අතර සරලවම පන්දුව ගමන් කරන පැත්ත පවා කියවා ගැනීමට අසමත් තත්ත්වයක් දකින්නට ලැබෙනවා.මෙවැනි තත්ත්වයකට ශ්‍රී ලංකාව විස්සයි විස්ස ලෝක කුසලානය දිනා ගත් අවස්ථාවේදි දිනේෂ් චන්දිමාල් ද මුහුණ දුන්න අතර මේ තත්ත්වය ලෝත කුසලානයට පෙරදීම අවශ්‍යයනම් තේරුම් ගෙන දසුන් ශානකට තීරණයක් ගත හැකියි.ඒ සඳහා මේ මොහොතේ හොඳින් පන්දුව දකිමින් සිටින කුසල් මෙණ්ඩිස් වැනි කෙනෙක්ව යොදවනවා මිස නායකයා නිසා කණ්ඩායමේ සිටිය යුතු ක්‍රීඩකයෙක් නායකයා ලෙස තීරණය නොකළ යුතුයි.
ලෝක කුසලාන තරගාවලියක නායකයෙකු වීම විශාල බලාපොරොත්තුවක් වුව ද,මේ මොහොතේ දසුන් සිටින තත්ත්වය තරගාවලියට ඔහු ක්‍රීඩකයෙකු ලෙසවත් විශාල සූදානමක් නොපෙන්වන තත්ත්වයක් බව ඔහුට නොතේරේනම්,තේරුම් කර දීම වගකිවයුත්තන්ගේ යුතුකමක්.
ශ්‍රී ලංකාවට තෙවන කඩුල්ල අහිමි වන්නේ ලකුණු 62 දී.නවවන ඕවරයේ අවසාන පන්දුවටයි.එතැන් සිට ඉලක්කය වූයේ ශ්‍රී ලංකාවට, පන්දු 66 ක්,ලකුණු 66 ක්.ඉතිරිව තිබුණු කඩුලු සංඛයාව 7 ක්.තණතීරුව භයානකනම් විශාල පහරවල්වලට වඩා එක ලකුණ සමඟ තරගයේ ඉදිරි ගමණ තීරණය කිරිමට බුද්ධිය තිබිය යුතු වුව ද,ක්‍රීඩකයන් තුළින් එවන් බුද්ධිමත්භාවයක් දකින්නට ලැබුණේ නැහැ.
එසේම වෙල්ලාලගේ දැවී යන විට පන්දු 17 ක් තුළ ලකුණු 17 ක් අවශ්‍යයව තිබුණා.කඩුලු 4 ක් ද ඉතිරිව තිබුණා.එවැනි මොහොතක සියයට 50 / 50 නොව සියයට 75 වැනි ප්‍රතිශතයක විශ්වාසයෙන්වත්, දිගු පහරවල් සඳහා නොයා යුතුයි.ඒ නිසා වෙල්ලාලගේ ගේ කඩුල්ලත් එක්ක තරගයේ ශ්‍රී ලංකාව පැත්තට හැරවෙමින් තිබුණ ජයග්‍රහණයට විලංගු දමා ගන්නට එංගලන්තයට හැකි වුණා. විශේෂයෙන් පන්දු 17 ලකුණු 17 ක් ව තිබුණ ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී ඉලක්කය ජේකොබ් බෙතෙල් යැවූ,වෙල්ලාලගේ දැවී ගිය එම ඕවරයේදී කඩුලු තුනක්ම දැවි ගොස් පන්දු 12 ක් තුළ ලකුණු 16 ත් වුණා.
එංගලන්තය මහා දැවන්ත ප්‍රහාරයක් එල් කරමින් ජයග්‍රහණය කරන ලද දෙවන විස්සයි විස්ස තරගයේදී අවසාන පන්දු ඕවර් 2 වන විට එංගලන්තයට ජයග්‍රහණය පැහැදිළිව හිමි වෙන බව පෙනෙන්නට තිබුණා.එහිදී එංගලන්තය මේ පේන්න තිබෙන දේ වෙනස් වේය යන සැකය නිසාත්,දැවි ගිය කඩුලු 4 ට වඩා තවත් කඩුලු දවා ගන්නට ඉඩ නොදිය යුතු නිසාත් ඉතාම පරිස්සමෙන් විසිවන ඕවරයේ සිව්වන පන්දුව තෙක්ම පන්දුවට පහර දුන්නා.මේ තරගයේදී අඩුම තරමේ එම පාඩම හෝ දැන උගෙන තම ජීවිතයට එකතු කර ගෙන සිටියානම් ශ්‍රී ලංකාවට මේ තරගයේදී පහසු ජයග්‍රහණයකට යන්නට තිබුණා.
කෙසේ වුවත් දැනට තිබෙන තත්ත්වය සමඟ දසුන් ශානකට,ශ්‍රී ලංකාව විස්සයි විස්ස ලෝක කුසලානය දිනා ගත් තරගාවල්යේදී දිනේශ් චන්දිමාල් ගත්ත තිරණය ගන්න අවශ්‍යයනම් චන්දිමාල් තරම්වත් කාලයක් නොසිට ගත හැකිව තිබෙනවා.
පහතින් ලකුණු විස්තරයට පිවිසෙන්න.
https://bit.ly/466YoN1


