සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි 05,(LNW)කොළඹ :
මේ වන විට ශ්‍රී ලංකාවේ රගර් ක්‍රීඩාව ඇත්තේ කොතැනද? අපට මතුපිටින් බලන විට විශාල ප්‍රචාරයක් සමඟ ඒ ශ්‍රේණියේ රගර් ක්‍රීඩා සමාජ ටික පෙනෙනු ඇත.කොළම ප්‍රධාන පෙළේ පාසල් පාසල් රග්බි පිටියේ පාන දස්කම් දකිනු ඇත.ඒ පිංතූරය විශාල වුව ද,එය හැඩ දමන්නට ලංකාවේ පවතින රගර් ව්‍යවස්ථාවේ දායකත්වය කවරේද යන්න ක්‍රීඩා අමාත්‍යංශයද නොසළකා හරමින් කටයුතු කරන බවක් පෙනෙන්නට ඇත.ඇත්තටම ඇමතිවරුන් තුන් දෙනෙක් යටතේ මේ දක්වාම ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස වැඩ කරන ශෙමාල් ප්‍රනාන්දු වර්ථමානයේ මේ පිංතූරයට ක්‍රීඩා අමාත්‍යවරයා,නියෝජ්‍ය අමාත්‍යවරයා මෙන්ම අමාත්‍යංශ ලේකම්වරයා ද පිටුපස හරවා හිඳුවාගෙන,වෙනත් සිත්තමක් ප්‍රදර්ශනය කරමින් සිටින බව පෙනේ.
මෙහිදී රටේ සමස්ත රගර් ක්‍රීඩාව වෙනුවෙන් වැරදි සිත්තමක් නරඹමින්,විඳිමින් සිටින අමාත්‍යවරයා ඇතුළු බලධාරීන් නිවැරදි සිත්තම දෙසට හැරවීමේ මාධ්‍ය යුතුකම අපි දිගින් දිගටම කරමින් සිටින්නෙමු.මේ එහි තවත් පියවරකදී ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ආසියානු උවමනාව මත වෙනස් කරන්නට හඳන ව්‍යවස්ථාව ඇතුළත ඒ ක්‍රීඩා සමාජවලට සිඳුවෙන බව කියන අසාධාරණයේ බොරුව ගැන තොරතුරුය.එමෙන්ම පළාත් සංගම් නිසා රටේ රගර් ව්‍යාප්තිය සිඳුවන අයුරු සහ ඒවා ජාතික තලයට කරන සාධනීය බලපෑම පෙන්වා දීම වෙනුවෙන් කරන සරල කරුණු පැහැදිළි කිරීමක්ය.
මෙම පවතින ව්‍යවස්ථාව මූලිකව සැකසෙන්නේ ජාත්‍යන්තර සම්මේලනය දැනුවත්වය.එය සැකසීම සඳහා දායකත්වය සපයන්නේ නවසීලන්ත ජාතික ජෙෆ් මැතේෂන් ය.ඔහු ඒ ක්‍රීඩා සමාජ මත වගකීම පැට වී තිබුණු ව්‍යවස්ථාව වෙනස් කිරීමේදී ශ්‍රී ලංකාවේ වසර සියයකට වඩා පැරණි රග්බි ඉතිහාසයේ ස්වර්ණමය මතක සටහන් ද ආදර්ශයට ගන්නට ඇත.ඒ ලිඳුල,ඌව සහ අවිස්සාවේල්ල තල්දූව වැනි ක්‍රීඩා සමාජ ඉතිහාසයේ දක්වා තිබෙන විශිෂ්ඨ ක්‍රීඩා දක්ෂතා ඒ වන විට කොළඹ සහ මහනුවර ක්‍රීඩා සමාජයක් මත පමණක් පදනම්ව හැකිලී තිබෙන අයුරුය.
එම නිසා යැයි සිතිය හැකි ලෙස රටේ රගර් ව්‍යාප්තියට පාර කැපුණු පළාත් සංගම් වෙත බලය පැවරුණු නව ව්‍යවස්ථාවෙන් ශ්‍රී ලංකාවේ ඒ ක්‍රීඩා සමාජ ද පළාත් සංගම්වලට අනුයුක්ත කෙරුණු අතර ඔවුන්ට ඉන් අසාධාරණයක් සිඳු නොවුණු බවට හොඳම සාක්ෂිය එක්වරක් හැරුණු කොට දැනට පවතින ව්‍යවස්ථාවෙන් ද ඒ ශ්‍රේණියේ ක්‍රීඩා සමාජවලින්ම සභාපතිවරු පත්වීමය.එසේම මෙම නිලවරණයේදී ද පළාත් සංගම්වලින් තේරීපත්ව පැමිණි පිරිස් අපේක්ෂක ලේඛණයේ සිටින්නේය.මේ කාරණා සොයා බැලීමට අවශ්‍යය සියලු තොරතුරු මේ වන විට ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සතුය.ඒවා තිබෙන්නේ ක්‍රීඩා අමාත්‍යංශයේ දේශපාලන බලධාරීන්ට සහ අනෙකුත් නිලධාරීන්ට නොපෙන්වන සිතුවමේය.
එසේනම් ව්‍යවස්ථාව වෙනස් කරන්න උත්සාහ දරන්නේ ඇයි?
පළමු දේ ඒ ක්‍රීඩා සමාජවලින් පැමිණ ශ්‍රී ලංකාවේ රගර් ක්‍රීඩාව අපකීර්තියට පත් කළ,පරිපාලන ගිණුම ණයෙන් පිර වූ පුද්ගලයින්ට ඉඩ නැතිවීමය.මුළු ඒ ක්‍රීඩා සමාජ සියල්ලම මෙවැනි පුද්ගලයින්ව බලයට ගෙන ඒම සඳහා පවතින බල ව්‍යහුය වෙනස් කරන්න පෙනී සිටින්නේනම් ඒ ගැන ඔවුන් ලැජ්ජාවට පත් විය යුතුය.එහෙත් සියල්ලන් එසේ නොවන බවට ඇති සාධකයක් ලෙස මෙම නිලවරණයේදී ද එම ක්‍රීඩා සමාජවල අය අපේක්ෂකයින් ලෙස ඉදිරිපත්වීමෙන් පැහැදිළිය.
මේ පිරිස් ශ්‍රී ලංකා රජයෙන් දැඩි නීති උල්ලංඝණය කර තිබියදීත් දඬුවම් නොකිරීම නිසා,ආසියානු මට්ටමෙන් යම් යම් වගකීම් දරන්නට පත් වී ඇති අතර ආසියානු බලපෑම එල්ල වෙන්නේ ඒ හරහා ය.මේ කාලය තුළ ඔවුන් ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව අවුල් කිරීම සඳහා අත්තනෝමතික ලෙස සහ ඒක පාර්ශවිකව බලය යොදා ගනිමින් වැඩ කරන ආසියානු සභාපතිවරයාගේ ඔඩොක්කුවේ වැටී සිටින්නේය.
ශ්‍රී ලංකාවේ රගර් පරිපාලනවයට උඩින් උපදේශක මඩුල්ලක් නම් කර ඊට නම ඇතුළත් කර ගැනීමට නාමල් රාජපක්ෂ ක්‍රීඩා ඇමති සහ ආසියානු සභාපතිගේ උවමනාව මත වැඩ සිද්ධ විය.එසේම දේශිය රග්බි පිටියේ අනුග්‍රාහක ආයතනය ක්‍රීඩා ඇමති සහ ආසියානු සභාපතිගේ හිතවතුන් මඟින් ආසියානු අනුග්‍රහයකට රැඟෙන යන්නේය.අඛණ්ඩව ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව ගලා නොයාම නිසා මේ වන විට ආසියානු රග්බි සභාපතිගේ ජන්ම භූමිය ශ්‍රී ලංකාවට වඩා පියවර ගණනක් ඉදිරියට පැමිණ තිබෙන බව ද,පෙනෙන්නට ඇත්තේ ඇමතිවරුන්ට සහ නිලධාරීන්ට නොපෙන්වන සිත්තමේය.
ශ්‍රී ලංකාවට විරුද්ධව රග්බි භාෂාවෙන් පැවසුවහොත් ආසියානු සභාපතිවරයා තබන සියලු ට්‍රයි දිණුම් සඳහා පන්දුව ලබා දෙන්නේ ශ්‍රී ලාංකිකයෝම වීම කණගාටුදායකය.ඛේදණියය.
පළාත් සංගම්වල රගර්
පළාත් සංගම්වලට සියලු රගර් ක්‍රීඩා කරන ක්‍රීඩා සමාජ අයත්ය.පසුගිය කාලයේ ඔවුන් දැඩි අර්බූදයකට මුහුණ දී සිටියි.ඊට ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ විදෙස් ක්‍රීඩකයින් වැරදි ආකාරයෙන් ශ්‍රී ලංකාවට ක්‍රීඩා කරවීම ඔප්පු වීම නිසා පවුම් 50000 ක දඩයක් ගෙවන්නට සිඳු වූ විට,එම දඩය පවුම් 5000 ගණනේ ශ්‍රී ලංකාවට ලැබෙන සංවර්ධන මුදලින් කපා ගන්නට එවකට සිටි වරද කළ නිලධාරීන් විිසන් දැන්වීමය.ඒ නිසා ඉතා අපහසුවෙන් සහ කැපවිමෙන් වර්ථමානයේ රටේ රගර් ක්‍රීඩාව සංවර්ධනය සදහා ප්‍රාදේශිය වැඩ සටහන් දුප්පත් විදිහට හෝ කරගෙන යාමට පළාත් සංගම් කටයුතු කරමින් ඇත.ඒ නිසා කුඩා පාසල්වල කුඩා වයස් කාණ්ඩවල රගර් ක්‍රීඩා කරන දක්ෂයක් රටට හඳුනා ගන්නට ලැබෙන අතර ඒ සමහර පිරිසක් අද කොළඹ පාසල්වලට නැතුවම බැරි දක්ෂයෝය.ඒ දක්ෂතා හරහා සකස්වන අධ්‍යාපනික අවශ්‍ය්‍යතා වෙනුවෙන් ඔවුන්ට කොළඹ පාසල්වලින් කැඳවීම් ලැබීම නිසාය.ඒ සමහර පාසල් ඉතා වගකීමෙන් තමන් දරුවන් රැඟෙන ආ පාසල්වල රග්බි මිය නොයන්නට පහසුකම් සම්පාදනය කරන්නට උනන්දුවන අවස්ථා ද ඇත.එහෙත් සෑම විටම එසේ නොවන තැන් හී වැඩි වැඩ කොටසක් කරන්නට සිඳුවන්නේ එම පාසල්වලට වන අතර එවැනි තැන්වල දිරිමත් කිරීමේ උපකාර යම් මට්ටමකින් හෝ සපයන්නට ඉදිරිපත් වන්නේ පළාත් සංගම්ය.
මේ වන විට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන තවමත් 16 හැවිරිදි ශෂිනි ගිම්හානි රත්ගම දේවපතිරාජයේය.පළාත් සංගමයක් ගාලු දිස්ත්‍රික්කයේ සංවිධානය කරන්නට යෙදුණ රග්බි තරගාවලියකදී දුටු ඇයගේ සොහොයුරා දැනට අගනුවර ඩීඑස් සේනානායක විද්‍යාලයෙන් අවස්ථාව ලැබ එම පාසලට රගර් ක්‍රීඩා කරන්නේය.ඒ එක පැහැදිළි උදාහරණයක් පමණි.
එසේම කාන්තා රගර් ක්‍රීඩාව බොහෝ විට තවමත් පාසල් මට්ටමට හෝ ව්‍යාප්තව නැති තරම්ය.මේ ක්‍රීඩා කරන බොහෝ ක්‍රීඩිකාවන් පළාත් සංගම්වලින් පවත්වන වැඩ සටහන්වලදී හඳුනාගන්නට ලැබෙන එම දිරියෙන් වගකීමෙන් රටේ කාන්තා රගර් සමඟ සම්බන්ධ වන්නෝය.මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් වූ කතා බස් නිසා සමහර ක්‍රීඩා සමාජ සිය ඒ පිරිමි කණ්ඩායමට අමතරව මේ තරගාවලියට කාන්තා කණ්ඩායම් අටවාගෙන ඇති බවක් පෙනෙන්නේය.
රටේ ප්‍රධාන නගර කේන්ද්‍ර කරගෙන ඉතා වටිනා බිම් යොදාගෙන,අවන්හල් පවත්වා ගනිමින් උපයන ආදායමෙන් මේ ක්‍රීඩා සමාජ තමන්ගේ ක්‍රීඩා සමාජවලට පමණක් නොවන රටේ රගර් සඳහා කොපමණ මුදලක් වැය කරනවාද යන්න ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට අදාළ නැත.එවැනි කාරණා අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන්ට නොපෙන්වන සිතුවමේ තබා පැහැදිළි වගකිම් සහගත බවක් පෙන්නමින් රංගනයක යෙදෙමින් ඇත.මේ හිස්තුන පුරවන්නේ පළාත් සංගම්ය.එම සංගම් අක්‍රීය කර දැමීමෙන් රටේ ප්‍රධාන ජාතික රගර් තරගවලට මෙන්ම පාසල් තරගවලට ද ප්‍රාදේශීය වශයෙන් සිඳුවන දායකත්වය හීන වී බිංදුවටම වැටෙන්නට හැකිය.
දැන් ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අතටම ලැබෙන ජාත්‍යන්තර දඩ කොළයේ ඉහත කතාව සඟ වී ඇත.රටේ රගර් සංවර්ධනයට එන මුදල දඩ මුදල ලෙස යොදා ගැනීමට යෝජනා කිරීමෙන්ම පැහැදිළි වන්නේ ඒ ක්‍රීඩා සමාජවලින් පැමිණි අයට සංවර්ධන වගකීමට උර දෙන පළාත් සංගම් හෝ ඒ පළාත් මට්ටමේ රගර් ක්‍රීඩාවේ පිබිදිම අදාළ නැති බවය.ධනවතුන්,බලවතුන් එකතුවන සිය සමාජ ශාලාවේ ආතල් රාත්‍රීන් ගත කරමින් විනෝදකාමී රගර් ක්‍රීඩාවක් භුක්ති විද නිවසට ගොස් හෝ නොගොස් කකුල් පටලවාගෙන නිදා ගැනීම හැරෙන්න වෙන යමක් ඔවුන් සිතන බවක් තිබේනම් ඔවුන් සංවර්ධනය ලැබෙන මුදලින් තමන් රටට කළ වරදේ දඩය ගෙවන්න කටයුතු නොකරනු ඇත.
ආණ්ඩුව ඇන්දීමේ සහ ආසියාව පිනවීමේ ව්‍යාපෘතියේ හැඩය
සමාජවාදය ගැන අදහසක් ඇති ආණ්ඩුවක් ඇති රටක,ඉතා දුෂ්කර තැනකින් ක්‍රීඩාව තෝරා ගෙන පැමිණ ලෝකයටම ශ්‍රී ලංකාවේ දක්ෂතා පෙන් වූ විදුලිපුර සුගත් නියෝජ්‍ය ඇමතිව සිටින මොහොතක,ගාල්ල ඔල්කට් විද්‍යාලයෙන් අකුර දැන පෙරට පැමිණි ඇමතිවරයෙකු ද සිටින මොහොතක ඔවුන් දෙදෙනාගේ අතට මිටිය සහ ඇණ දී ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලංකාවේ රගර් ක්‍රීඩාවේ ගමේ රගර්වල මිනී පෙට්ටිය සකස් කර ඇණ ගැසීමට සළස්වා ඇත.මෙය වසර දහස් ගණනකින් ශ්‍රී ලංකාවේ රගර් පස්සට ඇද දැමීමක් වනු ඇත.ඒ සඳහා වරප්‍රසාදලත් පංතිය වරප්‍රසාද නොලත් පංතියෙන් පැමිණ දැණුමෙන් සහ හැකියාවෙන් ඉහළට පැමිණි පුද්ගලයන් දෙදෙනෙක්වම උපක්‍රමිකව තොරා ගෙන ඇත. ඒ වෙනුවෙන් ඉතිම නමණීය සහ සුවච කීකරු හැසිරිම් රටාවකින් කණටත් නෑසෙන්නට කතා කර සිය උපක්‍රම ක්‍රියාත්මක කරන අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ආසියානු සභාපතිගේ සහ ඒ පිටුපස සිටින කල්ලියේ උවමනාවන්ට අධිකරණයේ වූ එකඟතා පවා හෑල්ලුවට ලක් කරමින් කටයුතු කරමින් ඇත.
තමන් අධිකරණයේ වූ එකඟතා මත පත්කළ නිලවරණ කමිටුවට අතුරු තහනම් නියෝගයක් ලබා ගත් පසු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අභියාචනා අධිකරණයේ තීන්දුව මෝසමක් මඟින් එම අධිකරණයට දැණුම් දිය යුතුය.හිටපු විනිසුරුවන්,රාජ්‍ය නිලධාරීන් පත් කළේ ඔහුය.තමන් පත් කළ නිලධාරීන් අපහසුවට පත් වන අන්දමේ තීරණයක් ආ විට නෛතික තත්ත්වය කෙසේ වුව ද,අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඔවුන්ගෙන් කරුණු විමසා ඔවුන් වෙනුවෙන් අධිකරණයට කරුණු දැක්විය යුතු නොවේද?එහෙත් ආසියානු සභාපතිගේ ලිපිය සහ තමන් පත් කළ නිලධාරීන්ට ඉදිරිපත් වූ කරුණු ඔසවාගෙන අනියමින් තමනිම ව්‍යවස්තාව වෙනස් කිරීම වෙනුවෙන් පෙනී සිටින බව හඟවමින් ඔහු ජාත්‍යන්තරයට ලිපියක් ලියන්නේය.ක්‍රීඩා ලේකම්වරයා හරහා වැරදි කර ඇති,රටෙන් දඩුවම් නොදීම නිසා ආසියානු තනතුරුවල සිටින පිරිසටම බලයට පත් කිරීමට අදහස් කරන බව දන්වා ලිපියක් ලියන්නේය.
නිකමටවත් හිටපු හමුදාවේ ඉහළ නිලධාරියෙක් හැටියට රටට අපකීර්තිය ගෙන එන අන්දමේ තිරණයක් ගත් අය සම්බන්ධයෙන් සාක්ෂි සාධක සහිත තොරතුරු ද තිබියදී අපිට “මේ අයට රටේ ක්‍රීඩා නීතිය යටතේ නීතිපතිගෙනුත් උපදෙස් අරගෙන දඩුවමක් දෙන්න පුළුවන්.ඊට පස්සෙ ඒ අයට ආසියානු තනතුරුවල ඉන්නත් බැහැ.අපි ඔලිම්පික් ලේකම්ට කරා වගෙ තමයි.ඊට පස්සෙ නිලවරණය තියලා මේ ප්‍රශ්නය රගර් පරිපාලනයට පත්වන අයට විසඳගන්න දෙන එකයි හොඳ සර්“ යැයි කියන්නට ශෙමාල් ප්‍රනාන්දුගේ දිව නැමෙන බවක් පෙනෙන්නම නැත.ඔහුට අවශ්‍යය පත්වන රගර් පරිපාලනය ජාත්‍යන්තරය සමඟ කතා කර චෝදනාලාභීන්ට රගර් පරිපාලනයට එන්න තියෙන ඉඩ වැසිම වළක්වන්නය.ඔහු උත්සාහ කරන්නේ පාවඩය එලා දී අයින් වෙන්නටය.
“ඒ ඔක්කොම යාළුවො මල්ලි“ මේ නාඩගම බලා සිටින අපට සිතෙන්නේ එපමණය.ගාල්ලේ සාමාන්‍ය පාසලකින් පැමිණි සුනිල් කුමාර ගමගේ සහ විදුලිපුරෙන් පැමිණි සුගත් ද ඒ යාළුවන්ගේ ගොන්නේමද යන්න සිතා ගන්නට නොහැකිව අපි බලා ඉන්නෙමු.