ඉසුරු පරාක්‍රම
පෙබරවාරි 05, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පිළිබඳ විශ්වාසනීයත්වය සිව්වන මාසයටත් ඉහළගොස් ඇති බව වාර්තා වේ.
මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික සඟරාවක්වන LMD සඟරාවේ පෙබරවාරි කලාපයේ LMD-PEPPERCUBE වාර්තාව අනුව, ව්‍යාපාර විශ්වාසනීයත්ව දර්ශකයේ (BCI) කැපී පෙනෙන ඉහළ යාමක් පෙන්නුම් කරන අතර, මෙලෙස ඉහළ යාමක් නිරීක්ෂණයකළ හැකිවන්නේ අඛණ්ඩව සිව්වන මාසයට බවයි වාර්තා වෙන්නේ.
ඒ අනුව, ජනවාරි මාසය තුළ පමණක් BCI දර්ශකයේ පදනම් ලකුණු (basis points) 24 ක ඉහළ යාමක් නිරීක්ෂණයකළ හැකි අතර, මෙය එම දර්ශකයේ එදා මෙදා තුර පැවති ඉහළම මධ්‍යයන අගය වන 123 අභිබවා ලකුණු 75 ක වර්ධනයක් පෙන්නුම් කරයි.
එමෙන්ම, එය BCI දර්ශකයේ මාස 12 ක සාමාන්‍ය අගය වන 119 ට වඩා ලකුණු 79 ක ඉහළ යාමක් බව ද නිරීක්ෂණයකළ හැකි ය.
සන්සන්දනාත්මකව බැලූ කළ, ඉකුත් 2024 වර්ෂයේ ජනවාරි මාසයේ BCI දර්ශකයේ වාර්තා වූ පදනම් ලකුණු ගණන 82 කි. ඒ අනුව, මෙම වර්ෂයේ එම කාලසීමාව තුළ ලකුණුවල දැවැන්ත ඉහළ යාමක් පෙන්නුම් කරයි.
මෙය 2015 වර්ෂයේ වාර්තා වූ අගයෙන් පසුව වාර්තාවන ඉහළම අගය වන අතර, මෙමඟින් රටේ ආර්ථික පුනර්ජීවනයේ සුබවාදී ලක්ෂණ පෙන්නුම් කරන බවයි විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.
2015 වර්ෂයේ සැප්තැම්බර් මස BCI දර්ශකයේ මෙතෙක් වාර්තා වූ ඉහළම අගයවන 204 සනිටුහන් වූ අතර, ඉකුත් ජනවාරි මස ඉහළගිය ලකුණු හමුවේ එම අගය එකී සංඛ්‍යාව කරා නැවත ළඟාවෙමින් පවතින බව නිරීක්ෂණයකළ හැකි ය.
2015 වර්ෂයේ එවන් ඉහළ ලකුණු ප්‍රමාණයක් වාර්තා වූයේ එම වර්ෂයේ පැවති මහ මැතිවරණය අවසාන වීමත් සමඟ ය.
ව්‍යාපාර විශ්වාසනීයත්වයේ මෙම වර්ධනයට හේතුන් ලෙස LMD වාර්තාව පෙන්වා දෙන්නේ, දිවයිනේ විදේශ විනිමය සංචිතවල වර්ධනයක් ඇතිවීම, රුපියල ස්ථාවර මට්ටමක පැවතීම, සහ අපනයනවල වර්ධනයයි.
මෙම සුබවාදී ආර්ථික ලක්ෂණ වෙළඳපොල විශ්වාසනීයත්වය දිනා ගැනීමට සමත්ව ඇති බවට එම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.
කෙසේවෙතත්, මෙම මාසයේ අවාසනය වන විට ඉදිරිපත් කිරීමට නියමිත 2025 අයවැය සමඟ මෙම දර්ශකයේ ගමන් මාවත වෙනස් වීමට ඉඩ පවතින බවට ද එම වාර්තාව අනතුරු අඟවා සිටියි.
අයවැය ව්‍යාපාර කෙරෙහි බලපාන ආකාරය අනුව BCI දර්ශකය එහි ඉහළ යාමේ ගම්‍යතාවය දිගටම පවත්වාගෙන යනවා ද, නැතහොත් ස්ථාවර වනවා ද යන වග තීරණයවනු ඇති බව LMD සඟරාවේ මාධ්‍යප්‍රකාශකවරයෙක් පැවසුවේය.
අයවැය ප්‍රකාශයට පත්වීමට පෙරාතුවම BCI දර්ශකයේ පෙර පැවති වාර්තාගත අගය අභිබවා නව අගයක් වාර්තාවනු ඇති බවට ඇතැම් විශ්ලේෂකයන් විශ්වාසය පළකරන අතර, මෙය සමාගම් විසින් ව්‍යාපෘති යෝජනා භාරගනු ලබන ආකාරය සහ රජය සිය මැතිවරණ පොරොන්දු ඉටු කරන්නේ ද යන වග මත රඳා පවතින බවට ඇතැම්හු තර්ක කරති.
ආර්ථිකය කෙරෙහි පවතින විශ්වාසනීයත්වය කෙරේ බලපාන තවත් වැදගත් ම සාධකයක් වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පැනවූ කොන්දේසි ප්‍රකාරව ශ්‍රී ලංකාව කටයුතු කරන්නේ ද යන්නයි.
මෙම ප්‍රවේශයේ තිරසාරභාවය පිළිබඳ ගැටළු පවතින අතර, එය ව්‍යාපාර කෙරේ දිගුගාලීන වශයෙන් බලපාන්නේ කෙසේද යන්න පිළිබඳව අවිනිශ්චිතතාවයක් පවතියි.
මේ අතර, ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය රටේ ආර්ථික පුනර්ජීවනයට කුමන ආකාරයේ බලපෑමක් එල්ල කරනු ඇති ද යන්න පිළිබඳ මතවාද පවතී. ඒ අනුව, එළඹෙන මාස කිහිපය තුළ ජනතාව අතර අවිනිශ්චිතතාවය හා අනුමාන කිරීම් හටගනු ඇති බව පෙන්වා දෙන LMD වාර්තාව එය එසේ වූවත් BCI දර්ශකය ස්ථාවර වීමට පෙර වාර්තාගත ඉහළ යාමක් පෙන්නුම් කිරීමට ඉඩකඩ ඇති බව පුරෝකථනය කරයි.
ලංකා වාණිජ මණ්ඩලය (CCC) විසින් ඉකුත් දින සංවිධානය කරන ලද ශ්‍රී ලංකා ආර්ථික සමුළුවේදී, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, මහා පරිමාණ පෞද්ගලීකරණ කටයුතු සහ රාජ්‍ය අංශයේ කප්පාදු කිරීම් සඳහා තම රජයේ සැලසුම් ගෙනහැර දැක්වූවේය.
වැඩි විදේශ ආයෝජන ප්‍රමාණයක් ගෙන්වා ගැනීමට සහ ආර්ථික පරිවර්තන පනත (ETA) වැඩිදියුණු කිරීම සඳහා තම රජය කැපවී සිටින බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.
ආර්ථික පරිවර්තන පනත හඳුන්වා දෙනු ලැබුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධිවිධාන ප්‍රකාරව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ රජය සමයේ ය.
මෙම වැඩපිළිවෙල වඩාත් කාර්යක්ෂම ව ක්‍රියාත්මක කිරීම සඳහා වත්මන් රජය විසින් යම් යම් සංශෝධන ඉදිරිපත් කරනු ඇති අතර, රජයේ පොදු ආර්ථික උපායමාර්ගය වඩාත් මධ්‍යගත වන්නේ රජය සතු ව්‍යාපාර ප්‍රතිව්‍යූහගතකරණය කිරීම කරේ ය.
විදේශ ආයෝජන සඳහා පවතින බාධකයන් ඉවත් කිරීමට නුදුරේදී ම කටයුතුකරන බවත්, ඒ සඳහා අවශ්‍ය සම්මත කරවා ගැනීම් කඩිනම් කර වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන තුරු බලා සිටීමට සිදුවන කාලසීමාව මාස 06 දක්වා අවම කිරීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා පවසා සිටියේය.
කොටස් වෙළඳපොලේ කොටස් ලැයිස්තුගත කිරීමේ අරමුණින්, රජය සතු ව්‍යාපාර බොහොමයක් තනි සමාගමක් යටතේ පවත්වා ගැනීම පිළිබඳව ද රජය සලකා බලමින් සිටින බව වාර්තා වේ.
කෙසේවෙතත්, පෞද්ගලීකරණය සම්බන්ධයෙන් වැඩකරන ජනතාව අතර පවතින්නේ දැඩි විරෝධයක්වන අතර, මෙය පසුගිය කාලවකවානුව පුරාම රට පුරා විවිධ විරෝධතා සහ වැඩවර්ජන දියත් කිරීම සඳහා හේතු විය.
විරෝධය නොතකා සිය ආර්ථික ප්‍රතිව්‍යූහගතකරණ සැලසුම් දිගටම ක්‍රියාත්මක කිරීමට රජය අපේක්ෂා කරන අතර, කාර්යසාධනය අතින් දුර්වලතා පවතින රජය සතු ව්‍යාපාර රජය වෙත අනවශ්‍ය මූල්‍යමය බරක් පටවා ඇති බව පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාව මෙම ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන අතරවාරයේ, ඒ සඳහා ගොඩනැඟුණු ප්‍රතිපත්තීන් ක්‍රියාවට නංවන්නේ කෙසේ ද යන්න පිළිබඳව ව්‍යාපාරික ප්‍රජාව විමසිල්ලෙන් බලා සිටියි. ආයොජකයන්ගේ විශ්වාසනීයත්වය ගොඩනැඟීමෙහි ලා ඉදිරි මාස කිහිපය තීරණාත්මකවනු ඇති අතර, ව්‍යාපාර විශ්වාසනීයත්ව දර්ශකය දිගින් දිගටම ඉහළ යනවා ද, නැතහොත් රටේ ආර්ථික තත්ත්වයට ප්‍රතිචාර වශයෙන් ස්ථාවර වනවා ද යන්න ඉදිරියේ දී දැකගත හැකිවනු ඇත.