ලිපියෙහි අරමුණ
මෙම ලිපියෙහි අරමුණ වනුයේ,
- ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක් 2021/22 සිට මුහුණ දෙන විදේශ මුදල් අර්බුදය අහඹු සිද්ධියක් නොවන බවත්,
- එහි මූලය සහ අවදානම් 1997/98 ආසියානු මූල්‍ය අර්බුදය තුළින් හොඳින් දැන සිටිය බවත්,
- එහෙත්, ඉන් උගත් පාඩම් අනුව මෙම රටවල් විදේශ මුදල් කළමනාකරණය නොකිරීමේ වරදින් අර්බුදය පතිත වූ බවත්,
- දැනට අනුගමනය කෙරෙන විසඳුම් ප්‍රතිපත්ති යනු එම වරදම නැවත සිදු කිරීම බවත්,
- එබැවින්, අර්බුදයේම කිමිදෙනවා මිස, තිරසාර ආර්ථික සංවර්ධන මාවතකට පිවිසීමට අවස්ථාවක් මෙම රටවලට නොමැති බවත්, ඉදිරිපත් කිරීම යි.
තව ද, ආසියානු මූල්‍ය අර්බුදයට පෙර සහ පසුව ද, ලතින් ඇමෙරිකාව ඇතුළු බොහෝ රටවල් මෙම “හොට් කැපිටල්” හෙවත් උණුසුම් ප්‍රාග්ධන සංචරණය හේතුවෙන් අර්බුදයන්ට සහ කම්පනයන්ට මුහුණ දීමේ සිද්ධීන් රාශියක් වාර්තා වී තිබිණ.
සංවර්ධිත රටවල වාර්තා වී ඇති මූල්‍ය අර්බුදයන්හි ස්වරූපය මීට හාත්පසින්ම වෙනස් ය. එම අර්බුදයන් හුදෙක් දේශීය බැංකු සහ මූල්‍ය පද්ධතියෙහි කලක් තිස්සේ පවතින අවදානම්කාරී සහ වංචාකාරී මුදල් වෙළෙඳාම සහ වත්කම් මිල බුබුළු හේතු කොට, මහජන විශ්වාසය බිඳී යාමෙන් හට ගන්නා දේශීය මුදල් අර්බුදයන් ය. එම රටවල ආර්ථිකයන් තම දේශීය මුදල් මත ක්‍රියාත්මක වන බැවින් විදේශ මුදල් අර්බුදයන් හට නොගනී. ඊට හොඳම උදාහරණය 2007/09 ගෝලීය මූල්‍ය අර්බුදය යි.
ලිපියෙහි පසුබිම
ගෝලීය කොරෝනා වසංගතය සමඟ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට 2021/22 දී පතිත වූ විදේශ මුදල් අර්බුදය නව සිද්ධියක් නොවේ. කොරෝනා වසංගතය නව සිද්ධියක් වුව ද, විදේශ මුදල් අර්බුද සිද්ධිය හොඳින් දැනුවත් එකකි. එය හොඳින්ම ඉගෙන ගත්තේ, 1997/98 ආසියානු මුදල් අර්බුදයෙනි.
- එනම්, රටවල ආර්ථික සංවර්ධනය උණුසුම් හෙවත් කෙටි කාලීන විදේශ ප්‍රාග්ධනය මත අධිකව රැඳීමේ අනතුර විදේශ මුදල් අර්බුදය බව යි. මෙහි විදේශ ප්‍රාග්ධනය යනු ජාත්‍යන්තර ආයෝජකයන් විසින් කොටස් සහ ණය වෙළෙඳපොළට සපයන ඩොලර් මුදල් ය.
- එබැවින්, පසුගිය දශක කිහිපය පුරා ආර්ථික විද්‍යාව 101 හි මෙන්ම සියළු ජාත්‍යන්තර ආර්ථික සහ මූල්‍ය පුහුණු වැඩසටහන්වල පවා කෙරෙන නිර්දේශය වූයේ, උණුසුම් විදේශ ප්‍රාග්ධනය ප්‍රවේශමෙන් සීමාකාරීව භාවිතා කරන ලෙස යි. එම නිර්දේශයේ පදනම වූයේ, මෙම ප්‍රාග්ධනය රැල්ලට පැමිණ, ක්ෂණිකව රැල්ලෙන්ම ආපසු යාමේ අවදානම යි. එනම්, ආර්ථිකය අධික ලෙස මෙම ප්‍රාග්ධනය මත රැඳෙන අවස්ථාවල, ප්‍රාග්ධනය එසේ හදිසියේ ආපසු යාමේ දී, ක්ෂණික මුදල් හිඟයකට මුහුණ දීමෙන්, ආර්ථිකය සහ ජන ජීවිතය කඩා වැටීමේ අවදානම යි.
- මෙම උණුසුම් ප්‍රාග්ධන ගනුදෙනු සමපේක්ෂණ මුදල් වෙළෙඳාම ලෙස දැක්වෙයි. ඊට හේතුව, මෙම ආයෝජකයන් විසින් ක්ෂණික ලාභ අපේක්ෂාවෙන් තම විදේශ ප්‍රාග්ධනය රටවල් අතර සංචලනය කිරීම යි. මෙම ආයෝජකයන්ගේ පුරුද්දක් වනුයේ, තම ආයෝජන කළඹෙන් කුඩා ප්‍රතිශතයක් දියුණු වන රටවල අවදානම්කාරී ආයෝජනවල යොදා ඉහළ ප්‍රතිලාභයක් ලැබීම යි. වැඩි ප්‍රතිශතය ආයෝජනය කෙරෙන්නේ, සංවර්ධිත රටවල ය. දියුණු වන රටවල කෙරෙන ආයෝජනයන් බොහොමයක් ඉහළ පොලී අනුපාත සහිත රාජ්‍ය සුරැකුම්පත්වල සිදු කෙරේ. රාජ්‍ය ණය පැහැර හැරීම නිතර සිදු නොවන බැවින් ණය අවදානම පහළ වෙයි. එහෙත්, රටවල විනිමය අනුපාතයන් වෙනස්වීමේ ඉහළ අවදානම්වලට මුහුණ දෙනු ඇත.
- එබැවින්, විනිමය අනුපාතයන් සහ පොලී අනුපාතයන් වෙනස්වීමේ අපේක්ෂණයන් මත මෙම විදේශ ප්‍රාග්ධනය නිරන්තරයෙන් රටවල් අතර සංචලනය කරනු ඇත. එම ප්‍රාග්ධනය රටවල් අතර රැල්ලන් ලෙස සංචලනය වන විට, රටවල ආර්ථිකයන්ට විවිධාකාර පද්ධති අවදානම් ඇති කෙරේ. මෙහි දී, පොලී අනුපාතයන්, විනිමය අනුපාතයන්, උද්ධමන අනුපාතයන් සහ ගෙවුම් ශේෂයන් කෙරෙහි ඇති කෙරෙන බලපෑම තුළින් සාර්ව ආර්ථික සහ දේශපාලනික අවදානම් ඇති කෙරේ.
- 1997/98 ආසියානු මූල්‍ය අර්බුදය යනු එසේ නැගෙනහිර ආසියානු රටවල් රැසක් එම අවදානමට ගොදුරු වීමේ සිද්ධිය යි. ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කණ්ඩායම 2021/24 දී මුහුණ දුන්නේ ද, ඊට සමාන විදේශ මුදල් අර්බුදයකි. එහෙත්, අර්බුදයෙහි ප්‍රධාන මූලය වෙනස් විය.
- එනම්, ආසියානු මූල්‍ය අර්බුදයේ මූලය පෞද්ගලික අංශයට ලැබුණ උණුසුම් ප්‍රාග්ධනය වූ අතර ශ්‍රී ලංකාව ඇතුළු රටවල මූල්‍ය අර්බුදයේ මූලය රාජ්‍ය අංශයට ලැබුණ උණුසුම් ප්‍රාග්ධනය යි. එබැවින්, රටවල් කාණ්ඩයන් දෙකම මුහුණ දුන් අවදානම, ආර්ථික ව්‍යසනය සහ විසඳුම් ප්‍රතිපත්ති සමාන ය.
- ආසියානු මූල්‍ය අර්බුදය එවක ශ්‍රී ලංකාවට ව්‍යාප්ත නොවූයේ, විනිමය පාලන පනත යටතේ පෞද්ගලික ප්‍රාග්ධන ගනුදෙනු දැඩි ලෙස පාලනයත්, රජය විදේශ මූල්‍ය වෙළෙඳපොළ ණයවලට විවෘත නොවී, මැදි හා දිගු කාලීන නිල ණය ගිවිසුම් භාවිතා කිරීමත් හේතු කොට, ආර්ථිකය උණුසුම් ප්‍රාග්ධන ප්‍රවාහයන්ට විවෘත නොවූ බැවිනි.
එබැවින්, මෙම ලිපිය මගින් අර්බුදයන් දෙකේ සමාන ස්වරූපය ඉදිරිපත් කොට, ශ්‍රී ලංකාව ඇතුළු රටවල් විසින් අඛණ්ඩව කර ගෙන යන එකම විසඳුම් ප්‍රතිපත්ති වැරැද්ද හෙළි කෙරේ.
1997/98 ආසියානු මූල්‍ය අර්බුදය කෙටියෙන්
උණුසුම් ප්‍රාග්ධන අවදානම
- ආර්ථික සංවර්ධනයට අවශ්‍ය මුදල් උණුසුම් ප්‍රාග්ධනය හරහා සපයා ගැනීම. එය ප්‍රධාන වශයෙන් පෞද්ගලික අංශයෙහි කොටස් වෙළෙඳපොළ සහ බැංකු ණය හරහා සැපයිණ.
- එම විදේශ මුදල් හරහා මහ බැංකු විදේශ සංචිතය තර කර ගත් අතර එම මුදල් මගින් විනිමය අනුපාතය ස්ථාවරව පවත්වා ගැනීම. ස්ථාවර විනිමය අනුපාතය මගින් දේශීය උද්ධමනය පාලනය කිරීම සහ ව්‍යාපාරවල විනිමය අවදානම පාලනය කරන ලදි.
- උණුසුම් ප්‍රාග්ධනය තුළින් ලැබූ මුදල් ඉඳිකිරීම් වැනි දිගු කාලීන ව්‍යාපාරික ආයෝජනයන්හි යෙදීම.
- බැංකු විසින් ලබා ගත් විදේශ ණය ද, නිසි අවදානම් පාලනයක් නොමැතිව දිගු කාලීන ණය සඳහා භාවිතා කිරීම. බැංකු සහ මූල්‍ය අධීක්ෂණ පද්ධතිය දුර්වල මට්ටමක පැවතීම ද මීට දායක විය.
- මෙම උණුසුම් ප්‍රාග්ධනය තුළින් මූලික අවදානම් තුනක් ආර්ථිකයට ඇති කරන ලදි.
- පළමුව, විදේශීය මුදල් තුළින් දේශීය මුදල් ජනිත කොට ආයෝජනය කිරීම තුළින් ඇති වූ මුදල් අසමතාවය (Currency Mismatch) ආශ්‍රිත විනිමය අවදානම (Exchange Risk).
- දෙවනුව, කෙටි කාලීන මුදල් දිගු කාලීන ආයෝජනයන්හි යෙදීම හේතු කොට කාල අසමතා අවදානම (Maturity Mismatch) සහ ප්‍රාග්ධනය සේවාකරණයට අවශ්‍ය අරමුදල් හිඟකම (Liquidity Risk).
- තෙවනුව, බැංකු ණයවල පැහැර හැරීමේ අවදානම (Credit Risk) ඉහළ මට්ටමක පැවතීම.
- එහෙත්, ආර්ථිකයන් රාජ්‍ය අනුග්‍රහය මත අපනයන ප්‍රවර්ධනය හරහා ඉතා ඉහළ ආර්ථික වර්ධනයක්, යටිතල පහසුකම් සංවර්ධනයක් සහ ජීවන තත්ත්වයක් අත් කර ගන්නා ලදි. එබැවින්, මේ රටවල් ආසියානු ව්‍යාඝ්‍රයන් ලෙස හැඳින්විණ.
අර්බුදය පතිත වීම
- 1994 සිට ඇමෙරිකානු මහ බැංකුව විසින් පොලී අනුපාතය ඉහළ දැමීම. එය, 1993 අවසානයේ 3% සිට 1997/98 දී 5%-5.50% දක්වා ද, 2000 වන විට 6.5% දක්වා ද ඉහළ දමන ලදි.
- ජාත්‍යන්තර උණුසුම් ප්‍රාග්ධනය සාමාන්‍යයෙන් ඇමෙරිකානු පොලී අනුපාතයන් සහ දියුණු වන රටවල පොලී අනුපාතයන් අතර පරතරය අනුව ඇමෙරිකාව සහ දියුණු වන රටවල් අතර සංචලනය වෙයි.
- එබැවින්, ඇමෙරිකානු පොලී අනුපාතයන් ඉහළ යන කාලවල විදේශ ප්‍රාග්ධනය ඇමෙරිකානු වෙළෙඳපොළවලට ඇදී යාම සාමාන්‍ය හැසිරීම යි.
- තව ද, දියුණු වන රටවල ඩොලර් විනිමය අනුපාතය ඉහළ යාමේ අපේක්ෂණයන් මත ද, ප්‍රාග්ධනය ආපසු යාම සිදු වෙයි. ඊට හේතුව, විනිමය පාඩු මග හැරීම යි.
- 1997 මැද දී තායිලන්තයෙන් මෙම උණුසුම් ප්‍රාග්ධනය ඉවත්වීම ක්ෂණිකව ආරම්භ වීම. එය ඇමෙරිකානු පොලී අනුපාතය ඉහළ යාම සහ විනිමය අනුපාතය ඉහළ යාමේ අපේක්ෂණය හේතු කොට සිදු විය.
- මෙහි දී, සිදු වූ සමපේක්ෂණ මුදල් වෙළෙඳාම වූයේ, සෑහෙන කාලයක් තුළ රජය/මහ බැංකුව විසින් විනිමය අනුපාතය පහළ මට්ටමක පාලනය කළ බැවින්, ඉදිරියේ දී සිදු විය හැකි විනිමය අනුපාත අවප්‍රමාණයකින් හට ගත හැකි ආයෝජන අලාභයන් වලකා ගැනීම සඳහා විදේශ ආයෝජකයන් විසින් මෙම රටවල කරන ලද දේශීය මුදල් ආයෝජනයන් කඩනමින් විකුණා තම විදේශ ප්‍රාග්ධනය ඉවත් කර ගැනීම යි.
- එවිට, මහ බැංකුවේ විදේශ සංචිතයෙන් වෙළෙඳපොළට ඩොලර් සපයමින්, විනිමය අනුපාතය පවත්වා ගැනීමට උත්සාහ කල ද, විදේශ සංචිතය දිය වී යාම හේතුවෙන් විනිමය අනුපාත පාලනය අතහැර එය පා වීමට ඉඩ හරින ලදි. එබැවින්, ක්ෂණිකව විනිමය අනුපාතය 100% කින් පමණ ඉහළ යන ලදි.
- මෙසේ විදේශ ප්‍රාග්ධනය ඉවත්ව යාම, මහ බැංකු විදේශ සංචිතය දිය වී යාම සහ විනිමය අනුපාතය වේගයෙන් ඉහළ යාම දකුණු කොරියාව, මැලේසියාව, පිලිපීනය සහ ඉන්දුනීසියාවට පැතිර යන ලදි. විනිමය අනුපාතයන් ඉහළ යාම 90%-520% මට්ටමක විය. 1998 වර්ෂය ආරම්භ වන විට මෙම රටවලට විදේශ මුදල් චකිතය පැතිරී යන ලදි. එහි කම්පනය පසුව සිංගප්පූරුව සහ හොංකො වෙත ද දැනෙන ලදි. එබැවින්, මෙම කලාපයෙන් ඩොලර් බිලියන 115 ක පමණ විදේශ ප්‍රාග්ධනය ආපසු යන ලදි.
- එහෙත්, මෙය හුදෙක් පෞද්ගලික අංශයේ මුදල් අර්බුදයක් වූ අතර රාජ්‍ය ණය අර්බුදයකට එය පැතිර ගියේ නැත.
- මෙම මුදල් හිඟය හේතු කොට බැංකු, මූල්‍ය ආයතන සහ ව්‍යාපාරයන් බංකොලොත් වී, නිෂ්පාදනය කඩා වැටී, උද්ධමනය සහ සේවා වියුක්තිය ඉහළ යන ලදි. ආසියානු මූල්‍ය අර්බුදය ලෙස දැක්වෙන්නේ මෙය යි.
- මෙම අර්බුදය විදේශ ආයෝජකයන්ගේ සමපේක්ෂණ පහරදීමක් ලෙස හැඳින්වෙන අතර ඒ පිළිබඳ ව ලෝක ප්‍රකට ආයෝජකයෙකු වූ ජෝර්ජ් සොරෝස් වෙත චෝදනාවන් එල්ල විය. ඔහු 2015 මුල් කාලයේ දී ශ්‍රී ලංකාවට ද පැමිණ, රාජ්‍ය අධිකාරීන් හමු වී, ආර්ථික සමුළුවකට සහභාගි විය.
ස්ථායිකරණ ප්‍රතිපත්ති
- ඩොලර් බිලියන 117 ක පමණ IMF ණය වැඩසටහන් ලබා ගැනීම. ඒවා හුදෙක්, පාවෙන විනිමය අනුපාතය ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම, පොලී අනුපාතය ඉහළ දැමීම, අයවැය හිඟය පහළ දැමීම, බදු ඉහළ දැමීම, රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිසංස්කරණය, බැංකු අධීක්ෂණ පද්ධතිය ප්‍රතිසංස්කරණය, පැහැර හරින ලද බැංකු ණය අයකර ගැනීම සඳහා රාජ්‍ය අනුග්‍රහය ලද වත්කම් කළමනාකරණ සමාගම් පිහිටු වීම යනාදී කොන්දේසි රාශියක් මත පදනම් විය.
- එහෙත්, මැලේසියාව පමණක් දේශීය ආර්ථික ස්ථායිකරණ ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලදි. එවක මැලේසියානු අගමැති මහතීර් මොහමඩ් ප්‍රකාශ කරනු ලැබුවේ, මෙම අර්බුදය සදාචාර නොවූ මුදල් සමපේක්ෂණ ව්‍යාපාරයේ ප්‍රතිඵලයක් බවත්, IMF ණය ගැනීමෙන් එම කොන්දේසිවලට යට වී, රට නැවත යටත් විජිතයක් බවට පත්වන බවත්, එය සමාජ කොටස්වල සංවර්ධනයට බාධාවක් බවත් ය.
- එබැවින්, මැලේසියාව විසින් විදේශ ප්‍රාග්ධනය ආපසු යාම තහනම් කොට, විනිමය අනුපාතය පාලනය කරන ලදි. උද්ධමනය පාලනය පිණිස වියදම් ප්‍රසාරණය පහළ දැමීම සඳහා කෙටි කාලයකට පොලී අනුපාතය ඉහළ දමා, අයවැය හිඟය සීමා කරන ලදි.
- එහෙත්, මෙම රටවල ශක්තිමත් අපනයන සහ කාර්මික සංවර්ධනයක් පැවති බැවින් විදේශ ප්‍රාග්ධනය ස්ථායිකරණය වූ විගස, ආර්ථික වර්ධනය ඉහළ ගිය අතර උද්ධමනය සහ සේවා වියුක්තිය පහළ ගොස් ආර්ථිකයන් ස්ථායිකරණය වන ලදි. එබැවින්, 1997/98 දී කඩා වැටුණ ආර්ථික වර්ධනය නැවත 1999 වන විට ප්‍රකෘතිමත් විය.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjUO95v8iYAbkIepuZkh1c-uAw_LA39kactc3zTPEsAqnWMnJffxgaKHUE5F2SABOBaxBjt3Nj0vc9Buu0-xIJAbdl5KfvNn6tHFsYdeg7KWtEwq9p6tjDg-l7PKAmvqqAiu75y6s66iukHR3AHc6uhJaENpXFhvVcwoqeMUNqThvvoRn08Pxw5terHKxSm/s320/Asian%20collapse.png)
ශ්‍රී ලංකාව ඇතුළු රටවල 2021/22 විදේශ මුදල් අර්බුදය කෙටියෙන්
මෙම රටවල් කෙටි කාලීන රාජ්‍ය විදේශ ණය හරහා ආනයන සහ යටිතල සංවර්ධනය තුළින් මධ්‍ය ආර්ථික වර්ධනයක් සහ පහළ උද්ධමනයක් සහ සේවා වියුක්තියක් පවත්වා ගෙන ගිය අතර අපනයන සහ විදේශ ඉපයුම් අංශය හුදෙක් සම්ප්‍රදායික අපනයන, විදේශ ශ්‍රමික ප්‍රේෂණ සහ සංචාරක ව්‍යාපාරය මත රැඳුන, කාර්මික සංවර්ධනය පහළ මට්ටමක පැවති රටවල් ය. එබැවින්, විදේශ මුදල් ජංගම ගිණුමේ අඛණ්ඩ හිඟය ව්‍යුහාත්මක බාධකයක් විය. එබැවින්, 1997/98 දී ශක්තිමත් ආසියානු ආර්ථිකයන් මෙන් නොව, මෙම රටවල් නිරන්තරයෙන් ගෝලීය කම්පනයන්ට මුහුණ දෙන අවදානම්කාරී ආර්ථිකයන් වෙයි.
උණුසුම් ප්‍රාග්ධන අවදානම
- කෙටි කාලීන රාජ්‍ය විදේශ ණය හරහා මහ බැංකු විදේශ මුදල් සංචිතය සහ අයවැය හිඟයේ සැලකිය යුතු කොටසක් මූල්‍යකරණය කිරීම. දේශීය රාජ්‍ය සුරැකුම්පත් විදේශිකයන්ට අළෙවිය, ඩොලර් සුරැකුම්පත් විදේශිකයන්ට අළෙවිය, විදේශ මුදල් හුවමාරු ගිවිසුම් සහ නිල සහ බැංකු විදේශ මුදල් ණය යනාදිය ප්‍රධාන විදේශ ප්‍රාග්ධන මූලයන් විය. ශ්‍රී ලංකාවේ මෙය 2000 දශකය අවසාන භාගයේ සිට දැකිය හැකිය.
- නිෂ්පාදන ආර්ථිකය තුළින් විදේශ මුදල් අතිරික්තයක් නොලැබූ බැවින් විදේශ ණය සේවාකරණය සහ විදේශ මුදල් සංචිතය නව රාජ්‍ය විදේශ ණය හරහා සිදු කෙරිණ.
- ණය සේවාකරණය කිරීම මෙන්ම ආර්ථික වර්ධනය සහ උද්ධමන පාලනයට අවශ්‍ය ආනයන පහළ විනිමය අනුපාතයකට සැපයීම මෙම විදේශ මුදල් සංචිතය මගින් සිදු විය. එබැවින්, ආර්ථිකය කෙටි කාලීන රාජ්‍ය විදේශ ණය මුදල් ප්‍රවාහය මත රඳා පැවතින.
- එබැවින්, ආර්ථිකයෙහි මුදල් අසමතා අවදානම, ණය කාල අසමතා අවදානම සහ විනිමය අනුපාත අවදානම ඉතා ඉහළ මට්ටමක විය.
අර්බුදය පතිත වීම
- 2020/21 ගෝලීය කොරෝනා වසංගතය හේතු කොට හට ගත් සැපයුම් දාම අවහිරය තුළින් ගෝලීය අපනයන, සංචාරක ව්‍යාපාරය, ණය සහ ආයෝජන ප්‍රවාහය කඩා වැටීම.
- එබැවින්, අත්‍යාවශ්‍ය ආනයන සහ විදේශ ණය සේවාකරණය සඳහා පවතින විදේශ මුදල් සංචිතය භාවිතා කිරීම හේතු කොට විදේශ සංචිතය දිය වී යාම සහ විනිමය අනුපාතය පාලනයෙන් නිදහස් කොට පා කිරීම.
- තවදුරටත් විදේශ ණය සේවාකරණය කිරිමට මහ බැංකු විදේශ සංචිතය ප්‍රමාණවත් නොවීම හේතු කොට විදේශ ණය සේවාකරණය අත් හිටුවීම හෝ පැහැර හැරීම.
- කොරෝනා වසංගතය සහ විදේශ සංචිත හිඟය තුළින් මහජනයා මුහුණ දුන් ජීවන ගැටළු හේතු කොට, රට තුළ රාජ්‍ය විරෝධී මහජන අරගලයන් සහ දේශපාලන අස්ථායිතාවයක් හට ගැනීම.
- මෙම අවදානම්වල සමස්ත ප්‍රතිඵලය ලෙස උග්‍ර බලශක්ති හිඟයක් හට ගෙන, රජය සහ ව්‍යාපාරයන් බංකොලොත් වී, ආර්ථිකයන් බිඳ වැටී, අධි උද්ධමන සහ සේවා වියුක්ති තත්ත්වයක් හට ගෙන, ජීවන තත්ත්වය කඩා වැටෙන ලදි. මෙම රටවල් මුහුණ දුන් විදේශ මුදල් අර්බුය එය යි.
- 2009 සහ 2018 කාලවල ද, ශ්‍රී ලංකාවේ කොටස් සහ රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළවලින් සමපේක්ෂණකාරී ලෙස විදේශ ප්‍රාග්ධනය ඉවත් යාම තුළින් විදේශ මුදල් ආතතියක් හට ගත්ත ද, IMF ණය වැඩසටහන් ලබා ගෙන එම ආතතීන් තාවකාලිකව යටපත් කරන ලදි. 2018 වර්ෂයේ දී මුහුණ දුන් ආතතිය ප්‍රධාන වශයෙන් ඇමෙරිකානු මහ බැංකුව විසින් වේගයෙන් පොලී අනුපාතයන් ඉහළ දැමීම හේතු කොට, විදේශ ප්‍රාග්ධනය දියුණු වන රටවලින් ඇමෙරිකාවට සංක්‍රමණය වීමේ ගෝලීය කම්පනයෙහි ප්‍රතිඵලයකි.
ස්ථායිකරණ ප්‍රතිපත්ති
- අර්බුදය පතිත වන ආරම්භක අවස්ථාවේ දී, රජයන් විසින් මෝටර් රථ සහ තවත් ආනයන අත් හිටුවීම, විනිමය පාලනයන් පැනවීම, මිත්‍ර රටවලින් විදේශ මුදල් හුවමාරු/අතමාරු ලබා ගැනීම සහ IMF හදිසි ණය මුදලක් ලබා ගැනීම වැනි විදේශ මුදල් හිඟය පාලනය සඳහා කඩිනම් ක්‍රියාමාර්ගයන් කිහිපයක් අනුගමනය කරන ලදි. එහෙත්, ශ්‍රී ලංකාවට පමණක් හදිසි IMF ණය මුදල ප්‍රතික්ෂේප විය. ඊට හේතුව ලෙස වාර්තා වූයේ, ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කරන ලෙස IMF විසින් පූර්ව කොන්දේසියක් පැනවූ බව යි.
- ශ්‍රී ලංකාව ඇතුළු සියළු රටවල් විසින් දැනට අනුගමනය කරනු ලබන්නේ, මැලේසියාව හැර අනෙක් ආසියානු රටවල් විසින් අනුගමනය කළ IMF ණය වැඩසටහනක් මත පදනම් වූ ආර්ථික ස්ථායිකරණ වට්ටෝරුව යි. එනම්, මුලික වශයෙන් රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගත කිරීම, පාවෙන විනිමය අනුපාතය ප්‍රතිපත්තිය, පොලී අනුපාතය ඉහළ දැමීම, රාජ්‍ය වියදම් කප්පාදු කොට අයවැය හිඟය සහ ණය ප්‍රසාරණය පහළ දැමීම, බදු ඉහළ දැමීම, රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිසංස්කරණය සහ බැංකු අධීක්ෂණ පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම යනාදිය යි.
- මෙම IMF ණය වැඩසටහනේ නවතම අංගය වන්නේ, IMF විසින් නිගමනය කරන ලද රාජ්‍ය ණය තිරසාර ඇස්තමේන්තුවක් මත රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගත කිරීම, රාජ්‍ය අයවැය අවකාශය සහ මුදල් අවකාශය නියම කිරීම සහ නව නීති මගින් මහ බැංකුව රජයෙන් ස්වාධීන කිරීම යි. ඒ අනුව, මහ බැංකුව විසින් රජයට ණය දීම තහනම් කරන ලදි.
- ණය සේවාකරණය කල් දැමීම සහ IMF/ලෝක බැංකු ණය හරහා මහ බැංකු විදේශ සංචිතය නැවත ගොඩ නැගීම. ගෝලීය සැපයුම් දාමයන් නැවත ක්‍රියාශීලී වීම හේතු කොට අපනයන, සංචාරක සහ විදේශ ශ්‍රමික ප්‍රේෂණ ලැබීම් ද ඉහළ යාම තුළින් විදේශ සංචිතයට හිතකර විය.
- මෙම විදේශ ණය ලැබීම් සහ විදේශ සංචිතය හරහා විනිමය අනුපාතය නැවත පහළ දැමීමේ හෝ ප්‍රතිප්‍රමාණය වීමට සැලසීම.
- ඒ අනුව, නැවත මෝටර් රථ ඇතුළු ආනයන පාලනයන් ක්‍රමයෙන් ඉවත් කිරීම.
- මෙහි සෘජු ප්‍රතිඵලය වූයේ, ආර්ථිකය තවත් හැකිළිමත්, විනිමය අනුපාතය පහළ යාම, ආනයන වර්ධනය සහ ඉල්ලුම් පාලනය හේතු කොට උද්ධමනය සීග්‍රයෙන් පහළ යාමත් ය. ශ්‍රී ලංකාවේ අවධමනකාරි තත්ත්වයක් ද දැනට හට ගෙන ඇත.
IMF ස්ථායිකරණ ප්‍රතිපත්ති තුළින්
ශ්‍රී ලංකා රටවල් කණ්ඩායම මුහුණ දෙන ඉදිරි අවදානම
- මෙම රටවල්, ආසියානු රටවල් මෙන් කාර්මික සංවර්ධනය මත පැතිරුණු ශක්තිමත් අපනයන ආර්ථිකයන් නොවේ. මෙම රටවල් ගොඩ නැගී ඇත්තේ, හුදෙක් කෙටි කාලීන විදේශ ණය මත වූ ආනයන සහ පරිභෝජන ආර්ථිකයන් ලෙස ය. එබැවින්, ආසියානු මූල්‍ය අර්බුදයෙන් පසු එම රටවල් නැවත ප්‍රකෘතිමත් වූ ආකාරයේ ආර්ථික ක්‍රියාශීලිත්වයක් මෙම රටවලින් කිසිසේත් බලාපොරොත්තු විය නොහැකිය.
- එබැවින්, සමස්තයක් වශයෙන් මෙම ප්‍රතිපත්තිවල අරමුණ වනුයේ, නැවත රාජ්‍ය විදේශ ණය ප්‍රවාහය යාවත්කාලීන කිරීම හරහා විදේශ සංචිතය සහ ආනයන ආර්ථිකය නැවත ක්‍රියාශීලී කිරීම තුළින් ආර්ථිකය ස්ථායිකරණය කිරීම යි. එනම්, උණුසුම් විදේශ ප්‍රාග්ධනය මත පදනම් වූ අවදානම්කාරී ආර්ථික කළමනාකරණ මොඩලය නැවත පන ගැන්වීම යි.
- එබැවින්, ප්‍රතිව්‍යුහගත කළ විදේශ ණයවල සේවාකරණය ඉදිරි වසර 5 තුළ ආරම්භ වන විට, නැවත විදේශ සංචිත හිඟයක් හට ගෙන, තවත් වටයක විදේශ මුදල් අර්බුදයකට මුහුණ දීමේ ඉහළ අවදානමක් මෙම රටවලට පවතී.
- ඊට හේතුව, ආනයන ආදේශන සහ අපනයන ප්‍රවර්ධන ප්‍රතිපත්ති හරහා තිරසාර විදේශ මුදල් අතිරික්තයක් ජනිත කිරීමේ දේශීය ආර්ථික හැකියාව, IMF ස්ථායිකරණ මොඩලය තුළ නියම කොට ඇති රාජ්‍ය මූල්‍ය අවකාශය සහ මුදල් අවකාශය තුළින් වැලැක්වෙන බැවිනි.
- එබැවින්, මෑත අතීතයේ දී මෙන්, මෙම රටවලට තවදුරටත් IMF ණය ප්‍රවාහය මත කල් ගෙවීමට සිදු වනු ඇත. මැලේසියානු අගමැති මහතීර් මොහමඩ් විසින් 1997 දී ආර්ථිකය IMF කොන්දේසිවලට යට වී, නැවත රට යටත්විජිතයක් බවට පත්වීමේ අවදානම ලෙස දැක්වූයේ මෙම තත්ත්වය යි. ඒ බව, IMF කොන්දේසි බරෙන් නිදහස් වී, පොදුජන ජීවන තත්ත්වය ගොඩ ගැනීම සඳහා ඓතිහාසික බලයක් දෙමින් මහජනතාව විසින් පත් කළ නව රජය විසින් ද, එම IMF මොඩලයම ක්‍රියාත්මක කිරීමට පෙළඹීමෙන් පැහැදිළි ය (IMF මොඩලයේ සාවද්‍ය සංකල්පීය පදනම මෙතනින් කියවන්න). මෙහි අවදානම වන්නේ, මෙම රටවල ආර්ථිකය, දේශපාලනය සහ සමාජීය වටිනාකම් වෙන් කොට ආර්ථිකය නව ලිබරල් වාදී සංකල්පය මත කළමනාකරණය කිරීමට උත්සාහ කිරීම යි.
සමාප්ත සටහන
- ආසියානු සහ වෙනත් රටවල් මෑත අතීතයේ දී මුහුණ දුන් විදේශ මුදල් අර්බුදයන්ගෙන් උගත් පාඩම නොසලකා, උණුසුම් ප්‍රාග්ධනය මත ආර්ථිකයන් කළමනාකරණය කිරීමේ වරදින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක් 2021 සිට විදේශ මුදල් අර්බුදයක් ගිලී පවතී.
- එම ආර්ථික කළමනාකරණ මොඩලයේ මූලික වැරැද්ද වූයේ, මහ බැංකු විසින් තම ආර්ථික ස්ථායිකරණ මුදල් ප්‍රතිපත්ති වගකීම් ඉටු කිරීම සඳහා උණුසුම් විදේශ ප්‍රාග්ධනය මත පදනම් වූ රාජ්‍ය ණය වෙළෙඳාම භාවිතා කිරීම යි. එනම්, මුදල් මුද්‍රණය, පොලී අනුපාතය, විනිමය අනුපාතය සහ විදේශ සංචිතය පාලනය එම උණුසුම් ප්‍රාග්ධනය හරහා සිදු කිරීම යි.
- 2022 දී විදේශ මුදල් හිඟයට සහ රාජ්‍ය විදේශ ණය පැහැර හැරීමට හේතුව වූයේ, මහ බැංකුවල විදේශ සංචිත හිඟය මිස, ණය ගෙවීම සඳහා රජයන්ට දේශීය මුදල් හිඟ වීම නොවේ. නූතන රාජ්‍ය මුදල් පද්ධති තුළ රාජ්‍ය ණය මගින් මුදල් මැවීමේ විශාල හැකියාවක් රජයන්ට පවතී.
- එහෙත්, එහි වරද හුදෙක් රාජ්‍ය නායකයන් පිට පටවා, ඔවුන්ගෙන් පළි ගැනීමේ දේශපාලනික අර්බුදයක් ජනිත වී ඇත.
- එසේම, අර්බුදයට විසඳුම ලෙස ක්‍රියාත්මක කෙරෙන්නේ ද, IMF ණයට ඒකාබද්ධ වූ එම උණුසුම් ප්‍රාග්ධන මොඩලය යි. එය ක්‍රියාත්මක කරන්නේ ද, එම උණුසුම් ප්‍රාග්ධන මුදල් ප්‍රතිපත්තිය හරහා රට අර්බුදයට තල්ලු කරන ලද ආර්ථික විශේෂඥයන් පිරිසම විසිනි.
- එම මොඩලය පසුපස යාම හැර, විදේශ මුදල් අර්බුදයේ උණුසුම් ප්‍රාග්ධන බීජයන් ඉවත් කොට, දේශීය මුදල් ක්‍රමය හරහා නිෂ්පාදන ආර්ථිකයක් තුළින් විදේශ මුදල් අතිරික්තයක් උපදවන නව ආර්ථිකය කළමනාකරණ ප්‍රතිපත්ති මෙවලම් පිළිබඳ ව කිසිම නව නායකයකුට දැනුමක් හෝ අවබෝධයක් ඇති බවක් නොපෙනේ.
- එබැවින්, ශ්‍රී ලංකාව ඇතුළු මෙම රටවලට වත්මන් විදේශ මුදල් අර්බුදයෙන් ගැලවීමට කිසි දා නොහැකි වනු ඇත. ඉදිරි වසරවල දී විදේශ ණය නැවත ගෙවීම ආරම්භ වන විට, ශ්‍රී ලංකාව නැවතත් අර්බුදයට පත් වන බව, තතු දත් සමහර ආර්ථික විද්‍යාඥයන් විසින් දැනටමත් බිය ප්‍රකාශ කොට ඇත්තේ එබැවිනි.
- එබැවින්, නව උණුසුම් ප්‍රාග්ධනය හරහා විදේශ සංචිතය ඉහළ යාම, විනිමය අනුපාතය පහළ යාම, වාහන ඇතුළු ආනයන ඉහළ යාම සහ උද්ධමනය පහළ යාම වැනි ඉලක්කම් හුවා දක්වමින්, ආර්ථිකය නැවත ස්ථායිකරණය වී ඇති බවට කෙරෙන ප්‍රතිපත්ති ප්‍රකාශයන් හුදෙක් සාර්ව ආර්ථික පදනමක් නොමැති දේශපාලනික ප්‍රකාශයන් ය. ඊට හේතුව, මෙම ඉලක්කම් මගින් අඛණ්ඩව පවතින උණුසුම් ප්‍රාග්ධන අවදානම් සහ අර්බුදයෙන් කඩා වැටී ඇති ආර්ථිකය සහ ජීවන තත්ත්වය යාවත්කාලීන වීම පිළිබඳ ව තොරතුරු නොදැක්වෙන බැවිනි.
- එබැවින්, විදේශ මුදල් අර්බුදයෙන් ආර්ථිකය සහ මහජනතාව මෙතෙක් විඳ ඇති පීඩාවන් දෙස බලන බලන විට, ඉදිරි අවදානම් දැන දැනත්, තවදුරටත් උණුසුම් ප්‍රාග්ධනය පසුපස ආර්ථිකය සහ මහජනයා රැගෙන යාම, ජාතික ආර්ථික අපරාධයක් නොවේ ද? යන්න ප්‍රශ්න කිරීමේ වරදක් ද නොමැත.
(වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරාකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදුවන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායකවීමේ අරමුණින් මෙම ලිපිය සකසන ලදි. මෙම ලිපියෙහි ඇතුළත් අදහස් සියල්ල ආර්ථික විද්‍යාව විෂය පිළිබඳ ව මා විසින් අධ්‍යයනය කරන ලද තොරතුරු සහ දැනුම මත පදනම් වූ පෞද්ගලික අදහස් ය. එහි කිසිවෙකු පෞද්ගලිකව ද්වේශ සහගත ලෙස විවේචනයට හෝ අපහසු තාවයකට පත් කිරීමේ අරමුණක් නොමැත.)
පි සමරසිරි
[ආර්ථික විද්‍යාව, බී.ඒ. ගෞරව (කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ. (කැන්සස් විශ්ව විද්‍යාලය)]
හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව
(වසර 35 ක් පමණ මහ බැංකු මාණ්ඩලික පංතියේ නිලධාරී, හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂක, මහ බැංකු සහකාර අධිපති, මහ බැංකු මුදල් මණ්ඩල ලේකම්, ණය තොරතුරු කාර්යාංශයේ සභාපති, ශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපති, ශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපති, ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජික, ශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 13 ක කතෘ)
![](https://sinhala.lankanewsweb.net/wp-content/uploads/2025/02/LNW-Newsroom-ad-at-the-bottom-Sin-15-1024x137-1-3-1.webp)