කොළඹ LNW:ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (07) නව වැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරය ආරම්භ කරමින් සිය රාජාසන කතාව සිදුකරන ලදී.
රටක් ලෙස අපේක්ෂා නොකළ දේශපාලන ආර්ථික කඩා වැටීමෙන් පසු 2022 තමන් ජනාධිපති ලෙස පත්වීමෙන් අනතුරුව 2023 වන විට රටේ නැග්ම සම්බන්ධයෙන් වික්‍රමසිංහ මහතා ඉලක්කම් ඉදිරිපත් කරමින් සිය කතාව සිදුකළ අතර 2023ට වඩා 2024ත් 2024ට වඩා 2025ත් සාර්ථක කරගැනීම අපේක්ෂාව බවත් අවධාරණය කළේය.
කඩා වැටුණු ආර්ථිකය ප්‍රකෘතිමත් කර ගැනීමට ග්‍රීසියට වසර 10කට වැඩි කාලයක් ගත වූ නමුත් ශ්‍රී ලංකාවට ඉතා කෙටි කාලයකදී සුවිශේෂී ජයග්‍රහණ ලබා ගැනීමට හැකි වූ බව පැවසූ වික්‍රමසිංහ මහතා තවදුරටත් පැවසුවේ 2022 වසර පුරා කඩා වැටුණු ආර්ථිකය, 2023 වසරේදී වාර්තාගත ප්‍රගතියක් අත් කර ගත හැකි වූයේ අහම්බයකින් නොව ඉතා පරිස්සමින් හා දූරදර්ශීව සකස් කළ සියුම් ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැංවීම තුළින් බවයි.
මෙහිදී ඔහු අවධාරණය කළ අතිශය වැදගත් කරුණක් වූයේ ආර්ථික අර්බුදයට දේශපාලන විසඳුම් නොමැති බවත් ඊට ඇත්තේ ආර්ථික හා විද්‍යාත්මක විසඳුම් පමණක් බවත්ය.
ජනධිපතිවරයා සිය රාජාසන කතාව පුරාම ආර්ථික ජයග්‍රහණ මතුකරමින් තමන්ගේ ප්‍රගතිය ගැන කතාකර අවසානයේ ඔහු සිය කතාව ගොණු කළේ දේශපාලනය අහ ආර්ථිකය වියුක්ත සංකල්ප දෙකක් ලෙස ගනිමිනි.
ඒ අනුව ආර්ථික අර්බුදයන්ට දේශපාලන විසඳුම් නොමැති අතර ඇත්තේ ආර්ථිකමය හා විද්‍යාත්මක විසඳුම් බවට ප්‍රකාශ කරන ලදී.
රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙම කතාව අසන විට නැගෙන ප්‍රතිතර්කය වන්නේ ආර්ථිකය කඩා වැටීමට,රට බංකොලොත් වීමට දේශපාලන තීරණ බලනොපාවේද යන්නයි.
වික්‍රමසිංහ මහතාගේ කතාව අනුව ආර්ථිකය විසින් ආර්ථිකය කඩාවට්ටවාගෙන තිබේ.
ආර්ථික කාරණා සම්බන්ධයෙන් විසඳුම් ලෙස ඉදිරිපත් කරන ලද දේශපාලන විසඳුම් හේතුවෙන් ආර්ථිකය හතර ගාතෙන් වැටුණු අන්දම මිට වසර දෙකකට පමණ ඉහත ගෝඨාභය රාජපක්ෂ පාලන සමය තුළ සියැසින් දැකගැනීමට හැකිව තිබුණි.
බොහෝ සමීප,ඉතා සංවේදී මෙන්ම සාතිශය බහුතරයකගේ අවධානයට ලක් වූ වාණිජ කෘෂිකර්මාන්තය සඳහා එකවරම රසායනික පොහොර භාවිතය ඉවත්කර කාබනික පොහොර භාවිතය සඳහා ප්‍රතිපත්තිමය තීරණයක් ගනු ලැබූ අතර ගොවි ප්‍රජාවේ තියා කෘෂි විශේෂඥයින්ගේ හෝ අනුමැතියකින් තොරව සම්පූර්ණයෙන්ම දේශපාලන තීන්දුවක් ලෙස එය ක්‍රියාත්මක විය.
අවසානයේ සිදුවූයේ කුමක්ද යන්න දැන් අමුතුවෙන් පැහැදිලි කළ යුතු නොවේ. සමස්ත කෘෂි ආර්ථිකයම ඉන් සෝදාපාලුවට ගිය හැටි කොයි කාටත් තවමත් මතකයේ ඇතැයි අපි විශ්වාස කරන්නෙමු.
ඒ අනුව දේශපාලන ප්‍රතිපත්තිමය තීරණ පැහැදිලි ලෙසම සෘජුව ආර්ථිකය බලපාන අතර එය එසේ නොවේ කියා තර්කයක් ගොඩනැගීමට උත්සහ දැරීමම දේශපාලන අඳබාලත්වය පෙන්නුම් කරන්නක් නොවේද?
ඒ අනුව එහි ප්‍රතිපක්ෂය වන ආර්ථික ප්‍රශ්න, අර්බුද විසඳීම සඳහා නිවැරදි දේශපාලන විසඳුම් ඉදිරිපත් වීම අවශ්‍ය නොවේද? එය එසේ නම් දේශපාලනයකින් රටකට වැඩක්ම නැත. දේශපාලඥයින් නඩත්තු කිරීමද කොහෙත්ම පලක් නැත.
ජනාධිපති රනිල් වික්‍රම්සිංහ පැවසුවේද හරියට ආර්ථික අර්බුදයට දේශපාලඥයින්ට කළ හැක්කක් නොමැති ආකාරයටය..
ඒ අනුව ජනාධිපතිවරයාගේ උක්ත ප්‍රකාශය හිටපු වන්නි ආඥාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ආචාර්ය බොනිෆස් පෙරේරා මහතා කරුණු 10ක් ඉදිරිපත් කරමින් අභියෝග කර තිබේ.
ජෙනරාල් බොනිෆස් පෙරේරා මහතා සිය මුහුණු පොත ඔස්සේ සෘජුවම ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය තර්කානුකූලවම අභියෝග කර තිබුණේ මෙපරිද්දෙනි.
- දූෂණය නවතා. හොරුන් අනාවරණය කරන්න. අධිකරණයට ස්වාධීනව ක්‍රියා කිරීමේ නිදහස දෙන්න.
- රජයේ නාස්තිය නවත්වන්න. මාඕ සේතුං (චීනය) සහ ඇන්ජෙලා මර්කල් (ජර්මනිය) උදාහරණ ලෙස ගන්න. බ්‍රිතාන්‍ය අගමැති පවා දුම්රියෙන් ගමන් කරන නමුත් අපේ නායකයෝ මහජන මුදල් අවභාවිත කරමින් පසුවෙයි. (මහින්ද රාජපක්ෂ වරෙක කොළඹ සිට පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා ගුවන් හමුදාවේ හෙලිකොප්ටරය භාවිතා කරන ආකරය දක්නට තිබුණි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන සමයේ පවුලේ අය සහ මිතුරන් සමඟ 33 වතාවක් විදේශ ගත වූ නමුත් සත 33ක දෙයක් ආර්ථිකයට ගෙන ඒමට අසමත් විය.)
- මිතුරන් හා හෙංචයියන් වෙනුවට වඩා ඉහළ සහ වගකිවයුතු තනතුරු සඳහා වෘත්තිකයන් පත් කිරීමට කටයුතු කරන්න.
- විද්‍යාව හා තාක්ෂණය කෙරෙහි අවධානය යොමු කරන්න.
- ව්‍යවසායකත්වය, සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථිකයේ කොඳු නාරටිය වන බැවින් ව්‍යවසායකත්වය දිරිමත් කරන්න.
- ජාතික ආර්ථිකය, ජාතික ආරක්ෂාව, ජාතික උපායමාර්ගික සංස්කෘතිය, ජාතික රාජ්‍යතාන්ත්‍රිකභාවය සහ ජාතික දේශපාලන හැකියාව සමඟ ඒකාබද්ධ කරන්න. (පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට අවම සදාචාරාත්මක ස්වභාවයක් සහ මූලික උපාධිය / ඩිප්ලෝමාවක් හෝ ජාතික මට්ටමේ ජයග්‍රහණ තිබිය යුතුය)
- ආර්ථික කටයුතුවලට දේශපාලන බලපෑම් කිරීම නවත්වන්න. (ප්‍රසම්පාදන තීරණ ගැනීම සඳහා සෑම අමාත්‍යාංශයකටම ස්වාධීන සාමාජික මණ්ඩලයක් පත් කරන්න. සැපයුම්කරු තෝරා ගැනීමට/ තීරණය කිරීමට අමාත්‍යවරයාට නොහැකිය. උදාහරණයක් ලෙස රෝගීන්ට බාල ඖෂධ මිලදී ගැනීම සම්බන්ධයෙන් කෙහෙළිය රඹුක්වැල්ලගේ දේශපාලන බලපෑම දක්වා තිබේ.)
- සෘජු විදේශ ආයෝජන සහ දේශීය ආයෝජන සඳහා ආකර්ෂණීය සහන ලබාදී දිරිමත් කරන්න.
- ආර්ථිකය යන විෂය දේශපාලකයන්ට හැසිරවිය නොහැකි තරම් විශාල හා සංකීර්ණය. එය සෑම කෙනෙකුගේම කාර්යයකි. ඔබ ජපානයේ 5s ක්‍රමයේ මෙන් සියලුම පුරවැසියන් ආර්ථික කටයුතුවලට සම්බන්ධ කර ගත යුතුය.
- ශ්‍රී ලංකාවට කිසිදා නොතිබූ දූරදර්ශී, අවංක, බුද්ධිමත් සහ ජනතා හිතකාමී දේශපාලන නායකත්වයකින් තොරව කිසිදු ආර්ථිකයක් සංවර්ධනය කළ නොහැක.
ප්‍රධාන වශයෙන් මෙම කරුණු 10 මත පදනම්ව මේජර් ජනරාල් ආචාර්ය බොනිෆස් පෙරේරා මහතා ජනධිපතිවරයාගේ ප්‍රකාශය අබියෝග කර තිබෙන අතර මීට සමගාමීව ජනතා හිතවාදීව තවත් බොහෝ පියවර ගත යුතුව ඇති බවයි ඔහු අවධාරණය කරන්නේ.
කෙසේවෙතත් රටේ ආර්ථිකය ගොඩ ගැනීම වෙනුවෙන් උක්ත ප්‍රධාන කරුණු 10 අනුගමනය කරන ලෙස ජනාධිපතිවරයාට සිහිපත් කරන බොනිෆස් පෙරේරා මහතා පවසන්නේ එය ක්‍රියාත්මක කිරීම දේශපාලන නායකත්වයට භාර බවයි. ඒ අනුව අවසාන වශයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට විද්‍යාත්මකව සහ ක්‍රමානුකූලව එකඟ නොවන අතර එය අසත්‍ය බව ද බොනිෆස් පෙරේරා මහතා අවධාරණය කර තිබේ.
ආර්ථික අර්බුදයන්ට දේශපාලන විසදුම් නොමැති බවට පවසන ජනාධිපතිවරයා එහි දිගුවක් ලෙස ආර්ථික පරිවර්තනයක් වෙනුවෙන් ආර්ථික පරිවර්තන පනත ඉදිරිපත් කරන බවද පවසයි.
ඒ අනුව එය දේශපාලන මැදිහත්වීමක් නොවන්නේද යන්න මෙහිදී බොනිෆස් පෙරේරා මහතා අනෙක් පසින් ප්‍රශ්න කර සිටියි.
ආර්ථිකයට දේශපාලනයෙන් වියුක්තව කතා කළ නොහැකිය. 17 වෙනි සියවස වන විට ආර්ථිකය වෙනම ඒකකයක් ලෙස අධ්‍යයනය ආරම්භ වුවද එහි ආරම්භය දේශපාලන ආර්ථිකයයි (Political Economy). ආර්ථිකයට එල්ලවන දේශපාලන බලපෑම සෘජුව මෙන්ම වක්‍රවද සිදුවෙයි. එය එදා ඈත අතීතයේ සිට අද දක්වාමත් හෙටටත් පොදු කාරණයකි. 40 දේශපාලන සහිත දේශපාලඥයෙකු ලෙස රනිල් වික්‍රමසිංහ මහතා එය නොදන්නවා නොවේ. නමුත් අද ඔහු සිය ප්‍රවේශය මෙලස ජනතාවද අන්දමන්ද වන අයුරින් වෙනස්කරගනිමින් සිටින්නේ කුමන අරමුණක් ඉටුකරගැනීම වෙනුවෙන්ද යන ප්‍රශ්නය පමණක් දැන් අසන්නට සිදුව තිබේ.
(මේජර් ජෙනරාල් ආචාර්ය බොනිෆස් පෙරේරා යනු 36 වසරක යුද හමුදාවේ අත්දැකීම් සහිත ඉනුත් වසර 20ක් යුද්ධය සමඟ යාවජීව සම්බන්ධයක් ඇති ඒ අතරම ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් ආචාර්ය උපාධියක් සහිත එකම ඉහළ හමුදා නිලධාරියාය. මේ වන විට ඔහු ජාත්‍යන්තර ලේඛකයෙක් සහ පර්යේෂකයෙක් ලෙසද කටයුතු කරමින් සිටියි.)
ආශිකා බ්‍රාහ්මණ