*
Saturday, November 23, 2024
spot_img

Latest Posts

අපි කාලයක් මාර්ටින් වික්‍රමසිංහගෙ පොත් කටපාඩම් කළා – නෝබට් අයගමගේ

තම පළමු කෘතියටම රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනාගත් මේ ලේඛකයා සැබැවින්ම එසේ මෙසේ ලියන්නෙකු ලෙස හැඳින්විය හැකි ලේඛකයෙක් නම් නොවේ. පසුගිය වසරේදී ස්වර්ණ පුස්තක සම්මානය සහ රාජ්‍ය සාහිත්‍ය සම්මානය යන සම්මානද්වයෙන්ම සම්මානිත වූ හෙතෙම නෝබට් අයගමගේ ය. මේ ඔහු සමඟ ලංකා නිවුස් වෙබ් අඩවිය සිදු කළ සාකච්ඡාවයි.

Q. කාලීනව ඔබතුමා බෙහෙවින්ම කතා බහට ලක් වුණේ ‘කුර හඬෙකි වියැකෙන’ නම් වූ නවකතාවට 2023 ‘රාජ්‍ය සාහිත්‍ය සම්මානය’ සහ ‘ස්වර්ණ පුස්තක සම්මානය’ යන සම්මානවලින් සම්මානිත වීමත් සමඟයි. ඒ නිසා අපි මේ කතා බහ එම කෘතිය පිළිබඳව ප්‍රශ්නයකින්ම ආරම්භ කළොත් හොඳයි කියලා මං හිතනවා. ඇත්තටම කොහොමද මේ නිර්මාණයට පසුබිම සකස් වුණේ?. ඒ කියන්නේ ඒ සඳහා ඔබ කළ අධ්‍යයනය කොයි වගේද?

A. ඇත්තටම 1970 දක්වා ඒ අධ්‍යයන ඉතිහාසය යනවා. ඒ දවස්වල මං ඉස්කෝලේ යනවා. ඒ කාලේ මගේ ලොකු අක්කයි එයාගෙ මහත්තයයි වැඩ කළේ වලපනේ දිස්ත්‍රික්කයේ මඩුල්ල කියන ගමේ ඉස්කෝලෙ . එතකොට මං නිවාඩු මාසවල එහේ යනවා. මඩුල්ල කියන්නෙ නුවර එළිය දිස්ත්‍රික්කයේ නිල්දණ්ඩාහින්න කියන නගරයේ ඉදන් කිලෝමීටර් ගණනක් පහළට බහින්න තියෙන වෙල් කෑලෑ මැද්දෙන් යන්න තියෙන බොහොම දුෂ්කර දිළිදු ගමක්. නමුත් ඒක ඉතාම සශ්‍රීක ගමක්.

මං එහෙම නිවාඩු මාසවලට එහේ යනකොට මට හුරු වුණා කුඹුරු හේන් වපුරන කාලෙට පාන්දර හැමදාම වගේ මිනිස්සු තවලම් බැඳගෙන තමන්ගෙ ගොවි බිම් තියෙන කිලෝ මීටර් පහළොව විස්ස ඈත කැලේට තවලම් බැදගෙන යන ආකාරය. ඉතිං මේ ජනතාව නඩ හැදිලා පාන්දරම යනවා සේරමලා එකට තම තමන්ගෙ ගොවි බිම්වලට. එහෙම ගිහින් මාස හතර පහ නැවතිලා ඉඳලා තමන්ගෙ ගොවිතැන් කටයුතු ඉවර කරලා තමයි මේ අය නැවත එන්නෙ. ඉතිං මේක මට නුහුරු අත්දැකීමක් වුණා. දවසක් පාන්දර මම ඇහැරුණේ සොකඩ හඬකින්. ඉතිං මං නැගිටලා බලනකොට පුදුමාකාරයේ පෙරහැරක්….මිනිස්සු හරක් දක්කගෙන යනවා.

ඊට පස්සෙ තමයි මං ඒ ගැන විස්තර හොයන්න ගත්තෙ . අහලා විතරක් තිබ්බ තවලම ඇහින් දැකලා කනින් අහලා ඒ අත්දැකීම පළවෙනි වතාවට උදා වුණේ ඒ විඳියටයි. ඒක සිද්ද වෙන්නෙ කොහොමද කියලා මං දැනගත්තට පස්සෙ ඒක හරිම කුතුහලය දනවන මාතෘකාවක් බවට මට පත් වුණා. ඒ ගමන මං ඒ ඔස්සේ ඒ ගැන හොයන්න ගත්තා. මොකද පොඩි කාලේ ඉඳලම මං ඒ වගේ හිතට කුතුහලයක් ගෙන දෙන අලුත් දේවල් ගැන සෑහෙන්න හොයලා බලනවා. ඔය යක්කු ගැන පිදවිලි පෙරේත පිදවිලි වගේ කුතුහලය ගෙන දෙන මාතෘකා ගැන වනාන්තරවල ඉන්න සත්තු ගැන හොයන්න මං ගොඩක් උනන්දුයි.

ඉතිං මෙතනදි මං ඒ දේ ගැන හොයලා පොත්වලින් පත්තරවලින් ඒ ගැන තව තවත් විස්තර හොයා ගත්තා. පස්සෙ ඉතිං අක්කලත් නුවරින් ආවා. ඒ එක්කම කාලයත් එක්ක ඒ තවලම් මතකයෙන් ඈත් වුණා. ඊට පස්සෙ වෙන වෙන කටයුතුවලට උන්නදු වුණා. නමුත් කොහොම හරි මං පළවෙනි නවකතාව ලිව්වනෙ බැංකොක්වල ඉන්නකොට ඒ කාලේ කාංසිය මකා ගන්නත් එක්ක තමයි මං කාල නදිය ගලා බසී ලිව්වේ. ඒ පොතට සම්මාන හම්බ වෙලා කට්ටිය ඒක කියවලා ප්‍රතිචාර එහෙම ලැබෙද්දි ගොඩක් අය කිව්වා තව පොතක් ලියන්න කියලා.

ඉතිං ඒ ගැන හිතලා බලනකොට මට මතක් වුණා තවලම ගැන. මොකද ඒක බොහොම විරල සංසිද්ධියක්. ජනතාව අතර දැන් ඒක නැහැ. භාවිතයෙත් නැහැ. මහියංගණය වගේ පැතිවල යම්තම් වගේ තාම ඒක පවතිනවා. ඉතිං මට හිතුණා මේ ගැන හොයන්න. කියවන අයට විචිත්‍රත්වයක් දනවන යමක් මේ තුළ තියේවි කියලා මට දැනුණා.

ඒ නිසා ඔවුන්ගේ ඇවතුම් පැවතුම්, ඔවුන්ගේ උපසංස්කෘතිය ගැන ටිකක් ගැඹුරින් විග්‍රහ කරගන්න පටන් අරගත්තා. ඒ එක්කම මං කතාවකුත් නිර්මාණය කරගත්තා මේ අයගෙන් අහපු කතා සහ අහලා තියෙන කතන්දරවලිනුයි ආභාසය අරගෙන. ඒ වගේම මේ ගැන දන්න කියන අයගෙන් දැනගත්ත විස්තර ගොඩක් ප්‍රයෝජනවත් වුණා. ඒ ආකාරයට කතාවත් නිර්මාණය කරගැනීම තුළින් තමයි මේ නවකතාව බිහි වෙන්නෙ.

Q. මේ නවකතාව තුළදී වන සතුන්ගේ චර්යා රටාවන් සහ මිනිසුන්ගේ භාවිතාවන් එකිනෙකට සමෝධානය කිරීමට ඔබ වෑයම් කරතිබෙනවා. සැබැවින්ම ඒ හරහා නිර්මාණය වී තිබෙන ෆැන්ටසිය වචනයට නඟන්න බැරි තරමටම සුන්දර අත්දැකීමක් තමයි පාඨක මනස තුළ ඇති කරන්නෙ. මේ වගේ භාවිතාවක් මේ නිර්මාණය තුළට අරන් එන්න ඕන කියලා ඔබ හිතුවෙ ඇයි?

A. මෙහෙමයි, හැමදේකම අපිට නොපෙනෙන ගැඹුරක් තියෙනවනෙ. කම්මල්කාරයගෙද පාරුකාරයාගෙද අපි නොදන්නා වූ ජීවන පසුබිමක් තියෙනවා. ඒ තුළ අපට නොපෙනන අලංකාර රටාවල් මැවිලා තියෙනවා ගොඩාක් අයට අහුවෙන්නෙ නැති.

දැන් බලන්න ඔරුවක් පදින මිනිසෙකුගෙ තියෙන රිද්මය, ඒ ලාලිත්‍යය, සී පද…. ඒ හා බැදුණු අලංකාරත්වය. අපි රූපයක් විඳියට තවලම්කාරයන්ව ගත්තට තවලම්කාරයන්ගෙ පිටුපසින් මහ දැවැන්ත ජීවන රටාවක් උපසංස්කෘතියක් ගමන් කරනවා. ඒ එක්කම ඔවුන්ගේ ඇදහිලි විස්වාස ඇවතුම් පැවතුම් වගේම ඔවුන්ගේ ජීවන රටාවෙත් තියෙන යම් සුවිශේෂීෂත්වයක් තියෙනවා.

මේ සියල්ලම ගමන් කරන්නෙ එකට. මේ අයයි වන සතුන් අතරෙයි තියෙන්නෙත් පුදුම සහජීවනයක්. මොකද සොකඩ හඬ ඇහුණ විගසම කුළු මීමා වගේ සත්තු තවලමට ඉඩ දීලා ඈතට යනවළු . මොකද ඒ ඝෝෂාව ඔවුන්ට හරිම නපුරු විඳියටයි සංවේදනය වෙන්නෙ. ඒ වගේ නාද රටාවක් ඔවුන් තුළ ඇති කරන්නෙ පළා යන්න ඕන කියන හැඟීම.

ඒ වගේම මං අහලා තියෙනවා අලි ඇත්තු තවලමට පහර දෙන්නෙත් නෑ කියලා. ඒක ඇත්තද බොරුද කියලා කියන්න මං හරියටම දන්නෙ නැහැ. නමුත් ඒ වගේ සිදුවීම් වාර්තා වෙලා තියෙන්නෙ බොහොම කලාතුරකින්. ඒ සියල්ල තුළින්ම මම ග්‍රහණය කරගත්තේ අපි නොදන්නා වූ යම් කිසි සාමූහික බන්ධනයක් මේ ගමන් මඟ ගමන් ගන්නා තවලමට හා වන සතුන් හා ගහකොළ අතරත් අපූරු වූ සංහිඳියාවක් පවතින බවයි.

මොකද ඒ අය ගහක අත්තක් වත් කඩන් නැතුව ගිනිගොඩවල්වලට පවා වියළි දර තමා ගන්නෙ. වනාන්තරයට හානියක් කරන්නෙත් නෑ. වාඩිය ගහගෙන හිටිය තැන ගිනිගොඩට පවා සම්පූර්ණයෙන්ම වතුර ඉහළා නිවලා තමයි යන්නෙ. ඉතිං ඒ වගේම දඩමස් කන්නේ නෑ කියන පොරොන්දුවකුත් තවලම් රාළලා අතර තියෙනවා. මොකද වනයේම හැසිරෙන සතුන් සහෝදරයෝ කියලයි ඒ අය විස්වාස කරන්නෙ.

සතුන්ව ඉතාම භක්තියෙන් ඒ අය අඳහනවා. ඒ පිළබඳව පනවා ගත්ත වගන්ති සහ කොන්දේසි ඒ අයට තියෙනවා. එතකොට පරිසරයත් වන සතුනුත් අතර අපූරු සංහිදියාවක් තියෙනවා. ගොඩක් අයට මේක විෂය වෙන්නෙ නෑ. නමුත් මේ තවලම් කර්මාන්තය ගැඹුරින් හදාරනකොට තේරෙනවා ඔවුන් අතර තියෙනවා කියලා වනාන්තරය සමඟ ගොඩනැගුණ මහ අදෘශ්‍යමාන බන්ධනයක්. ඒක මං විස්වාස කරන්නෙ මේ දෙගොල්ල අතර තියෙන අනf්‍යයා්න්‍යය බැඳීම සහ විස්වාසය කියලයි.

එතකොට කොහොමද මේ වන සතුන්ගෙ ජීවන රටාවන් සහ චර්යාවන් තුළින් කොහොමද ඒ අය තමන්ගෙ ජීවිතයට ආලෝකයක් ගන්නෙ කියන එක ඒ අය එතනින් අධ්‍යයනය කරනවා. ඒ අධ්‍යයනය ඒ අය කරලා ඒක හදාරළා පිළිපදිනවා. ඒ අය අපි පන්සිල් පද පහ පිළිපදිනවා වගේ ඒ දේවල් පිළිපදිනවා. ඒ තුළින් ඒ අය වන සතුන්ගෙන් මහා ආශීර්වාදයකුත් ලබනවා. මේ වනාන්තරය හරහා යන ගමනේදී.

ඒ නිසා මේ නවකතාව ගොඩනගද්දි මට සත්තුන්ව අහක දාන්නත් බෑ. ඒ වගේම සතුන් කොහොමද ඒ අයගෙ ජීවිතයට පාඩම් අරන් එන්නෙ…කුරුළු කූඩුවක පැටවුන්ගෙන් කොහොමද ජීවිතයට දෙයක් ඉගෙන ගන්නෙ ආදී ගොඩක් දේවල් පරිකල්පනය කරලා තමයි මං මේ කතන්දර ගත්තෙ . ඒ වගේම සත්තුන්ගෙ ජීවන රටාවෙ තියන යම් යම් අපූරු නිදර්ශනත් මං උපයෝගී කරගෙන තියෙනවා. ඒක අපේ ජන ජීවිතවලට ආලෝකයක් සපයන නිසා.

හෝතඹු යුවළ, කොට්ටෝරුවාගේ හැසීරීම, වළි කුකුළා සහ බිරිඳගේ ස්වභාවය ආදී දේවල් වලින් මෙහි විචිත්‍රත්වය වැඩි කිරීමටත් කතාවේ හරයට යම් දොරටුවක් විවර කරගැනීමත් සඳහා සත්තුන්ගේ චර්යාවන් සහ හැසිරීමත් මේ කතාපෙළේ චරිත බවට පත්කරගත්තෙ . මං හිතන්නෙ ඒක ගොඩක් අය අගය කළා. මං දැකලා නෑ පොත්වල ඒ වගේ දෙයක් වැඩි වශයෙන් භාවිතා වෙලා තියෙන ආකාරය. මං එතනදි එඩිතර තීරණයක් ගත්තා මේ ගැන ලියන්න ඕන කියලා.

කොහොම නමුත් බහුතරයක් මේක ඇල්මෙන් පිළිඅරගෙන තියෙනවා කියලා මට දැනෙනවා ඒ අය කතා කරන දේවල් තුළින්.

Q. නවකතාවක අන්තර්ගත වන සෑම සිදුවීමක්ම එකිනෙකට සම්බන්ධ කරන්න ගියාම කිසියම් හෝ නාටකීය බවක් එයින් නිරූපණය වීම නොවැළැක්විය හැකි කරුණක්. මේ නවකතාව තුළත් මුල මැද අග සිදුවීම් ගැලපීමේදී එම නාටකීය බව…. අභව්‍ය බව ඉස්මතු වීම සිදු වෙලා තියෙනවා. උදාහරණයක් විඳියට ගත්තොත් මෙම නවකතාවට පසුබිම්වන වලව්වේ ළමාතැනියගේ අග්‍රහාර පළදනාව නැති වීම කියන කාරණාව අපි ගමුකො. ඒක ගන්නෙ තවලමේ ප්‍රධානියාමයි. නමුත් ඔහු ඒක නැවත වලවව්වට භාර නොදී වෙනත් ස්ත්‍රියකට එය ආරක්ෂාකරන්න භාර දීම වගේ සිදුවීමක් මට නම් කරන්න පුළුවන්. මේ වගේ රේඛීය අවසානයක්…ඒ කියන්නෙ නවකතාවකට සංවෘත අවසානයක් තිබිය යුතුයි කියලා ඔබ විස්වාස කරන නිසාද ඒ වගේ සිදුවීම් මාලාවක් නිර්මාණය කළේ?

A. නෑ ඒක එහෙමම නෙමෙයි. ඒ කතාව අරගෙන යන්නෙත් මාලය නම් සාධකය මතනෙ. ඒ තුළ වළව් තුළ තියෙන සියළු සටකපටකම්, ඔවුන් තුළ තියෙන බලලෝභීත්වය රඳවගන්න කරන උත්සාහයත්, ආර්ථිකව ඔවුන් බිඳ වැටෙන ආකාරයත්…නමුත් අවසන ඔවුන්ම එය සන්තක කරගැනීමට දරණ නොනවතින අරගලයත් තමයි එතනින් පැහැදිළි වෙන්නෙ.

එකක් දෘශ්‍යමාන වෙනවා. මොකක්ද, මේ වළව් තුළ පැවති දැඩි මර්ධනීය පිළිවෙත සහ ඔවුන් ජනතාව පෙළාගෙන යන මේ වළව් අභිමානය…. යම් භෞතික සාධකයක් මත තමයි මේවා ඔවුන් ලෝකයට අරගෙන යන්නෙ. එතන තියෙන හරසුන් බව දුෂ්ඨ පිළිවෙත්…එක පැත්තකින් මෙයින් අනාවරණය වෙන්නේ වළව් පංතිය සතු බලපරාක්‍රමය උඩගුකම ආදී සියළු සාදක ඉස්මතු වීමයි.

මේක අමුතුවෙන් එල්ලපු මාලයක් නෙමෙයි මේ කතාවේ. ඒ මාලයත් සමඟ තමයි මේ කතාව යන්නෙ. මේ මාලය වැදගත් සාධකයක් වෙනවා වගේම නොවැදගත් සාධකයක් වෙනවා අන්තිමේදි මේ සියල්ලත් එක්ක බැලුවම. සියල්ල නැති වෙච්ච ලෝකයක මාලයක් විතරක් ගෙලේ පැළඳගෙන ඇති තේරුම මොකක්ද කියන ප්‍රශ්නාර්ථය නැගෙනවා අපිට අවසානයේදී.

Q. ඒ කියන්නෙ අග්‍රහාර පළදනාව කියන්නෙ තනිකරම රූපිකයක්???

A. පැහැදිළිවම. ඒකෙන් කියවෙන්නෙ ගිලිහෙන වළව් පරම්පරාවක් නැවත යථාවත් කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නය අහන එක. අන්තිමේදී මේ අය මේ රැවටිලා ඉන්නෙ අහංකාරත්වය මමත්වය ඒ මවාගෙන සිටින වළව් ප්‍රෞඩත්වය හිස් නේද කියන ප්‍රශ්නාර්ථය මතු කිරීමයි?. සමාජ විපර්යාසය තුළ මේ සියල්ල බිඳ වැටෙනවා අන්තිමට.

Q. ඔබේ නවකතාව කියවීමෙන් සැබැවින්ම මම මහත් ආනන්දජනක අත්දැකීමක් අත්වින්දා. මං හිතන්නෙ සමස්ථයක් වශයෙන් ගත්තම අනිත් පාඨකයොනුත් එම අත්දැකීමම විඳින්න ඇති. නමුත් මේ කෘතියේ අවසානය ගත්තොත් මේ කෘතියේ මුල් පරිච්ඡේදවල අන්තර්ගත ජවය අවසානය තුළින් හීන වෙලා තියෙන බවකුයි මට හැඟෙන්නෙ. ඒ හීන වීම නිර්මාණය වෙලා තියෙන්නෙ ඉහත ප්‍රශ්නයෙදි මං කියපු අභව්‍ය සිදුවීම් සමෝධානය නිසා කියලයි මට හැඟෙන්නෙ. මේ කියන කාරණාව අනුව මේ නවකතාව යම් ආකාරයක අසාර්ථභාවයක් නියෝජනය කරනවා කියලා මං කිව්වොත්…මේ කෘතිය නිෂ්පාදනය කළ ලේඛකයා වශයෙන් නැතුව එය කියවූ පාඨකයෙක් වශයෙන් ඔබ එයට දෙන පිළිතුර කුමක්ද?

A. පාඨකයෙකු වශයෙනුත් මම ඒ පිළිබඳව අර්බුදයකට පත් වෙන්නෙ නෑ. මොකද මේ කතාවෙ අන්තිමට එනකොට කිසිවෙක් දිනාගත්ත දේකුත් නෑ..සියල්ල ලෝකයේ පවතින දේ සමඟ මුසු වී අවසානයේ මේ දෙදෙනාගේ ආදරය මල් ඵල ගැන්වීමක් විතරයි වෙන්නෙ. නමුත් මං ඒක අතිශය උත්කර්ශවත් කරන්න ගියේ නෑ. ඒ උත්කර්ෂවත්වීම තුළ තියෙන්නෙ මහත් වූ මානව ඛේදවාචකයක්. නමුත් ඔවුන් දෙදෙනාගේ ආදරය නොගැළපීම් ආදී සියල්ල පරදවලා ඔවුන් යම් විඳියේ සමාජ සංසිද්ධීන් ප්‍රතික්ෂේප කරලා ඔවුන් දෙදෙනාට එකතු වීමේ යම් ඉඟියක් පමණක් මෙහි ඇතුළත් වෙන්නෙ. හරියට ඒ දෙන්නා එකතු වෙනවද කියන දේ මම එළිදරව් කරලා නෑ. නමුත් මේක කියවපු ඕන පාඨකයෙක්ට හිතාගන්න පුළුවන් මේක එතනින් එහාට කොහෙටද යන්නෙ කියලා. මං එතනින් ඒක නැවැත්තුවා.

නවකතාවක ජවය කියන දේ සිදී යන්න පුළුවන්. නමුත් අපි කර්තෘවරයා විසින් ඥානනය කරන අත්දැකීම සාක්ෂාත් කරලා තියෙනවා නම් කතාවේ සිද්ධි බිඳ වැටීම ගැන අපි කළබල විය යුතු නෑ. එසේ විය යුතු නෑ කියන ස්ථාවරයෙන් තමයි මම ඉන්නෙ. මගේ අරමුණ අපට නොපෙනන අන්තයකට ඔවුන් ගමන් කරමින් සිටීමයි. එය තමයි වෙන්න ඕන කියලා මට හිතෙන්නෙ. සැබැවින්ම එය අවසානයක් නෙමේ. අන්න ඒ තුළ මානව සංහතියේ පරිණාමයත් එක්ක සිදු වෙන ගමනක් කතාන්දරයක් තමයි මේ තුළ සිද්ද වෙන්නෙ.

Q. ඔබේ පළමු කෘතිය වන ‘කාල නදිය ගලා බසී’ යන කෘතියටත් ‘රාජ්‍ය සාහිත්‍ය සම්මානය’ හිමි වුණා. එම කෘතියටත් පසුබිම් වෙන්නෙ ගංගා ආශ්‍රිතව සිදු වුණ ප්‍රවාහනයයි. ප්‍රවාහනය කියන මාතෘකාව ඔබේ නිර්මාණ හරහා මේ තරම්ම ඉස්මතු වෙන්න බලපාන විශේෂ කාරණාවක් තියෙනවද?

A. ඇත්තටම මම කැමතියි එකම සීමාවක නතර නොවී දිගින් දිගට යන විසාල පරාසයක් මහා කැන්වසයක් හරහා මගේ චරිත ගමන් කරනවා නම් … එතකොට මට විවිධ සමාජ ස්ථරයන් ඇසුරු කරගනිමින් යන බොහෝ පුළුල් අවකාසයක් මට අයිති වෙනවා. ඒ අවකාශයේ රැදෙන්න මං කැමතියි. ඒ ආකාරයට පුළුල් කලාප ස්පර්ශ කරමින් ඇවිදගෙන යන්න මං කැමතියි. එතනදි මට බොහෝ දේ කතා කරන්න මහා දැවැන්ත කලාපයක් නිර්මාණය වෙලා තියෙනවා. එතනදි මට බොහෝ චරිත හමු වෙනවා. විවිධ වූ මානව සිද්ධීන් හමු වෙනවා. ඔවුන් ඒවාට දක්වන ප්‍රතිචාර මට දකින්න ලැබෙනවා. එතකොට මට අළුත් දර්ශන තලයක් විවර වෙන නිසා ඒ විඳියට ලියන්න මං කැමතියි.

Q. හොඳයි ඊළඟට මං අහන්න කැමතියි පසුගිය වසරේ නොබෙල් සාහිත්‍යලාභියා වුණ ජෝන් ෆොසේ දක්වා ලියෝ තෝල්ස්තෝයි නම් වූ ශ්‍රේෂ්ඨ විශ්වීය ලේඛකයාත් නියෝජනය කරන විශ්ව සාහිත්‍යය පිළිබඳව ඔබේ නැඹුරුව කොයි වගේ ද කියලා දැන ගන්න?

A. මෙහෙමයි. මං බොහෝම කියවන කෙනෙක් ඒ කාලේ ඉඳලම. මං බොහොමයක් පරිවර්තන තමයි ගොඩක් බලන්න කැමති වුණේ. මං කැමතියි මිනිස්සු ගැන කතා කරන පොදු මානවීය ධර්මයන් ගැන හැසිරීම් රටාවන් දක්වන කෘතිවලට. ඔවුන් අපිට දක්වන එඩිය ආලෝකය ඔවුන් එමගින් දක්වන ප්‍රභාවට මං කැමතියි. මං හදාරනවා වගේම අපිට ඒවා තුළින් කොයිතරම් දුර ඒ පාරවල් දිගේ යන්න පුළුවන්ද කියලා විමසලා බලන්න ඒවා අභ්‍යාස කරලා බලන්න මං කැමතියි.

Q. ඔබ හිතන විඳියට නවකතාව රසවින්දන මාධ්‍යයක් පමණයි ද? එසේ නැතිනම් ඒ තුළින් කිසියම් හෝ දේශපාලනයකුත් ඉදිරිපත් විය යුතුයි කියලා ඔබ හිතනවද?

A. ඒ සියල්ලම.. සමාජ පරිවර්තන දේශපාලන දැක්මවල් කලින් කලට අපිට දකින්නට ලැබෙන මිනිස්සුන්ගෙ හැසිරීම් රටාවල වෙනස්කම්. දැන් 60 දශකයේ අපිට දකින්න ලැබුණ ජනතාව නෙමෙයි අද ඉන්නෙ. දැන් දේශපාලනික වශයෙන් ඔවුන් මෝරලා. එදා ඉදිරිපත් වුණ කෘතිවලට වඩා අලුත් කෘතිවලට ඒ නිසා නැඹුරුවක් ඇති වෙන්න පුළුවන්.

අපි කාලයක් වික්‍රමසිංහ මහත්තයාගේ පොත් කටපාඩම් කළා. ඊට පස්සෙ අපි සයිමන් නවගත්තේගම මහත්තයාගේ පොත් කියෙව්වා. ඒවා තුළින් අපි මහා පෘථූල අත්දැකීම් ගත්තා. සුගතපාල ද සිල්වා මහත්මයා පවා හරි දරුණු විඳියට සමාජ පෙරළිය විප්ලවීය නැගිටීම් හරි කෘතහස්ත විඳියට අපිට ලියලා තියෙනවා. මේ විඳීම් අපිව ඉතා පුළුල් පරාසයකට තමයි ගමන් කරවන්නෙ. ඒ නිසයි මම කියන්නෙ එක සීමාවක කොටු නොවී අපි හැමෝම මේ පුළුල් විශ්වයම ස්පර්ශ කරන්න ඕන. ඒවා හදාරණ්න ඕන ඒවායින් කියවෙන පණිවිඩ අහගන්න ඕන.

එදා සෝවියට් නවකතාවලින් ඇති කරපු විප්ලවය…70 දශකයේ අපි තුළ පවා ඇති කරපු මහා උත්කර්ෂය…ඒවා රටක ජනතාවගේ ගමන් මඟට සෑහෙන්න ඉවහල් වෙනවා. රසවින්දනයක් සමඟ කෘති තුළින් ඒ ආදී කාරණා අපි අපේ කෘති තුළින් ජනතාව තුළට ගෙන යා යුතුයි.

A. එතකොට මේ මොහොත අපි රටක් වශයෙන් පසු කරමින් සිටින දේශපාලන මොහොත ඔබ අවලෝකනය කරන්නෙ කොහොමද?

Q. මේකයි…දේශපාලනය කියන එක අපේ රටේ පවතින දේශපාලනය යි භූමියේ පැවතිය යුතු දේශපාලනය යි දෙකක් නෙ. මේ මජර දේශපාලනය ඉවත් වෙලා. මිනිස්සුන්ගෙ ජනතාවගේ දේශපාලනයක් මේ පොළව මත පැවතිය යුතුයි කියන විස්වාසයේ මම ඉන්නවා. ඒවාට කරන්න පුළුවන් යම් දෙයක් තියෙනවා නම් අපි කළ යුතුයි.

නමුත් අපි හිතන්න ඕන. ජනතාව ඉන්න පියවරේ සිට ඉහළ තරප්පු පෙළ දක්වා ගමන් කරවීමේ නියාමක බලවේගයක් තමයි ලේඛකයො සාහිත්‍යවේදියෝ කිය අය. නමුත් ඒ අය ඒක අතෑරලා ඒ අය තමන්ගෙ පවුද්ගලික කුටුම්භ රැකගැනීම පිණිස එක එක පුද්ගලික ව්‍යාපෘතිවල යෙදිලා ඉන්නවා. සමහරු විදේශීය කොන්ත්‍රාත්තු භාර අරගෙන ඉන්නවා. මේ සියල්ලම පැවතිය යුතු දේශපාලන ගමන වල්මත් කරලයි කියලයි මං හිතන්නෙ.

ලේ හලන විප්ලව අපි ප්‍රතික්ෂේප කරනවා. පසුගිය දශක ගණනාවෙදි උතුරේ එක් පැත්තකිනුත් දකුණේ එක් පැත්තකිනුත් ඒ දේ සිද්ද වුණා. නමුත් ඒවායින් අන්තිමට අත් වෙච්ච දේ මොකක්ද…අන්තිමට දේශපාලකයෝ හැමදාම කානිවල් නට නට විකාර කරනවා. එතනින් රට යන තැනක් නෑ. රට එක තැන නතර වෙලා බලන් ඉන්නවා. ඒකට මොනවා කරන්න ද කියන එක තමයි අපේ ප්‍රශ්නය.

Q. අවසාන වශයෙන් අපි කැමතියි ඔබේ ඉදිරි සාහිත්‍යමය වැඩකටයුතු මොනවද කියලා දැනගන්න….

A. ඇත්තටම කුර හඬෙකි වියැකෙන පොතෙන් පස්සෙ මං තාමත් වෙන පොතක් ගැන හිතලා නෑ. නමුත් මේ මොහොතෙදිත් මං විස්වාස කරන දේ තමයි කලින් සියල්ලටම වඩා වෙනස් දෙයක් කරන්නත් ඕන වගේම පාඨකයා විශේෂ වශයෙන් ආකර්ශනය වෙන මාතෘකාවක් ගැනත් ලියන්න ඕන කියන කාරණාව. නමුත් මේ හිස් වකවානුව තුළ මං තවම මුකුත් හිතලා නෑ. නමුත් මං ඒක අත ඇරලා නෑ. මට බොහෝ දුරක් යා හැකි යම් වස්තු බීජයක් හමු වුණාම ඒ තුළ ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා. නමුත් නොලියා ඉන්නවා කියන එක නෙමෙයි ඒකෙන් අදහස් වෙන්නෙ.

සාකච්ඡාව සහ සටහන

~ බාසුරු ජයවර්ධන

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan