සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

Date:

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW:

මේ ළඟදි අපූරු කතාවක් අහන්න ලැබුණා.ඒ මේ ඔලිම්පික් පදක්කමක් ගන්න මාසෙකට ලක්ෂ 2ක් දෙනවා කියන අමාත්‍යවරයගෙ කතාව ගැන.
සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?
මේ සුනිල් සහ සුගත් වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයාය.
ඔයා මචං ලිව්වෙ හොඳටම රාවය,ලංකා එකේ ඉද්දි.
මට ඔහුව හඳුන්වා නොදී මාව කවුද කියා හඳුනන බව කී හදිසියේ මතු වූ බාර් සඟයා කතාවට මුල පිරීය.තනියෙන් බීම නුසුදුසු වුව කාලය ගෙවා ගැනීම සඳහා සිටගෙන සිටීම හෝ ඇවිදීම කිරීමට යාම වඩාත් වෙහෙස දනවන මට්ටමට දවසේ කළ හැකි වෙහෙස නිමවා තිබූ නිසා අවන්හලට වැදී බියර් උගුරක් තොල ගාන මා වෙත කඩා පාත් වූ ඔහු සංවාදයට මුල පුරා ඇත.
මාව දන්නෙ කොහොමද?
මේ පාත් වූ අමුතු මට වඩා වයස වුව, සද්දන්ත නිරෝගි පෙණුමක් ඇති කාල වර්ණයට වඩාත් සමීප පැහැයක් දරන මිනිසා හඩ පිට නොවන්නට සිනාසෙයි.පුටුවක් ඇඳ ඒ අසළ අසුන් ගනියි.
පෝක් ඩෙවල් එකක් ගේන්න ඒ නියෝගය වේටර්වරයාටය.කනවනෙ…? ඒ මගෙන්ය.
මම සිනාසුනෙමි.ඔම්ලට් එකක් සමඟ ජාමේ බේරාගෙන බියර් එකක් බොන්නට ආ මට සිනාව අතරම පෝක් එකටත් ගෙවන්න වුණොත් විය හැකි අකරතැබ්බය සිහි විය.
මා අතේ සල්ලිත් නැහැ.මේ වෙන වැඩකට ආවෙ.ඒකට වෙලාව හරි යනකං බොන්න ආවෙ.මම තව ටිකකින් යනවා.රූ 10.00 වෙනකොට එතැන ඉන්න වෙනවා.
සල්ලි ගැන වඳ වෙන්න එපා.සල්ලි නැත්නම් දෙන්නම්.ඔයාල ඔයාලගෙ සල්ලිවලින් කරපු දේවලුත් අපි දන්නවා.අපි හම්බ වෙලා කතා කරලා තියෙනවා.මං ඔයාව දන්නවා.පත්තරකාරයෙක්ට ආදරේ කරන ක්‍රීඩාව කරපු එකෙක්.එහෙම දැන ගත්තම ඇති.
කතාව ඔහුගේ දීර්ඝ විස්තර සහ මගේ කෙටි පිළිතුරු සමග ඉදිරියට ඇඳෙයි.පෝක් කැබල්ලන් දත් අස්සේය.එය ඇඳ ගන්න දරණ උත්සාහය තුළ පරිස්සමට පිළිතුරු දෙන්න මට කාලය කළමනාකරණය කර ගැනීමට හැකිය.
එකක් කරනවද, සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?
මම උඩ බිම නැතුව බලා සිටිමි.ඉන් අනතුරුව සුගත් සහ සුනිල් යනු කවුරුන්ද යන්නත්,සුගත්ගේ ජීවිතයේ වැදගත් කඩඉම්වල සිටි අයෙකු ලෙස ඔහුට ඒ දේ කියන්නට මට හැකියාව ඇති බවත් සිතා ඔහු තෙපළන්නේය.
දැන් ඉතිං සුගත් දුවන්නෙ නැහැනෙ.එයා ඩිපියුටි මිනිස්ටර්
මම නිදහසට කරුණු කීවෙමි.එහෙම වුණාම ඉතිහාසයේ ආදරය කළ මිනිස්සු වෙනුවට අලුතෙන් ආදරය කරන්න වෙනම පංතියක මිනිස්සු හොයා ගන්නවා.එහෙම නේද?
මට ඒ ගැන අදහසක් නැති බව කීවෙමි.
ඔයා සුගත් එක්ක කතා කරනවද?
ඔව්
එහෙනම් කතා කරපු වෙලාවක මෙහෙම අහන්න.සුගත්ලා දුවපු කාලෙ එස්බීයා මාසෙකට උන්ට ලක්ෂ කීයක් වියදම් කරන්න ඇද්ද?වාහන දුන්නා.ගේ දොර රස්සා මේ සියල්ල දුන්නා.ඔයාල තදින්ම එස්බියට ගැහැව්වට එස්බියා ඒවා කරා කියලා පිළිගන්නවද?වටේ ඉන්න එව්වො ඒවා මේවා කියද්දිත් මීඩියා කරපු මංගලයා එස්බී ට ඔයාල ලියපුවා දැම්මා.එස්බීත් ගැහැව්වට තියෙන එවා ගත්තා.ඔය සුගත්ටත් වඩා කෝච්ට එහෙම දේවල් කරේ ඒවා දැකලා.
යමක් කෙනෙකුට කළ හැකි වීම ගැන සතුටක් ආවද මට තවම විහිළු කතාව තේරෙන්නේ නැත.
ඒ දවස්වලත් එස්බීයා ලක්ෂ දෙකකට වඩා මුන්ට වියදම් කරා.ඒත් ඔලිම්පික් පදක්කමක් ආවෙ සුසන්තිකාට විතරයි.ඉන්දියාව ලක්ෂ සිය ගාණක ඔලිම්පික් පදක්කමක් ගේයි කියලා හිතෙන එකෙක්ට වියදම් කරනවා.හෙල්ල දාන චොප්රට කොච්චර වියදම් කරන්න ඇද්ද?ඒ නිසා ලක්ෂ දෙකක් දෙනවා මාසෙට ඔලිම්පික් පදක්කමක් ගේන්න කියන්න එපා කියලා ඇමතිට කියන්න ඕනි.නැත්නම් අපිට හිනා වෙන්නෙ ලෝකය.
ඔහු නැඟිට යයි.යළි හිස්ව ඇති බදුන හිටගෙන බොන්නන්ගේ කවුන්ටරයෙන් පුරවාගෙන එයි.
කෙනෙක්ට අතට ලක්ෂ දෙකක් දීලා මක් කරන්නද?වාහනයක්.හොඳ පුහුණු මධ්‍යස්ථානයක්.ගෙදර ප්‍රශ්නයක් නැති වෙන්න හොඳ පහසුකම් තියෙන ගෙදරක්.ආණ්ඩුවෙන් ලක්ෂ දෙක දික් කරන්නෙ නැතුව ලක්ෂ ගණන් දෙන්න,පහසුකම් දෙන්න ව්‍යාපාරික සමාජයක්.මේවා නිසා දිනපු දුවපු එකෙක් සුගත්.උට කියන්න බැරිද අර ඇමතියට මාසෙට ලක්ෂ දෙකක් දීලා ඔලිම්පික් පදක්කමක් ගේන්න කියන ජෝක් එක්ක අයියෙ,අපේ කාලෙත් මට,සුසන්තිකාට දර්ශට වගෙ ඉස්සරහින් හිටිපු අයට ඊට වඩා වියදමක් දැරුවා.සුසන්තිකා ඔලිම්පික් ගෙනාවා වගේම අපිත් ආසියානු,කොමන් වෙල්ත් ගෙනාවා කියලා.
දැන්නම් හිස් වන බඳුන ගාණට හඬ උස්වන සමයය.මමද 10 ට අදාළ තැන සිටිය යුතුය.
බිල?
වේටර්ගෙන් මම ඇසුවෙමි.
ඒක හරි.මට දාන්න.ඒක වේටර්ට දෙන විධානයක්ය.මා වෙත හැරී අතින් ගත් විශාල තිරයක් ඇති පෝන් එක සමඟ නම්බර් එක?
මම නම්බර් එක කියා මිස් කෝල් එකක් ගහන්න යැයි කිවේය.
තෘ කෝලර් නම බලාගන්න.මම ඕනි වුණොත් කතා කරන්නම්.ඔයා ලියපුවට කරපුවට ආදරෙයි.මං දන්නවා සමහරු දිව්වෙ ඔයාගෙ ගෙදර ඉදල කියලත්.
ඇඟ පොඩි කරන තද සිප ගැනීමක් සමඟ ඔහු මට සමු දුන්නේය.
සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?
මට තවමත් ප්‍රතිරාව නැඟෙන්නේ ඒ ගැඹුරු හඬමය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...

අමරකීර්ති ඝාතනයේ බෙදුනු නඩු තීන්දුව – සභාපති විනිසුරු සියලු විත්තිකරුවන් නිදොස්කොට නිදහස් කරලා

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාව...

Wanderlust Wednesday: සිංදු කියන මාලුවන්ගේ කසුකුසුව සොයා යන මඩකලපු සවාරිය! Discovering the Cultural Tapestry of Batticaloa Heritage District, Sri Lanka 🇱🇰

සටහන – පුලී පෙබරවාරි 11, LNW (කොළඹ): Batticaloa (දෙමළ: මට්ටක්කලප්පු; සිංහල:...

කුඩා හා මධ්‍ය පරිමාණ (SME) ව්‍යවසායක ජාලය දැඩි අර්බුදයක!

කොළඹ LNW:දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට පනස් දෙකකට (52%) දායක...