ගෙවුණු ජනවාරි මාසය තුළ නිල සංචිත වල කැපී පෙනෙන ඉහළ යාමක් දකින්නට පුළුවන්. දෙසැම්බර් මාසය අවසානයේදී ඩොලර් මිලියන 1,896ක් ලෙස පැවති නිල රටේ නිල සංචිත ප්‍රමාණය ජනවාරි මාසය අවසාන වෙද්දී ඩොලර් මිලියන 2,120 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙය ඩොලර් මිලියන 224ක ඉහළ යාමක්.
මීට වඩා අඩුවෙන් වුවත්, නොවැම්බර් හා දෙසැම්බර් මාස වලද සංචිත ඉහළ ගියා. ඔක්තෝබර් මාසය අවසන් වන විට පැවති සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 1,704ක් පමණක් වූ බව සැලකූ විට පසුගිය තෙමස තුළ රටේ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 416කින් ඉහළ ගොස් තිබෙනවා.
මෙහි විශේෂත්වය වන්නේ මහ බැංකුව විසින් මේ අයුරින් සංචිත වර්ධනය කර ගෙන තිබෙන්නේ ඩොලරයක මිලද ස්ථාවරව පවත්වා ගනිමින් වීමයි. ඔක්තෝබර් අවසාන වෙද්දී අන්තර් බැංකු වෙළඳපොළේ ඩොලරයක මිල රුපියල් 363.30 මට්ටමේ පැවති අතර මේ වන විට එම මිල රුපියල් 361.92 දක්වා පහත වැටී තිබෙනවා.
මේ අනුව පැහැදිලිව පෙනී යන්නේ පසුගිය තෙමස තුළ රටට පැමිණි විදේශ විණිමය ප්‍රමාණය ආනයන ඇතුළු අනෙකුත් අවශ්‍යතා වෙනුවෙන් වැය කිරීමෙන් පසුව රට තුළ ඩොලර් මිලියන 416ක් ඉතිරිව ඇති බවයි. එම ඩොලර් ප්‍රමාණය මහ බැංකුව විසින් මිල දී නොගත්තේනම් ඩොලරයක මිල මීට වඩා පහත වැටිය හැකිව තිබුණා.
කෙසේ වුවත්, මෙයින් අදහස් වන්නේ ඉදිරි කාලය තුළ ඩොලරයක මිල විශාල ලෙස පහත වැටෙනු ඇති බව හෝ එසේ පහත වැටෙන්නට ඉඩ දිය යුතු බව නෙමෙයි. නිල සංචිත ප්‍රමාණවත් තරමකට වර්ධනය කර ගන්නා තුරු විණිමය අනුපාතය පහත වැටෙන්නට ඉඩ නොදිය යුතුයි. මහ බැංකුව විසින් වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගැනීම මගින් ඩොලරයක මිල ආසන්න වශයෙන් දැන් පවතින මට්ටමේ පවත්වා ගන්නට පුළුවන්.
මෙසේ කළ යුත්තේ, නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 2,120 දක්වා ඉහළ ගොස් ඇතත්, මහ බැංකුවේ විදේශ වගකීම් ප්‍රමාණය ඊට වඩා වැඩි නිසයි. මේ සංචිත ප්‍රමාණයෙන් ආසන්න වශයෙන් ඩොලර් මිලියන 1,470ක් පමණ චීනයෙන් ලබාගත් මුදල් හුවමාරු පහසුකමයි. එවිට ඉතිරිය ඩොලර් මිලියන 650ක් පමණයි. එයින් ඩොලර් මිලියන 200ක් මහ බැංකුව විසින් බංග්ලාදේශයට ගෙවිය යුතුයි. එවිට ඉතිරි වන්නේ ඩොලර් මිලියන 450ක් පමණයි.
මීට අමතරව ඉන්දියාවට ඩොලර් බිලියන 2.4ක පමණ මුදලකුත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත තවත් ඩොලර් බිලියනයක පමණ මුදලකුත් මහ බැංකුව විසින් ගෙවිය යුතුව තිබෙන නිසා ඇත්තටම මහ බැංකුව තවමත් ඉන්නේ නහයට උඩින් වතුර ගොස් ඇති සීමාවේ වුවත්, ඉන්දියාව හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ණය ආපසු ඉල්ලා ලංකාව හිර කරන්නට ඉඩක් නැති බැවින් සංචිත තර කරගෙන එම ණය ගෙවා දමන තුරු විදේශ අංශය ස්ථාවරව තබා ගැනීම අපහසු නැහැ.
ගොඩ ගත නොහැකි තරමටම දුර්වල වී තිබුණු රටේ විදේශ අංශය මේ මට්ටමින් ශක්තිමත් වී තිබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු වාරිකය ලැබෙන්නටත් පෙර වීම විශේෂත්වයක්. අරමුදල් නොලැබුණත්, මේ සාර්ථකත්වයට හේතුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කර ගෙන තිබෙන එකඟතාවයයි.
අදාළ එකඟතාවය අනුව රජයට ආදායම් ඉක්මවා වියදම් කළ හැකි සීමාව පාලනය වී තිබෙනවා. ඒ හේතුව නිසා, රටේ මුදල් සංසරණය සීමා වී ඩොලර් ඉල්ලුමද පහත වැටී තිබෙනවා. අනෙක් පැත්තෙන් ඉහළ පොලී අනුපාතික හේතුවෙන්ද මෙයට උදවුවක් ලැබී තිබෙනවා.
~ ඉකොනොමැට්ටා