*
Thursday, September 19, 2024
spot_img

Latest Posts

ආර්ථික අර්බුදයේ වත්මන් හැඩය (සිවුවන කොටස)

ප්‍රශ්නයක ස්වභාවය හා ගැඹුර ගැන අවබෝධයක් නැති අයෙකුට විසඳුම් යෝජනා කරන එක පහසුයි. එසේ කරන අයද සුලබයි. බොහෝ දෙනෙකුට අනුව ලංකාවේ ආර්ථිකයේ වත්මන් ප්‍රශ්නය ඩොලර් නැතිකම. මෙයට හේතු ලෙස අධිපරිභෝජනය, රටේ හදාගත හැකි දේවල් ආනයනය කිරීම, රට ඇතුළේ ප්‍රමාණවත් නිෂ්පාදනයක් සිදු නොවීම ආදී විවිධ හේතු ඉදිරිපත් වෙනවා. යමෙක් ප්‍රශ්නයකට ඉදිරිපත් කරන විසඳුම් ප්‍රශ්නයට හේතුව ලෙස හඳුනා ගැනෙන කරුණු මත තීරණය වෙනවා.

ඩොලර් හිඟයට හේතු සේ ඉදිරිපත් කරන අධිපරිභෝජනය, රටේ හදාගත හැකි දේවල් ආනයනය කිරීම, රට ඇතුළේ ප්‍රමාණවත් නිෂ්පාදනයක් සිදු නොවීම ආදී කරුණු හරහා කෙරෙන්නේ ප්‍රශ්නය රටේ සාමාන්‍ය මිනිස්සු වෙත තල්ලු කිරීම. මේ වගේ දේවල් නිතර ඇහෙද්දී රටේ සාමාන්‍ය මිනිස්සුන්ට ඇති වන හැඟීම මෙහෙම වෙලා තියෙන්නේ රජයේ වැරැද්දකින් නෙමෙයි අපේ වැරැද්දකින් කියන එකයි. නමුත් ඇත්ත තත්ත්වය ඒක නෙමෙයි.

ලංකාවේ වත්මන් ඩොලර් හිඟය තනිකරම රාජපක්ෂ දශකය තුළ පටන් ගත් පොන්සි ක්‍රීඩාව නිසා ඇති වූ ප්‍රශ්නයක්. එය රටේ විදේශ විනිමය ප්‍රතිපත්තියේ ප්‍රශ්නයක් මිසක් සාමාන්‍ය ජනතාවගේ වැරැද්දකින් ඇති වූ ප්‍රශ්නයක් නෙමෙයි. මේ ප්‍රශ්නය හමුවේ අපට කළ හැක්කේ කුමක්ද කියා විමසන අය ඉන්නවා. නමුත්, ඇත්තටම මේ ප්‍රශ්නය හමුවේ රටේ සාමාන්‍ය පුද්ගලයෙකුට කළ හැකි දෙයක් නැහැ. කළ යුතු දෙය කළ යුත්තේ රජය හා මහ බැංකුව විසිනුයි. ඇත්තටම රටේ තිබෙන ප්‍රශ්නය වගකීමක් නැති සල්ලි අච්චු ගැසීම හමුවේ රුපියලේ වටිනාකම වේගයෙන් පහළ යාම හා එයට අනුරූපව විණිමය අනුපාතය සකස්වීම වලක්වා තිබීම මිසක් රටේ මිනිස්සු ආනයන වෙනුවෙන් වැඩියෙන් වියදම් කිරීම නෙමෙයි.

කවුරු හෝ තමන්ගේ සල්ලි වලින් බල්ලන්ට ආප්ප අරන් දුන්නා කියලා වෙනත් අයෙකුට එය අධිපරිභෝජනයක් කියා කියන්න බැහැ. සල්ලි තමන්ගේනම් වියදම් කරද්දී තමන්ට ඕනෑ හැටියකට වියදම් කරනවා මිසක් වෙන අයට අවශ්‍ය විදිහට වියදම් කරන්න අවශ්‍ය නැහැ. කැමති කෙනෙක් ආප්ප අරන් නොදී ඉතාලියෙන් පීසා ගෙනත් බල්ලන්ට දුන්නත් කතාව එච්චරයි. ඔය වගේ වැඩකින් වෙනත් අයට වගේම රටටත් හොඳක් මිසක් නරකක් වෙන්නේ නැහැ. සල්ලි තියෙන කෙනෙක් මිල අධික මෝටර් රථයක් ආනයනය කළ විට රටේ තවත් බොහෝ දෙනෙකුටත් කීයක් හෝ හොයා ගන්න සුළු හෝ අවස්ථාවක් ලැබෙන එකයි වෙන්නේ.

රුපියල් වේවා, ඩොලර් වේවා, තමන් විසින් උපයා ගත් සල්ලි කවුරු හෝ වියදම් කරනවානම් එය අධිපරිභෝජනයක් නෙමෙයි. සල්ලි තමන්ගේනම් ඒ සල්ලි ගඟේ මූදේ දැම්මත් වෙන කාටවත් එයින් ප්‍රශ්නයක් වෙන්න විදිහක් නැහැ. රටට ප්‍රශ්නයක් වෙන්න විදිහකුත් නැහැ, හැබැයි වියදම් කරන්නේ අනුන්ගේ සල්ලිනම් එතැන ප්‍රශ්නයක් තිබෙනවා. වියදම් කරන්නේ නැති සල්ලිනම් ඊටත් වඩා ප්‍රශ්නයක් තිබෙනවා.

කවුරු හෝ විසින් තමන් විසින් උපයා නොගත්, නැති සල්ලි වියදම් කරනවානම් එය අධිපරිභෝජනයක් කියා කියන්න පුළුවන්. ලංකාව නිදහස ලැබූ තැන් පටන් බලයේ සිටි හැම ආණ්ඩුවක්ම නැති රුපියල් වියදම් කළා. සල්ලි අච්චු ගසමින් අයවැය හිඟය පියවීමේදී වෙන්නේ නැති රුපියල් අලුතින් මවා වියදම් කිරීමක්. නැති රුපියල් වියදම් කරන තරමට රුපියලේ අගය පහළ යනවා. එවිට ඒ පහළ යාම විණිමය අනුපාතය තුළද නිරූපනය විය යුතුයි. එසේ නොවුනහොත් රුපියල් වලට ලංකාවෙන් පිටදී ඉල්ලුමක් නැතිව යනවා. රුපියල් ගෙවා ඩොලර් වැනි විදේශ මුදල් මිල දී ගන්න බැරි වෙනවා. ඩොලර් හිඟයක් ඇති වෙනවා.

නැති රුපියල් වියදම් කිරීම රාජපක්ෂලා පටන් ගත් සෙල්ලමක් නෙමෙයි. එය පරණ සෙල්ලමක්. රාජපක්ෂලා පටන් ගත් අලුත් සෙල්ලම නැති රුපියල් වලට අමතරව නැති ඩොලර්ද වියදම් කිරීමයි. අද ලංකාව මුහුණ දෙන අර්බුදයට හේතුව මේ විදිහට නැති ඩොලර් වියදම් කිරීමයි. එහෙම නැතුව හැම දෙයක්ම ආනයනය කිරීම නෙමෙයි.

රාජපක්ෂ දශකයට පෙර 2001-2003 කාලයේදී ශ්‍රී ලාංකිකයින් විසින් නැති ඩොලර් වියදම් කළේ නැහැ. ආනයන සඳහා වියදම් කළ හැම ඩොලරයක්ම කවර හෝ ආකාරයකින් ඉපැයූ ඩොලර්. රාජපක්ෂ දශකය තුළ විණිමය අනුපාතය හිර කර ගෙන සිටීම නිසා මේ තත්ත්වය වෙනස් වුනත්, සමස්තයක් ලෙස 2015-2019 අතර පැවතියේත් මෙවැනිම තත්ත්වයක්. 2014 අවසානයේදී ඩොලරයක මිල 131.05ක් පමණයි. යහපාලන ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව 2015 වසර අවසාන වෙද්දී ඩොලරයේ මිල රුපියල් 144.06 දක්වා ඉහළ ගියා. එසේ කිරීම නිසා, එම වසර තුළ ආනයන වෙනුවෙන් වැය කළ යුතු වූ විදේශ විණිමය මුළු ප්‍රමාණයම පහසුවෙන් උපයා ගැනීමට ශ්‍රී ලාංකිකයින්ට හැකි වුනා.

ආනයන පාලනයක් නොතිබුණු 2015 වසරේදී භාණ්ඩ ආනයනය වෙනුවෙන් ඩොලර් මිලියන 18,935ක් වැය වුනා. සේවා ආනයන වෙනුවෙන් තවත් ඩොලර් මිලියන 4,072ක් වැය වුනා. ඒ අනුව, රටේ ආනයනික භාණ්ඩ හා සේවා පරිභෝජන වියදම ඩොලර් මිලියන 23,007ක්. එම වසර තුළදී භාණ්ඩ අපනයනයෙන් ඩොලර් මිලියන 10,546කුත්, සේවා අපනයන වලින් ඩොලර් මිලියන 6,397කුත්, ශ්‍රමික ප්‍රේෂණ ලෙස තවත් ඩොලර් මිලියන 6,980කුත් රටට ආවා. එකතුව ඩොලර් මිලියන 23,923ක්. එහෙමනම්, ලංකාවේ මිනිස්සු හැම දේම පිටරටින් ගෙන්වීම නිසා ඩොලර් හිඟ වුනා කියන කතාවේ ඇත්තක් තියෙනවද?

ඊළඟ අවුරුද්ද ගත්තත් කතාව මේ විදිහමයි. 2016 වසරේදී භාණ්ඩ ආනයනය වෙනුවෙන් ඩොලර් මිලියන 19,400ක් වැය වුනා. සේවා ආනයන වෙනුවෙන් තවත් ඩොලර් මිලියන 4,259ක් වැය වුනා. ඒ අනුව, රටේ ආනයනික භාණ්ඩ හා සේවා පරිභෝජන වියදම ඩොලර් මිලියන 23,659ක්. එම වසර තුළදී භාණ්ඩ අපනයනයෙන් ඩොලර් මිලියන 10,310කුත්, සේවා අපනයන වලින් ඩොලර් මිලියන 7,138කුත්, ශ්‍රමික ප්‍රේෂණ ලෙස තවත් ඩොලර් මිලියන 7,242කුත් රටට ආවා. එකතුව ඩොලර් මිලියන 24,690ක්.

ඩොලර් ආදායම් රටට එනවානම්, ඒ ඩොලර් මොන විදිහට වියදම් කළත් රටේ ඩොලර් හිඟයක් ඇති වෙන්නේ නැහැ. 2017 වසරේදී භාණ්ඩ ආනයනය වෙනුවෙන් ඩොලර් මිලියන 20,980ක් වැය වුනා. සේවා ආනයන වෙනුවෙන් තවත් ඩොලර් මිලියන 4,421ක් වැය වුනා. ඒ අනුව, රටේ ආනයනික භාණ්ඩ හා සේවා පරිභෝජන වියදම ඩොලර් මිලියන 25,401ක්. එම වසර තුළදී භාණ්ඩ අපනයනයෙන් ඩොලර් මිලියන 11,360කුත්, සේවා අපනයන වලින් ඩොලර් මිලියන 7,724කුත්, ශ්‍රමික ප්‍රේෂණ ලෙස තවත් ඩොලර් මිලියන 7,164කුත් රටට ආවා. එකතුව ඩොලර් මිලියන 26,248ක්. ඔය තියෙන්නෙ ඩොලර්!

ලංකා ඉතිහාසයේ ආනයන වෙනුවෙන් වැඩිම වියදමක් ගිය වසර 2018 වසරයි. 2018 වසරේදී භාණ්ඩ ආනයනය වෙනුවෙන් ඩොලර් මිලියන 22,233ක් වැය වුනා. සේවා ආනයන වෙනුවෙන් තවත් ඩොලර් මිලියන 4,608ක් වැය වුනා. ඒ අනුව, රටේ ආනයනික භාණ්ඩ හා සේවා පරිභෝජන වියදම ඩොලර් මිලියන 26,841ක්. එම වසර තුළදී භාණ්ඩ අපනයනයෙන් ඩොලර් මිලියන 11,890කුත්, සේවා අපනයන වලින් ඩොලර් මිලියන 8,374කුත්, ශ්‍රමික ප්‍රේෂණ ලෙස තවත් ඩොලර් මිලියන 7,015කුත් රටට ආවා. එකතුව ඩොලර් මිලියන 27,279ක්. මෙම වසර තුළ, ඩොලරයක මිල රුපියල් 152.85 සිට රුපියල් 182.75 දක්වා ඉහළ ගියා. ඒ නිසාම, ඉහළ ගිය ආනයන ඉල්ලුමට ප්‍රමාණවත් ඩොලර් ප්‍රමාණයක් රටට ආවා. ඩොලර් හිඟ වී ආනයන පාලනය කරන්න වුනේ නැහැ.

යහපාලන ආණ්ඩුවේ අවසන් අවුරුද්ද වූ 2019දීත් ආනයන පාලනයක් සිදු වුනේ නැහැ. එහෙත්, පෙර වසරේ විණිමය අනුපාතය විශාල ලෙස අවප්‍රමාණය වීම ඇතුළු හේතු නිසා නිසා ස්වභාවික ලෙසම ආනයන සීමාවීමක් සිදු වුනා. 2019 වසරේදී භාණ්ඩ ආනයන වියදම ඩොලර් මිලියන 19,937ක් දක්වා අඩු වුනා. සේවා ආනයන වෙනුවෙන් ඩොලර් මිලියන 4,625ක් වැය වුනා. ඒ අනුව, රටේ ආනයනික භාණ්ඩ හා සේවා පරිභෝජන වියදම ඩොලර් මිලියන 24,562ක්. එම වසර තුළදී භාණ්ඩ අපනයනයෙන් ඩොලර් මිලියන 11,940කුත්, සේවා අපනයන වලින් ඩොලර් මිලියන 7,474කුත්, ශ්‍රමික ප්‍රේෂණ ලෙස තවත් ඩොලර් මිලියන 6,717කුත් රටට ආවා. එකතුව ඩොලර් මිලියන 26,131ක්. ඒ කියන්නේ ශ්‍රී ලාංකිකයින් විසින් 2019 වසර තුළ ආනයන වියදමට වඩා ඩොලර් මිලියන 1,569ක් රටට ගෙනත්. මේ අවුරුද්ද තුළ ඩොලරයක මිල රුපියල් 182.75 සිට රුපියල් 181.63 දක්වා පහළ ගියා.

පිටරටින් හැමදේම ගේන නිසා රටේ ඩොලර් හිඟ වෙනවා කියන එක පට්ටපල් බොරු කතාවක්. ආනයනික භාණ්ඩ පරිභෝජනය කරන ශ්‍රී ලාංකිකයෝ ඒ වෙනුවෙන් මුදල් උපයනවා. ඔවුන් වියදම් කරන්නේ තමන් උපයන සල්ලි. ආනයනික හෝ ආනයනික නොවන භාණ්ඩ හෝ සේවා වෙනුවෙන් සල්ලි වියදම් කරනවා කියා කියන්නේ ඒ සල්ලි මොන විදිහකින් හෝ උපයලා කියන එකයි. භාණ්ඩ හා සේවා වෙනුවෙන් වැඩිපුර වියදම් කරලානම් ඒ කියන්නේ රටේ මිනිස්සුන්ගේ ආදායම් වැඩි වෙලා කියන එකයි. එය හොඳ දෙයක් මිසක් නරක දෙයක් නෙමෙයි. ආනයනික භාණ්ඩ හා සේවා වෙනුවෙන් වැඩිපුර වියදම් කරලානම් ඒ කියන්නේ ඊට අමතරව රටේ මිනිස්සුන්ගේ විදේශ විණිමය ආදායම්ද වැඩි වෙලා කියන එකයි. එහෙමනම් වැඩි වැඩියෙන් ආනයනය කර පරිභෝජනය කිරීමේ තියෙන වැරැද්ද මොකක්ද?

ලංකාවේ ඩොලර් හිඟයට හේතුව රාජපක්ෂලා විසින් අලුතෙන් හොයාගත්, දැනටත් භාවිතයේ තිබෙන අපූරු දේශීය විසඳුමයි. මේ අපූරු දේශීය විසඳුම තුළ ලංකාවේ බැංකු පද්ධතිය ඇතුළේ ඩොලර් මැවීමක් සිදු වෙනවා. මේවා ආර්ථික විද්‍යා පාඨ ග්‍රන්ථ වල නැති දේවල්.

සාමාන්‍යයෙන් රටක බැංකු පද්ධතිය විසින් මුදල් මැවීමක් කළත් ඒ විදිහට මවන්නේ රටේ ජාතික මුදල් මිසක් වෙන රටක මුදල් නෙමෙයි. ලංකාවේනම් රුපියල්. මහ බැංකුව පිටවූ දා සිට ලංකාවේ වාණිජ බැංකු රුපියල් මවනවා. එසේ නැත්නම් ගුණනය කරනවා. රාජපක්ෂ දශකයේ සිට, ඊට අමතරව, ලංකාවේ වානිජ බැංකු විසින් ඩොලර් ගුණනය කිරීමක්ද කරනවා. හැබැයි මේ වැඩේට ආරම්භයක් දෙන්න මහ බැංකුවක් නැහැ. මොකද ලංකාවේ මහ බැංකුවට ඩොලර් අච්චු ගහන්න බැහැ. ඇමරිකාවේ අච්චු ගහන ඩොලර් ලංකාවට නිකම්ම දෙන්නේත් නැහැ. වාණිජ බැංකු වලට ගුණනය කරන්න ඩොලර් සපයන්නේ ලංකාවේ රජයයි. අවසාන වශයෙන් නැති රුපියල් වගේම නැති ඩොලර්ද පරිභෝජනය වෙනුවෙන් වැය වෙනවා.

ලංකාවේ වාණිජ බැංකු විසින් කරන ඩොලර් මැවීමේ ක්‍රියාවලිය ඇතුළේ රජය විසින් ණයට ගන්න එක ඩොලර් එකක් දෙක තුනක් හෝ ඩොලර් කිහිපයක් බවට පත් වෙනවා. ඒ නිසා, ණයට ගත් ඩොලර් එකට වඩා වැඩිපුර වියදම් කරන්න පුළුවන්. ප්‍රශ්නය මතු වන්නේ කවදා හෝ ගත් ණය ගෙවන්න යන වෙලාවකයි. මොකද රජයේ විදේශ ණය වලින් ඩොලර් එකක් ගෙවද්දී වෙළඳපොළේ ඩොලර් දෙක තුනක් හෝ කිහිපයක්ම හිඟ වෙනවා. ඒ නිසා, මොන විදිහෙන් හෝ මේ ණය රෝල ගහගෙන යන්නම වෙනවා. පේන විදිහට ආණ්ඩුව ගේම අත අරින්නේ නැහැ. එහෙම නැත්නම් ඉන්දියාව ගේම අතට අරන්.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan