සටහන – රුවන් නෙළුගොල්ල
කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ පෞද්ගලික ලේකම් චමීර ගාල්ලගේ පැමිණිල්ලක සාක්ෂි වසන් කිරීමට සහ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමට කටයුතු කර ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ.
මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හර්ෂණ රාජකරුණා, චමින්ද විජේසිරි, චතුර ගලප්පත්ති ඇතිළු පිරිසක් විසිනි.
“ඔබ කවුරුත් දන්නවා මේ වෙද්දී පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තියෙනවා කථානායකවරයාට එරෙහිව, ඉතිහාසයේ පළවෙනි වතාවට. එතකොට මෙහෙම පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තියෙන අවස්ථාවක, මේ අල්ලස් කොමිසමේ පරීක්ෂණවලට බාධාවෙන ආකාරයට කථානායකතුමාගේ පෞද්ගලික ලේකම්වරයා පාර්ලිමේන්තුවේ මහලේකම්තුමියට ලිපියක් යොමුකරලා යම් යම් තොරතුරු ලබාගැනීමට උත්සාහ කරලා තියෙනවා. මෙහෙම පරීක්ෂණයක් ක්‍රියාත්මක වෙන මේ අවස්ථාවේදී ඒ පැමිණිල්ලේ චෝදනා ලද අය විසින්ම වාර්තා කැඳවීම අල්ලස් කොමිසමේ කටයුතුවලට බාධාකිරීමක් මෙන්ම පරීක්ෂණ කටයුතුවලට බලපෑම් කිරීමක් බව අපේ විශ්වාසයයි. ඉතින් අපි ඉල්ලීමක් කරනවා අල්ලස් කොමිසමෙන් මේ ගැන ස්වාධීන පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන්න කියලා. අද වෙද්දී මේ ස්වාධීන ආයතන ආණ්ඩු පක්ෂයට එක විදියකටත් විපක්ෂයට වෙන විදියකටත් හැසිරෙනවා කියලා ලොකු චෝදනාවකුත් තියෙනවා. දැන් මේක තමයි හොඳම අවස්ථාව ඒ ස්වාධීන කොමිෂන්වල ස්වාධීනත්වය ඇත්තටම තියෙනවාද නැද්ද කියලා පෙන්වන්න”
හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (11) අල්ලස් කොමිසම වෙත අදාළ පැමිණිල්ල බාරදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.


