ජයසිරිපුර කියන්නෙ පොළොන්නරුව දිස්ත්‍රික්කයෙ බකමුණට ඈතින් තියෙන දුප්පත්ම ගමක්.පොළව එක්ක හැප්පෙන මිනිස්සුන්ගෙ අදෝනා අස්සට ඒ ගමට සතුට අරං එන පාරක් බවට පත් වෙලා තියෙන්නෙ ක්‍රිකට්.ඉර පොළවට පාත් වෙන්නත් ඉස්සර,වන අලියා කැළේට වදින්න ඉස්සර ජීවිත අවදානමත් තියාගෙන ක්‍රිකට් ගහන ජයසිරිපුර කොල්ලො කෙල්ලො අතරින් වැඩියම රටේ අවධානයට ලක් වෙලා තියෙන්නෙ ජයසිරිපුර කනිෂ්ඨයෙ කෙල්ලො ටික.
දක්ෂතාවලටත් වඩා ඔවුන් ඒ වෙනුවෙන් දරන මහන්සිය වගේම කැපවීම හරිම සුන්දරයි.ඒ නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් පවා මේ ජයසිරිපුර කණිෂ්ඨයට ගොඩ වැදිලා යන්න ඇවිත් තියෙනවා.
මේ කැපවීම පිටුපස අපූරු තරුණයෙක් ඉන්නවා.ගුරුවරයාගේ උදේ 7.30 ඉදලා දවල් 1.30 රස්සාව කියන එකට අභියෝග කරන එහෙම හිතන මිනිස්සු විතරක් නෙමෙයි ගුරුවරුත් නිරුත්තර කරන මේ තරුණයා තමයි ජානක වික්‍රමසිංහ.විද්‍යාලයේ ක්‍රීඩා ගුරුවරයා.
විදුහල්පතිවරයත් ක්‍රීඩාව ආත්මය කර ගත් වලලින් සිප් කිරි බී පැමිණි අයෙක් නිසා ඔහුටත් අනිවාර්යෙන්ම ක්‍රීඩාවේ රහ දැනෙන්න ඕනි.මේ සංගමයට අනිත් ගුරුවරුත් දිරිය දෙන්නෙ සවිය දෙන්නෙ මැලවිලා තිබුණ පුංචි මුහුණුවලට වැටිලා තියෙන එළිය දැකලා වෙන්න ඕනි.ගමේ මිනිස්සු පාසලේ ළමයි ගාණට වැඩිය වැඩි ඉඩක් බවට ස්කෝලෙ පත්වෙලා තියෙන එක ගැන දැන් පසුතැවෙමින් ඉන්නෙ.එහෙම වුණේ අල්ලපු වැටේ තියෙන පාසලට වඩා නගරෙ අකුරු රහයි කියන එක හිතට දැණුන නිසා හෝ තමන්ගෙ දරුවට හොඳ අධ්‍යාපනයක් දෙන්න ඒ අයට තියෙන ආසාව හින්ද වෙන්න පුළුවන්.
හැබැයි මිනිස්සු කවුරුත් දන්න විදිහට ලංකාවෙ මිල අධිකම ක්‍රිකට් වගෙ දෙයක් හරියට තාරවත් වැටිලා නැති පාර දිගේ ගමට ඇවිත් ගමේ පැටව් නගරෙට අභියෝගයක් වෙන මට්ටමට එනකොට අනිත් පහසුකම්වලටත් මේ ගමට එන්න පාර කපාගන්න පුළුවන් කියලා දැන් හැඟීමක් ඇවිත් තියෙනවා.
සල්ලිම නෙමෙයි එක.උනන්දුව කැපවීම එක්ක වැඩ කරන එක.තවම අඩුපාඩු පිරී තිබුණට ගමේ කෙල්ලො ටික ගැන රට දන්නවා කියලා මිනිස්සු දැන ගත්තම ක්‍රිකට් නොවුණත් කැපවීමෙන් තමන්කැමති දේ කරොත් හොද අවධානයක්.පිළිගැනීමක් ගන්න පුළුවන් කියන එක තමන්ගෙ දරුවන්ට කියා දෙන්න ඒ අයට උදාහරණයක් ලැබිලා තියෙනවා.
“බලපං ජයසිරිපුරේ ක්‍රිකට් ගහන කෙල්ලො ටික.මොනව තිබිලද උන්ට.ඒත් මහන්සිය නිසා අද රටම දන්නවා”
මේ ගමේ ගොවියන් ගෙවිලියන් තමන්ගෙ දරුවන්ට මේ කතාව කියන එක අද බහුල වෙලා.පිට්ටනිය පැත්තට දරුවෙක් එවන එක වගේම පාසලේ වැඩකට අම්මලා – තාත්තලා කැන්දන් ඒමත් ටිකක් අමාරු වැඩක්.ඒත් ක්‍රිකට්වලට පැටව් ආවට පස්සෙ,ක්‍රිකට් ගැන අවබෝධයක් නැතුවත් ලංකාව දිනයි කියන හැඟීමෙන් ඔළුවට ආපු දේශානුරාගයත් එක්ක රූපවාහිනි තිරයට එබිලා හිටිය තාත්තලගේ අම්මලගේ ඔළුවල ජානක ඇඳපු හීනය මරු.
ඒ විදිහට අර කොළපත් වගෙ එවා කකුල්වලට දාගෙන,අතට ග්ලව්ස් දාගෙන තමන්ගෙ දුවලා ක්‍රිකට් ගහනකොට ඒ අයට ආසාව ආවා.අඩුපාඩු දවසෙ කුලියෙන්,ගොවිබිමෙන් එන අස්වැන්නෙන් සරි කර ගන්න අමාරු වුණත්,පිට පළුවක් පළල හයියට,ටික කාලයක් දරන්න පුළුවන් පිත්තක් හදලා දෙන්න තාත්තාල ඉදිරිපත් වුණා.ඔවුන්ගේ ජාතික ප්‍රවාහන මාධ්‍යය බයිසිකලය නිසා ඒකෙන් අයින් කරපු ටියුබ් කෑල්ලකින් බැට් එකේ මිටත් ලස්සන කරා.මැටි පොළවෙ ගගහ හිටපු කෙල්ලො ටිකගෙ දක්ෂකම් දැකලා ශ්‍රී ලංකා ක්‍රිකට් එකෙන් එළාගන්න ලණු පැදුරක් එව්වම පොළව හදා ගන්නත් ජානක ස්ර් එක්ක එකතු වෙන්න මේ තාත්තල රොද බැන්ද..
පිට්ටනියෙ ඉඩ පහසුවට මොනව හරි කරල දෙන්න බලන්නම්.
ජානකගේ මහන්සියට ලෝභ හිතිලා මං ප්‍රදේශයේ හමුදා ප්‍රධානි මහේෂ් අබේරත්නට මේ ලියුම්කරු කිව්වම ලැබුණු සතුටුදායක උත්තරය මහේෂුත් ක්‍රීඩකයෙක් වගේම දැනටත් ක්‍රීඩා පරිපාලනයට සම්බන්ධ ඒ රහ දන්න කෙනෙක් නිසා ඉදිරියේදි සැබෑ වෙයි කියලා විශ්වාස කරනවා.හමුදාවේ ශ්‍රම ශක්තියට සියල්ල දෙවැනි කියලා බොහෝ තැන්වලදි ඔප්පු කරලා තියෙන කතාව ජයසිරිපුර පිට්ටනියෙදිත් ඇත්ත වුණොත් ලංකාවේ හොඳම පිට්ටනියක් බවට පත් වෙන්න තියෙන ඉඩත් ඒකට තියෙනවා.
ජානකගෙ මේ මහන්සිය තවත් සීහින පැල කරවන වැඩක් බවට පත්වෙන මොහොතක් ඔහු ඊයේ පෙරේදා ජයසිරිපුරට උදා කරා.ඒ තනිවම නෙමෙයි.තමන්ගෙ හිතවතුන්ගෙ උදව් උපකාරත් එක්ක ඔහු මහා ක්‍රිකට් තරගයක් සංවිධානය කරා.
කුරුණෑගල තවත් දුෂ්කර පාසලක් වන මිහිරාණේගම පාසල එක්ක පැවත් වූ මහා ක්‍රිකට් තරගයට ජයසිරිපුර ක්‍රීඩාංගණයට ගමක් එකතු කරා.එයින් ජයසිරිපුර ක්‍රීඩිකාවෝ අති විශිෂ්ඨ ජයක් ලැබුවා.ඒ ජයග්‍රහණය වෙනුවෙන් මුදල් ත්‍යාග,ක්‍රීඩා උපකරණ දෙන්නත් කට්ටිය ඉදිරිපත් වුණා.එහිදි තවත් අපූරු වැඩක් ජයසිරිපුර කණ්ඩායම වෙතින් සිද්ධ වුණා.තමන්ට ආධාර හැටියට ලැබුණු ක්‍රිකට් භාණ්ඩවලින් කොටසක් ඔවුන් තමන් මෙන්ම දුෂ්කරතා එක්ක නැඟී සිටින මිහිරාණේගම පාසලට පරිත්‍යාග කරා.තියෙන දේ ට තව පොදි ගහගන්න පොරකන සමාජයක ජානක සහ විදුහල්පතිතුමා සහ ඇඳුරු මඬුල්ලත් ඒ දරුවන්ට මේ කියා දුන්න පාඩම ක්‍රිකට් තරගයක ජයකට වඩා බොහෝ විශාලයි.
මහා සාගර වුණත් වතුර ටිකක් දෝතට ගන්න බැරි විදිහට වට කරල තියෙන්න පුළුවන්.එහෙම වට පිටාවක දෝත පිරෙන්න පමණක් තියෙන වතුර ටිකෙන් බිංදු කිපයක් අනෙකාගේ පිපාසයට දෙන්න ඉදිරිපත් වෙනවා වගෙ වැඩක් තමයි ජයසිරිපුරෙන් වුණේ.හෙට මිහිරාණගමේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන මිහිරි කතාවක් ලියන්නට එය අපූරු මඟ පෙන්වීමක් දිරි දීමක් වෙයි.
ජයසිරිපුර කියන්නෙ ලංකාවේ ක්‍රීඩාවේ මහා ජයග්‍රහණ ඉදිරියේ නම සටහන් පාසලක් නොවන බව ඇත්ත.හැබැයි ජීවිතවලට ජයගන්න හැටි,කැපවෙන හැටි උගන්නන පාඩම් බොහොමයක් සමාජයට ගන්න පුළුවන් තැනක්.ඒ නිසා මේ සටහන එක්ක මිහිරාණේගම පරදා ජයසිරිපුර ක්‍රීඩිකාවන් ලැබූ දැවන්ත ජය ගැන අටුවා ටිකා නොලියා තරගයේ ඡායාරූප අහුරක් අලවා තැබීම වැදගත් කොට සිතුවා.ඒ පිංතූර ඇතුළෙ ජයසිරිපුර මිනිස්සුන්ගේ ජීවිත වෙනස් වෙමින් තියෙන හැඩය සහ අලුත් බලාපොරොත්තුවල දිග පළලත් යම් විදිහකට ඔබට කියවා ගන්න ලැබෙයි.
ජානකගේ ජයසිරිපුර කෙල්ලො ටික ගැන මීට වඩා රස කතා ලියන්න ඉස්සරහට බොහෝ මාධ්‍යවල ඉඩ ඇරෙයි.ඒ රස වගා කරන බිම ආදරණිය ක්‍රීඩා පරිපාලක මහේෂ් අබේරත්නගේ මඟ පෙන්වීමෙන් හමුදාමය ශ්‍රමයේ අභිමානය වැටුණු තැනක් හැටියට තව දුරටත් ආනන්දනීය වෙයි.අපි බලා ඉමු.
RM